තවමත් නොවිසඳුණු නොයිඩා ද්විත්ව ඝාතනයේ සැබෑ අපරාධකරු කවුද?

උගත් දෙමව්පියන්ගේ සෙවණේ හැදී වැඩුණු 13 හැවිරිදි සුන්දර නව යොවුන් තරුණියක් වුණු ආරුෂි තල්වාර් තමන්ගේ දාහතර වෙනි උපන්දිනේට සති කීපෙකට කලින් තමන්ගෙම නිවසේ, තමන්ගෙම දෙමව්පියන්ගේ කාමරයට යාබද කාමරයකදී ඉතාම කෲර අන්දමින් ඝාතනය කර තිබුණා. 

නමුත්, මෙය තවත් එක් සාමාන්‍ය මිනිමැරුමක් වුණේ නෑ. 

ඉන්දීය මාධ්‍ය වල හැසිරීම සහ ඉන්දීය ආරක්ෂක අංශ වල නොසැළකිලිමත් බව ගැන දැඩි විවේචන එල්ල්වූ මේ ඝාතන සිද්ධිය සාමාන්‍ය මිනීමැරුමකින් වෙනස් වෙන්නෙ කොහොමද හොයා බලන්නයි අද අපි සූදානම් වෙන්නෙ. 

එහෙමනම් අපි බලමු, ආරුෂි තල්වාර් ඝාතනය පදනම් කරගෙන ගොඩනැගුණු නොයිඩා සිදුවීම මොකක්ද කියල? 

2008 මැයි 16 

භාරතී කියන්නෙ විවිධ නිවෙස් වල ඉවුම් පිහුම් කටයුතු වගේම පිරිසිදු කිරීම් කටයුතු කරගෙන හිටිය දීර්ඝකාලීන අත්දැකීම් ඇති බොහොම විශ්වාසදායක ගෘහ සේවිකාවක්.

පුරුදු විදිහටම 2008 මැයි මාසෙ 16 වෙනිදා උදේ 6 ට නොයිඩා ප්‍රදේශයේ අංක 25 නිවාස සංකීර්ණයේ L32 නිවසේ සේවයට වාර්තා කරපු ඇය නිවසේ සීනුව ගහන්න පටන් ගත්තේ වෙනදා වගේම නිවසේ ස්ථීර සේවකයා වුණ හේමරාජ් තමන් වෙනුවෙන් දොර විවෘත කරාවි කියන බලාපොරොත්තුව ඇතිවයි. 

මේ නිවසේ අයිතිකරුවන් වුනේ දන්ත වෛද්‍ය රාජේශ් තල්වාර් මහත්මය සහ දන්ත වෛද්‍ය නූපුර් තල්වාර් මහත්මියයි. 

රාජේශ් සහ නූපූර් තල්වාර් යුවළට අමතරව ඔවුන්ගේ 13 හැවිරිදි දියණිය වුණ ආරුෂී තල්වාර් සහ දීර්ඝකාලීනව නිවසේ සේවය කරපු ස්ථීර ගෘහ සේවකය වුණ 41 හැවිරිදි හේමරාජ් වාසය කරෙත් මේ නිවසෙමයි. 

ඒ කොහොම වුනත් එදා දිගින් දිගටම ඇහුණු සීනුව නාද කරන හඬින් අවදිවුනු වෛද්‍ය නූපූර් තල්වාර් නිවසේ ප්‍රධාන දොරටුව වෙත ඇවිදගෙන ගියේ භාරතීට දොර විවෘත කරන අදහසිනුයි. 

ඒත් නිවසේ ඇතුළු පැත්තෙන් දොර විවෘත කරන්න උත්සහ කරපු නූපුර්ගෙ උත්සහය අසාර්ථක වුන නිසා ඒ ගැන හොයල බලපු ඇයට වැටහුනේ දොර එළියෙන් අඟුළු දමා තිබුණු බවයි. 

ඒ නිසා තමන් බැල්කනියට ගිහින් අමතර යතුර විසික් කරන්නම් කියා දොරෙන් ඇතුළත සිට භාරතීට කීව නූපුර් පහළට ගිහින් බැල්කනිය ආසන්නයට පැමිණෙන ලෙස භාරතීට පැවසූවා.

නිවසේ දොර එළියෙන් අඟුළු දැමීම වෛද්‍ය නූපූර් තල්වාරට අලුත් දෙයක් නොවුනේ සමහර දවස්වල ඔවුන් අවදි වෙන්න කලින් හේමරාජ් නිවසට අවශ්‍ය බඩු භාණ්ඩ මිලදී ගන්න මේ විදිහට පිටතින් දොර අගුළු දමා වෙළඳපොලට යෑම සාමාන්‍ය කරුණක් නිසයි. 

පඩිපෙලෙන් පහලට බැහැල ගිහින් නිවසේ බැල්කනියට පහළින් හිටිය භාරතීට යතුර විසික් කරපු වෛද්‍ය නූපූර් තමන්ගෙ ජංගම දුරකථනය අරන් හේමරාජ්ට දුරකථන ඇමතුමක් ගත්තත් නාදවී ඉතාම සුළු වේලාවකින්ම දුරකථන විසන්ධි වුණ නිසා නැවතත් ඔහුට ඇමතුව වෛද්‍ය නූපූර්ට අහන්න ලැබුණේ ඇය අමතන ජංගම දුරකථනය ක්‍රියා විරහිතව පවතින බව කියන පටිගත කිරීමක් විතරයි. 

ස්කොට්ච් බෝතලය 

වෛද්‍ය රාජේෂ් සහ නූපූර් තල්වාර් යුවළ සාමාන්‍යයෙන් ටිකක් වැඩිපුර වේලාවක් උදෑසනට නිදාගන්නා යුවළක් වුනේ ඔවුන් බොහෝවිට මධ්‍යම රාත්‍රියට ආසන්න වන තුරුම තමන්ගෙ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන වල සේවය කරන නිසයි. 

තවත් සති දෙකකින් පමණ යෙදෙන ආරූෂිගේ 14 වෙනි උපන්දිනය වෙනුවෙන් ඔවුන් ඇයට Sony DSC W130 වර්ගයේ කැමරාවක් මිලදී ගත් අතර එය ඔවුන්ට ලැබී තිබුනේත් මේ සිද්ධියට කලින් දිනයේ එනම් මැයි 15 වෙනිදා උදෑසන කාලයේදීයි. 

උපන්දිනය වෙනුවෙන් සංවිධානය කරන ලද සාදයේදී තම මිතුරු මිතුරියන් සමඟ ඡායාරූප ගැනීමට ඒ කැමරාම අවශ්‍ය යැයි ආරුෂී පැවසූ නිසා එදිනම කැමරාව ඇයට තෑගි කිරීමටත් ඔවුන් කටයුතු කර තිබුණා. 

මැයි 15 වෙනිදා රාත්‍රී 10.10 ට ආරුෂී තමන්ගෙ අලුත් කැමරාවෙන් ගත්ත අවසන් ඡායාරූපය කැමරාවේ තිබිල හමුවුනේ මේ සිදුවීමට සත්‍ය බවට සාක්ෂි එකතු කරමිනුයි. 

තෑගි පිරිනැමීමෙන් අනතුරුව ඔවුන් තිදෙනා එක්ව ඉතාම කුඩා සැමරීමක්ද කළ නිසා වෙනදා වෙලාවටත් වඩා ප්‍රමාදව ඔවුන් නින්දට ගොස් තිබුණත් උදෑසන ඇසුනු මේ කලබලකාරී තත්වය නිසාම අවදී වී කාමරයෙන් පිටතට පැමිණීමට වෛද්‍ය රාජේෂ් තල්වාර්ට සිදුවුණා. 

තමන්ගෙ කාමරයෙන් එළියට ආව රාජේෂ් එක්වරම ආලින්දයේ මේසය අසළ නැවතුනේ ආලින්දයේ මේසය මත ස්කොට්ච් වර්ගයට අයත් මත්ද්‍රව්‍ය බෝතලයක් තිබෙනු දුටු නිසයි. 

මෙවැනි මත්ද්‍රව්‍ය එකතුවක් ඔහු සතුව තිබුණත් පෙරදින රාත්‍රියේදී ඔහු එයින් ස්කොට්ච් බෝතලයක් ඉවතට නොගත් නිසා මේ පිළිබඳව යම් සැකසහිත බවක් ඔහුට ක්ෂණිකව දැනෙන්නට පටන් ගත් අතර ඒත් සමඟම ඔහුට ඔවුන්ගේ දියණිය හොඳින් දැයි සොයාබැලීමට සිහිපත් වී තිබුනා. 

ඇයගේ කාමරයේ දොර අසලට දිවගිය වෛද්‍ය රාජේෂ් තල්වාර්ට එක්වරම නීරික්ෂණය වූ කරුණ නම් වෙනදා මෙන් ඇගේ කාමරයේ දොර අඟුළු ලා නොතිබුණු බවයි. 

හිතට දැණුනු යම් නපුරක සේයාවක් සමඟම ක්ෂණිකව කාමරයට පිවිසි ඔහුට දකින්න ලැබුණේ ඔවුන් සියළු දෙනාගෙම ජීවිත උඩු යටිකුරු කළ දර්ශනයකුයි. 

මියගිය දියණිය 

13 හැවිරිදි ආරුෂි තල්වාර්ගේ සිරුර පොරෝනාවකින් වැසී තිබුණා. 

ඇය හිස තබා සිටි කොට්ටය ලෙයින් පෙඟී ගොස් ඒ ගලා ආ ලේ දහරාවන් ඇඳ අසල බිමට එලා තිබූ පාපිස්නාව දක්වා ගමන් කර තිබුණා. 

ඇද අසල බිත්තයේ ලේ පහරවල් දකින්න ලැබුණා. 

පොරෝනයෙන් වැසී තිබුණත් තම දියණිය මියගොස් ඇතිබව වැටහුනු රාජේෂ් තල්වාර් බිම හිදගෙන මහ හඬින් කෑගසා හඬන්නට පටන් ගෙන තිබුණා. 

මේ අතර නූපුර් විසිකළ යතුර රැගෙන නිවසේ දොර අසලට පැමිණ යතුරෙන් දොර අරින්නට උත්සහ කල භාරතීට දකින්න ලැබුණේ නිවස එළියෙන් යතුරු දමා නොමැති බවත් දොරේ නිවසෙන් පිටත අඟුල පමණක් දමා වසා දමා ඇති බවයි. 

අඟුල වි වෘ ත කර දොර ඇරගෙන ඇතුළට පැමිණි භාරතීට දකින්න ලැබුණේ ලේ වලින් නැහැවුණු ආරූෂි තල්වාර්ගේ සිරුර අසළ බිම හිඳගෙන මහ හඬින් හඬන රාජේෂ් සහ නොසෙල්වී බියපත් දෑසින් ආරූෂිගේ සිරුර දෙස බලා සිටගෙන සිටින නූපුර්වයි. 

භාරතීව දුටු වෛද්‍ය රාජේෂ් කෑගැසුවේ, “බලන්න භාරතී හේමරාජ් අරූෂිව මරල,  හේමරාජ් අපේ දුවව මරල කියලයි.” 

විනාඩි ගණනක් ඇතුළත මුහුණදෙන්න සිදුවුණු මේ කැළඹීමෙන් මිදිලා අමාරුවෙන් පියවි සිහියට ආව භාරතී ඔවුන්ගෙන් තමා මේ බව ආරක්ෂක අංශ වලට දැනුම් දෙන්නද කියල තල්වාර් යුවළගෙන් විමසා සිටියා.

ඔවුන්ගෙන් ලැබුණු උපදෙස් අනුව නිවාස සංකීර්ණයේ ආරක්ෂකයන්ට සහ පොලීසියට දැනුම් දෙන්න භාරතී කටයුතු කර තිබුණා. 

සිදුවීම සිදුවී පැයක් ගතවුණු පසු එනම් උදෑසන 7 වන විට පොලීසිය නොයිඩා හි අංක 25 නිවාස සංකීර්ණයේ L32 නිවසට පැමිණෙන විට එහි දකින්න ලැබුණේ මෙවන් සාහසික අපරාධයක් සිදුවූ තැනක දැකිය යුතු දර්ශනයක් නම් නෙමෙයි. 

වසන් වුණ සාක්ෂි 

පොලීසිය පැමිණීමට පෙර එනම් පෙරවර් 6.45 වන විට තල්වාර් නිවසට වෛද්‍ය නූපූර් තල්වාර්ගේ මව සහ පියා, වෛද්‍ය රාජේෂ් තල්වාර්ගේ සහෝදරයා සහ ඔහුගේ බිරිඳ වගේම තල්වාර් යුවළගේ මිතුරන් වුණු දුරානි මහතා සහ මහත්මිය පැමිණ සිටියා. 

ඒ වගේම පොලීසිය පැමිණෙන විට මාධ්‍ය, සාමාන්‍ය ජනතාව සහ අලස්වැසියන් රාශියක් එම ස්ථානයට පැමිණ සිටියා. 

මේ පිරිස ඉවත්කර ඉතිරී වී ඇති සාක්ෂි රැකගැනීමට එම ස්ථානයට පැමිණි පොලිස් නිළධාරීන් කිසිදු පියවරක් ගෙන තිබුණේ නෑ. මෙලෙස සාක්ෂි ආරක්ෂා නොකිරීම ගැන පසුව නොයිඩා පොලීසියට දැඩි විවේචනත් එල්ල වී තිබුණා. 

මේ නිවසේ ඇතුළත පඩිපෙළක් මඟින් උඩුමහලේ විවෘත තට්ටුවකට (terrace) පිවිසීමේ හැකියාව තිබුණා.  

මේ අතර නිවසේ සැරිසැරූ තල්වාර් යුවළගේ තවත් වෛද්‍ය සගයෙක්ට දකින්න ලැබුණේ උඩුමහලේ විවෘත තට්ටුවට පිවිසීමට තිබූ පඩිපෙලේ තැනින් තැන ලේ පැල්ලම් දකින්න ලැබුණු බවයි. 

ඒ ගැන ඔහු පොලීසියට දැනුම් දුන්නත් ඒ ගැන ඒ මොහොතේම නොසලකා හරින්නත් නොයිඩා පොලීසිය කටයුතු කර තිබුණේ දැඩි නොසැලකිලිමත් අයුරිනුයි.

මරණ පරීක්ෂණය

ඝාතනය කර තිබූ ආරූෂී තල්වාර්ගේ සිරුර මරණ පරීක්ෂණයට යොමු කරනු ලැබුවේ ඉන්පසුවයි. 

එදිනම එනම් මැයි මස 16 වන දිනම පස්වරු 1 ට ලැබුණු අවසන් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වුනේ ආරූෂි අගර්වාල්ගේ හිස පිටුපසට ත්‍රිකෝණාකාර යම් බරක් සහිත වස්තුවකින් පහර දී ඇති නමුත් ඒ පහරින් ඇය මිය නොගිය බවත් ඉන් අනතුරුව ඉතා තියුණු ආයුධයක් මඟින් ඇගේ ගෙල ප්‍රදේශයේ කල කැපුමක ප්‍රතිඵලයක් ලෙස ඇතිවූ අධික ලේ පිටවීම නිසා ඇය මරණයට පත්වී ඇති බවයි. 

නමුත් මේ සියල්ලටම වඩා මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්ව තිබූ තවත් කාරණාවක් ගැන මාධ්‍ය සහ විමර්ෂණ අංශවල දැඩි අවධානය යොමුවී තිබුණා. 

දූෂණය කිරීමක් හෝ අතවර කිරීමක් ගැන සාක්ෂි ඇගේ සිරුරේ දකින්න නොලැබුණත් මරණ පරීක්ෂණ වාර්තාව අනුව ඇය ලිංගික සක්‍රීය වී ඇති යුවතියක් බව සඳහන්ව තිබුණා. 

කෙසේ නමුත්, මේ සියල්ල අවසානයේ ආරූෂීගේ සිරුර ඇගේ දෙමව්පියන් විසින් හරිද්වාර් ප්‍රදේශයට රැගෙන ගියේ එහිදී ඇගේ අවසන් කටයුතු සිදුකර අළු ගංගා ගගේ පා කිරීමේ අරමුණු ඇතිවයි. 

නැවතත් ඝාතනයක්

දියණියගේ සිරුර රැගෙන අවසන් කටයුතු සඳහා පිටත් වෙමින් හිටිය රාජේෂ්ට ඔහුගේ සොයුරාගෙන් දුරකථන ඇමතුමක් ලැබෙන්නේ මේ අතරතුරයි. 

එයින් කියවුනේ ආරූෂී ඝාතනය කල සැඟව සිටින බව විශ්වාස කළ මිනිමරුවා වූ හේමරාජ් හමුවී ඇති බවයි. 

නමුත්, එහි ඇති ගැටළුව වූයේ හමුවී තිබුණේ පණපිටින් සිටි හේමරාජ් නොවීමයි. 

පොරවණයකින් ඔතා ලෑල්ලකින් වසා ආරූෂී ඝාතනය කර ආකාරයටම ඝාතනය කර තිබූ හේමරාජ්ගේ සිරුර නිවසේ විවෘත උඩුමහලේ තිබී මෙලෙස හමුවී තිබුණා.

සැකය වෙනතකට

හේමරාජ්ගෙ සිරුර හමුවීමත් සමඟ නොයිඩා පොලීසියේ සැකය වෛද්‍ය රාජේෂ් තල්වාර් සහ නූපූර් තල්වාර් දෙසට යොමුවෙන්නෙ ඉතාම කඩිනමිනුයි. 

මෙතරම් දෙයක් සිදුවන තුරු ඔවුන්ට කිසිදු ශබ්දයක් නෑසුනේ මන්ද යන්න ගැටළුව මෙහිදී තල්වාර් යුවළට එල්ල වූ පළමු ප්‍රශ්නයයි. එයට පිළිතුරු දුන් ඔවුන් ප්‍රකාශ කරේ ඔවුන්ගේ කාමරයේ වායු සමීකරණ යන්ත්‍රය කැඩී ගොස් තිබෙන නිසා එයින් යම් ශබ්දයක් පිටවෙන බවත් ඒ ශබ්දය නිසා කාමරෙයෙන් පිටත ශබ්ද ඇසීමේ අවස්ථාව ඉතා අඩු බවකුයි. 

ඒ වගේම ආරූෂීගේ කාමරයේ දොර විවෘතව තිබූ බව ඔබට මතක ඇති. ආරුෂිගේ කාමරය පිටතින් විවෘත කර හැකි යතුරක් තිබුණේ ආරුෂී ලඟ, ඇගේ මව සහ පියා ලඟ පමණක් නිසා එයටත් කරුණු දැක්වීමට තල්වාර් යුවළට සිදුවුණා. 

එයට පිළිතුරු දුන් ඔවුන් ප්‍රකාශ කරේ එදා ඔවුන්ගේ අන්තර්ජාල සබඳතාවය ක්‍රියා විරහිතව තිබූ බැවින් එය නැවත සකස් කිරීමට නූපූර්, ‍රව්ටරය සවිකර තිබූ ආරූෂීගේ කාමරයට ගිය බවත් ඇය එවිට පොතක් කියවමින් සිටි බවත් ය. නමුත් වෙනදා මෙන් තමන් ඇගේ කාමරයෙන් පිටත් වීමේදී දොර වැසුවාද යන්න ඇයට සහතික කළ නොහැකි බවත් නූපූර් තල්වාර් ප්‍රකාශ කර සිටියා. 

පොලීසියේ වගකීම් විරහිත බව

මේසය මත තිබූ ස්කොට්ච් බෝතලය, පොරෝණා, ලේ පැල්ලම් මේ සියල්ල අමතක කල නොයිඩා පොලීසිය ආරූෂීගේ දුරකථනය සහ ඊමේල් ගිණුම් පරීක්ෂා කිරීමට පියවර ගන්නේ මේ අතරයි. මෙහිදී ඇය සහ ඇගේ පාසලේ මිතුරෙකු වූ 13 හැවිරිදි අනිමෝල් අතර හුවමාරු වූ කෙටි පණිවිඩ 600 ක් නිසා දෙමාපිය අවසරයකින් තොරව ඔහුව සිය භාරයට ගත් නොයිඩා පොලීසිය ඔහුගෙන් ඉතා අකාරුණික ලෙස ප්‍රශ්න කර සිටියත් හඬමින් ඉන්නවා හැර වෙනත් දෙයක් ඔවුන්ට ප්‍රකාශ කරන්න අනිමෝල්ට හැකියාවක් තිබුණේ නැහැ. 

පියා අත්අඩංගුවට

මේ අතරෙම හිටිහැටියේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවූ නොයිඩා අපරාධ අංශ ප්‍රදානියා වුණ ගරන් සිංග් ඉතාම ආඩම්බරෙන් ප්‍රකාශ කරේ ඔවුන් අපරාධය විසඳූ බවයි. 

ආරූෂිගේ කෙටි පණිවිඩ සහ ඊමේල් පණිවිඩ රාශියක් ඇගේ පුද්ගලිකත්වය ගැන කිසිදු තැකීමක් නොකර මාධ්‍යයට නිරාවරණය කරපු ඔහු ප්‍රකාශ කරේ වෙනස්ම කතාවක්. 

ඒ නම්, වෛද්‍ය රාජේෂ් සහ ඔවුන්ගේ යෙහෙළියක් විදිහට හඳුන්වපු වෛද්‍ය අනිතා දුරානි අතර ප්‍රේම සබඳතාවයක් පැවති බවත් අරූෂි සහ හේමරාජ් අතරත් ප්‍රේම සබඳතාවයක් පැවති බවත් ය. වෛද්‍ය අනිතා දුරානි හමුවී රාත්‍රී 11 ට පමණ නිවසට පැමිණි රාජේෂ් තල්වාර් සිය දියණිය සහ හේමරාජ් එකට සිටිනු දුටු බවත් එයින් කෝපයට පත් ඔහු ඔවුන් දෙදෙනාව මරා දැමූ බවත් ය. 

නාදවූ හේමරාජ්ගේ දුරකථනය, ස්කොට්ච් බෝතලය ඇඟිලි සලකුණු ආදී මේ කිසිවක් ගැන තැකීමක් නොකළ ඔවුන් වෛද්‍ය රාජේෂ් තල්වාර්ව අත් අඩංගුවට ගත් අතර පසුව මාධ්‍ය වාර්තා කරේ ඔහු සිය වරද පාපොච්චාරණය කර බවයි. 

වෙනස්ම සාක්ෂි

මේ අතරම පොලීසියේ හැසිරීම ගැන එල්ලවූ දැඩි විවේචන නිසාම මේ සිද්ධියේ විමර්ෂණ ඉන්දීය CBI ආයතනයට භාරදීමට වගකිව යුතු අංශ කටයුතු කර තිබුණා. 

සිදුවීමේ මුල සිටම නැවත විමර්ෂණය කළ CBI නිළධාරීන් වායු සමීකරණ යන්ත්‍රයේ ශබ්ද පරීක්ෂාවේ සිටම හේමරාජ්ගේ කාමරයේ සාක්ෂි පරීක්ෂාව දක්වා වූ පුළුල් පරාසයක් දක්වා සිය පරීක්ෂණ ආරම්භ කරා. 

එහිදී හේමරාජ්ගේ කාමරයේ තිබී හිස් වීදුරු 03 ක් ඔවුන්ට හමුවූ අතර එහි වීදුරු දෙකක තවමත් විස්කි ස්වල්පය බැගින් ඉතිරීවි තිබුණා. ඒ වගේම අඩක් පිරුණු විස්කි බෝතලයක්ද දකින්න ලැබුණු අතර හේමරාජ්ගේ ඇඳේ තිදෙනෙක් වාඩිවී සිටි සලකුණුද ඔවුන්ට සොයා ගැනීමට ලැබුණා. 

ආරූෂිගේ ලිංගික හැසිරීම් ගැන මරණ පරීක්ෂණ වාර්තාව ප්‍රතික්ෂේප කරපු ඔවුන් ප්‍රකාශ කරේ කන්‍යාපටලය මත පදනම්ව පමණක් නිකුත් කරපු ඒ වාර්තාව ඉතා වගකීම් විරහිත වාර්තාවක් බවත් කන්‍යාපටලය හානිවීම සිදුවීමට විවිධ හේතු බලපාන්න හැකියාව ඇති බවකුයි. 

හේමරාජ්ගේ නාන කාමරයේදී පුද්ගලයන් කීපදෙනෙක් එහි ආගිය බවට වූ සාක්ෂි දකින්න ලැබීමත් සමඟම ඝාතන පිළිබඳ අවධානය වෙනතකට යොමුවන බව දැකගන්න ලැබුණා. 

මිනීමරුවන් කවුද?

නොයිඩා පොලීසිය සිදුකර ප්‍රකාශය ගැන CBI ආයතනය අවධානය යොමුකරේ ඉන් අනතුරුවයි. 

එහිදී ඔවුන්ට දැන ගැනීමට ලැබුනේ ක්‍රිෂ්ණා තරායි නම් වෛද්‍ය රාජේෂ් තල්වාර්ගේ වෛද්‍ය මධ්‍යස්ථානයේ සේවය කර පුද්ගලයෙක් ලබාදුන් නිල නොවන ප්‍රකාශයක් නිසා නොයිඩා පොලීසිය මේ ප්‍රකාශය සිදුකර ඇති බවයි. 

ඉන් අනතුරුව ක්‍රිෂ්ණා තරායිව ප්‍රශ්න කිරීමට ලක් කරන්න CBI ආයතනය කටයුතු කර තිබුණා. දීර්ඝ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව ක්‍රිෂ්ණා තලායි ප්‍රකාශ කරේ තමා සහ මිතුරන් දෙදෙනෙක් එදින රාත්‍රියේ හේමරාජ්ගේ කාමරය තුළ මත්ද්‍රව්‍ය පානය කළ බවත් වෛද්‍ය රාජේෂ්ගේ මත්ද්‍රව්‍ය එකතුවෙන් යමක් ගැනීමේ බලාපොරොත්තුවෙන් ඔවුන් ආලින්දයට ගිය බවත්ය. 

මේ මිතුරන් වූයේ අසල්වැසි නිවසක සේවකයෙක් වුන රාජ් සහ තල්වාර් නිවසේ වැඩ කටයුතු සඳහා එන යන සුළු සේවක තරුණයෙකුයි. කෙසේ නමුත් තරුණ වියේ සිටි මොවුන් තිදෙනා තුළම ආරූෂී ගැන කැමැත්තක් තිබූ බවත් ඔවුන් පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර සිටියා. 

එහිදී වි වෘ ත කර කාමරයේ නිදාසිටි ආරුෂිව දුටු බවත් ඇය ගැන ඇතිවූ ආශාවට ඇගේ කාමරයට ගිය නමුත් අවදි වූ ආරුෂි ඔවුන්ව හඳුනාගත් නිසා එක් මිතුරෙක් වූ රාජ ඇයව මරා දැමූ බවත්ය. 

ඔවුන් ගැන පොලීසියට හෙළිකරාවී යන බිය නිසා උඩුමහලට ගොස් සිටි හේමරාජ්ව සොයාගෙන ගොස් ඔහුවත් මරා දැමූ බව ඔවුන් ප්‍රකාශ කර තිබුණා. 

ඇයගේ ගෙල කැපූ ආයුධය සිය කාමරයේ ඇති බව ක්‍රිෂ්ණා කල ප්‍රකාශය ඔස්සේ එය සොයාගිය විමර්ෂකයින්ට ආයුධයට අමතරව ලේ තැවරුණු කොට්ටා උරයක්ද හමුවී තිබුණා. 

