උදාරි හෙමි හෙමිහිට සුව වෙමින් සිටියා ය. මුලින් ම ප්‍රබෝධවත් වී ආවේ ඇගේ සිරුරයි. මුලින් වැහැරෙන්නට පටන් ගත්තේ ද සිරුර ය. සිය සැමියා විසින් ඇයව ඒ අඳුරු කුටිය වෙත ගෙන ගිය දවස උදාරි ගේ දිවියෙහි අඳුරු ම දිනයයි. එහි ඇය සදාකාලික සිරකාරියක වූ බව දැනෙත්දී ඉන් මිදීගන්නට උදාරි හැම උත්සාහයක් ම දැරුවා ය. හැකි වෙර දමා කෑගැසුවා ය. නමුත් ඉන් සිදු වූයේ උගුර ලේ රහ වී කාය ශක්තිය ක්ෂය වී යන එක පමණකි. ඇගේ හඬ පිටතට ඇසුණේ නැත. උදාරි පිස්සු වැටුණා ය. සමනල්…ඇගේ දරුවා…ඇය නැතිව ඔහු ගැන බලන්නේ කවුද? ඊටත් වඩා ඇයට ජීවත් වන්නට තිබුණ හොඳ ම බලාපොරොත්තුව ඔහු ය. ඇය නැතිව ඔහු කොහොම ඉන්නද? සමනල් යනු කොහොමත් පියාට සමීප ව උන් දරුවෙකු නොවේ. ඩිලන් සිය අනියම් බිරිඳ සමග එක්වනු වස් අම්මා කෙනෙකු හා පුතෙකු උනුන්ගෙන් වෙන් කළේ කවර සාහසික සිතකින් ද?
උදාරි ආහාර ප්‍රතික්ෂේප කළා ය. ඈ සිතුවේ එසේ මුරණ්ඩු වත්දී ඇය මිය යනු ඇතැයි බියෙන් ඩිලන් ඈ නිදහස් කරනු ඇත කියා ය. නමුත් ඇය කනවා ද නොකනවා ද යන වග ඔහු ට කොහෙත්ම වැදගත් වූයේ නැත. රණ්ඩු කරන, කෑගසන එක නවතා ඇය ඔහු ට බැගෑපත් වූවා ය. දරුවා වෙතට ගෙන යන්නේ වී නම් ඔහු ප්‍රාර්ථනා කරන නිදහස මුළුමනින් ඔහු ට ලබා දෙන බවට සපථ වූවා ය. ඩිලන් වෙතින් ජීවිතය අයැද සිටියා ය. හැඬුවා ය. නමුත් ඔහු ට තිබුණේ මොළොක් වෙන ආකාරයේ හිතක් නොවේ.
කෑම රුචිය ඇය වෙතින් පලා ගියේ ය. දවසකට වතාවක් ඩිලන් විසින් ග්‍රිල් දොරෙන් ඇතුළු කරනු ලැබූ ආහාර වර්ග අපතේ ම ගියේ ය. ඇය කෑමක් කෑවේ කුසගිනි ඉතා තදින් ඇය ට වද දුන්නොත් පමණකි. එසේ කෘශ වෙමින් ගිය කයට අයිති වූ සිත එක ම කාරණයක දිගින් දිගට ම එල්බගෙන සිටීම නිසා ගිලන් වන්නට විය. උමතු වන්නට විය. නමුත් ඒ උමතුව ද ප්‍රතිකාරයක් නොමැතිව ඔහේ පවතින්නට විණි. උමතුව නිසා ඇය අතට හසු වූ යමක් කෑවා ය. සොබා දහම ඇගේ දරුවන් සියලු දෙනා කුමන තත්වයක් යටතේ වුව ආදරයෙන් තුරුලුකොට ගන්නී ය. උදාරි කෙරේ ද එය එසේ ම විය. දරු දුකෙන් උමතු වී පොළොව යට අඳුරු උමං කාමරයක සිර වී කයින් මනසින් ආතුර වූ ගැහැනිය තව දුරටත් ජීවත් කරවූයේ සොබාදහමේ දයාවේ අනුහස විසිනි. සැබවින් ඇගේ මනස එසේ අසමතුලිත නොකළේ වී නම් ඒ පීඩනය දරා ගත නොහී උදාරි මීට බොහෝ කලකට පෙර මියැදෙන්නට තිබිණ. සොබාදහම ඇය ජීවත්ව තබා ගත්තේ ඇගේ මනස උමතු ගැන්වීමෙනි.
කයට හා මනසට අවැසි ඔසු ලැබෙමින් ජීවත් වීමට සුදුසු පරිසරයක් තුළ වසත්දී ඇය ක්‍රමයෙන් සුව අතට පත්වන්නට වූවා ය. පරණ උදාරි දස වසරකින් වියපත් වී සිටියාට, ඇය ටික ටික ඇය ම වන්නට වූවා ය. සිය ජීවිතයේ ම කොටසක් වූ සමනල් ඇගේ මතකයේ සිටින්නේ පොඩි කොලුගැටයෙකු සේ ය. නමුත් දැන් ඈ ඉදිරියේ සිටින්නේ කදිම තරුණයෙකි. ඔහු ඇයට අම්මා කියයි. ඔහු ගේ ඇස් වලින් කිමිදී ගොස් ඇයට කුඩා සමනල් සොයා ගත හැක. ඔහු නො දැක ගෙවී ගිය දස වසරක් ඉක්මවන කාල පරාසය අතරේ පාලමක් නැති වී ද ඒ ඇගේ එක ම පුතු බව උදාරි ගේ හදවත හැඳිනගෙන තිබේ.
දිවාකර ව ඇය වඩා පහසුවෙන් සිහිපත් කොට ගත්තා ය. ඔහු යම් පමණකට වියපත් වී සිටියාට එය නොතකා හැරිය හැකි දෙයක් සේ උදාරි ගේ මතකය පිළිගත්තේ ය. නමුත් ඔහු ව මුලින් ම මතක් වූ දවසේ ඇය ඉකි බිඳ බිඳ හැඬුවා ය.
“මං බලං හිටිය ඔයා කොහොමහරි මාව හොයාගනී කියල. පොලීසියත් එක්ක ඔයා ඒ බිංගෙට එනව අනන්ත වාර ගාණක් මං හීනෙං දකින්න ඇති”
“ඔයා අතුරුදන් වෙලා ටික දවසකට පස්සෙ මාව කුඩුපට්ටං වෙලා ගියෙ නැත්තං මං එහෙම කරන්න තිබුණ උදාරි”
ඔවුන් ට කතා කරන්නට බොහෝ දේ තිබිණ. හොඳ ම යාළුවන් කියන්නේ කැඩුණු බිඳුණු හිත් මත ඔසු ගල්වා සුවපත් කොට, ඒ ජීවිත යළි පිරියම් කළ හැකි අරුම පුදුම ජීව කොට්ඨාශයකට ය. උදාරි ඒ තරම් වේගයෙන් සුව අතට හැරෙන්නට වූයේ දිවාකර ගේ මිත්‍රත්වයේ උණුහුම නිසාවෙන් වන්නට ඇත.
“තාත්තට කියන්න මං තරහ නෑ කියල පුතා”
දිනක් රෝහලේ දී උදාරි සමනල් ට කීවා ය. ඩිලන් කොහේ කොතැනක ඉන්නවා දැයි ඒ වන තුරුත් ඇය දැන සිටියේ නැත.
“තාත්ත ඇක්සිඩන්ට් වෙලා…මේ වෙනකොටත් ඉන්නෙ හොස්පිටලයිස් කරල අම්ම”
සමනල් ඇත්ත ම කීවේ ය.
“අම්ම තව ටිකක් ඉක්මනට සනීප වෙන්න. එතකොට අපිට තාත්තව බලන්න යන්න පුළුවන්”
කෙනෙකුට දවස් ගෙවෙන්නේ ඉතා අලස ලෙස හෙමිහිට වත්දී, තවත් කෙනෙකුට ඒ අසරු වේගයෙන් සේ දැනිය හැක. දවස් ඉක්මනින් ගෙවී සියල්ල යථා තත්වයට පත් වෙනවා නම් සමනල් රිසි වූයේ ය. නමුත් තඹරු ට නම් දවසේ වැඩ ටික කරගන්නට පැය විසි හතරක් ප්‍රමාණවත් වූයේ ද නැති තරමි. ඇය දෙස බලාගෙන සමනල් ද දිරිය පිරිමියෙකු වෙමින් සිටියේ ය. තාත්තා නැති අඩුව නො දැනෙන සෙයින් ඔහු ව්‍යාපාරය සියතට ගනිමින් සිටියේ ය. ඒ අතරේ ගයාත්‍රි සැමියා වෙනුවෙන් සිය උරුමය ඉල්ලා නඩු දැමුවා ය. ඇය සතුව විවාහ සහතිකයක් තිබිණ. නමුත් ඊට පෙර ඩිලන් ගේ නීත්‍යානුකූල බිරිඳ වී සිටියේ උදාරි ය. ඒ විවාහයෙන් ඔහු නීත්‍යානුකූලව වෙන් වී සිටියේ නැති බැවින් ඇගේ උත්සාහය ව්‍යර්ථ වී ගියේ ය. ඇප මත ඇය නිදහස් වූව ද විදේශ ගමන් බලපත්‍රය අවලංගු කරනා ලදී.
“මට දැං හරි මහන්සියි”
සමනල් නිතර නිතර කීවේ ය. ඒ වෙලාවට තඹරු නගා ගන්නා සිනහවෙන් සැබවින් ඔහු ගේ විඩා නිවේ.
“ජීවිතේ මැදටවත් ඇවිත් නැතුව මහන්සි ගැන හිතන්න ඔට්ටු නෑ”
“නෑ. කොච්චර මහන්සි වුණත් මං අතරමග ඇදං වැටෙන්නෑ කියල හිතාගෙන ඉන්නෙ”
“අන්නෙහෙමයි කොල්ලො ඉන්න ඕනෙ”
“ඒ වුණාට බිස්නස් එක ගැන ඔළුවෙ තියන බර බෙදාගන්න ඕනෙ. ඔයාගෙ තාත්තට සාධාරණේ ඉෂ්ට වෙන්නත් ඕනෙ. අපේ කම්පනි එකේ පබ්ලිශිං සෙක්ෂන් එක බිල්ඩප් වෙලා තියෙන්නෙ බලෙන් නටඹුන් කරපු දිවාකර පබ්ලිශර්ස් උඩ. මං අපේ ලෝයර්ස්ල එක්ක කතා කළා. එයාල ලීගලි අවශ්‍ය දේවල් කරං යනව. ගැලැක්සි ගෲප් ඔෆ් කම්පනි එකේ ශෙයා හෝල්ඩර් කෙනෙක් වෙන්න අයිතිය දිවාකර අංකල්ට තියනව”
තඹරු යමක් කියන්නට ඉක්මන් වූයේ නැත. කුමක් කිව යුතු දැයි එකවර ඇයට සිතාගත හැකි වූයේද නැත. ඇගේ ඉරියව් දෙස බලා ගෙන උන් සමනල් ඒ මුහුණට එබුණේ ය.
“ඇයි…මොකක්හරි අවුලක්ද…”
“නෑ. ඒත්…ඔයා තනියම එහෙම තීරණ ගන්න ඉක්මන් වෙන්නෙපා. ඔයාගෙ තාත්ත සනීප වෙලා…”
“තාත්ත සනීප වෙලා ආයෙ කම්පනි එකට ආවත් ඒක වෙනස් වෙන්නෑ තඹරු. අනුංගෙ දෙයක් හොරෙං අරං බලෙං අයිති කරං ඉන්නකොට දැනෙන හිතේ බර…ඒ වැරැද්දෙන් නිදහස් වුණාම දැනෙන එකක් නෑ”
ශ්‍රීනාත් දිවාකර, ගැලැක්සි ගෲප් ඔෆ් කම්පනීස් හි සම අධ්‍යක්ෂවරයෙකු වූයේ එසේ ය. ඒ වන විට ඔහු සිය ඇවිදීම ධෛර්යයෙන් යුතුව ගොඩනගාගෙන සිටියේ ය. රෝද පුටුව සම්පූර්ණයෙන් ඉවත් කොට වෝකර් එක පමණක් භාවිතා කරන තරමට පැමිණි හෙතෙම, ගැලැක්සි ගෲප් ඔෆ් කම්පනීස් වෙත යන දා එය ද අතැර තඹරු ගේ අතින් අල්වාගෙන එහි ගොඩ වූයේ ය. එදා තඹරු ගේ ඇස් වලින් ගලා ගියේ ළමා වියට අයිති කඳුළක් විය යුතු ය. ඒ කඳුළු අතරින්, පත්තර ගොඩවල් මත නගිමින් සෙල්ලම් කරනා ළමා තඹරු කෙනෙකු හා සඳැස් කෙනෙකු ඇය මනසින් දුටුවා ය.
උසස් පෙළ විභාගයෙන් පසු සඳැස් පෞද්ගලික විශ්ව විද්‍යාලයක පරිගණක තාක්ෂණයට අදාල උපාධි පාඨමාලාවක් හදාරන්නට පටන් ගත්තේත් මේ සමයේ දී ම ය.
“දැං ඉතිං කෙල්ලෙක් දිහා බැලුවට කමක් නෑ. හොඳ කෙල්ලෙක්වනං යාළුකර ගත්තත් කමක්නෑ”
ඔහු විශ්ව විද්‍යාලයට යන මුල් ම දවසේ උදේ තඹරු මල්ලී ගේ බඳ වටා දෑත ම යවාගෙන ඔහු ගේ ඇඟේ එල්ලී කීවා ය. එහෙම කියත්දීත් ඇයිදෝ මන්දා ඇගේ හිත රිදෙන්නට වූයේ ය. කාත් කවුරුත් ම නැති දවස් වල ඔවුන් ට හිටියේ ඔහු පමණ ය. වයසින් මහ ලොකු නොවූවාට මල්ලී එක්ක පාරට බහිත්දී හෝ ඔහු ගෙදර සිටියදී තඹරු ට අතිරේක ශක්තියක් දැනී තිබේ. ඒ ශක්තිය අද මහ කන්දක් සේ ඇයට දැනෙන්නේ ය.
“එහාට වෙනවකො මගෙ ඇඳුම පොඩිකරන්නැතුව”
සඳැස් බොරුවට සැර වූයේ ය. නමුත් ඔහු ගේ ස්වරයෙහි වූයේ උතුරා දෝරෙ ගලන ආදරයයි.
“මට චුට්ටක් ඊරිසියා හිතෙයි තමයි. ඒ වුණාට කෙල්ලෙක්ට හිත ගිය ගමං මට ඇවිත් කියන්න ඕන හරිද…”
එවර නම් සඳැස් ට සිනහ නැඟිණ. ඔහු අක්කා ගේ උරහිස වටා අතක් දමාගෙන කැඩපතින් ඔවුන් දෙදෙනා දෙස ම බලා සිටියේ ය.
“මට කෙල්ලෙක් ගැන ලේසියෙන් කැමැත්තක් හිතෙන එකක්නං නෑ”
“ඇයි…”
“ඔයයි අම්මයි නිසා තමයි”
“හෑ…ඒ මොකද…”
“කෙල්ලෙක්ගෙං ඔය දෙන්නව මිසක් වෙන කෙනෙක් හොයන්නවත් දකින්නවත් මට ඕන වෙන එකක් නෑ අක්කෙ. මගෙ අක්කයි අම්මයි වගේ ආදරෙං හිත පිරිච්ච…තමන්ට වැරදි කරපු මිනිහෙක්ටවත් වෛර කරන්න දන්නැති…මුළු ලෝකෙම නැති වෙලා ගියත් තමන්ගෙ හිතේ හයියෙන් නැගිටින්න දන්න ශක්තිමත් කෙල්ලෙක්ට මිසක් මගෙ හිත යන එකක් නෑ අක්කෙ. අනී මට බෑ බට බයයි ගාගෙන ඉන්නෙ සෝබන සීනිබෝල කෙල්ලන්ටනං මගෙ හිත හොල්ලන්න කොහොමවත් බැරි වෙයි”
“පැහෙන්නෙපා හරිද…කරගන්න දෙයක් නැති වුණාම ගෑනු යකඩ වගේ හයිය වෙනව තමයි. ඒත් ගෑනු සුන්දරම ගෑනු විදිහට ඉන්නකොටයි මල්ලි. කම්පෙයා කරන්න යන්නෙපා. ඔයාට ආදරේ දැනෙන තැනක ඔයා නවතින්න”
අක්කා ගේ ඇස් වල බොඳ කඳුළක් දිළිසුණ වග සඳැස් දුටුවේ ය. නමුත් ඇය කවදත් කඳුළු සලන්නට ඉක්මන් නොවූ කෙල්ලක බව ඔහු ඉඳුරා දැන සිටියේ ය.