මා හද මට නැති විට -09

ලාවන්‍යාගේ දික්කසාද තීන්දුව ලැබිණ. වන්දි මුදල ද නිවස ද ලැබී නිදහසේ තීන්දුව අසන්නට ලැබිණ ද ඇය සිටියේ වෙනත් ලොවක ය. සතුටු විය යුතු ද දුක් විය යුතු ද නොදන්නා මොහොත තනිකරම හිස් මොහොතක් බව ඇයට දැනෙමින් තිබිණ. මීට වසර තුනකට ඉහත දවසක පෝරුවට නගිද්දී පවා සිටියේ එවැනිම මොහොතක් පසු කරමින් යැයි ලාවන්‍යා සිතුවා ය. වෙනත් මනාලියන්ට මෙන් ඇයට පිපිරෙන තරමේ ශෝකයක් හෝ සන්තෝසයක් තිබුණේ නැත. භවන්ත කවුදැයි ඇය ඒ වෙද්දී පවා දැන සිටියා ය.

“අඩුම තරමේ ඔයා මටයි මධුරටයිවත් කියන්න තිබ්බා නංගි ඕකා ගැන.”

පොඩි අක්කා එසේ පැවසුවේ දික්කසාදය ගැන සිතන කාලයේ ය. අක්කලා දෙන්නා හෝ අයියලා තමන් අත් නොහරින බව ලාවන්‍යා දනියි. එහෙත් භවන්තගේ යථා ස්වරූපය දිග හැර ගන්නට නොහැකිව අතරමං වූ කාරණාව ලාවන්‍යාට තවම පැහැදිලි නොවේ.

“භවන්ත පුදුම හොඳයි කියල අපිට බොරු කියන්න නංගිට තිබ්බ හේතුව මට තාම හිතාගන්න බෑ.”

ලොකු මස්සිනා වූ කල්ප එහෙම කියද්දී ලාවන්‍යා කළේ හිනැහීම ය. කල්ප අයියා බොහෝ නිස්කලංක මිනිසෙකි. පවුලේ තාත්තා වී ඇති ඔහුට මේවා කියන්නට තිබූ බව ද ඇත්තකි. එහෙත් ලාවන්‍යා ගොළු වූ හේතුවක් තිබිණ.

“මධුර ටිකට් දාගෙන ඇවිල්ලා ඕකගෙ බෙල්ල කඩයි කියලා චූටි බය වෙන්න ඇති.”

එදා පොඩි අක්කා වීඩියෝ ඇමතුමෙන් එබී කොක්සන් නැගුවේ තත්ත්වය සමනය කරන්නට ය. එහෙත් ඇගේ කතාව යම්තාක් දුරකට ඇත්තකි. අසාධාරණය සහ රැවටීම තරයේම ප්‍රතික්ෂේප කරන මධුර අයියා එවැන්නක් කරන්නට වුවත් නොපසුබට ය. අනෙක් අතට ඔහු ලාවන්‍යාට සලකන්නේ ඔවුන්ගේ දියණියගේ මට්ටමෙන් තබා ය.

“මං ඒවා නොකියා හිටියේ අයියලා දෙන්නා නිසා තමා. ඒ එයාලා භවන්තට රණ්ඩු කරයි කියලා නෙවෙයි. මට බය හිතුණා. ඒ දෙන්නා එච්චර හොඳට ඉන්නකොට භවන්ත මෙච්චර නරක ඇයි කියලා අම්මා දුක් වෙයි කියලා.”

කාරණා සැඟවීම මිය යන තුරු කරන්නට අසීරු ය. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් යථාව ගැන අන් අයට කියන්නට වූ දවස් ලාවන්‍යා පසු කර ගත්තා ය. අද මේ තීන්දුවෙන් පසු ඒ යථාව පිළි ගන්නට ඇයට සිදු වේ.

“භවන්ත ඕපාත”

ඒ පරිච්ඡේදය වසා දැමිය යුතු පරිච්ඡේදයකි!

“ඔයාට භවන්තට කතා කරන්න හරි මොනා හරි කියන්න තියද නංගි?”

උෂාන් ඇසුවේ ප්‍රවේසම් හඬකිනි. නඩු කටයුතු අවසන් වන තුරුම සෙනුරි සහ උෂාන් මිතුරිය සමඟ රැඳීම පුරුද්දක් කර ගෙන තිබිණ. අද මේ කතාවේ අවසානය ය. භවන්තට කියන්නට ඇති දෙයක් කියා කතාව නිමා කර දැමිය යුතු බව උෂාන් සිතී ය.

“ඕකට නම් කියන්න ඕන අපි.”

සෙනුරි දත් කූරු සපයි. පාරමී කිසිවක් නොකීවා ය. මිතුරිය වුවත් මේ ඇගේ සේවා දායිකාව ය. ලාවන්‍යාට රිසි දෙයක් කරන්නට ඉඩ හැර පාරමී එහෙමම සිටියා ය.

“භවන්ත! ලාවිට කතා කරන්න ඕනලු.”

උෂාන් හඬ ගැසී ය. භවන්ත හැරී ආවේ ය. ලාවන්‍යා මිතුරන්ගෙන් ඈත් වී පෙරමඟට ගියා ය. පාරමී සහ අනුත්තරා ලෝකයේ ඇති සියළුම දෝස්මුර නගද්දී ප්‍රේමයෙන් බැඳුණු තරුණයා දෙස ලාවන්‍යා මොහොතක් බලා සිටියා ය. ඔහු වයසින් වැඩි කථිකාචාර්යවරියක සමඟ බැඳී සිටි දවස් ඇයට සිහි විය. දඩිබිඩියේ විවාහ වීම වෙනුවට පසු නොබලා දිවීම තෝරා ගන්නට තිබුණේ එදා ය.

“හොඳින් ඉන්න.බබාවයි නෝනාවයි හොඳට බලා ගන්න.”

ලාවන්‍යා අහිමි වූ බව භවන්තට හරියටම වැටහුණේ ඒ මොහොතේ ය. ඔහු ඕනෑම මොහොතක ඇගෙන් සමාව ඉල්ලා වැරදි නිවැරදි කර ගත් අතීතයක් තිබේ. එහෙත් පූජා ගර්භනී වූ බව දැනගත් දවසේ ලාවන්‍යාගේ ඒ සමාව ඔහුට දකින්නට නොලැබිණ. ඇය යකින්නියකගේ වෙස් ගෙන තිබිණ.

එහෙත් ඒ යක්ෂනිය ද මෙතැන නැත!

ලාවන්‍යා දිගු කළ අත අල්ලා ගැනීම වෙනුවට භවන්ත ඇය වැළඳ ගත්තේ ය. වහා එතැනට පැන දෙදෙනා වෙන් කරන්නට ඕනෑ වූයේ සෙනුරිට ය.උෂාන් ඇය වැළැක්වූයේ ය. ජීවිතයක් එකට යන්නට සිතූ යුවළක් වෙන් වී තිබේ. මේ ලාවන්‍යා ඇගේ යෞවනය කැප කළ මිනිසා ය. එක්ව අනාගතය සැලසුම් කළ මිනිසා ය. නිදි යහන බෙදා ගත් මිනිසා ය. 

“අඩුම තරමේ ලාවිගෙන් කාපු බත් කටකටවත් සලකලා ඌ ඔහොම කරපුවාවෙ”

මෙතැන හින්දි චිත්‍රපටියක් අනවශ්‍ය බව කියමින් සෙනුරි කුටු කුටු ගාද්දී උෂාන් පැවසී ය. පාරමී කිසිවක්ම නොපැවසුවා ය. වින්දිතයා නිදහස් කර ගත් සතුට ඇයට වේ. මේ භවන්තගේ අවසන් වැළඳගැන්ම බව පාරමී දනියි. ආපහු හැරී ආ මිතුරියගේ ඇස කදුළු ටිෂූ කඩදාසියකින් පිස දමා පාරමී ඇයගේ අතකින් අල්ලා ගත්තා ය.

“හොඳින් ඉන්න. හොඳ මහත්තයෙක් හොයන් සතුටින් ඉන්න.”

භවන්ත යන්නට ගියේ එහෙම කියමිනි. ඒ ප්‍රාර්ථනයට සිනා වෙන්නට ද අඬන්නට දැයි සිතමින් සෙනුරි උෂාන්ගේ රියට නැඟ ගත්තා ය.

“අපි ඉක්මනින් ඔයාගේ නිදහස සමරමු සුදු මැණිකේ. මේ වීක් එන්ඩ් එකේ සෙට් වෙමු.”

පාරමී මිතුරියට හාද්දක් දුන්නා ය. ඇයට ස්තූති කළ යුතු බව ලාවන්‍යා දනියි. නමුත් කතා කරන්නට හපන් යුවතිය ගොළු වී ගොස් ය. 

“අපි මොනවා හරි බොමු.බීලා ගෙදර යං.”

උෂාන් රිය පණ ගැන්වූයේ එසේ කියමිනි. ලාවන්‍යා හිස සලා පිළිතුරු දුන්නේ සෙනුරිට ය.

කාලයක් නැතී – කාලයක් නැතී
විජිතයේ කටු ඔටුනු හැර යමී
කාලයක් අපි ආදරෙන් සිටි
සොඳුරු මතකය අරන් යන්නෙම

නන්දා මාලිනියගේ ගැඹුරු හඬ ලාවන්‍යාට ඇසුණේ හිත ඇතුළෙනි. නමුත් සොඳුරු මතක වූවාදැයි ඇයට අමතක ය. රන්දම් ඇත්තේ බැංකුවේ ය. ඒවා හඬන අහසට මුදා හරින්නට අසීරු ය. ඒ හන්දාම භවන්තගේ නමින් කුරුටු ගී ලියන්නට නුවුමනා වග ඇය සිතුවා ය.

මේ ජීවිතයේ එක් පරිච්ඡේදයක් නිමා වීමකි!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles