අරුණලී පහුවෙනිදා නැගිට්ටේ බොහෝ ප්‍රමාද වීය. ඒ වෙද්දී නංගී විශ්ව විද්‍යාලයට ගොසින්ද තාත්තා එලවලු මාලු මිල දී ගන්නට ටවුමට ගොසිනි. අම්මා පහල තට්ටුවේ උයමන් වල නිරත වී හිඳින බව අරුණලී අත්දැකීමෙන් දනී.
උදෑසන වනාහී අරුණලී ආසා කල වේලාවක් උනත් අද උදෑසන අරුණලීට දැනුනේ මහා මූසල ගතියකි. තමා ආයේම වරක් හිටිය අඩියටම වැටී ඇති බවක් අරුණලීට දැනුනි.මෙනුක හා විවාහය අතරමග හැර දමා ආ මුල් දින කිහිපයේ තමන්ගේ සිත පෙලූ අදහස් යලිත් වරක් තම සොයාගෙන ඇවිත් තිබෙන බව අරුණලීට සිතුණි. ඉතින් මේ ජීවිතය පුරාවට තමන්ට මෙනුකගෙන් බේරුමක් නැතිවන බවකි. තමා ඉපදී තිබෙන්නේත් තමන්ගේ දෛවයේ ලියවී තිබෙන්නේත් මෙනුකට ආලය කර අනතුරුව රැවටී දුක් විඳ මිය යන්නට බව අරුණලී දිගින් දිගටම සිතුවාය.
තමන් ඊයේ රැයේ නිවස බලා ආවේ කිමල් වීරවර්ධන සමග බව අරුණලීට යන්තමට මෙන් මතකය. ඒ මතකය සැබෑවක් නම් තමාට ආයේ එහි රැකියාවට යන්නට හැකියාවක් නැත. කිමල් මේ වනවිටත් තමන්ගේ බිඳ වැටුණ විවාහය ගැන, තමන්ගේ අරුම පුදුම සහකරුවා ගැන මෙන්ම ඔහු විසින් කල රැවටීම ගැන දැනගන්නට ඇත. ඉතින් ආයෙමත් හිස කෙලින් තබාගෙන කාර්‍යාලයට යා හැකිද? කිමල් වීරවර්ධන ඉදිරියට යා හැකි ද?
අරුණලී තරප්පු පේලිය බැස නිවස පහත මාලයට ආවේ එවන් සිතුවිලි වලින් බර වූ හදකින් නිසා සෙමෙන් කම්මැලි පියවර තබමිනි. සුභා ඒ මොහොතේ උන්නේ මුලුතැන්ගෙයට වී උයමන් කරමිනි. එහෙත් තනිවම නොවේ. ශ්‍රීනි සුපුරුදු පරිදි සතියකට වතාවක් කරන තම ආගමනය එදා උදෑසනත් කර තිබුනි. අයියා ටවුමට යන අයුරු බලා හිඳ සුභා සොයා ඒමට කටයුතු කරන්නට පටන් ගත්තේ බොහෝ කාලයකට පෙරය. අයියා සිටින තැනක කියන්නට බැරි බොහෝ දේ සුබා හා කතා කරන්නට මෙය අවස්තාවක් කරගත්තද සුබාගේ හිත රිදවන දේ පවසන්නටද ශ්‍රීනි අමතක කරේ නැත.
අරුණලී එහි ආ වග සුභාවත් ශ්‍රීනිවත් දුටුවේ නැත.
“දැන් අරුණලී තාම අර තීරණේමද ඉන්නෙ?”
ශ්‍රීනි අසන්නේ මේ හැම වදනක්ම සුභාගේ හිත රිද්දන බව දැන දැනමය.එහෙත් සුබාගේ කෙල්ලන් දෙදෙනාම තමන්ගේ දරුවට වඩා ඉහල තැනක රැඳී හිඬින බව මතක් වෙන වාරයක් පාසා ශ්‍රීනිගේ හිතේ සුභා රිදවන්නට ඇති හැඟීම් තව තවත් ඉහල යයි. ඒ සංසිඳුවාගන්නට නම් තවත් අයෙකු රිදවිය යුතු ආශාවකි.
“මොන තීරණේද?” සුබා අසන්නේ අමනාපයෙනි. බනින්න බැරි හන්දා අසන ඇසීමකි.
“ආයෙ අර මනුස්සය ලඟට යන්නේ නෑ කියල”
“අරුණලී විතරක් නෙවෙයි අපි හැමෝම ඉන්නෙ ඒ තීරණේ. අනික් එක ආයෙ යන්න කියන්නෙ අපේ ළමය ඒ මනුස්සය එක්ක ගියේ නෑනෙ අක්කෙ නේද?”
“අනේ මන්ද ඉතින් අවුරුදුගාණක් යාලුවෙලා ඉඳල ඉන්පස්සෙ කසාදෙත් අතරමග කැඩුනයින් පස්සෙ මක්කොරන්නද? මං නං කියන්නෙ ඔය බහුබූත අමතක කරල දාල ඒ මිනිස්සු එක්ක ආයෙ කතා බස් කරන්න කියල”
“අනේ අක්කෙ මං මේ අත් දෙක එක්කහු කරල වඳින්නම්. අපේ මේ ඔලුවෙ තියෙන ප්‍රශ්න කරදර ප්‍රමාණෙ හොඳටම ඇති. එහෙම එකේ අක්ක මේ නිතර නිතර ඇවිල්ල අපි හිතෙන් අහක් කරල දාන්න හිතන් ඉන්න ඒව ආයෙ ආයෙ මතක් කරන්න එපා. මං වඳින්නම්”
“උඹලට මේ හොඳක් කරන්න කියන්න ගියාමත් උඹල හැසිරෙන්නෙ නිකන් අපෙන් පලිගන්න වගේනෙ”
“අක්ක ආයෙ මේ ගැන කතා කරන්න හිතන් මෙහෙ එන්න එපා. අපි අරුණලීගෙ ප්‍රශ්නෙ විසඳගන්නම්. අක්ක ඒ ගැන වදවෙන්න උවමනාවක් නෑ. මෙච්චර දවසක් මම අක්ක කියන හැම දේම ඉවසගෙන ඔලුව නවන් අහන් ඉඳියනෙ. මමත් අම්මා කෙනෙක් අක්කෙ. මගෙ දරුවට කවුරු නමුත් ඇවිත් එක එක දේවල් කියද්දි මට අම්ම කෙනෙක් විදියට ඒක දරාගන්න අමාරුයි. මේ ප්‍රශ්නෙ අපි හැමෝටම හිතට අමාරු එකක් උනාට ඔක්කොටම වඩා දුක් විඳින්නෙ මගෙ දරුවනෙ. ඒහන්දා අක්කා ආයෙ මේ ගැන කතාකරන්න මෙහෙ එන්න එපා”
“උඹල කට බලියං කියෙව්වට මෙන්න මේක හොඳට මතක තියාගනිං. ඔය මහලොකුවට තියෙන උද්දච්චකමට ඒ කොල්ලට ලොකුකම් දදා හිටියට උඹලට කවදහරි අන්තිමේ උගෙ දෙපා ලඟ දණ ගහන්න වෙනව. ඔන්න ම්ං නොකිව්වයි කියන්න එපා. මේ මගුල් ගන්න හෝටල් බුක් කරලා, ඇඳ පැලඳගෙන අන්තිම මොහොතෙ මගුල කඩා ගත්ත කෙල්ලෙක්ව වෙන මිනිහෙක් කසාද බැඳගනී කියලනම් හිතන්න එපා”
ශ්‍රීනි නැන්දා තව මොහොතකින් මේ පඩිපෙල පහු කර නිවසින් එලියට යන බව දන්නා නිසාම අරුණලී සද්ද නොඇසෙන්නට පඩිපෙල නැග උඩු මහලට ගොස් සැඟවුණාය. ඒ හේතු දෙකක් නිසාවෙනි. එකක් තමා නිවසේ සිටිනු දැකීම ශ්‍රීනි නැන්දාට අලුතෙන් කතාවක් හදන්න මාතෘකාවක් වනු ඇත. අනෙක් අතට තමා ඔවුන්ගේ සංවාදය අසා සිටි බව ඔවුන් දැනගැනීමයි.
එහෙත් තව කොපමන කාලයක් නම් මෙසේ සැඟවී සිටින්නද?
පසුදින කිමල් සියල්ලටම පෙර කාර්‍යාලය බලා ගියේ පෙර දා රැයේ බිඳුණු මල් පෝච්චියේ වීදුරු කටු අස් කර දමනු පිණිසය. මේ සියල්ලට අරුණලීගේ සම්බන්ධයක් තිබෙනවායැයි කෙනෙකුට සිතන්නට ඉඩක් දෙන්නට කිමල්ට උවමනාවක් තිබුනේ නැත.
මොන දේ උනත් ඒ කෙල්ල ඉන්නේ ජීවිතයේ ඉතාම අසරණ තැනක බව නොසිතා ඉන්නට හැකියාවක් කිමල්ට නැත.
“අරුණලීට සනීප නෑ. සෝ එයාගෙ පිච් එක මම කරනව කියල හිතුවෙ. ඩෝන්ට් ඩිස්ටර්බ් හර් දීස්ටූ ඩේස්” කියා කිමල් උදෑසන ඇලොකේශන් මීටිමේදී සියල්ලන්වම දැනුවත් කරේය.
“මොකෝ හදිසියෙ උණ ගත්තෙ? ඊයෙ රෑ ඔෆිස් එකේ නවත්තගෙන වීරෙ උඹට කරදරයක්වත් කරාද?” කියා සිනාසෙන ඉමොජි දෙකක් සමග කේශිනී එවා තිබූ පණිවිඩය අරුණලීගේ හිතට අස්වැසිල්ලක් නොවුණා යැයි කියන්නා නොහැක.
කිමල් කාර්‍යාලයට ගොස් සිදු වූ කිසිවක් එලෙසින්ම කියා නැති හැටියකි. එය සිතට අස්වැසිල්ලකි. රැකියව කෙතරම් නම් සිත සනසන්නට හේතුවක් වුණාද කිය අමතක කරන්නට අරුණලීට නොහැක. එහෙම රැකියා හමුවෙන්නෙ අහම්බෙනි.
රාජකාරිය අතරවාරයේ මොනයම් දේ කියා තමාව බය ගැන්වුවද කිමල් වීරවර්ධන මේ ගැටලුවේදී හැසිරී තිබෙන්නේ නියම මහත්මයෙකු පරිද්දෙන් බව අරුණලී සිතුවාය.
අම්මා ඇවිත් කන්න එන්න යැයි කිව්වද කන්නට පිරියක් අරුණලීට නැත. මෙනුක ඔස්ට්‍රේලියවේ සිට දුන් ඇමතුම සිත කලබල කරන්නට හේතුවක් වුන බව ඇත්තකි. එහෙත් තමාට තිබුනේ එතරම් කලබල නොවි ඉන්නට යැයි අරුණලී සිතුවාය. මොන දේ උනත් අවසානයේ මේ සියල්ල නිසා දුක් විඳින්නේ තමා පමණක් නොවේ අම්මලාද දුක් විඳිති. සියල්ලටම වඩා අරුණලීට දුක ඒ ගැනය.
මෙනුක සමග සබඳතාවයක පැටලුනෙ තමාය. මේ විවාහය නොවන බවට තීරණය ගත්තේ තමාය. එහෙත් අද දුක් විඳින්නේත් ලැජ්ජ වෙන්නේත් තමන් පමණක් නොවේ.
කල්පන් ලෝකයක නතර වී උන් තමා නින්දට වැටුනේ කොයි මොහොතේද කියා මතකයක් අරුණලීට නැත. ආයෙම අවදිවෙද්දී දවල් දෙක හමාරත් පහු වී තිබුනි. තවමත් තමා හැඳ සිටින්නේ ඊයේ රැයේ අම්මාගේත් නංගිගේත් උදව්වෙන් ඇඟට දා ගත් පිජාමා එකෙනි. උදෑසනටත් මුකුත් ආ නොතිබූ නිසාවෙන්ම ඇඟට දැනෙන්නේ පණ නැති බවකි. එහෙත් ඇඳෙන් නැගිට මුහුණ සෝදාගෙන ගොස් යමක් කන්න උවමනාවක් නැත.
අරුණලී ඇඳෙන් නැගිට්ටේ ආයසයෙනි. මුහුණ කට සෝදා විත් පිජාමා එක හැඳගෙන මොනවා හෝ කන්නට පහලට ගියේ ඊටත් වඩා ආයාසයෙනි. අම්මත් තාත්තත් උන්නේ දවල් ආහරයෙන් පසු ගන්නා සුපුරුදු කෙටි නින්දට වැටීය. එහෙමකට පිරියක් නැතුව බත් කටවල් දෙක තුනක් බඩට දාගත් අරුණලී ආපසු කාමරයට විත් ඇඳට වැටුණේ දුරකතනය දෙස බලමිනි. මෙනුකගෙන් ආ වට්සැප් පණිවිඩ තොගයක් නොකියවා ඇති බව දුරකතනයේ සටහන් ය. ඒ එක් පණිවිඩයක්වත් නොකියවාව අරුණලී එහෙම් පිටින්ම එය ඩිලීට් කර දැමුවේ මේ දැවෙන ගින්නට එය පෙට්‍ර්ල් බෝතලයක් හැලුවාක් වන බව දන්නා නිසාවෙනි. එහෙත් මෙඋක ඊයේ රැයේ සිතේ පැලපදියම් කල බිය අරික්කාලක්වත් අඩු වුණා යැයි කියන්නට නොහැක. මෙනුක පැමිණ තමාව ඇදගෙන යාය යන බිය අරුණලීව තිගස්සා තිබුනි.
ඇඳට එහා පැත්තේ සයිඩ් කබඩය උඩ දුරකතනය තැබූ අරුණලී ඇඳේ ඇලවී දෙනෙත් පියාගත්තාය. සුපුරුදු ලෙස කල්පනා ලෝකයක හිත හිරවෙන්නට කලියෙන් දුරකතනය නාද වෙනු අරුණලීට ඇසුනි.
“ඒ මෙනුකද?” කියන බය නොදැනුනා නොවේ. දුරකතනය අතට ගත්තේ ගැහෙද්දීය. එහෙත් එහි සටහන්ව තිබුනේ කිමල් ගේ නමය. ඒ මෙනුක නොවීම විශාල අස්වැසිල්ලක් උනත් කිමල් මේ ගැන දන්නවාය යන් ලැජ්ජාව ඒ අස්වැසිල්ල එහෙම පිටින්ම අත්විඳින්න ඉඩ නොදෙන්නකි.
“හෙලෝ”
අරුණලී දුරකතනයට ආවද හෙලෝ කියන්නට තැනුවද උගුරේ සෙම බැඳී ඇති බවක් දැනේ.
“හෙලෝ අරුණලී, මම කිමල් කතාකරන්නෙ”
කිමල් දෙවන වරටත් හෙලෝ කියූ පසු කතාකරන්නට උගුර පාදා ගත්තේ අපහසුවෙනි.
“කියන්න සර්”
“ඔයා හොඳින් නේද?” ඒ වෙනදා තමාට බනින කටහඬ නොවේ. අනුකම්පාව මුසු වූ වඩා දයාබරිත හඬකි. එහෙත් එයට හේතුව කිමල් හැමදේම දන්නා බවත්, ඒ නිසාම තමාට අනුකම්පා කරන බවත් යැයි සිතීම සිතට බරකි.
“ඔව් සර්, තැන්ක්‍යු ඊයෙ උදව් කරාට”
“ඒක පොඩි දෙයක්.ඔයා කාල බීලද ඉන්නෙ?”
“ඔව් සර්”
“මම ඔෆිස් එකේ අයට කිව්වෙ ඔයාට උණ කියල. ඔයත් එහෙමම කියන්න”
“හා”
“වැඩ ගැන වොරි වෙන්න එපා. විල් සෝර්ට් දැට් අවුට්. අපි ඉස්සරවෙලා අනිත් ප්‍රශ්නෙ විසඳගෙන ඉමු”
“මොන ප්‍රශ්නෙද සර්?”
“ඊයෙ තාත්තායි අම්මයි මා එක්ක කතා කරා. අරුණලී ඔයා ප්‍රශ්නෙක නම් ඉන්නෙ අපි ඉස්සර වෙලා කරන්න ඕන රියැක්ට් කරන්න කලින් ප්‍රශ්නෙ මොකද්ද කියල තේරුම් ගන්න එක. මම කියන්නෙ මේ ඔයා රියැක්ට් කල විදිය වරදක් කියල නෙවෙයි. හැබැයි ප්‍රශ්නෙන් ගොඩ එන්න, ප්‍රශ්නෙ එන්ඩ් එකක් දකින්න නම් ඔය විදියට රියැක්ට් කරල හරියන්නෙ නෑ. මොකද ඕකෙන් වෙන්නෙ ඔයාව තව තවත් වැටෙන එක විතරයි. ප්‍රශ්නෙ විසඳගන්න නම් ඔයා ඒ ප්‍රශ්නෙ විසඳගන්න පාර ඉස්සරවෙලා හොයාගන්න ඕන”
“මට දැන් ඉතුරුවෙලා තියෙන්නෙ පාරවල් දෙකක් විතරයි සර් යන්න” අරුණලී කිව්වේ සුසුමක් අතාරිමිනි. ඒ සුසුම දුරකතනය ඔස්සේ ඇදී විට් කිමල් ගේ සවන් මත වැතිර ගත්තේය.
“මොකද්ද?”
“එක්කො මම සුයිසයිඩ් කරගන්න ඕන. ඒත් මට ඒක කරන්න බෑ සර්, මං එහෙම කලොත් අපෙ අම්මල මුලු ජීවිත කාලෙම දුක්විඳින්නයි ලැජ්ජ වෙන්නයි ඕන”
“එහෙනං අනිත් පාර මොකද්ද?”
“මං හිතන්නෙ ඒක තමයි සර් මට යන්න තියෙන එකම පාර. ඒ නිසාමයි මම හිතුවෙ ඒ පාරෙ යන්න”
“මොකද්ද ඒ?”
“මම මෙනුකට කියනව මම ආයෙ සෙට්ල්වෙන්න කැමතියි කියල. සමහරවිට සමහරවිටඑයා සම්පත් ඇත්තටම වෙනස් වෙන්න කැමති වෙයි නේද? එහෙම උනොත් අවුලක් වෙන්නෙ නෑනෙ. අම්මලටත් කරදරයක් නෑ. ඒ නිසා මම එහෙම කරනවා”