පමා වී පිපුණු මල් 15

“මෙහෙමයි මම දන්නෙ නෑ ඇයි මිස්ට සමරදිවාකර ඔයාවගේ මීට කලින් ඩිජිටල් මාකටින් එක්ස්පීරියන්ස් නැති කෙනෙක්ව හයර් කරේ කියල. ඔයාගෙ කන්සෙප්ට්ස් හොඳ උනාට අපි වගේ බුටික් ඒජන්සි එකක් ඉතින් කෙනෙක්ව හයර් කරද්දි එයාට මේන් ස්කිල් එකකට අමතරව තව මොනවහරි පුලුවන්ද කියලත් බලනව.

ඔයා ට්‍රැඩිශනල් මීඩියා පැත්තක ඉඳල ආව නිසා ඔයා බිස්නස් සූට් එක වගේ බේසික් ස්කිල්ස්වත් දන්නෙ නැති එක ටීම් එකට පාඩුවක්. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. මොකද ඉතින් ෆයර් කරන්න කියලද නේද? ඔයා කැම්පේන්ස් ප්ලෑන් කරන ගමන්ම පොඩ්ඩක් කමියුනිකේශන් ස්ට්‍රැටජි හදන විදියත් ටිකක් ඉගෙන ගන්න. අලුත් දෙයක් ඉගෙන ගත්ත කියල ඉතින් වැඩිවෙන්නෙ නැනෙ නේද?”

“වීරෙ හරි හොඳයි” කියා කේශිනී කිව්වත් එය එසේම විය හැකිද යන කුකුස අරුණලී ගෙ සිත පැහැරගත්තේ කිමල් වීරවර්ධන සේවයට වාර්තා කල ඇයව හමු වූ පලමු මොහොතේය..ඔහු කේශිනී කියූ අන්දමේ හිතවත් පුද්ගලයෙකු විය නොහැකි බව අරුණලීට හිතුනේ ඔහුගේ කතා විලාසය අනුවය.

තමා මෙයට පෙර සේවය කල ස්තානය මෙයට වඩා විශාල ඩිජිටල් මාධ්‍ය අංශයට වඩා ට්‍රැඩිශනල් මාධ්‍ය අංශයට වඩා නැඹුරු වූ තැනක් වූ බව ඇත්තකි. එහෙත් රාජ්‍ය විශ්ව විද්‍යාලයකින් ලබාගත් පලමු පංතියේ අලෙවිකරණ උපාධියකුත් එය හා සමගාමීව සිදු කල ලබාගත් වරලත් අලෙවිකරණ සහතිකයකුත් සහිත තමන්ට මෙවන් තැනකට අගයක් එක් කරන්න හැකි වීමක් විනා අඩු පාඩුවක් වෙන්නට හැකියාවක් තිබේද යන්නගැන අරුණලී නැවත නැවත සිතුවාය.

“දැන් ඉතින් තවත් මෙතන හිටගෙන මොනවද කරන්නෙ?” 

අරුණලී කල්පනා ලෝකයෙන් තිගැස්සී ඇහැරුණේ වීරවර්ධනයේ ඒ ගැඹුරු හඬ ඔහුගේ කාමරය පුරා නින්නාද දෙමින් යද්දීය.

තමා කල්පනාවක ගිලී හිඳිද්දී කිමල් වීරවර්ධන තමා දෙසම බලාහිඳ ඇති බව අරුණලී ගෙේ කම්මුල් රතු පැහැයෙන් පාට කරවන්නට හේතු වූවකි. 

“සොරි” කියා අරුණලී කාමරයෙන් එලියට නික්ම යද්දී කිමල්ගේ දෙනෙත් තමා පස්සේම ඇදී ආ බවත් පසුපස හැරී යන තමා දෙස බලමින් හුන් කිමල්ගේ දෙතොල් අග සුන්දර මදහසක සේයාවන් ඇඳී තිබුන බවත් අරුණලී දුටුවේ නැත.

කිමල් උන්නේ සිත ඇතුලෙන් ප්‍රේමණීය උන්මාදයක සැතපීය. අරුණලී මහා ලොකු සුන්දරත්වයක් ඇති තරුණියක යැයි කියන්නට නොහැකි වුවද සිත පැහැරගන්නා කුමක් හෝ සුන්දරත්වයක් ඇය සතුව තිබෙන බව කිමල්ගේ සිත වටහගත්තා කාර්‍යාලයට ඇතුලු වී සියලුම සෙසු සේවක මේස පහුකරගෙන තමන්ගේ වීදුරු කුටිය වෙත එද්දීය.

අලුත් ලමයෙකු රැකියාවට බඳවාගත්බව සහ ඇයව සියලුම කාර්‍යාල වට්සැප් ගෘප් වලට එක්කරගෙන තිබු බව දන්නවා වුවද කිමල් උන්නේ ඇය ගැනවැඩි විස්තර සෙවිය හැකි නිස්කලංක නිදහස වටපිටාවක නොවේ.

කිමල් අරුණලී ව දුටුවේ මැලේසියාවේ රාජකාරිමය කටයුත්තකට ගොස් ආපසු රැකියාවට ආ පලමු දිනයේදීය. ලව් ඇට් ෆස්ට් සයිට් කියා කියන්නේ ඒ ගැනද කියා කියන්නට කිමල් නොදනී.

ජීවිතයට විටින් විට ආ ගිය පෙම්වතියන් කිහිප දෙනෙකු උන්නද ඒ කිසිවෙකුට තමන් ලඟ නතරවෙන්නටවත් තමන්ට ඔවුන් ලඟ නතර වෙන්නටවත් උවමනාවක් නොතිබූ බව කිමල්ට මතකය. එහෙත් අරුණලී දුටු මුල්ම මොහොතේ හිතට ආ හැඟීම් ඒ කිසිවෙකු වෙනුවෙන් මෙයට පෙර හිතේ ඉපදුනු හැඟීම් නොවේ.  ඒ හැඟීම් අලුත් ය. නැවුම් ය. මිහිරිය. සුවඳය.

එහෙත් ඒ හැඟීම් තමාට නුපුරුදුය. ඒ නුපුරුදු බව සිත චංචල කරවන්නකි. තමා අරුණලී ට එතරම්ම සැරෙන් කතාකරන්නට හේතුව ඒ නුපුරුදු බවම නොවේද?

“ඔයා කිව්වට මිස්ට වීරවර්ධන සැර නෑ කියල, එහෙම නෑනෙ”

අරුණලී හඬ අවදිකලේ දවල් කෑම වේලාවේදීය. ඒ කේශිනී සමගිනි. කේශිනී වනාහී විශ්වාස කල හැකි අන්දමේ මිතුරියක බව අරුණලී තේරුම් ගෙන උන්නාය. ජීවිතයේ අතීතයේ සිදු වූ සියල්ලම ඇයට කිව නොහැකි උවත් කාර්යාලයේ දෙය කතා කරන්නට කේශීනීව විශ්වාස කරන්නට හැක.

“ඇයි එහෙම කිව්වෙ?” 

කේශිනී ඇසුවේ අරුණලීගේ බත් පාර්සලයේ වූ වම්බටු පැහියෙන් ටිකක් තමන්ගේ බත් පාර්සලයට දමා ගනිමිනි. විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන්නට කොළඹ ඇවිත් බෝඩිමක නතර වී හිඳින්නියක නිසා කේශිනී කෑම ගන්නේ පිටිනි.

දිවා ආහාරයෙදි කේශිනී සමග දිවා ආහාරය ගන්නා අරුණලී ගෙදරින් පිස ගෙන එන රස මසවුලු නිතරම ඇය සමග බෙදා ගනී.

“එයා උදේ මට කතා කරල සද්දයක් දැම්මනෙ”

වම්බටු පැහිත්, සැමන් කරියත්, පරිප්පුත් සමග අනාගත් බත් කටක් මුව රුවාගත් අරුණලී එසේ කියද්දී කේශිනී බත් පත ඇනීම නැවැත්තුවාය.

“සද්දයක් දැම්ම? වීරේ?”

“හ්ම්ම්ම්”

“වෙන්න බෑ. වීරෙ එහෙම මනුස්සයෙක් නෙවෙයිනෙ”

“ඔයාලට විතරයි මයි හිතේ එයා එහෙම මනුස්සයෙක් නොවෙන්නෙ”

“මොනවද එයා කිව්වෙ?”

“ඩිජිටල් එක්ස්පීරියන්ස් නැති කෙනෙක්ව අරගත්තෙ ඇයි කියල දන්නෙ නෑ. මට බූස්ටින් වගේ දේවල් වත් බෑනෙ කියල කිව්වා”

“ඉතින් ඔයා වැඩ කරන්නෙ ක්‍රියේටිව් ටීම් එකේනෙ. ඔයාට එහෙම බූස්ටින් දැනගෙන ඉන්න එක මස්ට් හෑව් ස්කිල් එකක් නෙවෙයිනෙ”

“ඒ උනාට ඉතින් එයා කිව්වෙ එහෙම තමයි”

“මල පිස්සුවක්නෙ.මැලේසිය ගිහින් ආවයින් පස්සෙ මිනිහගෙ ඔලුව විකාර වෙලාද කොහෙද?මං කතා කරන්නද වීරෙට?”

“එපා එපා පිස්සුද එයා මාත් එක්ක තව තරහ වෙයි මම මේවා ඔයාට කිව්ව කියල දැනගත්තොත්. මම ඒක ලොකුවට ගණන් ගත්තෙ නෑ. මම කලින් වැඩකල ඔෆිස් එකෙත් හිටිය ඔය වගේම කෙනෙක්.බොරුවටත් ඇඟට කඩ පනිනවා”

“ඔයා ඒකද එහෙං රිසයින් උනේ?”

කේශිනී ඇසූ ප්‍රශ්නයට දිය යුතු පිලිතුර කොතෙක් දිග කතාවක ආරම්භයද කියා දන්නා නමුත් ඒ කේශීනී ඉදිරියේ කියනට බැරිකතාවකි. 

“ඔව්” කියා කෙටි පිලිතුරකින් අරුණලී ඒ කතාව නතර කලේ ඒ නිසාය. විටින් විට ජීවිතය ඉදිරියට එන මේ මතකයන් දරාගන්නට අපහසු ඒවාය. ඒවා ඉදිරියේ මුව කෙතරම් නිහඬ වුවත් සිත දොඩමලු වේ.

එදා සවස වැඩ ඉවර වී නිවසට ආ අරුණලී අම්මා සමගත් කියමින් උන්නේ කාර්‍යාලයේ බොස් ගේ හැටිය.

“ටිකක් නපුරුයි වගේ”

“අමරු නම් වැඩ කරන්න අයින් වෙන්න පුතේ. හිත කරදරෙන් තියාගෙන වැඩ කරන්න උවමනාවක් නෑනෙ”

“එහෙම අවුලක් නෑ. මම ඉතින් ගොඩක් වැඩ කරන්නෙ ටීම් එකත් එක්කනෙ. ඒ නිසා අවුලක් නෑ”

රෑ කෑමට නූඩ්ලස් තම්බමින් උන් සුභා අරුණලී වෙත හැරුණෙ වැදගත් යමක් කියන්නට ය. අරුණලී අම්මාගේ දෙනෙතේ ඇඳී තිබුණු කතාව හැඳිනුවාය. ඒ මෙනුක සහ පීරිස් පවුල සම්බන්ධ කතාබහක් බව අරුණලී තේරුම් ගත්තාය. මේ කතාබහ මග හැර යන්නට තිබුණා නම් අපූරු බව සිතුණද එය කල නොහැක්කක් නොවේද?

“පුතේ අදත් මට මෙනුකගෙ අම්මා කතා කරා”

සුභා ඒ වදන් මුවින් පිට කර අරුණලී දෙස බැලුවද එලවලු ලෑල්ල මත කපා දමා තිබූ බොංචි කරලක රැල් අරිමින් උන්නා මිස අරුණලී එයට පිළිතුරු දෙන අදිටනක නොවුන් බව සුභා දනී. එහෙත් ඇය ඉන්නේ තමා කියන දේ අසමින්. එයට සවන් දෙමිනි.

“ඒ මනුස්සය කියන ඒව කරන්න කියල මමවත් තාත්තවත් පුතාට කියන්නෙ නෑ. මිනිස්සු මොනව කිව්වත් ඒ මනුස්සය එක්ක ඉන්න පුතාට බැරි නම් අපි කීයටවත් පුතාට ඒකට බල කිරීමක් කරන්නෙ නෑ. ඒ උනාට මෙනුක පිස්සෙක් වගේය හැසිරෙන්නෙ, හැමදාම රෑට බොනවය කියල ඒ කතා කරල අඬා වැලපෙන්නෙත් අම්ම කෙනෙක් හන්ද මට නෑහුනා වගේ ඉන්න බෑ.

මේ දේවල් වල පිලිවෙලක් තියෙන්න ඕන නෙ පුතේ. පුතේ මෙනුක එවන මැසේජ් එකකටවත් උත්තර දෙන්නෙ නැති හන්ද මෙනුක ජීවිතේ විනාශ කරගනී කියල ඒ මනුස්සය කියන්නෙ. මං කියන්නෙ අපි මේක විසඳෙන විදියක් කතා කර ගමුද පුතේ?

මෙනුකට කතා කරල හරි කමක් නෑ මම කියන්නෙ මේකෙ කෙලවරක් තියෙන්න ඕන. අනික මෙනුක හිතන් ඉන්නෙ පුතා එයාට එක වතාවක් හරි සමාව දෙන්න ඕනමය කියලලු. ඒ අම්මල තාත්තල පවා හිතන්නෙ එහෙම. එහෙම කරන්න කියලා මමවත් තාත්තවත් පුතාට කියන්නෙ නෑ. ඒ උනට මටහරි බයයි පුතේ පුතාට කරදරයක් කරාවි කියල. මිනිස්සු ආදරෙන් ඉද්දි හොඳින් සැලකුවට සම්බන්දකං කැඩුණම හැසිරෙනෙ සත්තු වගේනෙ.. පුතාට වගේම ඒ දරුවටත් එයා කැමති විදියෙ ජීවිතයක් ගෙවන්න පුලුවන්කමක් තියෙන්න ඕන නෙ”

“මට මෙනුකට කතා කරන්න බෑ අම්මෙ. මට අප්පිරියයි එයාව. මං කොහොමද එයාට කතා කරන්නෙ? මොනවද කතාකරන්නෙ? අනික මම දැන් එයට කීපසරයක්ම කිව්ව මට කතාකරන්න එපා කියල. කොච්චර කතා කරත් මට එයාට කියන්න තියෙන්නෙ එකම දේ නම් මොකටද ආයෙ ආයෙ කතා කරන්නෙ?” වචන අවසානයේ හැඬුමක් පිටවුණේ හිතන්නටවත් කලියෙනි. ඒ තවමත් අරුණලීගේ හිතේ මේ සියල් වේදනාවන් වල සලකුණු එහෙමම ඉතිරි වී තිබෙන බව කියන ලකුණක් බඳු ය.

“මට නොතෙරෙනව නෙවි පුතේ. ඒත් ඔයාට ඔහොම හැමදාම මේ කරදරේ විඳගෙන ඉන්න බෑ නේද? කොතනකින් හරි ඔය වේදනාවෙන් මිදෙන්න පලවෙනි අඩිය තියන්න වෙනව නේද?

අනික මෙනුක එහෙම කරා කියල මේ ලෝකෙ ඉන්න හැම පිරිමියම එහෙමයි කියල කියන්නත් බෑ නේද? පුතාටත් යන කලක් තියෙන්න ඕන නෙ පුතේ මමයි තාත්තයි නැති කාලෙක”

අම්මා එසේ කීවද ඒ කියන තරම් පහසුවෙන් ඒ අඩිය තියන්නට බෑ නොවේද?

අරුණලී හුස්මක් හෙලුවේ හදේ වූ බරින් කොටසක් පිටකරගන්නට මෙනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles