රසම රස එළවළු චොප්සියක් ගෙදරදිම හදමු..

Fried rice කන්න කඩේට ගියාම රසම රස එලවළු චොප්සුයි ටිකකුත් ඔබට ලැබෙනව නේද? 

රස වගේම භාගෙට තැම්බුණු එළවළු වල ලස්සන පාටත් කන්න කලින්ම අපේ හිත පුරෝනවනේ. 

හැබැයි අද වෙද්දි අපේ රටේ මිලදී ගන්න තියෙන ආහාර වල රස, පෝෂණය, ප්‍රමිතිය වගේම සෞඛ්‍යාරක්ෂිත බව ගැන ඇතිවෙලා තියෙන ගැටළුත් එක්ක කඩෙන් කෑම කන්න කලින් විශේෂයෙන්ම අපේ පොඩ්ඩන්ට ඒ ආහාර රසවිඳින්න දීම තුළින් ඇතිවෙන ගැටළු ගැන smart ඔබට අපි අමුතුවෙන් මතක් කරල දෙන්න ඕන නෑ. 

ඒ නිසාම හිතේ හැටියට බඩ පිරෙන්න රසට, පෝෂණයට වගේම පිරිසිදුව ගෙදරදීම එළවළු චොප්සුයි හදාගන්නෙ කොහොමද කියල ඔබට කියන්නයි අපි අද මේ සූදානම් වෙන්නෙ. 

ගෙදර තියෙන ඔබ කැමති එළවළුවක් මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. 

ඔබ කැමති පිළිවෙලට ඒ ඒ එළවළු වර්ග වල ප්‍රමාණයන් අඩු වැඩි කරගන්නත් පුළුවන්. 

හොඳයි. මුලින්ම අපි බලමු අපිට මේ සඳහා අවශ්‍ය මොනවද කියල? 

අවශ්‍ය ද්‍රව්‍ය

බඩ ඉරිඟු පිටි/ කෝන් පිටි (corn flour) මේස හැඳි 01 ක් 

වතුර මේස හැඳි 04 ක් 

සෝයා සෝස් මේස හැඳි 01 ½ ක්

විනාකිරි තේ හැඳි 01 ක් 

කැබලි සිටින සේ කුඩු කරගත් ගම්මිරිස් කුඩු තේ හැඳි 01 ක් 

(ඔබේ රස අනුව අඩු වැඩි කරගන්න පුළුවන්) 

බටර් හෝ මාගරින් මේස හැඳි 02 ක් 

තෙල් මේස හැඳි 01 ක් 

අඹරාගත් ඉඟුරු සුදුළූණු මිශ්‍රණය තේ හැඳි 01 ක් 01 ½ ක් 

එළවළු සඳහා 

ලොකුවට කපාගත් ලොකු ළූණු ගෙඩියක් 

සෙන්ටි මීටර භාගයක පමණ ඝනකමට පෙති කපාගත් කැරට් අලයක් 

සෙන්ටි මීටර භාගයක පමණ ඝනකමට පෙති කපාගත් අල ගෙඩියක් 

දිගට කපාගත් බෝංචි කරල් 03 ක් 04 ක් 

දිග තීරු වලට කපාගත් බෙල් පෙපර් ගෙඩි ½ ක් හෝ ගෙඩි 01 ක් 

ලොකුවට කපාගත් ගෝවා කොළ ගෙඩි ¼ ක් පමණ 

ලුණු කුඩු තේ හැඳි 01 ක් 

දැන් අපි බලමු කොහොමද අපි මේ රසවත් එළවළු චොපිසුයි හදාගන්නෙ කියල. 

සාදාගන්නා ආකාරය

මුලින්ම, කුඩා භාජනයක් ගෙන එයට බඩ ඉරිඟු පිටි, වතුර, සෝයා සෝස්, විනාකිරි සහ ගම්මිරිස් කුඩු එකතු කර හොඳින් කලවම් කරගෙන පසෙකින් තබාගන්න. 

දැන් භාජනයක් ලිපතබා එයට බටර් සහ තෙල් එකතු කර තෙල් රත්වෙන තුරු අඩු ගින්දරේ විනාඩියක් පමණ තබන්න. 

රත්වූ තෙලට සුදුළූණු ඉඟුරු මිශ්‍රණය දමා හොඳින් කලවම් කර විනාඩි භාගයක් පමණ තබන්න. 

දැන් කපාගත් කැරට්, අල, බෝංචි, බෙල් පෙපර් සහ ලොකු ලූණු ඒ භාජනයට එකතු කර හොඳින් කලවම් කරගන්න. 

විනාඩි 03 ක් පමණ තබාගෙන ලොකුවට කපාගත් ගෝවා කැබලිත් එයට එකතු කර හොඳින් කලවම් කරගන්න. 

එයට ඔබේ රස අනුව ලුණු කුඩු එකතු කර සියළුම එළවළු වලට ගෑවෙන සේ නැවත කලවම් කරන්න. 

විනාඩියක් පමණ මෙලෙස හොඳින් කලවම් කර කලින් සාදාගත් බඩ ඉරිඟු පිටි සහ වතුර යොදා සාදාගත් මිශ්‍රණය එළවළු වලට දමා හොඳින් කලවම් කරගන්න. 

දැන් භාජනයේ පියන වඩා විනාඩි 03 ක් පමණ පිසගෙන භාජනයේ පියන විවෘත කර හොඳින් හැඳිගා ගන්න. 

දැන් ලිපෙන් ඉවතට ගෙන රසවත් වගේම පාට පිරුණු පිරිසිදු එළවළු චොප්සුයි එකක් රස බලන්න ඔන්න ඔබට පුළුවන්. 

එහෙනම්, ඔන්න හදල බලන්න අමතක කරන්න එපා. 

මේ වගේම රසම රස කෑමක් ගැන ලිපියකින් නැවත ඔබ හමුවෙන බලාපොරොත්තුවෙන් අපි සමුගන්නවා. 

රසට කන්න – සුවෙන් ඉන්න !

සටහන – දුලානි නවෝද්‍යා  

Related Articles

Don't Miss


Latest Articles