එයා  මැරිලා හුඟක් කල් 29

අපි දෙන්නටම ඇහුනේ පිටිපස්සේ වැවේ රැල්ල ඇවිල්ලා තහ් තහ් තහ් ගාලා කොන්ක්‍රීට් බැම්මෙ වැදෙන සද්දෙ විතරයි.අඩුම තරමේ අපි දෙන්නට අපි දෙන්නා හුස්ම ගන්නවද කියන එකවත් අපිට ඇහුනෙ නෑ..මං හිතන්නේ සමහරවිට අපි දෙන්නට හුස්ම ගන්න එක අමතක වෙලා තියෙන්න ඇති.හීනෙකින්වත් හිතාගන්න බැරි විදිහේ දෙයක් ප්‍රහාන් එවපු  ලිපියේ තිබුණා.
ඒක ඉන්ග්‍රීසියෙන් ලියපු ප්‍රතිඥාවක් වගේ දෙයක් උනා…
ඒ ප්‍රතිඥාවට යටින් රත්නාලෝකගේ අත්සනත් දාලා තිබුණා .

ලොවම පාලනයක කරන රෙප්ටීලියන්ස් අපි වෙමු…

ලෝකයාගෙන් සැගවී මුලු ලෝකයම පාලනය කරන,මිනිසා දිනෙන් දින විනාශය කරා රැගෙන යන ..කුඩා ලමුන් බිය වද්දා පැහැර ගෙන ඔවුන්ගේ ලේ වලින් හෝ ගර්භනී මව්වරුන්ගේ පිරිපුන්  කලලයෙන් හෝ  මිනිසුන්ගේ මොලයේ යම් යම් කොටස් වලින් හා අදුරු සිතුවිලි වලින් පෝශනය වන,ශක්තිමත් වන, iluminate සංවිදානයට පන පොවන ශුද්ද වූ බයිබලයේ මිනිසා පාපයට පොලබවන සර්පයා ලෙස හැදින්වෙන ,ග්‍රේ පිටසක්වල ජීවීන්
අපි වෙමු.

මිනිසුන් තම වහල් සේවයට ගෙන ඔවුන් ලවා මිනිසුන්ගේ ජාන විකෘති කරන, ඔවුන්ව පර්‍යේශන වලට යොදා ගන්න සහ ඔවුන්ව පැහැරගෙන පොලවේ උමං සාදාගෙන රහස් සමුලු පවත්වන සහ ජීවත් වෙන ප්‍රසිද්ද පුද්ගලයන් සහ ප්‍රබල රජ පවුල් වල සමාජිකයන් ලෙස වෙස් වලාගෙන මුලු ලෝකයම පාලනය කරන ඉතාමත් බයානක රෙප්ටීලියන් ජීවීන්  අපි වෙමු..

මගේ අත් දෙක වෙව්ලන එක මටම පාලනය කරගන්න බැරුව ගියා.කවදාවත් මේ වගේ දෙයක් අපි කවුරුවත් බලාපොරොත්තු වුණේ නෑ..විශ්වාස කරගන්න බැරි ගතියක් දැනුනා.. එකපාරටම ප්‍රහාන් මේ සම්බන්ධව හොයාගත්ත තවත් මොනවද විස්තර වගයක් අපිට එව්වා .

අපේ ඉතිහාස පිලිබදව ගතහොත් 1982 දී කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ ඇති කැනඩාවේ ජාතික කෞතුකාගාරයේ ඉතාමත් දක්ශ පුරාවිද්‍යාඥයෙකු සහ පොසිල පිලිබද පර්‍යේශන කරන විදාඥයෙකු වන ඩේව් රසල් විශේශ පරීක්ශනයක් නිකුත් කර ඇත. එහි සදහන් වී ඇත්තේ විශාල මොලයක් සහා විශාල බුද්දියක් ඇති සත්වයෙකු පිලිබදයි. ඔහු එක්තරා තර්කයක් ගොඩ නගා ඇත. එනම් මීට  වසර මිලියන 65කට ඉහතදී සිදු වූ මහා විනාශයෙන් ඩයිනෝසරයෙක් ඉතුරු වූවානම් එය ක්‍රමක් ක්‍රමයෙන් මිනිස් වර්ගයකට පරිනාමය වීමට ඉඩ ඇති බවයි. ඔහු මේ සදහා යොදා ගෙන ඇත්තේ ටෲඩෝන් නම් ඩයිනසෝර් විශේශයයි. ටෲඩෝන් ලෙස හැදින් වෙන්නේ එදා මෙදා තුල ජීවත් වූ බුද්දිමත්ම ඩයිනසෝර් විශේශයයි.

ඔහු එම සත්වයාගේ ඇට කටු අද්‍යනය කර එය මිනිස් වර්ගයකට පරිනාමය වූවානම් කෙසේදැයි අද්‍යනය කර ඇත. එවිට ඔහුට ප්‍රතිපලය ලෙස මානව රූපී උරග මිනිසෙකුගේ උකල්පිත රුවක් ගොඩ නගා ගැනීමට හැකි විය.පසු කලෙක ඒ මානව රූපි උරගයා මිනිසුන් විසින් රෙප්ටීලියන්ස් ලෙස හදුන්වන ලදී.

මම රාජරත්නම් ගේ මූනත් රාජරත්නම් මගේ මූනත් බලාගෙන කොයිතරම් වෙලාවක් උන්නාද කියලා තේරුනේ නෑ…

ප්‍රහාන් ඊට පස්සේ එව්වෙ අපේ හුස්මත් හිරවෙන විදිහේ ලිපි කීපයක් . ඒ හැම එකක්ම සමාන ප්‍රතිඥාව අත්සන් කරපු පාර්ලිමේන්තුවේ ඉතාමත් ප්‍රබල නායක උපනායක තනතුරු දරන පුද්ගලයන්ට අදාළ ඒවා උනා.

“මොන මල කෙහෙල්මලද මේ..”

රාජරත්නම් කුටුකුටුවෙන් කිව්වා ..

“ඒ කියන්නේ මේ ඉන්නේ මිනිස්සු නෙමෙයිද..
මේ මනුස්සයාගේ නමින් හිටපු අය මැරිලා ඉවරද.. ඒ කියන්නේ
රත්නාලෝක  මැරිලා ගොඩක් කල්ද.. රාජා … මේක විහිලුවක්ද.. “

මට හිතාගන්න බැරි විදිහට මාව අවුල් වෙලා තිබුණා.

“ඩොක්ටර්… මෙහෙම දෙයක් මං කීයටවත් විශ්වාස කළේ නෑ.. ඒ කියන්නේ මේ රත්නා ලෝකගේ ඇඟේ ඉන්න කෙනා ඉපදෙන්න ඔන්න මෙන්න තියෙන දරුවන්ගේ ස්‍රාවය බීලයි ජීවත් වෙන්නේ ..
ඒකෙන් තමයි උන් එච්චර ලස්සන වෙලා ඉන්නේ..ඒ කියන්නේ නායකත්වයට එනකොට..ඒ මනුස්සයාගේ ඇඟ ඇතුලේ ඉන්න මනුස්සයා මැරිලා ඉවරයි..මොනයම් විදියකින් හරි නායකත්වයට එන  මනුස්සයාගේ ඇඟ ඇතුලට උන් රිංගනවා.. ඒ කියන්නේ.. ඒ කියන්නේ ඩොක්ටර් … උන් ගොඩක් කල් ජීවත් වෙන්නෙත් ඒකයි.. සාමාන්‍ය මිනිස්සු ඒ වයස වෙනකොට ඇවිදගන්න බැරුව ඇදට වැටෙන තත්වයක් ඇති උනාට මුන් තව තව තිරිහං වෙන්නෙ ඒකයි …”

“දෙයිහාමුදුරුවනේ රාජා … ඔයා හිතනවද මේ වගේ තත්ත්වයක් තියෙනකොට අපි මේවා වීඩියෝ කරලා මාධ්‍යවලට දුන්නයි කියලා වැඩක් වෙයි කියලා.. මේක වළල්ලක් වගේ සංවිධානයක්..කොයිම විදිහකින්වත් උන්ව අහුවෙන්නේ නැහැ..අපි දෙන්නා මානසික රෝගීන් හැටියට හංවඩු ගහයි.එහෙම නැත්නම් කොහේ හරි අගලක මරලා දාල තියෙයි.රාජා හිතන විදිහට ප්‍රහන්ට යුක්තිය ඉටු කරන්න අපිට පුළුවන් වෙයිද.. අපි කළු ගලක නෙමෙයි මේ ඔලුව ගහගන්නේ… ඊටත් වඩා භයානක අදෘශ්‍යමාන බලවේගයක් එක්ක”..

මම එහෙම කිව්වහම රාජරත්නම්  එයාගේ කකුල් දෙක මූණට ලං කරගෙන දනිස් දෙක අස්සෙ මූණ හංග ගත්තා.

“ඩොක්ටර් … මට සමාවෙන්න ඩොක්ටර් .. ඇත්තටම මම දැනගෙන හිටියේ නෑ මේ වගේ දෙයක් ..මම හීනෙකින්වත් හිතුවේ නැහැ මේ වගේ දෙයක්… ඩොක්ටර් .. අපි මේ මොකක් හරි උගුලකටද අහු උනේ..”

” රාජා .. ප්‍රහාන් තව මොකක් හරි එව්වා..  “

රාජරත්නම් අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න  කලින්  ප්‍රහාන් එවපු ඊලග පනිවිඩය අපිට දිග අරින්න උනා.

ප්‍රහාන් එවපු ඊලග ලියුම දැක්ක අපි දෙන්නටම හීන් දාඩිය දාන්න ගත්තා..

එකම දිවුරුම් ප්‍රකාශය…

අත්සන් කරලා තිබුනේ
දිසානායක මුදියන්සේලාගේ වජිර රංජිත් තලම්මැහැර ….

අපි දෙන්නට දෙන්නා මූනෙන් මූණ බලාගත්තා.

“ඩොක්ටර් … මේක උගුලක්…
දෙයි හාමුදුරුවනේ මේක උගුලක්..”

රාජරත්නම් කියන්නේ මොකක්ද කියන එක මට තේරුනා.ඒත් දැන් ආපහු හැරෙන්න කාලයක් නෑ .වෙන්න තියෙන දෙයක් ඉස්සරහට බලනවා මිසක ආපහු මෙතනින් ගැලවිලා යාමක් නැති බව මට තේරුනා.

“මේක අත්සන් කරලා තියෙන්නේ හරියටම සති තුනකට විතර කලින්… ඒ කියන්නේ රාජා තලම්මැහැර  විපක්ෂයෙන් ඡන්දෙ ඉල්ලනවා කියලා අපිට කිව්වේ  බොරුවටද..එයා ඇත්තටම ඡන්දෙට ඉදිරිපත් වෙන්නේ රත්නා ලෝකගේ පක්ෂයෙන් ද… “

“ඩොක්ටර් මට මේක හිතා ගන්න බෑ..මම හිතුවේ නෑ ඩොක්ට තලම්මැහැර  මේ වගේ කෙනෙක් කියලා..මුල ඉඳලම අපේ පස්සෙන් ඉඳගෙන අන්තිමේ අපිව කරමුලටම අල්ලලා දුන්න වගේ වැඩක් තමයි මේ උනේ..”

“දෙයියනේ රාජා ප්‍රහාණ් “

ඉන්නෙ කොතනද කියලා අමතක වෙච්ච මට..මම දැකපු  දර්ශනය හින්දා එකපාරටම කෑගැහුනා.එක පාරටම රාජරත්නම් මගේ කට වැහුවා. ඒ වෙනකොට ප්‍රහානගේ දර්ශන එක දිගටම සුළි සුළඟකට අහුවෙලා වගේ හෙලවෙන්න පටන් අරගෙන තිබුණා.තත්පර කීපයකින් අපි දෙන්නට තේරුණා ප්‍රහානව කවුරුහරි අල්ලගෙන කියල.ඒත් ප්‍රහාන් දුරකථනය හංගගෙන හිටපු හින්දා ඒක ක්‍රියාත්මක වෙලාම තිබුණා. රාජරත්නම්ගේ මූණ තරහෙන් පිරිලා තිබුණා.

“කාලකන්නියා මූ අපිව කෑවා..අහිංසකයව කර මුලටම  අල්ලලා දුන්නා..”

එක පාරටම ප්‍රහාන්ගේ දර්ශන තල නැති වෙලා ගියා.සමහරවිට එතන ලොකු පොරබැදීමක් වෙන්න ඇති. මට හිතෙන විදියට ප්‍රහාන්ගේ දුරකථනය විසිවෙලා ගියා.මේසයක් යටට හරි ඇඳක් යටට හරි ඒක යන්න ඇති.

“දෙයි හාමුදුරුවනේ මේ මොකක්ද වෙන්න යන්නේ?..රාජා .. අපි පනිමුද මෙතනින්..මං හිතන්නේ තවත් වෙලාව ඇතිවෙයි..”

රාජරත්නම් එක පාරටම මගේ කට වැහුවා.

“ශ්…”
රාජරත්නම් එකපාරටම මට ඉඟි කළා. එයා හස්ත සංඥාවෙන් මට පෙන්නුවා එළියෙ කවුරුහරි එනවයි කියලා.එතකොට වෙලාව හරියටම දහයමාර  පහු වෙලා තිබුණා. රාජරත්නම්ට හොඳ බලු කනක් තියෙනවා කියලා මට හිතුනා. මුරුංගා කොළයක් බිමට වැටුනහම ගෙදර බල්ලා ගැස්සිලා උඩ ගිහිල්ලා ඇහැරුනාලු.බුදු අම්මේ..මොකක්ද ඒ සද්දෙ කියල ගෙදර පූසගෙන් ඇහුවලු..ආ ඒ මුරුංගා කොලයක්නෙ කියලා පූසා කිව්වා ලු. හොඳින් කන් ඇහෙන්නේ බල්ලන්ට කියලත් හොඳින් ඇස් පේන්නේ පූසන්ට කියලත් හුගක් ඉස්සර මම කියවල තිබුණා.ඔලුව විකාර වෙලා මරණ බයෙන් භ්‍රාන්ත වෙලා ඉන්න වෙලාවක ඊළඟට එන තත්පරය පවා අවිනිශ්චිත වෙලාවක මේ මොන බහුබූත ද මට මතක් වෙන්නේ කියලා හිතාගන්න බැරුව ගියා.
ප්‍රහාන් ව මතක් වෙලා ඇත්තටම මගේ ඇස් දෙකට කඳුළු පිරුණා.කොච්චර උනත් දැන් අවුරුද්දකට කිට්ටු කාලයක් මම ගොඩක්ම ලඟින් ආශ්‍රය කරපු කොල්ලෙක්.ඒ ළමයට මොනවා වෙන්න ඇද්ද..මොකක්ද මේ අපි දෙන්නට වෙන්න යන්නේ..අන්තිමේදී අපි තුන්දෙනාට මොකද උනේ කියලවත් කියන්න දෙයක් ඉතුරු වෙයිද..
තුන්සිය අට කාමරයේ සොයිබය කැරකෙනවා අපි දෙන්නටම ඇහුනා. මට බය හිතුණා අපි දෙන්නගේ පපුව ගැහෙන සද්දෙ එළියට ඇහෙයි කියලා.හොඳ වෙලාවට අපි දෙන්නට රකින්න පවුලක් නැත්තෙ කියලා හිතුනා.දරුවෝ ගෑනු ගෙදර හිටියනම් හිතා ගන්න බැරි වුණා.කබඩ් එකේ දාර අස්සෙන් අපි දෙන්නට හොඳට පෙනුනා. වෙන දෙයක් වෙච්චාවේ කියලා මම දුරකථනයේ වීඩියෝ එක ආරම්භ කළා.කබඩ් එකේ දාර අස්සෙන් කාමරයේ දොර ඇරෙන තැන ඉඳන් වීඩියෝ කරන්න මම පටන් ගත්තා .

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles