චොකලට් ලාව කේක් කියන්නෙ දැක්කම කටට කෙල වුනන රස පාට බේරෙන කෑමක්නෙ.
තේ වෙලාවට, සාදයකට වගේම අතුරුපසක් විදිහට වුනත් ලොකු පොඩි බේදයක් නැතුව රසවිඳින්න පුළුවන් මේ රසම රස ලාව කේක්, ආපනශාලා හෝ බේකරි වලින් මිලදී ගන්න ගියොත් නම් ඒ සඳහා ටිකක් වැඩි මුදලක් වියදම් කරන්න ඔබට සිද්ධ වෙනව.
ඒම නැතුව පවුලෙ හැමෝටම එකට ඉඳල රසවිඳින්න පුළුවන් ආපනශාලා වල ප්රමිතියටම සමහරවිට ඊටත් වඩා රසට පිරිසිදුවට චොකලට් ලාව කේක් හදන විදිහ කියල දෙන්නයි ඔන්න smart lady අපි අද සූදානම් වෙන්නෙ.
හදන්නෙ කොහොමද බලන්න කලින් අපි මේ සඳහා අපිට අවශ්‍ය ද්‍රව්‍ය සූදානම් කරගෙන ඉමු නේද?
අවශ්‍ය ද්‍රව්‍ය
(හය දෙනෙක් සඳහා)
ඩාර්ක් චොකලට් 170 g ක්
බටර් වෙන වෙනම 15 g ක් සහ 115 g ක්
චොකලට් කුඩු මේස හැඳි 01 ක් 02 ක්
සීනි 50 g ක්
බිත්තර 03 ක්
පාන් පිටි 15 g ක්
ලුණු කුඩු ස්වල්පයක්
කුඩා පෝසිලේන් කෝප්ප හෝ ෆොයිල් මෝල්ඩ්ස් 06 ක්
සාදාගන්නා ආකාරය
මුලින්ම ඔබේ අවන් එක සෙල්සියස් අංශක 180 ට රත්වීමට තබන්න.
ඊළඟට අපි ලාවා කේක් සෑදීමට ගන්නා පෝසිලේන් කෝප්ප හෝ ෆොයිල් මෝල්ඩ්ස් ඇතුලත බටර් 15 g ආලේප කර ඊට උඩින් චොකලට් කුඩු හොඳින් ඉසගෙන විනාඩි 10 ක් ශීතකරණයේ තබා ඉවතට ගන්න.
ඩාර්ක් චොකලට් කුඩා කැබලි වලට කපාගෙන තරමක් විශාල වීදුරු භාජනයකට දමාගන්න. එයටම බටර් 115 g ත් එකතු කරගන්න.
දැන්, මේ වීදුරු භාජනය නටන උණු වතුර භාජනයක් උඩ තබා හැඳිගාමින් ඩබල් බොයිල් ක්‍රමයට චොකලට් සහ බටර් දියකරගෙන මිශ්‍රණයක් සාදාගන්න.
චොකලට් දියවූ විට උණු වතුර භාජනය උඩින් ඉවත්කර ටික වේලාවක් හැඳි ගා නිමෙන්නට තබන්න.
දැන්, වෙනම භාජනයක් ගෙන එයට බිත්තර, සීනි සහ ලුණු බිඳක් එකතු කර හොඳින් මිශ්‍රකර ගන්න. සීනි දියවී මිශ්‍රණය සුදු පැහැයට හැරෙන තෙක් මිශ්‍ර කරගත යුතුයි.
ඊළඟට, එයට පිටිත් එක්කර නැවත හොඳින් කලවම් කරගන්න.
සියල්ලම හොඳින් කලවම් වූ මිශ්‍රණයට දියකරගත් චොකලට් සහ බටර් මිශ්‍රණයත් දමා නැවත සියල්ල හොඳින් මිශ්‍ර කරගන්න.
ශීතකරණයෙන් ඉවතට ගෙන සූදානම් කරගත් කෝප්ප වලට මිශ්‍රණය එකම ප්‍රමාණයට වත්කරගන්න.
කට මට්ටමටම පුරවා ගන්න එපා.
දැන් කලින් රත්වීමට තැබූ අවන් එකට ලාවා කේක් මිශ්‍රණය දැමූ කෝප්ප අසුරා සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයේ විනාඩි 07 ක් 09 ක් පමණ බේක් කරගන්න.
උඩ සහ වටේ වියළිවත් මැද මෘදුවත් තිබිය යුතුයි.
අවන් එකෙන් ඉවතට ගෙන විනාඩියක් පමණ තබා මෝල්ඩ් එකෙන් හෝ කෝප්පයෙන් ඉවතට ගෙන උණුසුම්වම ලාවා කේක් රසවිඳින්න ඔබටත් පුළුවන්.
ඒ වගේම කුඩුකරගත් සීනි, විපින් ක්‍රීම් හෝ ක්‍රීම්, චොකලට් සිරස්, ස්ට්‍රෝබෙරි සිරප්, වැනිලා අයිස්ක්‍රීම්, නැවුම් පලතුරු හෝ ජෑම් සමඟ වුනත් ලාවා කේක් රසවිඳින්නත් පුළුවන්.
ශීතකරණයේ තබන බටර් ලාවා කේක් සැදීමට පෙර ශීතකරණයෙන් ඉවතට ගෙන කාමර උෂ්ණත්වයට පැමිණෙන තෙක් තබාගත යුතුයි.
කෝප්ප වල ප්‍රමාණය මත බේක් වීම සඳහා ගතවෙන කාලය වෙනස් වුනත් වටේ සහ උඩ බේක් වී මැද මෘදු තත්වයෙන් පැවතීමෙන් ඔබට ඒ ගැන අවබෝධයක් ලබාගන්න පුළුවන්.
එහෙනම් පිරිසිදුව, රසට හදන චොකලට් ලාව කේක් මේ විදිහට හදල බලමුද?
සටහන – දුලානි නවෝද්‍යා