මහේල ගේ ඇමතුම විසන්ධි කලාට මම ඔහු සමඟ පැවසූ කිසිවක් ක්‍රියාත්මක කලේ නැත. මහේල හැර අන් ආයතනය ක සේවයට යෑමට මට අවශ්‍ය නොවන වග යටි හිත පෙරලි කරමින් කීවේය. කල්පනා කිරීමෙන් මම අතිශය වෙහෙසකට වැටුනෙමි
මම එහෙමම නිදාගත්තෙමි. ඇහැරුනේ සවස කිසිවෙකු දොරට තට්ටු කරන හඬකිනි. කොණ්ඩය දෑතින්ම සකසාගෙන දොර විවෘත කලෙමි.
උන්නේ මහේලගේ අක්කාය. ඕ මා වැලඳගත්‍තාය. මම ඇයට ඉඩ දී උන්නෙමි.
“මං බය වුණා ඔයා ෆෝන් ආන්සර් නොකරාම පැටියෝ..”
ඕ මගේ කොපුල් අතගා කීවාය. මම ඇයට සිනාසුනෙමි.
” මම ටිකක් නිදාගත්තා …”
ඇයට පිළිතුරු දුන්නෙමි. අක්කා මා අත් නොහැරම ගෙතුලට ආවාය.
” ඇඳුමක් දාගෙන එලියට යමුද පැටියෝ…”
ඕ මගේ කොපුල් පිරිමැද දෑතින්ම අල්ලා ගනිමින්ම ඇසුවාය. මම ඉවත බලාගෙනම හිස සැලුවෙමි. මට එවැන්නක් අවැසි නැත. ඇය සමඟ නම් කොහොමටත් අවැසි නැත.
” කලබල වෙන්න එපා පැටියෝ .. ඒත් මෙවෙලේ මල්ලිට ඔයාව ඕනීනේ.. එයා කලබල කරනවා ඔයාව අහලා..”
අක්කා කීවේ ඉතාම සන්සුන් ස්වරයකින් වුවද එහි වූ වෙවුලුම සහ නොසන්සුන්කම මට දැනුනි. මම වහා ඇය දෙස බැලුවෙමි. අක්කාගේ දෙනෙත් හඬා රතු පැහැ වී ඇත. ඕ ඇඳ සිටින්නේ නිවෙසට අඳින කලිසමක් සහ ටී ශර්ට් එකකි. ආභරණ නැතිව නිවසි එලියට නොබසින ඇයගේ කන කර පාලුවෙනි
මම මුවින් නොවිමසා ඇයගෙන් විමසූවෙමි.
එතරම් කලබලයක් මා වසාගෙන උන්නේය.
” කලබල වෙන්න බෑ ඉතින් … “
“ඇ ..ඇයි … මහේලට ?…”
අසීරුවෙන් විමසා ගත්තෙමි.
” මේ මෝඩයා ආයෙම බයික් එක හප්පගෙන පැටියෝ… කිසිම ලොකු අවුලක් නෑ. . සිහියෙන්ම ඉන්නවා.. කකුලයි අතයි චුට්ටක් ඩැමේජ් … ඒක ඉක්මනට රිකවර් වෙනවා කියලා ඩොක්ටර් කීවා ඒත් …”
යළි යළි එයම ඇසෙන්නට විය. මම පියවි සිහියෙන් පිටතට ඇදුනෙමි. මගේ කලබල හැසිරිමක් නිසා මාර්ගයේ ඇද වැටී උන් තරුණයා මට සිහි විය. ඉන් මාස ගණනක් වේදනා විඳි තරුණයා සිහි විය. සියල්ල පැටලැවෙමින් තිබුණේය.
” අසේකා.. මහේලට කරදරයක් නෑ පැටියෝ.. එයාට බයික් එක තහනම් කරලා තිබුණේ අම්මා.. අද උදේ ඉක්මනට ඔයාව බලන්න එන්න කියලා අම්මටත් නොකියා ආවේ.. මෙහෙ ඇවිල්ලද ගියේ පැටියෝ ?”
අක්කාගේ ආදරය මට දරා ගත නොහැකි වදයක් ලෙසින් දැනුණි. ඇය මා මුලාවේ හෙලන ආදරයක් පෙන්වන බව මට දැනුණි. පෙර දිනයේ ඇගේ කටුක කර්කශ වදන් යලි ඇසෙන්නට විය. මම වහා ඇයවෙතින් ඉවතට වූයෙමි. එහෙත් ඇය මා වැලඳෙගන ඉතා තදින් ගුලි කරගත්තාය.
” අනේ අපි එක්ක තරහ වෙන්න එපා අසේකා… ඒක අනේ ඔයාට රිදෙන්න කිවා නෙවෙයි මම …. මාත් එක්ක තරහ උනත් කමක් නෑ.. මල්ලි එක්ක තරහ වෙන්නෙපා … එයා ඔයාට හරි ආදරේ අසේකා …. ගිහින් බලන්නකෝ.. ඔයාට එයා ගැන තව ආදරේ හිතේවි.. ඔයා වෙන ඔෆර් එකක් අරන් යන්න හදනවා කියලා ඇඬුවා “
හුස්ම හිරව යන බව දැනෙද්දී මම අක්කා අල්ලා ගත්තෙමි. ඕ මා හිඳුවා වතුර වීදුරුවක් දුන්නාය. මම ඇය දෙස බලා මා මහේල ඉන්නා ඉසව්වකට රැගෙන යන්නට අයැද්දෙමි
මට අවිවාදයෙන් පිළිගන්නට සිදුවේ. අප දෙදෙනාගෙන් අනෙකා කෙරෙහි වඩා ප්‍රේම කරන්නා ඔබය. තමා වෙනුවෙන් ස්ව ප්‍රේමය වඩා සිටින්නා මමය. මහේල අරන්දර , ඔබ මට අපහාස කලායැයි සිතූ සිතුවිල්ල මත සිටිමින් මම ඔබ නමින් වූ ප්‍රේමය ඉක්මවා මා නමට වන මගේ ප්‍රේමය උස් කලෙමි. ඔබ අත් හැරියෙමි. එහෙත් ඔබ, ඔබගේ ජීවිතය පවා අත් හැරෙන තරමින් මට ආදරය කරන්නේද? අප දෙදෙනාගෙන් අප දෙදෙනා කෙරෙහිම වඩා ඉහළ තානයකින් පෙම් කරන්නේ ඔබද ?
මහේල නමට වූ ප්‍රහර්ෂණීය, උන්මාදනීය හැඟීම ක්ශයව ඇතැයි වූ සිතුවිල්ල ව්‍යාජ ආවරණයක් වග දැනුනේ මහේල නවතා තිබූ රෝහලේ ගේට්ටුව අසලදීමය. හදවතේ ගැස්ම අසීමාන්තික විය. කුසෙන් ඇරඹි යම් සංවේදනයක් දෙපා අග්ගිස්ස තෙක් පල්ලම් බැස්සේය. නෙත් පවා තෙත්ව යන බව දැනුණි. මම අක්කාගේ අත අල්ලා ගත්තෙමි
” බය වෙන්න නම් දෙයක්ම නෑ අසේකා… එයා ඔය පුරුදු වෙන්න හප්පගන්නවා නෙවෙයිනේ .. හැබැයි ඔයා මුණ ගැහුනාට පස්සේ නම් ඔය පලවෙනි වතාව මට මතක විදියට …”
මම කිසිත් නොපවසා උන්නෙමි. අක්කා මගේ අත අත් නොහැර මා කැටුව යමින් උන්නාය. ඇවිද යමින් තිබූ අඩි කිහිපය මට ඉතා අපහසු වූ වග ඔබට කිව යුතුය. මගේයැයි කියා වූ යමක් අහිමිවීමේ අඳුරු හැඟීම් මා වටා මොනවට කැරකෙමින් තිබුණි.
” අසේකා.. අම්මාත් ඇතුළේ …”
අක්කා රෝහල් කාමරය අසලදී සිහිපත් කලාය. මම හිස සැලුවෙමි. ඇය දොර විවෘත කරගෙන ඇතුලු වූවාය. මම පිටුපසින් ඇතුළු වූයෙමි.
මහේල අරන්දර රෝහල් සයනයේ කෙලින් වී හිඳ ගත්තේය. මට හැඬුණි. ඔහුගේ දෙපා වෙලා තිබුනි. ඒවායේ වන තුවාල වල රිදුම් ගැන මට අදහසක් වූයේ නැත. අත්ලෙද වෙමුල් විණි. නළලේද වෙලුමක් විණි.
මුලු ලොවම මා සතු වුවද ඔබ නොමැති නම් ඒ කිසිවකින් පලක් නැති වග මට පවසන්නට අවැසි විය. එහෙත් මා වූයේ අක්කාට පසුපසින් ගල් ගැසීගෙනය.
“අම්මා .. අපි ගිහින් එමු … දැන් අසේකා ඉන්නවනේ…”
අක්කා පවසද්දී මම මහේලගේ අම්මා දෙස හැරි බැලුවෙමි. ඇගේ මුහුණ කියවාගන්නට මට හැකි වූයේ නැත. ඇය මට කිසිවක් පවසන්නේ හෝ නැතිවම අත් බෑගයද ගෙන පිටතට ගියාය. මහේල සහ මම අප දෙදෙනාටම කුමක්දෝ පවසා අක්කාද පිටතට ගියාය.
” මෙහෙට එන්න ….”
මහේල එලෙස පවසන තුරුම මා උන්නේ ගල් ගැසීගෙනය. මම අඩි ගණිමින් ඔහු වෙත ඇවිද්දෙමි. මහේල මා ලං වූ විගස මගේ අතින් අල්ලා ගත්තේය.
” කමක් නෑ අසේකා … ඔයා ඒ ඔෆර් එක ගන්න …. ඒක හොඳ චාන්ස් එකක් … ඒත් ඔයා මාව දාලා යන්නේ නෑ නේද ?”
ඔහු විමසුවේය. මා උන්නේ යන්තම් කඳුළු නවතාගෙනය. ඒවා කොපුල් තෙමමින් පැන්නේය.
” අසේකා .. මා දිහා බලන්න ළමයෝ … මං ඔයාට ඇත්තටම ආදරෙයි අසේකා … ඒත් මං දැනගෙන හිටියෙ නැහැ ඔයා මට ඒ තරම් ආදරේ බව…. මට සමාවෙන්න ළමයෝ … ආයේ කවදාවත් එහෙම විහිලුවක් කාටවත් කරන්නේ නෑ මම …”
මගේල අරන්දර මගේ අත්ල පිරිමදිමින්, මගේ ඇස් වල එල්ලෙමින් කීවේය. මම නැවී ඔහුගේ උරිස්සට වන සේ හිඳිමින් ඔහු වැලඳගත්තෙමි. මගේ කඳුළු ඔහු තෙමමින් තිබුණි. මම ඉකි ගසා හැඬුවෙමි.
” අඬලා අඬලා මට තව පවු පුරවන්න එපා අසේකා … කෝ … හොඳ ළමයා වගේ වාඩි වෙන්න ….”
මහේල මා හිඳුවා ගන්නට උත්සාහ කලේය. මම රෝහල් සයනයේම කොනක ඔහු ඉදිරියට වන පරිදි හිඳ ගත්තෙමි. ඔහුගේ වෙලුම් මතින් වෙවුලන අතැඟිලි ගෙන ගියෙමි. මහේල ඉතා සැනසුම් මුහුණක් පෙන්වූවේය. මට වඩා වැඩියෙන් හැඬිණි.
” අඬන්නෙපා කිව්වනේ අප්පා.. අඬන්න ඕන් නම් එලියට ගිහින් අඬලා එනවා…”
මහේල කෑ ගසන තුරුම මම හැඬුවෙමි.
ඔබ මට මෙතරම් ආදරය කරන්නේ ඇයිදැයි අසන්නට අවැසි වුවද වචන ගැලපුනෙ නැත.
| අපේක්ෂා ගුණරත්න |