පොළොස් වලින් රස වෑහෙන ඩම් බිරියානි හදමුද? 

මේ දවස් වල ගමේ, වෙළඳපොලේ ගොඩක් තැන්වල පොළොස් තියෙනව දැක්කද?

මේ පොළොස් කාලෙ නිසා ඒම වෙන්න ඕනනෙ. 

රසම රස පොළොස් කරියක් හදාගෙන උණු උණුවෙන් පාන් එක්ක, ඒම නැත්නම් කැකුළු බත්, පොල් සම්බෝල ටිකක් එක්ක වගේම ඉඳි ආප්ප එක්ක වුනත් රස විඳින්න කවුද අකමැති නේද?

අන්න ඒ වගේ අපි ගොඩක් දෙනෙක්ට පොළොස් කියන්නෙ කොච්චර කෑවත් එපා වෙන්නෙ නැති කෑමක්නෙ.

වස විස නැති කෑම බීම හොයාගන්න හරිම අමාරු අද වගේ කාලෙක විටමින් A, විටමින් C , මැංගනීස්, කොපර්, සෝඩියම්, ෆයිබර්, ප්‍රෝටීන සහ කාබෝහයිඩ්‍රේට් වලින් සංතෘප්ත හරිම ගුණදායක කෑමක් වන පොළොස් වගේ ආහාරයක වටිනාකම ඔබට අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. 

කොස් පොළොස් අපේ ආහාර වේලට එකතු කර ගැනීමෙන් සමේ සහ ඇස් වල නීරෝගී බවට, ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරන්න, රුධිර පීඩනය අඩු කරන්න, අස්ථි ශක්තිමත් කරන්න වගේම පිළිකා සෛල ඇතිවීමේ අවදානම අඩු කරන්නත් අපිට හැකියාව ලැබෙනවා. 

හැමදාම එකම විදිහට කන පොළොස් වෙනස්ම වගේම රසවත්ම විදිහකට හදාගන්නෙ කොහොමද කියල ඔන්න ඔබට කියල දෙන්නයි අපි අද මේ සූදානම් වෙන්නෙ. 

එහෙනම් අපි අද බලමු පොළොස් ඩම් බිරියානි හදන්නෙ කොහොමද කියල?

අවශ්‍ය ද්‍රව්‍ය

හොඳින් පිරිසිදු කර සාමාන්‍ය ප්‍රමාණයේ කැබලි වලට කපාගත් පොළොස් ගෙඩි ½ ක් 

ලුණු කුඩු තේ හැඳි 02 ක්

කහ කුඩු තේ හැඳි 01 ක් 

මිරිස් කුඩු තේ හැඳි 02 ක් 

කොත්තමල්ලි කුඩු තේ හැඳි 02 ක්

ගරම් මසාලා තේ හැඳි 01 ½ ක් 

මුදවපු කිරි කෝප්ප ½ ක් 

අඹරාගත් ඉඟුරු සුදුළූණු තේ හැඳි 02 ක් 

සිහින්ව ලියාගෙන රන්වන් පාට වනතුරු බැඳගත් ලොකු ලූණු ගෙඩියක් 

සිහින්ව ලියාගත් කොත්තමල්ලි සහ මින්ට් කොළ 

බාස්මතී සහල් කෝප්ප 01 ක් 

ගිතෙල් මේස හැඳි 03 ක් 

තෙල් මේස හැඳි 01 ක් 

කුළුබඩු ( බේ ලීෆ්/ bay leaf, ස්ටාර් අනීස්/ star anise, කරදමුංගු, කරාබුනැටි, කුරුඳුපොතු)

සිහින්ව ලියාගත් ලොකු ලූණු ගෙඩියක්  

පලාගත් අමු මිරිස් කරල් 03 ක් 

සාමාන්‍ය ප්‍රමාණයේ පෙති කපාගත් තක්කාලි ගෙඩි 02 ක් හෝ 03 ක් 

වතුර

සාදාගන්නා ආකාරය

මුලින්ම සාමාන්‍ය ප්‍රමාණයේ භාජනයක් ගෙන එයට කපාගත් පොළොස් කැබලි, ලුණු කුඩු, කහ කුඩු, මිරිස් කුඩු, ගරම් මසාලා සහ කොත්තමල්ලි කුඩු, මුදවපු කිරි, අඹරාගත් ඉඟුරු සුදුලූණු, බැදගත් ලූණු වලින් භාගයක්, කුඩාවට කපාගත් කොත්තමල්ලි කොළ සහ මින්ට් කොළ මිටක් පමණ එකතු කර හොඳින් කලවම් කරගන්න. 

පොළොස් කැබලි වල මේ සියල්ල හොඳින් ගෑවෙන සේ කලවම් කර වසා විනාඩි 30 ක් පමණ තබන්න. 

ඊළඟට අපි මේ සඳහා අවශ්‍ය බත් සූදානම් කරගනිමු. 

මුලින්ම සහල් වතුරේ පොඟවා විනාඩි 30 ක් පමණ තබා ගන්න. 

දැන් භාජනයක් ලිපතබා එයට වතුර එකතු කර වතුර නටන විට ලුණු කුඩු ලුණු කුඩු තේ හැඳි ½ ක් සහ පොඟවා වතුර ඉවත් කරගත් සහල් එකතු කර star anise 01 ක්,  bay leaf 01 ක්, කුරුඳු පොතු කැබැල්ලක්, කරදමුංගු 01 ක් සහ කරාබුනැටි 04 ක් පමණ එකතු කර හොඳින් කලවම් කරගන්න. 

විනාඩි 05 ක් පමණ බත් 80% ක් ඉදෙන තුරු තබා වතුර පෙරා ඉවත් කරගෙන බත් ටික වෙන් කරගන්න. 

දැන් තවත් භාජනයක් ලිපතබා එයට ගිතෙල්, තෙල්, කරදමුංගු, කරාබුනැටි, කුරුඳු පොතු, star anise, bay leaf එකතු කරගන්න. 

විනාඩියක් පමණ තබා කපාගත් ලොකු ලූණු සහ අමු මිරිස් එකතු කර ලූණු යන්තමින් රන්වන් පාට වනතුරු බැදගන්න. 

එයට කපාගත් තක්කාලි දමා හොඳින් කලවම් කරමින් විනාඩි ½ ක් පමණ තබා ගන්න. 

එයට සූදානම් කරගත් පොළොස් කැබලි ටික දමා හොඳින් කලවම් කරගන්න. විනාඩියකට පමණ පසු වතුර කෝප්ප 01 ක් එකතු කර හොඳින් කලවම් කරගන්න. 

පොළොස් කැබලි වල හයිය ගතිය ඉවත්වී හොඳින් තැම්බෙන තෙක් පියන වසා උයාගන්න. 

හොඳි සම්පූර්ණයෙන් ඉවත් වන තුරු නොසිට හොඳිත් සමඟම ලිපෙන් ඉවත්කර ගන්න. 

දැන් තරමක් ගැඹුරු භාජනයක් ලිපතබා එයට ගිතෙල් මේස හැන්ඳක් සහ සාදාගත් පොළොස් එක්කර හොඳින් කලවම් කරගන්න. 

විනාඩි 05 ක් පමණ තබා ඊට උඩින් උයාගත් බාස්මතී බත් අතුරා ගන්න. 

බත් වලට උඩින් ගිතෙල් මේස හැන්ඳක් පමණ වත්කර ඊට උඩින් බැදගත් ලූණු, සිහින්ව කපාගත් කොත්තමල්ලි සහ මින්ට් කොල අතුරා ගන්න. 

දැන් භාජනයේ පියන වසා අඩු ගින්නේ විනාඩි 15 ක් පමණ තබා ගන්න. 

විනාඩි 15 කට පමණ පසු ගින්දර නිවා පියන විවෘත නොකර විනාඩි 05 ක් පමණ තබන්න.  

දැන් පියන ඇර පොළොස් කැබලි පොඩි නොවෙන සේ බත් සහ පොළොස් සෙමින් කලවම් කරගන්න. 

ඔබට කැමති නම් නැවතත් උඩින් බැඳගත් ලූණු, කොත්තමල්ලි සහ මින්ට් කොළ ටිකක් ඉස පිළිඟන්වන්න පුළුවන්. 

එහෙනම්, වෙනස්ම රස වලින් ආහාර හදල රස විඳින්න කැමති ඔබට අද මේ ගෙනාව පොළොස් ඩම් බිරියානි රෙසිපිය හුඟක් වැදගත් වෙයි කියල අපිට විශ්වාසයි. 

මේ වගේම රස ගුණ පිරුණු කෑමක් එක්ක අපි නැවත හමුවෙමු. 

රසට කන්න – සුවෙන් ඉන්න !

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles