අයියාගේ ඇමතුම් මඟ හරිනවිට ඔහු ඉතා දිගු කෙටි පණිවිඩ එවන්නට පටන් ගත්තේය.
මම අයියාගේ ඒ දිගු කෙටි පණිවිඩ කියවන්නේ හෝ නැතිවම උන්නෙමි. මට ඒ ගැන අනුකම්පාවක් හෝ වරදකාරී හැඟීමක් දැනුනේ නැත. අයියා වෙනුවෙන් වන සියලු වගකීම් වලින් මම නිදහස් යැයි සිතා උන්නෙමි.
එහෙත් අයියා එවැන්නක් වටහාගන්නට සූදානමින් සිටියේ නැත. ඔහුට අවැසි වන්නට ඇත්තේ මුදල් ය. මා හූරා කෑම ම ය.
සතියකට පසු දිනෙක මම චමත්කාර ෆ්ලෝරා වෙත යන විට අයියා මා බලාපොරොත්තුවෙන් ලොබියේ උන්නේය.
මම ඔහු දැක නැවතුනෙමි. එවෙලෙහි ඔහු හැර යන්නට හැකි ඉඩක් වූයේ නැත. මහේල මට පෙර කාර්‍යාලයට පැමිණ සිටින බව දැන උන් නිසා මම ඔහුට කෙටි පණිවිඩයක් යවන අතරේ අයියා අසලට ගියෙමි.
ඔහු මා වෙත හෙලූ කෝපාග්නියෙන් දැවෙන බැල්මට හේතුව දැනගෙන උන් නිසා මම එය ව්මතියෙන් තොරව දරාගත්තෙමි. මා ඔහු අසලට යන විටත් අයියා අසුනෙන් නැගිට සිටියේය.
” ෆෝන් ආන්සර් නොකර ඉන්නේ මොකද ඕයි ?”
මම කිසිවක් නොකීවෙමි. මට කිසිවක් පවසන්නට අවැසි වූයේද නැත. හැකි ඉක්මනින් අයියාට සමුදෙන්නට පමණක් අවැසි විය.
” අසේකා.. කන ඇහෙන්නේ නැද්ද හලෝ.. කොච්චර කෝල් කරාද ?”
” මගේ ළඟ සල්ලි නෑ අයියේ තව.. ඒකයි ආන්සර් කරන්නේ නැතුව හිටියේ… ඔයා කතා කරන්නේ ඇයි කියලා මම දන්නවනේ ….”
මම අයියා ගේ ඇස් දෙස කෙලින්ම බලා කීවෙමි. ඉන් ඔහුගේ මුහුණේ නැඟුණේ සමච්චලයක් සහිත සිනහවක් බව වටහා ගත් වහාම මම අඩියක් පසු බැස්සෙමි. එනමුත් තව වැඩි වෙලාවක් යන්නට පෙර මහේල මෙහි පැමිණෙන වග දන්නා නිසා මට අයියා හා ගැටෙන්නට බියක් වූයේද නැත.
” පිස්සුද හලෝ.. සල්ලියක් ඉල්ලන්න නෙවෙයි කෝල් කරේ ?”
” එහෙනම් …”?”
“ගෙදර යමු.. නිවාඩුවක් දාලා එනවකෝ….”
“ඒ මොකටද ඒ ?”
” අම්මාත් කිව්වා එක්කන් එන්න කියලා .. අද ගිහින් සඳුදාම එන්න පුළුවන් නේහ්…”
“මට නිවාඩු නැහැ අයියේ.. වෙන්න තියෙන දෙයක් තියෙනවා නම් කියන්න …. මෙහෙම කතා කරමු…”
මම දැඩි හඬින් කීවෙමි. යළි ඒ අපායට යන්නට අවැසි නැත.
” එහෙම කතා කරන්න පුළුවන් දෙයක් නම් යමු කියන්නෙ නෑනේ හලෝ … යමු …”
අයියා මගේ අතින් ඇද්දේත්, මහේලගේ අත මා එතැනින් ගලවා ඇද ගත්තේත් මට සිතා ගන්නට නොහැකි වේගයකින් ය.
මස්සිනාවරුන් දෙපළකගේ පලමු මුණ ගැසීම කෙලෙස වූවා යැයි කියා ඔබ සිතන්නේද ? අයියා මහේල දෙස ගිණි පිටවන දෑස් වලින් බලා උන්නේය. මට මහේලගේ ඇස් පෙනුනේ නැත. එහෙත් ඔහු මගේ අත අල්ලා උන්නේ රිදෙන්නටමය. එනිසා ඔහුගේ ඇස් වල ගින්දට ගැන ඔබට නොහැකිවාට මට සිතාගන්නට හැක.
” ආහ්.. අරන්දර මහත්තයා … ඉතින් කොහොමද .. මම මේ හම්බෙන්න ත් එක්ක හිටියේ…”
අයියා සරදම මුසු, දැඩි හඬකින් විමසුවේය.
” මාත් උඹ හම්බෙන්න තමයි හිටියේ… මං ඇවිල්ලා ඒක කරන්න කලින් උඹම ආව එකත් හොඳයි …”
” හ හා.. අපි එහෙමයි ඉතින්.. අපේ නංගී වෙනුවෙන් ඒවා වගකීම් නේ..”
මහේලගේ ග්‍රහණය දැඩි වූයේය. මම ඔහුගෙන් මිදෙන්නට උත්සාහ කලෙමි.
” අනේ යකෝ.. වගකීම් ගැන කතා කරන්න තරම් මිනිහෙක්ද යකෝ තෝ … ලැජ්ජවෙයං…තෝයි, අම්මයි දෙන්නම … තෝ කවුද කියලා හරියටම මම දැනගත්තාම මට පුදුමත් හිතුන් නෑ උඹේ මේ බලු වැඩ ගැන …
ගර්ල්ස් එකෙයි, කොන්වන්ට් එකෙයි, ලේඩිස් කොලේජ් එකෙයි කෙල්ලෝ තුන් දෙනෙක් ප්ලෑනක් ගහලා උඹව කොටු කරපු කතාව එහෙම මම සෑහෙන හොඳට දන්න්න්වා.. අම්බානෙකට කාලා උඹ පාර දිගේ දුවපු සීන් වල එහෙම මම අම්බානෙකට සාක්ෂි කාරයෙක්…”
මම මහේල නවතාලන්නට උත්සාහ කලෙමි. අයියා කෝපයෙන් වෙවුලමින් උන්නේය. ඒකාලයේ වීරකම්ක් සේ දැනුන ඇතැම් දේ නිසා දැන් යම් පරාජිත හැඟීමක් දැනෙන සෙයියාව අයියාගේ මුහුණේ විය. මහේල, දිගින් දිගටම අයියා පිළිබඳව ඔහු දැන උන් කාරණා පවසමින් අයියා ට කිසිවක් හෝ පවසන්නට නොහැකි තත්වයකට පත් කලේය. එය ඉතා සරළව ඔබට පැහැදිය හැකි වචනය වනුයේ අපහාස කිරිමය.
අයියා මහේලට පහර දෙන්නට ඉදිරියට පැන්නේය. මහේල මා පසෙකට කර අයියාගේ පහර මඟහැරියේය. පිලිගැනීමේ කවුන්ටරයේ උන් තරුණිය කෑ ගසාගෙන ආරක්ෂක අංශයේ අයවලුන් සෙව්වාය. එහෙත් අයියාගේ දෙවෙනි පහර සමඟම පොලිසිය චමත්කාර ෆ්ලොරා වෙත ඇතුලු වුහ.
අයියා කිසිවක් සිතා ගත නොහැක්කෙක් බවට පත්වෙද්දී, මහේල පැමිණිලි ගොනු කලේය
අයියා අත් අඩංගුවට ගත්තේය.
” උඹලා දෙන්නාම ගැන බලාගන්නම් මම ….”
අයියා කෑ ගසද්දී පොලිස් නිළධාරීන් ඔහුට බැණ වදින හඬ ඇසුණි. මම එතැනම හිඳ ගත්තෙමි. මට හැඬෙන්නට එනවා වුවද හැඬුණේ නැත. යම් හිස් හැඟීමක් මා එක් තැනක නවතා සිර කර තිබුණි.
” නැගිටින්න … කෝ…”
මහේල මා නැගිටුවාගෙන ඇතුලට රැගෙන යන තුරුම මම උන්නේ උන් පියවරේය.
” අසේකා … අම්මට කෝල් කරලා කියන්න අයියා ඇරෙස්ට් කල වග…”
මහේල පැවසූ වහාම මම අම්මාට ඇමතුමක් ගත්තෙමි.
“බුදු අම්මෝ … උඹ හැතිරි … මොකක් කලාද එක බඩ වැල කඩාගෙන ආව සහෝදරයාට …”
මහේලටද ඒ හඬ ඇසුණි. ඔහු ජංගම දුරකතනය උදුරා ගත්තේය.
” එක බඩ වැල කඩාගෙන ආව සහෝදරීට කරපු කියපු දේවල් ගැන නොදන්නවා වගේ කතා කරන්න එපා…ඇත්තටම දන්නේ නෑ නම් හැබැයි, පොලිසියට ගියාම දැනගන්න පුළුවන් වෙයි… යුතුකමක් විදියට කිවේ…ආයේ අසේකාට වද නොදී හිටියොත් හොඳයි …”
මහේල ජංගම දුරකතනය විසන්ධි කර මා වෙත නොපාම එය මේසය මත තැබුවේය.
“ඇයි අසේකා මේ… “
ඔහු ඉන් පසුව මගේ කොපුලක් පිරිමැද, එතැනම ඉඹ මා වෙත නැඹුරු වුයේය.
” මේක වරදක් නෙවෙයි අසේකා.. අම්මා අප්පා වුනත්, තමන්ව මානසික , කායික වද හින්සාවට ලක් කරනවා නම් ඒකට එරෙහි වෙන්න පුළුවන් අපිට …. ඒක විය යුතුයි …”
මම හිස සැලුවෙමි. මහේල අරන්දර මා වැලඳගෙන හිස් මුදුනේ පටන් පිට මැද්දෑව තෙක්ම පිරිමදිමින් මා සන්සුන් කරන්නට උත්සාහ කලේය.
පිරිමියෙක් නිසා ගැහැණියක්ද, ගැහැණියක නිසා පිරිමියෙක් ද එහෙව් තරමක නිවීමකට ලක් වන අත්දැකීම් ඔබටද තිබිය යුතුය. මහේල අරන්දර කිසිදිනෙක අහිමි කරගන්නට ලෝබ හිතෙන තරමට මට පෙම් කරමින් උන්නේය. ඔහු මගේ දුර්වල තැන් වසා ගන්න යෝධ පියාපත් දරමින් උන්නේය.
| අපේක්ෂා ගුණරත්න |