නමුත්, රාජ් ප්‍රකාශ කරේ ඇයව මරා දැමුවේ තමන් නොව ක්‍රිෂ්ණා බවයි. මිනීමරුවා මොවුන් දෙදෙනාගෙන් කවුද යන සැකය පමණක් ඉතිරිවී තිබියදී නැවත පරීක්ෂණ CBI නිළධාරීන්ගෙන් ඉවත් කර නොයිඩා බලධාරීන් වෙත පැවරීමට වගකිව යුතු අංශ කටයුතු කරේ හරිහැටි හේතු දැක්වීමක් නැතිවයි. 

නැවත වරදකරුවන් වූ මාපියන්

ක්‍රිෂ්ණා සහ රාජ් විසින් සිදුකර ප්‍රකාශ බලහත්කාරයෙන් ඔවුන්ගෙන් ලබාගත් ඒවා බව ප්‍රකාශ කර නොයිඩා පොලීසිය අනෙක් සියළු සාක්ෂි ඉවත දමා ඔවුන්ගේ මතයේම සිටිමින් මිනීමැරීමේ චෝදනා මත වෛද්‍ය රාජේෂ් තල්වාරුත් සහය දැක්වීමේ චෝදනා මත වෛද්‍ය නූපූර් තල්වාරුත් අත්අඩංගුවට ගනු ලැබුවා. 

ආරූෂිගේ හිසට පහරදුන් ත්‍රිකෝණාකාර බරැති වස්තුව වෛද්‍ය රාජේෂ් විසින් හොකී ක්‍රීඩා කිරීම සඳහා භාවිත කරන පිත්තක් බවයි ඔවුන් ප්‍රකාශ කරේ.

නඩුවේදී වරදකරුවන් ලෙස සනාථ වූ ඔවුන් සිරභාරයට ගනු ලැබූවා. 

දෙමාපියන් නිදහස්

නමුත්, විසන්ධි වූ දුරකථන ඇමතුම, ක්‍රිෂ්ණාගේ කාමරයේ තිබී හමුවූ තේ තැවරුණු කොට්ට උර සහ පිහිය, ක්‍රිෂ්ණාව ප්‍රශ්න කිරීමට ලක්කරමින් කළ බොරු කියන විට හඳුනාගත හැකි පරීක්ෂණ (polygraph lie detector test) අනෙක් සියළුම සාක්ෂිත් පොලිසියේ වගකීම් විරහිත බව සහ අනවශ්‍ය ලෙස පුද්ගලිකත්වයට හානි කරමින් සිදුකර ප්‍රකාශත් ඔස්සේ දිගින් දිගටම නඩුව ඉදිරියට ගෙන ගිය තල්වාර් යුවළඟේ  නීතිඥයන්ගේ කරුණු දැක්වීමේ ප්‍රතිඵල මත සාක්ෂි වල හිඟකම නිසා 2017 වසරේදී ඔවුන්ට නිදහස හිමිවුණා.  

ආරුෂි තල්වාර් සහ හේමරාජ් ඝාතනය කරේ ඔවුන්ගේ දෙමාපියන් ද? ක්‍රිෂ්ණා ද? රාජ් ද? එහෙමනම් ඒ ඇයි?  

අපරාධයක් කිසිදා සැඟවිය නොහැකි වුනත්, ඔවුන්ගේ ඝාතකයන් මේ කුරිරු ඝාතනයන් සිදුකර අවසානයේ නිදහසේ හුස්ම ගනිමින් සිටින බව පමණක් සඳහන් කරමින් නොවිසඳුණු තවත් අපරාධයක කතාවක් අපි මෙලෙස අවසන් කරනවා. 

සමහර විට තව දවසකින් දෙකකින්, සතියකින්, මාසයකින්, අවුරුද්දකින් හෝ අවුරුදු දහයකින් ආරුෂීගේ සහ හේමරාජ්ගේ ඝාතකයන් ගැන අපිට දැනගන්න ලැබේවී. 

ඉතිං, අපි බලන් ඉමු !

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles