පමා වී පිපුනු මල් 28

“මෙනුක ලංකාවට යන බව උඹ දැනගෙන හිටියද?” රමිත් ඇහුවේ කුමිලගෙනි. ඒ ඇත්තටම මෙනුක දෙවන වතාවටත් තමාව හැරදමා අරුණලී සොයා ගොස් ඇති බව දැනගෙනය. මෙනුක කිසිම දිනක තමන්ව තෝරා නොගන්නා බවටත් මෙනුක තමන්ගේ ජීවිතය ගෙවන්නට බලාපොරොත්තු වෙන්නේ අරුණලී සමග පමණක් බවත් රමිත් දෙවන වතාවටත් තේරුම් ගත්තේය. 

“ඌ අන්තිම මොහොතෙ තමයි මට කිව්වෙ” කියා කුමිල කිව්වේ මදක් පැකිලීමෙනි. ඒ තමන් දෙන පිළිතුර රමිත්ව කෝපගන්වන්නට හේතුවක් වියහැකියැයි සිතූ නිසාවෙනි.

එහෙත් රමිත් උන්නේ කෝප ගන්නට සිතමින් නොවේ. තමා මොන තරම් කෝප ගත්තද, මොනතරම් වැඳ වැටුණද මෙනුකව වෙනස් කරන්නට, ඔහුව අරුණලී ගෙන් මුදවා ගන්නට එය හේතුවක් නොවන බව රමිත්ට තේරුම් ගොස් තිබුණි. තමාගේ කෝපය, වේදනාව, දුක මෙනුකට ගැටලුවක් වෙන්නෙ එය අරුණලී සහ ඔහු අතර සබඳතාවයට ගැටලුවක් වනවා නම් පමණක් බව ද රමිත් තේරුම් ගත්තේය.

මේ තමා සහ මෙනුක අතර වූ කුමනාකාරයේ සබඳතාවයකට වුව තිත තියන්නට නියමිත කාලය බව රමිත් සිතුවේය. ඇතැම් සෘතු ජීවිතයට එන්නේ ජීවිතයේ ඇති සියලු සන්තකයන් විනාශ කර දමන සුලි සුලං ද කැටුවය. එහෙත් ඒ සුලි සුලං නිසාවෙන් හිස්වන සිත නම් බිම් කඩ මත ආයේ කෙදිනක හෝ අලුත් බලාපොරොත්තු වල මල් පොහොට්ටු පිපෙන බව රමිත් සිතුවේය.

ඉතින් ඒ කතාව තමා වෙනුවෙනුත් ඇත්තක් වියයුතු නොවේද? මෙනුකට යන අවැසි නම් යන්න දිය යුතු බවත්, තවදුරටත් තමා කොපමණ මහන්සි උනත් මෙනුක වෙනස් නොවන බවත් රමිත් සිතුවේය.

එහෙත් මේ සියල්ල කතාකර විසඳාගන්නට ඔහු එනතුරුම හිඳිය යුතු නොවේද? මෙනුක හදිසියේම ලංකාවට ගොස් එහි කුමනාකාරයේ ජංජාලයක් නටා තිබේද යන්න සැකසහිතය. අරුණලී කොහොමත් මුහුණු පොතෙන්ද ඉන්ස්ටග්‍රෑම් වලින්ද ඉවත්වී ඇති නිසා ඇගේ පසින් කිසිවක් දැනගන්නට ඉඩක් ද නැත. මෙනුක හැරෙන්නට මේ ගැන විමසන්නට කෙනෙකුද නැත.

“අම්මල මොන මගුල කිව්වත් අරුණලීව ඇරෙන්න මම වෙන කිසිම කෙනෙක්ව බඳින්නෙ නෑ”

“එහෙනං උඹ උන්නු රටටම ගිහින් ඕන මගුලක් කරගනින් අපිට ලැජ්ජ කරන්නෙ නැතුව. යකෝ අපිත් පාරෙ බැහැල යන්න ඕන. උඹයි උඹේ කෙල්ලයි විතරක් නෙවෙයි මේ ලෝකෙ ඉන්නෙ. උඹේ වල් වනචරවැඩ හන්ද අපිටත් රටට ලෝකෙට මූණ දීගන්න බැරුව ඉන්නෙ. එහෙම එකේ උඹ තවත් මට කියන්නෙ ආරියරත්නගෙ කකුල් දෙක ලඟට ගිහින් වැඳ වැටෙන්න කියලද යකෝ” 

පීරිස් කෑගසමින්ම පපුවෙ එක පැත්තක් අල්ලගෙන පුටුවට බර වෙද්දී ඛේමා එහි දුව ආවේ හඬමිනි.

“අනේ මං ඔයාට කියනවනෙ ඒයි කෑගහල මේව විසඳන්න බෑ. අන්තිමේ ඔයා ලෙඩෙක් වෙලා නතරවෙන්නෙ මේව හන්ද”

“අමුතුවෙන් වෙන්න දෙයක් නෑ. අපිව දැන් මිනිස්සු තුට්ටුවට දාලා තියෙන්නෙ”

“අනේ පුතේ මං වඳින්නං උඹට අත් දෙක අල්ලල, අරුණලීව අමතක කර ආපහු ඔස්ට්‍රේලියා ගිහින් හොඳට රස්සාව කරගෙන ඉන්න පුතේ. මොන ලැජ්ජාවක්ද මේ තමන්ව එපාම කියන ගෑණියෙක් හන්දා මෙච්චර හොඳට උන්නු ඔයා විනාස වෙන්න හදන්නෙ?

තාත්තයි, අක්ක ගැනවහ් හිතන්න පුතේ. අක්ක කොච්චර ආදරේද ඔයාට? අක්ක හරියට දුක් වෙයි ඔයා මේ පිස්සු නටනව කියල දැන ගත්තොත්”

ඛේමා ඇත්තටම උන්නේ කලකිරීමකිනි. දරුවන් වෙනුවෙන් මෙතරම් කැපකිරීම් කල පසු අවසානයේ උරුම වී තිබෙන්නේ මේසා වේදනාවක් නොවේද? පුතුන් අම්මලාගේ හුරතලුන් යැයි කියන කතාව අනුව යමින් ඛේමා මෙනුකව කුඩා කාලයේ හිඳම මහා ආදරයකින් නැහැවෙව්වාය. මෙනුක අරුණලී සමග යහලු වූ පසුවත් ලංකාවට ආ දිනයන්හි රාත්‍රියට මෙනුකට බත් කැව්වේ ඛේමාය. හොඳින් ඉගෙන ගත් දුවත් පුතත් නිසාවෙන් බොහෝ තැන්හි ගරු බුහුමනටලක් වූ තමා අද එයින් එක් දරුවෙක් නිසාම අනන්ත අප්‍රමාණ නින්දා විඳින්නේ ඇයි ද?

අම්මාගේ කඳුලු හැම දිනකම තමාව දුර්වල කල බව මෙනුක දනී. එය අද මේ මොහොතටත් අදාලය. එහෙත් තමා අම්මාගේ කඳුලු නිසා මේ මොහොතේ පසුබැස්සත් එය අරුණලීව අමතක කරන්නට හෝ ඇයව අතාරින්නට හේතුවක් කරගත යුතු නැති බව මෙනුක සිතුවේය.

අරුණලී තමා සමග විවාහ වෙන්න අකමැති නම් ඇය වෙන කිසිවෙකුට හෝ හිමිවිය යුතු නැත. ඇය මුලු ජීවිත කාලය පුරාවටම දුක් විඳිය යුතුය.

අරුණලී බලාගෙන හිඳින්නේ තමාගෙන් මිදී ගොස් කාර්‍යාලයේ හිඳින මිනිසා සමග සබඳතාවයක් ඇති කරගන්නද යන කුකුස සිතෙන් ඉවත් කරගන්න මෙනුකට කිසිසේත්ම හැකිවූයේ නැත. ඔහුගේ දෙනෙතේ රැඳී තිබුණ අභිමානයසහ විශ්වාසය පෙරටු කරගත් බැල්මකි. අනෙක් අතට අවුරුදු ගණනක් යාලු වී හුන් තමා එතන රැඳී ඉද්දී අරුණලී තමන් දෙස එක් මොහොතකටවත් හැරී නොබලා යන්නට තරම් ඒ විශ්වාසය අරුණලීව යටත් කරගෙන තිබෙන්නේ ඔවුන් අතර යම් කිසි සබඳතාවයක් තිබෙන නිසා විය නොහැකිද?

“බැල්ලි” 

සිත අස්සෙන් ඒ වචන හෙමින් හෙමින් එලියට පනිද්දී එයට සමගාමීව කෝපය ද උත්සන්න වෙමින් තිබුණි. 

කිමල් අරුණලීව් සහ සඳලිනීව ගෙදරටම ගෙනත් ඇරලුවේ වැඩි පරිස්සමටය. අරුණලී ස්හ සඳලිනී ගෙට ගොඩ වී යන්නයි පැවසූ විට බෑ කිව්වද ගේට්ටුව ලඟටම ආ ආරියරත්න මහතා කල ආරාධනාව පිලිනොගෙන ඉන්න හැකියාවක් කිමල්ට තිබුනේ නැත.ම්නවා උනත් මේ තාත්තාගේ වයසේ මනුස්සයෙකි. වචනයක් එහෙම අහක දාන්නට හැකිද?

“වෙන දවසක මේ වගේ වෙලාවක ආවනං දවල්ට කෑම ටිකක් කාලාම යන් කියල අපි ආරාධනා නොකර ඉන්නෙ නෑ පුතා. ඒ උනාට අද නං අපිට ඒක කරන්න හැටියක් නෑනේද සුභා?”

“අනේ ඔව් සර් අපිට තියෙන කරදර හැටියට ඔක්කොම වැඩපල අවුල් වෙලා තියෙන්නෙ”

“අද අරගොල්ලො ආවනෙ” ආරියරත්න කිව්වේ කිමල් වෙත නැඹුරු වී රහසක් කියන්නාක් මෙනි. ගෙවුණ සති කිහිපයක කාලය තුල කිමල් වීරවර්ධන වනාහී විශ්වාස තබාගත හැකි අයෙකු බව ආරියරත්නට සිතී තිබුණි.

“මං තමයිඑන්න කිව්වෙ, මහ දෙන්නට එන්න කිව්වට කොල්ලත් ආව”

“මොකද වුණේ අංකල්? මොකද කියන්නෙ එයාල”

“ඒ මහ මිනිස්සු දෙන්නගෙ ඇත්තටම වරදක් නෑනෙ පුතා. අපි වගේම තමයි අපිටත් වඩා අසරණ ඇති ඒ මිනිස්සු. කොච්චර ලෝකෙ දියුණු වෙලා අරකද මේකද කිව්වත් ඔය වගේ දෙයක් තමන්ගෙ දරුවෙක් ගැන ආරංචි උනාම ඕනම අම්මෙක් අප්පෙක් බයවෙනවනෙ මිනිස්සු කියන කරන දේවල් ගැන”

“මෙයාට හොඳටම තරහ ගිහින් හිටියෙ මං ඒත් බය උනා ඒ ලමයට ගහවිද කියලත්, එහෙම උනානං තව ප්‍රශ්නයක්නෙ සර්”

“මට යකා නැග්ගෙ ඒ මහ මිනිස්සු එක්ක නෙවෙයි අරූ එක්ක, ඌ පිලිගන්නෙම නෑ මේ ඌ මෙහෙම ඔෆිස්වලට ගිහින් සද්ද බද්ද දාන එක හෙම වැරදියි කියල. ඌ හිතන් ඉන්නෙ අපිමේ බලහත්කාරෙන් අරුණලීව හංගං ඉන්නව කියල”

“මං හිතන්නෙ මෙනුකට තියෙන ප්‍රශ්නෙ අරුණලී එයාට කතාකරන්නෙ නැති එක. එයා හිතනව ඇති අංකල්ල එපා කියන නිසා තමයි එහෙම වෙන්නෙ කියල. මං ඒත් අරුණලීට කිව්වෙ අපි මෙනුක කරන හැමදේකටම රියැක්ට් කරන තාක් කල් මෙනුක ඔය වැඩේ අතාරින්නෙ නෑ කියල. අපි උත්තර දෙන තාක්කල් මනුස්සය ප්‍රශ්න හදනව. අපි උත්තර නොදී ඉන්න එකයි කරන්න ඕන”

“අනේ මන්ද සර් මට ඇත්තටම හරි බයයි අරුණලීව එලියට යවන්නවත් දැන්. කවුද දන්නෙ සර් මොන කරදරයක් කරාවිද කියල දැන් කාලෙ අහන්න වෙන ඒවත් එක්ක කොහොමද බයක් සැකක් නැතුව ඉන්නෙ”

“එහෙමයි කියල හැමදාම ගේ අස්සෙ තියාගන්න බෑනෙ තරුණ ලමයිව. අනික ඔය පිස්සා තව කොච්චර කාලයක් ඔය පිස්සුව නටන්න තියාගෙන ඉන්නව කියල අපි දන්නවද? එහෙම බැලුවොත් ඉතින් අරුණලී ට් උගෙ පිස්සුව හොඳ වෙනකම් ගේ අස්සට වෙලා තමයි ඉන්න වෙන්නෙ”

“මෙයා මෙහෙම කිව්වට ගෑණු ලමයෙක්ට කරදරයක් උනොත් ආයෙ හරිගසන්න කියලද සර් වැරැද්ද?”

“නෑ නෑ මට තේරෙනව අංකල්ලගෙ හිතේ තියෙන කරදරේ. ඔෆිස් එක ඇතුලෙ නම් කාටවත් එහෙම ඇවිල්ල සෙල්ලම් දාන්න විදියක් නෑ. ඒක.මම සහතික වෙන්නම්. ඔෆිස් ඇරිල යද්දි එද්දි නම් ඔව් ආන්ටි කියනව වගේ කරදරයක් ප්‍රශ්නයක් නොවීතියෙන්න බෑ. අපිට කියන්න බෑනෙ මෙනුකට එන්න එපා කියල”

“ඒකනෙ සර් අනේ මන්ද, රස්සාවට යන්න පටන් ගත්තයින් පස්සෙ සන්තෝසෙන් අරුණලී උන්නු හන්ද මං හිතුවෙ ප්‍රශ්න ටික ටික අඩුවෙලා යාවි කියල. රස්සාවෙන් අයින්වෙලා ගෙදර ඉන්න හැදුවොත් ආයෙ වෙන්නෙ මේ ලමය කල්පනා කරල ලෙඩ වෙන එක.

මේව උත්තර නැති ප්‍රශ්න සර්”

“අපි බලමු මොකද කරන්න පුලුවන් කියල” කිව්වද කිව  යුත්තේත් කල යුත්තේත් කුමක්ද කියා කිසිත් අදහසක් කිමල්ට නැත.

එහෙත් කුමක් හෝ කල යුතුමය.

අරුණලීට ඇති ආදරය නිසාවෙන්ම හෝ යමක් කල යුතුමය.











අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles