පුංචි බබාලට ගිතෙල් දෙන එකේ වාසි මොනවද ?

ගිතෙල් කියන්නේ ලෝකය පුරාම ප්‍රසිද්ධ කිරි නිශ්පාදනයක්. බොහෝ ආහාර සකස් කිරීම සඳහා යොදා ගන්නා මේ ගිතෙල් වල සෞඛ්‍ය සම්පන්න මේද , විටමින් , කැල්සියම් ,ඛනිජ වර්ග, එන්සයිම සහ ජලය අඩංගු වෙනවා. අද අපි කතා කරන්නේ පෝශ්‍ය පදාර්ථ වලින් සපිරි ගිතෙල් දරුවන්ට ලබා දීමේ වාසි මොනවද කියලයි.

දිරවීමට පහසුය

සමහර දරුවන්ට කිරි වල ඇති ලැක්ටෝස් අහිතකර වන අවස්ථා තිබෙනවා.ගිතෙල් සකස් කිරීමේදි කිරි වල ඇති ලැක්ටෝස් සහ කැසීන් අන්තර්ගතය අඩු කරනවා.ඒ නිසා ලැක්ටෝස් අහිතකර දරුවන්ට දිරවීමට ඉතා පහසු දෙයක් ලෙස ගිතෙල් හඳුන්වන්නට පුළුවන්.

හොඳ ශක්ති ප්‍රභවයක්

ගීතෙල් මේස හැන්දකින් 122Kcal ශක්තියක් ලැබෙනවා.වැඩෙන දරුවන්ට මෙය ඉතා හොඳ ශක්ති ප්‍රභවයක් ලෙස සැලකෙනවා.

බර වැඩිවීම

සෞඛ්‍ය සම්පන්න ලෙස බර වැඩිවීම අපේක්ෂා කරන දරුවන් හට ගිතෙල් ලබාදීම ඉතා සුදුසුයි. 

බහුල පෝෂ්‍ය පදාර්ථ 

කුඩා දරුවන්ගේ වැඩීමට අවශ්‍ය කරන බොහෝ පෝෂ්‍ය පදාර්ථයන් ගිතෙල් වල අඩංගු වෙනවා. විශේෂයෙන්ම ගිතෙල් වල විටමින් ඊ තිබීම ආහාර වල ඇති ප්‍රතිඔක්සිකාරක ප්‍රබලතම ප්‍රභවයක් බවට පත් කරයි. ඒ වගේම විටමින් A සහ විටමින් K2, සෞඛ්‍ය සම්පන්න මේද, අත්‍යවශ්‍ය මේද අම්ල ඉහල ප්‍රමාණයක්ද ගිතෙල් වල අඩංගු වනවා 

අස්ථි සෞඛ්‍ය 

ගිතෙල් වල අඩංගු සංයුක්ත ලිනොලෙයික් අම්ලය අස්ථි ස්කන්ධය වැඩි දියුණු කිරීමට උපකාරී වන අතර එම නිසා අස්ථි වර්ධනයට සහ මාංශ පේශි වර්ධනයට උපකාරී වනවා. ගිතෙල් යනු විටමින් ඩී සහ කැල්සියම් ප්‍රභවයක් වන අතර ඒවා නිරෝගී අස්ථි පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන අතර එය ස්වාභාවික පෝෂණ අතිරේකයක් ලෙස ක්‍රියා කරනවා

ආහාර ජීර්ණ ක්‍රියාවලිය 

ගිතෙල් ආහාර දිරවීමේ සෞඛ්‍යය පවත්වා ගැනීම සඳහා ආධාරකයක් ලෙස සැලකෙන MCFAs (මධ්‍යම දාම මේද අම්ල) ලබා ගැනීමේ හැකියාව වැඩි දියුණු කරනවා. ඔබේ දරුවාගේ ආහාර වේලට ගිතෙල් තේ හැන්දක් එකතු කිරීම ආහාර ජීර්ණ පද්ධතියේ නිරෝගී වර්ධනයට උපකාරී වනවා.

ප්‍රතිශක්තිය 

sphingolipids නම් ලිපිඩ වර්ගය ගිතෙල් වල අඩංගු වන අතර මෙය බඩවැලේ මේරිම සඳහා සහාය වීමත් ප්‍රතිශක්තිකරණ පද්ධතිය දියුණු කිරීම කෙරෙහි ධනාත්මක කාර්යභාරයක් ඉටු කිරීම ද සිදු කරනවා. 

ඔබේ දරුවාගේ ආහාර වේලට ගිතෙල් හඳුන්වා දිය හැකි වන්නේ වයස කීයේ සිටද ?  

ළදරුවන්ට මාස හයේ සිට ගිතෙල් ආහාර වලට එකතු කිරීම සිදුකළ හැකිය.ඇත්ත වශයෙන්ම සමහර රටවල් වල ලදරු ආහාර සඳහා භාවිතා කරන පොදු ආහාර මේද වලින් එකක් ලෙස ගිතෙල් සැලකෙනවා.වයස අවුරුදු දොළහට අඩු දරුවන්ට දිනකට ගිතෙල් තේ හැඳි එකක්  පරිභෝජනය කිරීමේ හැකියාව පවතිනවා. මෙම ප්‍රමාණය පසුව ක්‍රමක්‍රමයෙන් තේ හැදි දෙකේ සිට මේස හැඳි එක දක්වා වැඩි කළ හැකියි.

කෙසේ වෙතත් ඔබේ දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය සහ වයස සඳහා ගිතෙල් වල ආරක්ෂිත සීමාව තීරණය කිරීම සඳහා ළමා වෛද්‍යවරයෙකු හෝ ළමා පෝෂණ වේදියෙකුගේ සහාය ලබා ගැනීමට සැලකිලිමත් වන්න.

Related Articles

Don't Miss


Latest Articles