පමා වී පිපුණු මල් 19

“අනේ මන්දා පුතේ මෙනුක මෙහෙටත් කතා කරා. තාත්තාට හොඳටම තරහ ගිහින් හිටියෙ. මොනවද මොනවද කිව්ව මං දන්නෙ නෑ”

අම්මා උන්නේ කණස්සල්ලෙනි. ටින් කිරි තේ පාටියේ උණුසුම් සතුට විනාස කරමින් මෙනුක ඒ මොහොතේම කතා කලේ ඇයිද කියා අරුණලී දිගින් දිගටම සිතුවාය.

“ප්ලීස් මෙනුක මම කිව්වනෙ මට කෝල් කරන්න එපා. එක එක දවසට වෙන වෙන නම්බර් වලින් කෝල් කරත් මට කියන්න තියෙන්නෙ එකම කතාවයි.ප්ලීස් මට කතා කරන්න එපා. මොන වදයක්ද මේ,මට හිත හදාගන්න ඉඩ දීලා ඔයා පැත්තකට වෙන්නකො”

මෙනුක එහා පසින් වචනයක්වත් කියන්නට පෙර අරුණලී කියාගෙන කියාගෙන ගියේ මේ ඇමතුම් වදකර බව දන්නා නිසාමය. එහෙත් මෙනුක සිටියේ ලේසියෙන් අරුණලීව අමතක කරන්නට බලාපොරොත්තුවෙන් නොවේ.මෙනුකට අනුව ඔහුගේ ඇත්ත ජීවිතය නෑ හිත මිත්‍රාදීන් ඉදිරියේ විවර වන්නට හේතුව අරුණලීය. ඒ වරද කලේ ඇයය. ප්‍රශ්නයක් තිබුනා නම් එය විසඳගන්නට තිබුනේ විවාහ වෙන්නට පලමුව නොව විවාහයෙන් පසුව බව මෙනුක සිතුවේය.

තමන් ඉන්නේ මනසික වියවුලක සිරවී බව මෙනුක තේරුම් ගත්තේ හෝ පිලිගත්තේ හෝ නැත. කුමිල හෝ වෙනත් මිතුරෙකුට වුවද පැය විසි හතර පුරාවටම මෙනුක ලඟ හිඳිමින් ඔහුගේ දුක සැප අහන්නට පුලුවන් කමක් නැති නිසාවෙන්ම තමන්ගේ සිත අස්සෙන්ම පැනනගින වැරදි, පීඩාකාරී සිතුවිලි මෙනුකගේ මානසික වියවුලට පොහොර දමමිනි.

“මට ඕන නම් මම උඹට කෝල්කරනව යකෝ. උඹ හිතන්නෙ බඳින්න බැරි වෙච්ච හන්ද මම උඹට සන්තෝසෙන් ඉන්න දේවි කියලද? උඹයි උඹේ පවුලෙ උනුයි එක්කහු වෙලා මාව කෑව. ඔක්කොටම හැමදේම කියල, උඹ හිතාගෙන හිටියෙ මගෙන් අයින්වෙලා සන්තෝසෙන් ඉන්න නම් ඒව වානා. මම උඹවයි උඹේ පවුලෙ උන්වයි හැමෝම විනාස කරනවා.

උඹ ආයෙ මාව බැන්දෙ නැත්තම් මතක තියාගනිං මම ලංකාවට ඇවිල්ලා උඹේ පවුලෙ උන්ව මරල දානව”

මෙනුක ඉන්නේ මානසිකව අයහපත් තත්ත්වයක බව දැන උන්නද එය මෙතරම්ම දුර දිග යන්නටත් මෙනුක මේසා නපුරු මනුස්සයෙකු කරන්නටත් හේතුවක් වනු ඇතැයි අරුණලී සිතුවේ නැත.අනෙක් අතට හරිනම් මානසිකව අයහපත් තත්ත්වයක හිඳිය යුත්තේ තමා නොවේද? එහෙත් එය එසේ නොවනට හේතුව තමා වටා සිටින ආදරණීය පවුල නොවේද?

මොන වරද කරත් මෙනුක ඔස්ට්‍රේලියාවෙ හිඳින්නේ තනිවම බවත් ඔහුට හිතවත් යැයි කිව හැකි අයෙක් එහි නොවේදැයි කියාත් අරුණලී සිතුවාය. එහෙත් ඒ වෙනුවෙන් තමට කල හැකි දෙයක් නැත. මෙනුක සමග කතා කරන්නට ඇති බය නිසාම දුරකතනය විසන්ධි කලද මෙනුක කිසිසේත්ම ගෙදරට කතා කර ගින්නක් පතුරුවනට ඇතැයි අරුණලී නිකමටවත් සිතා තිබුනේ නැත.

“ඒ මිනිහට පිස්සු, මං කිව්ව ඌට කන් දෙකේ ඇඟිලි ගහගන්න”

එදා රාත්‍රී ආහාරය සඳහා තාත්තා සුපුරුදු පරිදි සහභාගි උනේ නැත. තාත්තා මෙල් අන්කල් ලාගේ ගෙදර ගියා යැයි අම්මා කිව් නිසාවෙන් කා බී අහවර වී අරුණලීත් සඳලිනීත් නිදියන්නට ආව ද සුබා ආරියරත්න එනතුරු බලා හිඳියේ මේ කතාවල අගක් මුලක් හරියාකාරව අහගන්නටය.

“මොනවද ඒ ළමය කියන්නෙ”

සුබා ඇසුවේ අරපරිස්සමෙන් වචන එහෙ මෙහෙ කරමිනි. පරිප්පු තෙම්පරාදුවෙන් හැන්දක් ආරියරත්නගේ පිඟානට දමා සුබා පුටුවක් ඇද ඒ අසලින්ම වාඩිවුණාය.

“අරුණලී ඌව බඳින්න අකමැති උනේ නැත්තම් ඌ සුයිසයිඩ් කරගන්නවලු ලියුමක් ලියල තියා”

“අනේ ආරි”

සුභාගේ හඬ නික්මුනේ වඩා වේදනාකාරීවය.එවන් දෙයක් වීම අතරමගදී විවාහාක් කඩා වැටීමටත් වඩා අරුණලීගේ ජීවිතය මත ඇතිවිය හැකි අඳුරු පැල්ලමක් බව සිතෙද්දී ඒ වේදනාකාරී හඬ සාධාරණ බව ඇත්තකි.

“සුබා,බොරුවට නිකන් කලබල වෙන්න එපා. ඔය කොල්ලො මැරෙනව කිව්වට ඕකුන් මලාට මැරෙන්නෙ නෑ. අනික ඌ මැරුනත් ඒක අපිටවත් අපේ කෙල්ලටවහ් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ඔන්න අරුණලී ගිහිල්ල උගේ හුස්ම ටික යනකම් බෙල්ල මිරිකුවනම් ඒක අපිට ප්‍රශ්නයක් වෙන්න තිබ්බා”

“අනේ මට බයයි ආරි අරුණලීට කරදරයක් වෙයි කියල.අපි නොදන්නව උනාට මෙනුක නොකියම ලංකාවට ඇවිත් අරුණලී රස්සාවට් හෙම යද්දි පස්සෙන් ඇවිත් කරදර කලොත්?”

“මේ කතා පොත්වල තියෙන ඒව මේ ලෝකෙ වෙයි කියල හිතන්න එපා. ඌ මේ හෙන ගානක් ගෙවාගෙන මෙල්බර්න් ඉඳල ලංකාවට එනව මේ ඌව අතෑරල දාපු කෙල්ල පස්සෙ යන. විකාරනෙ සුබා. විකාර. විකාර හිතන්න එපා. අපි දැන් බලන්න ඕන ඒ යකා මේ කෝල් අරන් මල කරදරයක් වෙන එකනතර කරගන්නෙ කොහොමද කියල”

“මෙනුක අරුණලීටත් කතා කරලා අද හවස”

“මං හිතුවා, මොනවද ඌ කියල තියෙන්නෙ?”

“ඔය වගේම කතා ටිකක් තමයි”

“අරුණලී මොකද කියන්නෙ ඒ ගැන?”

“අරුණලී කියන ඒව අහන් ඉඳල ෆෝන් එක තියල. ඔලුවා කරදරයක් කරගත්තෙ නෑ කියල පෙන්නුවට අපි දන්නෙ නෑනෙ හිතෙන් මොනව හිතනවද කියල.මට හරි බයයි ආයෙ කරදරයක් කරගනී කියල මේ ළමයා”

“මං නම් හිතන්නෙ නෑ. බලමුකො. ඔයා කෝකටත් ඇහැ ගහගෙන ඉන්න. බනින්න කරන්න හෙම යන්න එපා”

දිනෙන් දින ගෙවුනේ සිත මත ඇඳුන භීතියක ලකුණු සෙමෙන් සෙමෙන් සුබාගේත් අරුණලීගේත් හිතෙන් පහව යද්දීය. එහෙත් සිතූ තරම් ඉක්මනට සම්පූර්ණ සැනසුමක් තමාට නොලැබෙන බව අරුණලී නොදැන උන්න නොවේ.

“අරුණලී දැන් රස්සාවකට යනවලු නේද?”

ශ්‍රීනි කතා කරේ සුබාගෙන් ඒ ගැන විමසන්න බලාගෙනමය. කතා කරන්නට වෙන නිසා කතා කලා මිස සුබා උන්නේ ශ්‍රිනීගෙ මූණවත් බලන්නට අකමැත්තෙනි. තමන්ට මුහුණ දෙන්නට වූ අවාසනාවන්ත සිද්දිය ගැන තලු මරමින් තැන් තැන්වල කියනට ශ්‍රීනි කටයුතු කර ඇති බව මතක් වෙද්දී සුබා හිත උඩ වැගිරෙන කෝපයේ ගංගාව බොහෝ අපහසුවෙන් ඉවසීමේ වේල්ල වසා ගලනු නතර කලාය.

“ඔව් දැන් දවස් කීපයක් වෙනව ගිහිල්ලා”

“අනේ මන්ද උඹලත් එක දේකින් පාඩමක් ඉගෙන ගන්නෙ නෑනෙ” කියා ශ්‍රීනි සමච්චල් හඬක් නගමින් කුස්සියේ වූ මිටි බංකුව මත වාඩි වුණාය. සුබා ඒ කතා මැදම රත් වූ තෙලට අබ ඇට දමා චාස් හඬින් පුපුරන්නට හැරියේ සිතේ ඇති කෝපය ඉවත දමා ගන්නට බැරිම තැන ය.

“ඇයි මොකද්ද රස්සාවකට යන එකේ වරද?” ශ්‍රීනි තිගැස්සුනේ අයියාගේ කටහඬ ඇසීමෙනි. ආරියරත්න නිවසේ සිටිනු ඇතැයි ශ්‍රීනි සිතුවේ නැත. සුබාට මොනවා කීවද අයියා ඉදිරියේ කිසිවක් කියනට ශ්‍රීනි බයය. මොන දේ උනත් ඇඳේ සිටින අම්මාගෙ වියදමට කියා ආරියරත්න දෙන මුදලින් වැඩි ප්‍රයෝජන ගන්නේ තමා ය. ආරියරත්න කතවට සම්මාදම් වීම සුබාගේ හිතට සැනසුමකි. 

“මං කිව්වෙ අයියෙ එහෙම යවන එක මොක උනත් ලමයට හොඳ නෑනෙ.මිනිස්සු කියන කතා දන්නෙ නැද්ද?”

“මිනිස්සු නෙවෙයි කතා හදන්නෙ අපේ උන්මනෙ. අපි වරදක්කලේ නැත්තම් මොකටද පාරෙ බැහැල යන්නෙ කියලයි මම අහන්නෙ. අරුණලී රස්සාවකට යන එක අපිටවත් ඒ ලමයටවත් ප්‍රශ්නයක් නැත්තම් ඉතින් කාටවත් ප්‍රශ්නයක් නෑනෙ” කියා ආරියරත්න කිව්වද ජීවිතයට ඇහැටවත් දැක නැති අරුණලී කෙනෙකුව සිතට ප්‍රශ්නයක් කරගෙන උන්නේ රමිත් ය. 

විවාහය බිඳ දමගෙන මෙනුක මෙහි ඇවිදින් දැන මාසයකට වඩා කාලය ගත වී ඇත. ඒකාලය පුරාවටම රමිත් මෙනුකව මුණගැසෙන්නට ඔහුගේ ඉදිරියට නොගියද මෙනුකට නොපෙනෙන්නට බොහෝ අවස්තාවල ඔහු දෙස බලා උන්නේය. ඒ හැඟීම කෙතරම් නම් වේදනාවක්ද කියා දැන උන්නේ රමිත් පමණකි.

මේ තමන් ඉපදුණ හැටිය. කෙල්ලෙක් ලඟ සිත නොනැවතුන බව ඇත්තකි. එහෙත් තමන් මේ විඳවන්නේ තමන් නොකල වරදකටය.

මෙනුක ඉන්නේ යහපත් තත්ත්වයක නොවන බව දින කිහිපයක්ම ඔහුව තනිවම බාර් වලදී දුටු රමිත් සිතුවේය. ඒ සිතෙන වාරයක් පාසා රමිත් අරුණලීට වෛර බැන්දාය. ඇයව මෙනුකගේ මතකයෙන් සහමුලින්ම මකා දමන්නට හැකි නම් හොඳ යැයි සිතුවේය.

ඒ තරහව සිතෙන් පිටවී ඇත්තටම ක්‍රියාත්මක කල හැකිද කියා සිතුවේය.

අරුණලීගෙන් පලිගන්නේ කෙසේදැයි නැවත නැවත සිතුවේය.









අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles