සඳ කත් මිණි ඇස් – 22

ඔවුන් දළදා මාළිගාවට යත්දී අව්ව සැර ය. පාවහන් ගලවා තැබූ පසු යටි පතුල් පිච්චුණේ ය. සූර්යා මතුපිටින් ඇවිදින්නා සේ ඉක්මන් අඩි තබමින් ගමනාන්තය බලා ගියා ය. කොරවක්කෙකු සේ ඇවිදින ඈ දක්ත්දී ආලෝක ගේ හිතුවක්කාර දෙතොල් මත්තේ අනාරාධිත සිනහවක් නැගිණි.

මේ හැම තත්පරයක් ම මතක මාත්‍රයක් පමණක් වී අතීතයට එක් වේවි ද කියන බිය, ප්‍රථම වතාවට සූර්යා ගේ හිත බර කළේ ය.

මැදුර තුළ දී ඔවුන් ගේ හදවත් පුදුමාකාර ලෙස සන්සුන් ව තිබිණ. මිනිසුන් වඳිනා පුදනා තැන් වල මහ පුදුම බලයක්, ගුප්ත බලවේගයක් සරනා බව සූර්යා යළි යළිත් විඳිමින් සිටියා ය. ඇය වට පිට නිරීක්ෂණය කරමින් හෙමිහිට පිය නැගුවේ පවා විශ්වයේ අසීමිත ශක්තිය එක් රැස් වූ තැනෙක වන ශාන්තිදායක සමාධිය බිඳ වැටෙතැයි සැකයෙනි. නොත්‍රදාම් දේවස්ථානය තුළදීත් මෙවැනි ම,වචන වලට පෙරළිය නො හැකි අසීමිත වූ යමක් අත් විඳි බව ඇයට මතක ය.

ශ්‍රී වික්‍රම රාජ සිංහ රාජ මාළිගය, මඟුල් මඩුව වැනි ඓතිහාසික ස්ථාන දැක බලා ගනිමින් ඔවුන් වැව රවුමට එන විට සැඳෑ වී තිබිණි. සූර්යා කුඩා දැරියක සේ බෝගම්බර වැවේ මසුන්ට විළඳ කැව්වා ය. තාරාදීන්ට පාන් පෙකි කඩා දුන්නා ය. ඇය ඒ තරම් සතුටකින් උන් දවසක් මෑත ඉතිහාසය තුළ සිහි කර ගැනීම පවා අසීරු විය.

“ඔයාගෙ ආසාවල් ඉෂ්ට කරමින් යන්නෙ මේ හොඳේ. ෆ්‍රාන්ස් ගිහිං සේන් ගඟේ බෝට්ටු පැද්දා. පැරිස් වල …ඔයාගෙ ආදරේ නගරෙ ඇවිද්දා….නොත්‍රදාම් ගියා…ඊළඟට ඔන්න රෑ වෙලා නුවර වැව රවුමෙ ඇවිදින්නත් එක්කං ආව”

වලාකුළු බැම්මට බර වී ගෙන විළඳ අහුරක් විසි කරමින් සිටි සූර්යා වහා හැරී බැලුවා ය. බැස යන හිරුගේ රන් වන්  කිරණ, ඇගේ වත මත තැවරී බබළමින් තිබිණ.

“ඒ කියන්නෙ අද කැන්ඩි වල ඉන්නවද…ඇඳුං ගෙනාවෙ නෑනෙ”

“ඉන්නෙ නෑ”

ඔහු තැන්පත් පරිනත සේ ම ආදරයෙන් පරිසමාප්තියට පත් මිනිසෙකු ගේ නිවීමෙන් කතා කළේ ය.

“ඉන්න එක ඔයාට හොඳ නෑ. අපේ අම්ම ඔයා ගැන මවා ගන්න චිත්‍රය තවත් නරක් වෙන්න පුළුවන්”

ඇය හිස හරවා ඔහු දෙස බලා ගෙන ම සිටියා ය. ඔහු තරම් ඈ ගැන හිතූ කෙනෙකු මෙළොව තව නැත. ඔහු තරම් ඇය ට ආදරය කළ කෙනෙකු මතුවටත් නො ඉපදෙනු ඇත. ඔහු තරම් ඇය ට දැනුණ කෙනෙකු මතුත් සසරේ හමු නොවනු ඇත.

