රසවත්ව හරියටම බිත්තර රොටී හදමු. 

බිත්තර රොටී කියන්නෙ අපි වැඩි දෙනෙක් කන්න කැමති හරිම ප්‍රසිද්ධ කෑමක්නේ

හැබැයි, අද වෙද්දි වෙළඳපොලේ දකින්න ලැබෙන ආහාර වල ප්‍රමිතිය සහ සෞඛ්‍යාරක්ෂිත බව ගැන ඇතිවෙලා තියෙන ගැටළුත් එක්ක වෙළඳපොලෙන් මේ ආහාර වර්ග මිලදී අරන් ඔබේ ආදරණීයයන්ට රස විඳින්න දෙන්න කලින් දෙපාරක් හිතන්න smart ඔබට සිද්ධ වෙලා තියෙනව කියල අපි දන්නවා.

ඔන්න ඒ නිසාම, නිවසේදීම ඉතාම පිරිසිදුව හරි රසටම බිත්තර රොටී හදාගන්නෙ කොහොමද කියල ඔබත් එක්ක බෙදාගන්නයි අපි මේ සූදානම් වෙන්නෙ. 

එහෙනම්, මුලින්ම බලමු අපිට අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියල?

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි කෝප්ප 02 ක් 

වතුර

බටර් හෝ මගරින් මේස හැන්ඳක්

තෙල් 

බිත්තර

සිහින්ව ලියාගත් අමු මිරිස් කරල් 02 ක් 03 ක් 

සිහින්ව ලියාගත් ලොකු ලූණු ගෙඩි ½ ක් 

සිහින්ව ලියාගත් කරපිංචා ඉත්තක කොළ

කෑලි මිරිස්

ලුණු කුඩු 

ගම්මිරිස් කුඩු 

සාදාගන්නා ආකාරය 

මුලින්ම තරමක් විශාල භාජනයක් ගෙන එයට පාන් පිටි, බටර්, තෙල් මේස හැඳි 01 ක් සහ ලුණු කුඩු ස්වල්පයක් දමා හොඳින් කලවම් කරගන්න. 

දැන් මේ පාන් පිටි මිශ්‍රණයට වතුර ටිකෙන් ටික එකතු කරමින් විනාඩි 05 ක් 06 ක් පමණ අනාගෙන අතේ සහ භාජනයේ නොඇලෙන මෘදු පිටි ගුලියක් සාදාගන්න. 

(වතුර වැඩි වුනොත් පිටි ස්වල්පයක් ඉසගන්න ඔබට පුළුවන්) 

දැන් සාදාගත් පිටි ගුලියේ වටේට හොඳින් තෙල් ආලේප කර භාජනය හොඳින් වසා විනාඩි 30 ත් විනාඩි 45 ත් අතර කාලයක් තබන්න. 

විනාඩි 45 ක් පමණ ගිය පසු පිටි ගුලියෙන් කොටසක් උඩට ඇද අත්ලේ තබා අනිත් අතෙන් පිටි ගුලිය බෝලයක් වෙන සේ සකසා විශාල පිටි ගුලියෙන් වෙන් කරගත් කුඩා පිටි බෝල 04 ක් පමණ සාදාගන්න. 

දැන් කුඩා පිටි බෝල නැවත දීසියක් මත එකිනෙක නොගෑවෙන සේ අතුරා උඩින් නැවත හොඳින් තෙල් ආලේප කරගන්න. 

දැන් මේ බෝල වැසෙන සේ තෙත රෙදි කෑල්ලකින් වසා පැයක්, දෙකක් පමණ තබාගන්න. 

දැන් වෙනම භාජනයක් ගෙන එයට ඔබේ කැමැත්ත පරිදි බිත්තර, ලූණු, අමු මිරිස් සහ රස අනුව ලුණු කුඩු, කෑලි මිරිස් සහ ගම්මිරිස් එකතු කර හොඳින් කලවම් කරගන්න.

(ඔබ කැමති නම් සිහින්ව ලියාගත් කැරට් සහ ලීක්ස් කොළ වුනත් එකතු කරගන්න පුළුවන්)

පැතලි තැටියක් හෝ රොටී තැටියක් ලිප තබා එය රත්වූ පසු තෙල් මේස හැන්ඳක් පමණ ආලේප කර තෙල් රත්වීමට තබන්න. 

දැන් පිරිසිදු මතුපිටක හොඳින් තෙල් ආලේප කර පැයක් දෙකක් පමණ තබාගත් පිටි බෝල ඒ මත අතුරා ඇඟිලි සහ අත්ල භාවිතයෙන් හොඳින් ඇදගෙන රොටියක් ආකාරයට සකසා ගන්න. 

එය රත්වූ තැටියේ ප්‍රවේශමෙන් අතුරා ගන්න. 

රොටිය යන්තමින් බැඳීගෙන එන විට ඒ මතට සාදාගත් බිත්තර මිශ්‍රණයෙන් ස්වල්පයක් දමා එය වැසෙන සේ හතර පැත්තෙන් කොටු හැඩයට ඇතුලට දමා බිත්තර රොටියක හැඩයට සාදාගන්න. 

මේ විදිහට දෙපැත්තම හොඳින් දුඹුරු පැහැයට හැරෙන සේ පිසගන්න. 

රොටියේ තැනින් තැන කලු දුඹුරු පැහැයට හුරු ලප ඇතිවෙන තෙක් පිසගෙන ලිපෙන් ඉවතට ගන්න. 

මේ විදිහට සාදාගත් පිටි ගුලි වලින් රොටී සාදාගන්න ඔබට පුළුවන්. 

එහෙනම් ඔන්න මේ විදිහට ලේසියෙන්ම පිරිසිදුව හදාගත්ත බිත්තර රොටී රසවිඳින්න දැන් ඔබට පුළුවන්. 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles