ඉනික්බිති සිදු වූ සියල්ල සිනමා පටයක රූපරාමු සේ ය. සැබෑ ජීවිතයක් මත සිදු විය හැකි යයි සිතිය නො හැකි තරම් ය. සිනමා පට වල දක්නා සියලු සිදුවීම් සැබෑ ජීවිත මත්තෙහි යම් අවස්ථාවක සිදු විය හැකි බව අපට විශ්වාස කරන්නට සිදු වන්නේ ද එවන් මොහොත වල ය.
රටින් පලා යාමට උත්සාහ කළ අවස්ථාවේ දී ගයාත්‍රි ව ගුවන් තොටුපොළෙහි දී අත් අඩංගුවට ගැනිණ. ඒ බරපතල චෝදනාවක් මත ය. සිය පියාගේ දෙවන බිරිඳ වන ගයාත්‍රි, ඔහු ගේ පළමු බිරිඳ වන උදාරි ව ඔවුන්ගේ ම ගෙදර සිරකාරියක බවට පත් කොට ගෙන ඇති සිදුවීම ගැන දැනුවත්ව සිට ඇති බව සමනල් ගේ පැමිණිල්ලේ සඳහන් විය. ඇය නොව ඩිලන් විසින් එය සිදු කරන ලද බව ගයාත්‍රි පුන පුනා පැවසී ද එවන් අපරාධයක් කිරීම සේ ම එවැන්නකට අනුබල දීම ද බරපතල වරදක් සේ ගෙන විනිසුරුවරිය විසින් ගයාත්‍රි ව රක්ශිත බන්ධනාගාරගත කෙරිණ. ඇය රටින් පිටත් වීම වළක්වමින් තහනම් නියෝගයක් ද පැනවිණ.
රිය අනතුරෙන් පසු සිදු කළ සැත්කමෙන් අනතුරුව ඩිලන් සිහි ලැබ සමනල් සමගින් කතා කළේ ය. සිහිය ලද ගමන් ඔහු ට සිහි වූයේ උදාරි සිරකොට ඇති බව යි. ජීවිතය කොයි මොහොතක කොයි අතට හැරේවි ද කියා නිශ්චිත වූයේ නැත. ඒ සිහි ලැබීම ද ඔහු ට දැනුණේ මිය ගොස් යළි ඉපදීමක් ලෙසිනි. අසීරුවෙන් අල්වා ගත් හුස්ම යළි ගිලිහී යාමට පෙර සමනල් ගේ හිත් බර හෑල්ලු කළ යුතු යයි ඔහු ට සිතිණ. මැරෙන්නේ නැති මිනිසෙකු සේ ගත කළ ජීවිතයක එක නවාතැන්පොළක දී මියෙන්නට නියමිත බව ඕනෑ ම මිනිසෙකු සේ ඩිලන් ට ද තේරුම් යමින් තිබිණ. තමන් සිටිනුයේ මරණයේ දොරකඩ බව ඔහු ට දැනී නො දැනී යන්නට විය. සිරුර පුරා වූයේ ඒ තරම් වේදනාවකි. රෝම කූපයක් ගානේ, රුධිර වාහිනියක් ගානේ, ස්නායු තන්තුවක් ගානේ, පේශි තන්තුවක් ගානේ ඒ රිදුම ඔඩුදුවා තිබිණ. ජීවත් වෙනවාට වඩා මියෙන එක සුවපහසු බව එහෙව් තත්වයකදී නො සිතී තියෙන්නේ නැත. මරණය තෝරාගන්නට කලින් සමනල් වෙනුවෙන් උදාරි නිදහස් කළ යුතු යයි ඩිලන් ගේ සිත කීවේ ය. එසේ නොවුව හොත් දිනෙක කාත් කවුරුත් නැති උමතු ගැහැනියක සේ කවුරුන්වත් නොදැන, අඳුරු බිංගෙයක් තුළ ඇය මියයනු ඇත. මිනිසෙකුට මැරෙන්න හෝ නිදහසක් තිබිය යුතු යයි ඒ මොහොතේ ඩිලන් ප්‍රත්‍යක්ෂ කරගෙන සිටියේ ය. මියෙන්නට මොහොතකට හෝ පෙර තමන් අතින් සිදු වූ එක වරදක් හෝ ඒ ආකාරයෙන් නිදොස් කරගන්නට ඔහු ට ඕනෑ වූයේ ය. ඔහුගෙන් සමනල් ට සිදු වූ වරද!
ඊට පස්සේ සියල්ල සිහිනයකි. ඒ සිහිනය තුළ ඔහු හිතේ හැටියට විවේක ගත්තේ ය. නිදාගත්තේ ය. විවේකයක් හෝ නින්දක් ගැන නො හිතා ව්‍යාපාර ගොඩනගන්නටත් මුදල් රැස් කරන්නටත් කැප වූ ජීවිතයක කෙළවර සොබා දහම ඔහු ට දීර්ඝ වූ විවේකයක් ලබා දෙන්නට කැමති වී සිටියේ ය. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඩිලන් රණසිංහ ට ඒ තීන්දුව පිළිගන්නට සිදු විය. ඔහු ගේ යටිහිත නිදි ලැබුවා නොවේ. ඔහු සක්‍රියව සිටියදී යටපත් වී පැවති යටි හිත ඩිලන් ට දැනෙන සේ ක්‍රියා කරන්නට පටන් ගත්තේ ඔහු අක්‍රිය තත්වයේ දී ය. ඔහු ඉදිරියේ මුළු අතීතය ම දිගහැරී තිබිණ. ආපසු හැරී බලත්දී සතුටු වෙන්නට හෝ සිනහ වෙන්නට තැනක් ඒ මාර්ගයේ කොතැනකවත් නොවූ තරම් ය. ඔහු සිදු කොට තිබෙන්නේ ම අකටයුතුකම් ය. ඔහු ගේ හිතේ තිබුණේ ම ඊර්ෂ්‍යාව, ක්‍රෝධය හා වෛරයයි. සැලසුම් කොට දිවාකර ගේ ව්‍යාපාරය බිඳ දැමූ අයුරු ද, සැලසුම් කොට ඔහු ගේ රථය අනුරකට ලක් කොට දිවාකර මරා දමන්නට උත්සාහ කළ අයුරු ද උඩු හිත අමතක කොට තිබුණාට යටි හිතට අමතක වී තිබුණේ නැත. දිවාකර ගේ අනතුරත් තමන්ගේ අනතුරත් මාරුවෙන් මාරුවට ඩිලන් ගේ හිතේ මැවිණ. අනතුරු දෙකෙහිම වේදනා කැක්කුම් එකවර ඔහු ට විඳින්නට සිදු විය. එය මරණීය වේදනාවකි. කායික වේදනා සියල්ලට වඩා මරණීය මානසික වේදනා ප්‍රබල ය. බලවත් ය.
ඔහු මරණාසන්නයි කියා ඩිලන් ට සිතිණ. යමක් කතා කරන්නට, සමනල් එක්ක හෝ ගයාත්‍රි එක්ක ටිකක් කතා කරන්නට ඔහු ට අවැසි විණි. නමුත් එසේ කළ නො හැකි වූයේ ය. ඔහු සිටින්නේ රෝහලක වෛද්‍ය සහාය මත බව යටිහිත දැන සිටියේ ය. මොනවා සිදු වුණත් එය පාලනය කරන්නට ඔහු ට නො හැකි බව ද යටි හිත ඔහු ට අවධාරණය කළේ ය. ඒ කියන්නේ දැනටමත් ඔහු මිය ගොස් ඇත්තේ ද යන පැනයට නියත පිළිතුරක් යටිහිත වුව දැන නොසිටියා විය යුතු ය.
දෙවන සැත්කමෙන් පසු ඩිලන් කෝමා තත්වයකට පත් විය. සමනල් වඩාත් මානසිකව කඩා වැටෙන්නට වූයේ ය. කෝමා වීම පිළිබඳව ඔහු අන්තර්ජාලය සිසාරා කරුණු සෙව්වේ ය. ඔහු ට දැනෙන්නට වූයේ තමන් අකර්මන්‍ය වීගෙන යන්නා සේ ය.
සමනල් දවසකට තුන් වරක් දැඩි සත්කාර ඒකකයේ වීදුරු දොර ළඟ පෙනී සිටියේ ය. දවසකට එක වරක් පමණ ඔහු ට ඇතුළට ගොස් පියා දැකගත හැකි විය. පපුව පැලෙන්නට එන වේදනාවක්, ඔහු දකිත්දී සමනල් තුළ ඇති වේ. ඔහු කිසිදාක තාත්තාට කීකරු වූ හෝ ආදරය කළ හොඳ පුතෙකු නොවූ බව සමනල් දනී. තාත්තා ගේ හිත රිදවීමෙන් කුරිරු සතුටක් ලැබූ අවස්ථා ඕනෑ තරම් ඔහු ගේ අතීතය පුරා වේ. එය එක්තරා ආකාරයක ද්වේශයක් හෝ වෛරයක් සේ ය. අම්මා සිටියා නම් පිය පුතු අතරේ සාමයේ සෞම්‍ය වූ පාලමක් තැනෙන්නට තිබිණ. අලුතෙන් පත් වූ අම්මා නිසා සිදු වූයේ සමනල් තව තවත් තාත්තා ගෙන් දුරස් වූ එකයි. ඔවුන් අතරේ මත ගැටුම් පැවතිණ. ඔහු කිසි දා තාත්තා පිළිගත්තේ නැත. ඔහු අම්මා ගේ ජීවිතයට කළ විනාශය දෑසින් ම දැකගත්තා ට පස්සේ තාත්තා මනුශ්‍යත්වයට කෙතරම් ඈතකින් ජීවත් වූ තිරිසන් සත්වයෙකු ද කියා ඔහු ට සිතිණ. නමුත් මේ විදිහට ඔහු ගේ නිසල සිරුර දෙස බලා සිටියදී, තමන් කොයි තරම් තාත්තා ට ආදරය කොට ඇත්ද යන සත්‍යය සමනල් ඉදිරියේ නග්න ව සිටගනී. සමහර විට අප ආදරය කරන්නේ අනෙකාට වුව නො දැනෙන පරිද්දෙන් වීම කෙතරම් විශ්මිත ද?
ඊටත් වඩා සමනල් ට වේදනා දැනෙන්නේ අම්මා ප්‍රතිකාර ලබන වාට්ටුව වෙත ගිය විට ය. ශාරීරික වශයෙන් ප්‍රතිකාර කරන අතරේ ම ඇයගේ මානසික සෞඛ්‍යය යථාවත් කිරීම වෙනුවෙන් ද වෛද්‍යාධාර ලබා දේ. බොහෝ මානසික රෝගීන් සේ ඇය කලබල කරන්නේ නැත. ඇතැම් විට එසේ කලබල කළ යුගයන් සිරකාරියක ලෙස ගෙවූ දස වසර තුළ තිබෙන්නට ඇත. නමුත් කාලය වඩාත් සුවපහසු තත්වයකට ඇය පමුණුවන්නට ඇත. සුවපහසු යනු ඒ පීඩනය හා දරුණු හුදෙකලාව දරා ත හැකි මානසික මට්ටමයි!
“අම්මට මාව අඳුරන්න බැරිද…මං අම්මගෙ පුතා සමනල්…”
ඇය දකින්නට යන හැම වතාවක ම සමනල් උදාරි අස දැවටීගෙන එසේ කියයි.
“සමනල්…සමනල්…”
එතකොට ඇය සිනහ වෙවී එසේ මතුරන්නී ය.
“මට අම්මව කොච්චර මිස් වුණාද…ඔයත් දරුවව ඈත් කරපු අම්ම කෙනෙක් විදිහට කොච්චර විඳවන්න ඇද්ද…මං ඔයාව බලාගන්නව අම්මෙ…තාත්ත හම්බ කරපු සන්තකේම වියදං කරල හරි මං අම්මව සනීප කරගන්නව”
ඔහු ගේ කම්මුල් දිගේ කඳුළු වැගිරේ. ඒ වෙලාවට උදාරි ඉදිරියේ සිටින්නේ කුඩා දරුවෙකි. සමනල් තුළ සිටිනා කුඩා දරුවා හා වර්තමානයේ ඔහු වගකීම් සහගත පිරිමියෙකුගේ තත්වයට වැඩී ඇති බව වෙන් කොට පෙන්වා දෙන සාධකය තඹරු ය.
“මට ඔයාව තේරෙනව. මං ඔහොම තත්වෙකට මූණ දුන්නනං පිස්සියක් වෙලා නතර වෙයි. ඔයාට එහෙම පිස්සු හදාගන්න බෑ සමනල්. අම්මයි තාත්තයි දෙන්නවම සනීප කරගන්න ඕන ඔයා. එහෙං ගයාත්‍රි රිමාන්ඩ් එකේ. එතන ලොකු නඩුවක් තියනව. හැම වැරැද්දක්ම කරපු දෙන්නගෙන් දඬුවම් දෙන්න කියල පුළුවන් තත්වෙ ඉන්නෙ එයා විතරයි. එහෙං කම්පනි එක. ඔයා මේ හැමදේම විසඳගෙන එනකොට කම්පනි එක ඩවුන් වෙලා තිබුණොත් මොකද කරන්නෙ…ඒක නිසා ඔළුව කෙළින් තියාගෙන කල්පනාවෙන් වැඩ කරන්න”
මුල් දින කිහිපයෙන් පසු සමනල් නැවත ද මත්තෙගොඩ සිට සිය ඇනෙක්ස් එකට ගියේ ය. ගෙදර ඉන්නට ඔහු ට තවමත් හිත හදාගත හැකි වූයේ නැත. ඔහු ගැලැක්සි ගෲප් ඔෆ් කම්පනීස් වෙත එන්නේ තඹරු ගේ කටේ බලේට ය.
“දවසකට සැරයක්හරි ඔයාගෙ හෙවනැල්ලක්වත් වැටුණෙ නැත්තං ලොකු ලොකු දේවල් වෙන්න පුළුවන් සමනල්. පාළු ගෙවල්වල වළං බිඳින්න කාගෙ අවසරයක්ද කියල හිතන මිනිස්සු තමයි වැඩි. දැනටමත් බලන්න හොයන්න කෙනෙක් නෑනෙ කියල ඕනතරං හොරකං සිද්ද වෙනව ඇති. ඒක නිසා හැමදේම අතරෙං ඔයා කම්පනි එක ගැනත් බලන්න ඕනෙ”
තඹරු දවසකට වතාවක් හෝ සමනල් ගේ අම්මා බලන්නට රෝහලට ගියා ය. කාර්යාලයේ වැඩ කටයුතු ඇයගේ සීමාවටත් එහා සොයා බැලුවා ය. එහෙම කරන්නට ගිහින් අනිත් අයගේ දෝශ දර්ශනයට ලක් වූ අවස්ථා ද නැතුවා නොවේ. නමුත් නරක කාල වලදී ඕනෑ ම දෙයක් දරා ගත යුතු යයි දැන් ජීවිත අත්දැකීම් විසින් ඇයට පවසයි. කාර්යාලයේ සිට ඇනෙක්ස් එකට ගොස්, ගොඩගැසී ඇති සමනල් ගේ කිළිටි රෙදි පිළි සෝදා, පුස් ගඳ යන්නට අතු ගා අස්පස් කොට එන්නේ ද ඇයයි. දවල්ට කෙසේ හෝ ඇගේ බත් පතින් ම ඔහු ට ටිකක් කන්නට දී, රෑ කෑමට කෙසේ හෝ ඔහු ගෙදර ගෙන්වාගෙන බත් ටිකක් කන්නට දී යවයි. මේ කාලයේ දී සමනල් ට මුළුමනින් ඔහු අමතක වූ තරම ය. එහෙම එකේ තඹරු ගැන බලන්නට හොයන්නට වෙලාවක් තිබුණේ ම නැත. නමුත් ඔහුටත් එක්ක ම ඇය ඒ සියල්ල සිදු කළා ය. ඔහුව බලාගන්නට තරම් ධෛර්යයක් ඇය සතුව තිබිණ.
“දිගට කල්පනා කරගෙන යනකොට මගෙ ඔළුව බ්ලොක් වෙලා වැඩ කරන්නැතුව යනව තඹරු. තාත්ත ජීවිතේ අත්අරියිද කියල මට බයයි. හිටියත් මේ තත්වෙන් උදාරි එයාව බලාගනීද…අම්ම කොච්චර කාලයක් මේ අසනීප තත්වෙන් ඉඳීද…මට ඒ දෙන්නම බලාගන්න පුළුවන් වෙයිද…මං කොහොමද ඒක කරන්නෙ…ඒව හිතනකොට…මට පිස්සු වගේ…”
සමනල් අතැඟිලි වලින් නළල පිරිමැද ගත්තේ ය. තඹරු ඔහු ගේ හිසකේ අතරේ මුදු ලෙස අතැඟිලි යැව්වා ය.
“සමනල්. මං ඉන්නවනෙ. ඒකට තමයිනෙ මං ඉන්නෙ”
“ඔයා කොහොමද තඹරු ඒ දෙන්නව බලාගන්නෙ…අම්මව කොහොම වුණත්…මං දන්නව ඔයාට බෑ තාත්තට එහෙම සලකන්න. එයා ඕගොල්ලොන්ගෙ පවුල මෙහෙම තැනකට ඇදල දාපු මනුස්සය”
“ඔයා දන්නව තාත්ත මොනා කළත් අපේ අම්ම කොහොමද එයාට සැලකුවෙ කියල. මං ඒ අම්මගෙ දුව සමනල්. අපි කොහොමහරි මේකට මූණදෙමු”
ඒ කුඩා සියුමැළි සිරුර ඇතුළේ ඒ තරම් චිත්ත ශක්තියක් ගැබ් වී ඇතැයි ඔහු සිහිනෙනුදු සිතුවේ නැත. නමුත් සියල්ලෙහි පාලනය ඒ වන විට ද තඹරු ගේ දෑත් මත්තෙහි විය.