“ඒත් ඔයාට ඕන තරං වෙලාවක් ඉමු. රෑ කීයට හරි යන්න පුළුවන්නෙ”

දෙනෝ දාහක් සරනා ඒ සෙංකඩගල නගර මධ්‍යයේ දී සූර්යා ඇස් වලින් ආලෝක ව සිප ගත්තා ය.

චාන්දනී සිටියේ ආලෝක ගැන අපමණ කේන්තියකිනි. ඔහු ඒ තරම් හිතුවක්කාර වෙතැයි ඇය කොහෙත් ම සිතුවේ නැත. වෙනදාට ඔහු එහෙම හැසිරී නැත. ඉන්ද්‍රාණි කුමක් සිතන්නට ඇත්දැයි ඕ තොමෝ විස්සෝපයෙන් සිතුවා ය. 

“කොල්ලො ඔහොම තමයි චන්දි. ගණං ගන්න එපා”

කියා මූණට කීවත්, ඔවුන් ව නො සලකා හරිමින් ආලෝක ගෙදරින් පිට ව ගිය එක මූණ ට දමා ගසන්නා වැනි ක්‍රියාවකැයි ඇයට සිතේ. ඇරත් සන්දීපනී ගේ මූණට ඔහු අර වගේ කතා ටිකක් නොකියා ඉන්නට තිබිණි.  සන්දීපනී අලුත් පන්නයේ කෙල්ලකි. ඇය මේ යෝජනාව ප්‍රතික්ෂේප කරාවියි චාන්දනී බියෙන් සිටියා ය.

නමුත් මුලින් මේ යෝජනාව ගැන තිබූ අකමැත්ත ද දැන් සන්දීපනී කෙරේ බලපාන්නේ නැත. ඇය කෙසේ හෝ ආලෝක ව ලබා ගන්නවා ය යන සිතිවිල්ලට වැඩෙන්නට හැරියා ය. ලබා ගැනීම හා දිනා ගැනීම කියන්නේ දෙකකි. බලෙන් වුණත් ලබා ගන්නට පුළුවන. නමුත් එහි දිනා ගැනීමක වන සතුට බලාපොරොත්තු විය නො හැකි ය.

ආලෝක ගෙදර පැමිණියේ තරමක් රෑ බෝ වූ පසු ය. නමුත් ඒ මහා රැයක් නො විණ. චාන්දනී කේන්තියෙන් ඉවත බලා ගත්තා ය. නමුත් ඇගේ හිතේ ඔහු ට කියන්නට, නො එසේ විණි නම් ඔහු ට බණින්නට කාරණා එමට විය. 

“හරිම කැත වැඩක් ඔයා කළේ”

අම්මා පුතා ව අල්ලා ගත්තේ උදේ තේ මේසයේ දී ය. ඇය කියන්නේ කුමක් ගැන දැයි ඉඳුරා දැන උන් ආලෝක වචනයක් හෝ නො කියා කර බා ගත්තේ ය. නමුත් චාන්දනී ඉන් වඩාත් අනුබල ලැබුවා ය.

“ඉන්ද්‍රාණි ඇන්ටි මොනා හිතයිද කියල ඔයා හිතුවද…අපිට හැමදාම හිටියෙ ඒ මිනිස්සු. ඔයාගෙ තාත්තාගෙවත් මගෙවත් නෑදෑයො නෙවෙයි. මොන දුකක් කරදරයක් වුණත් දැන ගත්ත ගමන් දුවගෙන ආවෙ ඉන්ද්‍රාණි ඇන්ටි. මට මතකයි එක සැරයක් ඩෙංගු හැදිල ඔයාව ළමා වාට්ටුවෙ නතර කළා. ඇඟේ ලේ වතුර කරගෙන ඔළුව තෝන්තු වෙලා ඉස්පිරිතාලෙ ඔයාව තියං හිටපු මං වෙනුවෙන් හැම දේම දුවල පැනල කළේ ඒ මනුස්සය. රස්සාවට යන ගමන් දවසට තුන් පාරක් ඉස්පිරිතාලෙ බඩ ගාන්න හිටියෙ ඒ මනුස්සය විතරයි. ඔයා එහෙම කළේ ඒ මනුස්සයට කියල මතක තියා ගන්න”

“ඉතිං මං මොනාද කළේ…”

ආලෝක තරමක් නො රිස්සුමෙන් ඇසුවේ ය. චාන්දනී පුතා දෙස රවා බැලුවා ය. කොහොමටත් තරමක් ආඩම්බර ගැහැනියක වන ඇය හිතේ කේන්තියක් ඇති විට හිස කෙළින් කරගෙන හිඳින්නේ මොණරියක සේ ය.

“ඔයා කළේ මොනාද කියල ඔයා දන්නව ඇතිනෙ…”

“අම්ම ඔය කියන්නෙ මං අර ගෑනු ළමයට කියපු දේවල් ගැන නං…ඒ ට්ක තමයි අම්මෙ මට කියන්න තියෙන්නෙ. නිකං බොරුවට ඒ ළමයට බලාපොරොත්තු දෙන්න ඕන නෑනෙ..කවදාවත් මං ඒ ළමයව බඳාන්නෙ නෑ. ඉක්මනටම මං සූර්යා ව බඳිනව”

“ඔයාට ඒක කරන්න වෙන්නෙ මගෙ මිණිය වළලල තමයි”

“අම්ම එච්චර මුරණ්ඩු වෙනවනං මට මේ විදිහට ජීවිත කාලෙම ඉන්න වෙයි. අවුරුදු හතළිස් තුනක් වෙනකල් මං තනියම හිටියෙ සූර්යා ගෙ අම්මගෙ මුරණ්ඩු කම හින්දා. අම්ම නිසා ඉතුරු ටිකත් එහෙම ඉන්න වෙනවනං…කරන්න දෙයක් නෑ ඉතිං…ඒක මගෙ ලැබීම තමයි”

චාන්දනී දෑත් පපුවේ බැඳ ගෙන අහංකාර කටුස්සියක සේ ඉවත බලා ගත්තා ය. ආලෝක යම් දෙයක් කීවොත් ඒ නො කර සිටින්නේ නැති බව ඇය දනී. ඇයත් එක්ක ම, තාත්තා නැතිව හැදුණා ට ඔහු ට වැඩිපුර තියෙන්නේ දේශප්‍රේමියා ගේ ගති ගුණ ම ය. ඒ කාලේ ඔහු ගේ හිතුවක්කාර කම් අස ඇය කට නො හොල්ලා බලා සිටියා ය. සමහර වෙලාවට කෑ ගසා හඬා දොඩා රණ්ඩු කොට හෝ ඔහු ගේ මාර්ගය වෙනස් කරන්නට සිත් වී ද, එසේ කරන්නට තරම් දිරියක් ඇයට වූයේ නැත. එහෙම නොකළ එක ගැන ඕ හදවතින් ම පසු තැවෙන්නට ගත්තේ දේශප්‍රේමියා ටයර් සෑයක අවසන් ගමන් ගිය පසු ය. ඔහු ළඟ මදු මලක් තරම් මුදු ගැහැනියක වූ චාන්දනී, යකඩ ගැහැනියක බවට පත් වන්නේ අවසාන වතාවට නොදැවුණ කොටස් ඉතිරි වූ දේශප්‍රේමියා ගේ දේහය දුටු ඉක්බිති ය. එදා පටන් වෙහෙස නො බලා ඈ වැඩ කළේ ඔවුන් ගේ පුතුන් ට ඒ ඉරණම අත් නොවනු පිණිස ය. පියා ගේ ඇතැම් දැඩි ගති ආලෝක වෙතින් දකිනා ඇතැම් මොහොතක චාන්දනී තිගැස්සී යයි.

පුතා අවුරුදු හතළිස් තුනක් වන තුරු අවිවාහක ව සිටියදී ඇය ඇස් කන් පියා ගෙන බලා සිටියා නොවේ. 

“මං බඳින්නෙ නෑ අම්මෙ. අම්ම ඔයා විකාර කරන්න ලෑස්ති වුණොත් එහෙම මං ගෙදර ඉන්න එකත් නැති වෙන එකයි වෙන්නෙ හොඳේ”

වතාවක් මගුල් කපුවෙකු ලවා ඔහු ට මනාළියක සොයා ගෙන ඈ බලන්න යන්නට කතා කළ වෙලේ ආලෝක දැඩි වූයේ එසේ කියමිනි. චාන්දනී ට කෙසේවත් පුතු ව මනාලිය බැලීම සඳහා කැටිව යා නො හැකි විය. 

“එහෙනං ඉතිං මොන මගුලටද මගුල් හොයන්න කියල කිව්වෙ..”

කපුවා ඇයට බැණ වැදී ගියේ ය. චාන්දනී ඉන් පසු මනාළියන් හොයන්නට කටයුතු නොකළා ය.ඔහු ට ඕනෑ විදිහේ කෙනෙක් හොයා ගනීවියි හිත හදා ගත්තා ය. මගුල් තුලා කාරණා අපිට ඕනෑ වූවා ට ම සිදු නොවන බව ද ඒවා සිදු වන්නටත් වෙලාව පැමිණිය යුතු බව ද ඕ මෙනෙහි කළා ය. ගෙදරට ම පැමිණි ඇතැම් විවාහ යෝජනාවක වුව ආලෝක ට කලින් ඇද පළුද්දක් දුටුවේ චාන්දනී ය. සන්දීපනී ගැන යෝජනාවට වූයේ ද එය ම ය. 

චාන්දනී කැමති වූ එකේ ආලෝක ව කෙසේ හෝ සිය පවුලට සම්බන්ධ කර ගත යුතු යයි ඉන්ද්‍රාණි තරයේ සිතුවා ය. ඒ ගැන සිය දියණියට උපදෙස් ද දුන්නා ය. 

“ආලෝක යාළු වෙලා ඉන්නවයි කියන ගෑනිව හම්බ වෙලා කිව්වනං හරි ඔයා එයාව මැරි කරන්නයි ඉන්නෙ කියල. එතකොට ඔය හිතේ තියෙන දේවල් අකුළගනීනෙ”

නමුත් සූර්යා ඉන්නා තැනක් හෝ ඇගේ දුරකතන අංකයක් චාන්දනී දැන සිටියේ නැත.

“ආන්ටි එයාව දැකල තියෙනවනෙ. අපි එෆ් බී එකේ සර්ච් කරමුකො. සමහර විට ෆොටෝ එකකින් හරි ආන්ටිට එයාව අඳුරගන්න පුළුවන් වෙයි”

සන්දීපනී චාන්දනී සමගින් එක්ව මෙහෙයුමක් දියත් කළා ය. එය සාර්ථක වන්නට ඒ හැටි වෙලා ගියේ නැත. සන්දීපනී ගේ මුහුණ මත ජයග්‍රාහී සිනහවක් විය.

“ආන්ටි බය වෙන්න එපා. ඉතුරු ටික මං කර ගන්නං”

සන්දීපනී සිය හැකියාව ගැන විශ්වාසයෙන් යුතු ව කීවා ය. ඇය එසේ ම කළා ය. සූර්යා ට මැසේන්ජර් ඔස්සේ ඇමතුමක් දුන් සන්දීපනී ඇය ව හඳුන්වා දුන්නේ අභිමානයෙනි.

“මං සන්දීපනී. ආලෝක මැරි කරන්න ඉන්නෙ මාව. මට ඔයත් එක්ක කතා කරන්න වැදගත් දෙයක් තියෙනව”

සූර්යා ගේ ගැහැනු හද මඬලෙහි සියුම් ගැස්මක් ඇති වූ බව ඇත්ත ය. නමුත් ඇය කට කොනකට සිනහවක් නගා ගත්තා ය.  

“කියන්න සන්දීපනී”

“මෙහෙම නෙවෙයි. මීට් වෙලයි මට කතා කරන්න ඕන”

“කවදටද…කොයි වෙලාවටද…”

“දැන් වුණත් කමක් නෑ”

“ඕකේ”

ඒ අනුව කතිකා කර ගත් කුඩා අවන් හලෙහි දී දෙදෙන හමු වූහ. සූර්යා මේ හමුව ගැන ආලෝක ට කියන්නට ඉක්මන් නොවුණා ය. සන්දීපනී යෝජනා කළේ ද ආසන්න වේලාවකි. අනිත් අතට සූර්යා ගේ සිත්හි බියක් වූයේ නැත. අම්මා ගෙන ආ සන්දීපනී ගැන විවාහ යෝජනාව ගැන ආලෝක ඇය ට කියා තිබිණි.

සැබවින් සූර්යා ව දුටු සන්දීපනී තුළ මඳ දෙගිඩියාවක් ඇති විය. ඇය බලාපොරොත්තුවෙන් ආවේ ඡායාරූප වල කෙසේ වතුදු මැදි වියේ ගැහැනියකි. නමුත් සූර්යා වෙතින් විද්‍යමාන වූයේ සන්දීපනී ටත් වැඩි ප්‍රභාවකි.

“චාන්දනී ආන්ටිමයි මේ ප්‍රපෝසල් එක ගෙනාවෙ. මට ආලෝක ව මැරි කරන්න වෙනව”

සන්දීපනී වෙතින් දිස් වූයේ ඇය දැනටමත් ඔහු ගේ පතිණිය වී ඇති බවට හැඟීමකි. සූර්යා දෙතොල් තද කරගෙන සිනහවක් පෑවා ය.

“කමක් නෑ”

ඉතාම කෙටි වචන දෙකේ ඒ පිළිතුරෙන් ඇය ව උස්සා පොළොවේ ගැසුවා සේ සන්දීපනී ට දැනිණ.

“එ් කියන්නෙ..ඔයා මේ ආලෝක ව අල්ලගෙන ඉන්නෙ එහෙම උවමනාවකට නෙවෙයි. එයාගෙ සල්ලි වලට…මං හරි නේ…”

සන්දීපනී ගේ මුවග වූයේ සමච්චල් සිනහවකි. සූර්යා සන්සුන් ව ඇගේ මූණ දෙස බැලුවා ය. 

“සල්ලි කියන්නෙ ඔයා හිතන තරං මට අමුතු දෙයක් නෙවෙයි නංගි. ගස් වලින් කඩන්න පුළුවන් කියල හිතෙන තරමට පොඩි කාලෙ ඉඳලම  සල්ලි දැකපු කෙනෙක් මං. මට ආලෝකව නැති වුණෙත් අපිට තිබුණ ඒ සල්ලි නිසා”

සන්දීපනී ට ඒ වගක් පිළිගන්නට ඕන වුණේ නැත. ඇයට ඒත්තු ගන්වන්නට සූර්යාට ඕන වුණේත් නැත.

“එයා ඔයාව මැරි කළත් ආදරේ කරන්නෙ  මටයි කියල මං දන්නව. එයා ඔයාව මැරි කළත් මං එයාට ආදරේ කරනව. ඒක නිසා…ඔයා එයාව මැරි කරනවයි කියන එක ඔයාගෙ දෙයක්. මං එයාට ආදරේ කරනවයි කියන එක මගෙ දෙයක්”

සන්දීපනී ට දැනුණේ පණ පිටින් ඇය ගල් ගැහුණා සේ ය. සූර්යා ගේ මුහුණේ කිසිදු කැළඹීමක් නැත. බියක් හෝ තිගැස්මක් නැත. 

“ආලෝකව හොඳට බලා ගන්න..මට එච්චරයි ඔයාගෙන් ඉල්ලන්න තියෙන්නෙ”

මේ ස්ත්‍රී පෞරුෂය ඉදිරියේ තමන් ගැන සන්දීපනී ට දැනුණේ කුරා කුහුඹු හැඟීමකි. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles