අයියාගේ තත්වය සාමාන්‍ය අතට හැරුනේ දින පහකට පසුවය. කස්සපගේ දේහය මල් ශාලාවක තැන්පත් කර තිබුහ් බවත්, අවසාන කටයුතු දිනකට පසු සිදු කර ඇති බවත් කීවේ තාත්තා ය. එහෙත් මම එතරම් උනන්දුවෙන් එයට සවන් නොදුන්නෙමි. ඒ වන විට කස්සපගේ මරණය මට සැනසීමක් ගෙන එන කාරණාවක් බවට පත් ව තිබුණි.
ඒ කෙසේ වෙතත්, කෝපයත්, වේදනාවත් දරාගන්නට නොහැකිව වසර හයක් තිස්සේ කිසිවෙකු හා බෙදා නොගත් රහසක් එලෙස පැවසීමෙන් පසුව ඒ පිළිබඳව කිසිත් නොවිමසා සිටින්නට මහේල කටයුතු කිරීම මට යම් ප්‍රශ්නාර්ථයක් තැනුවේය. ඇතැම්විට මා එවෙලෙහි අසිහියෙන් සියල්ලම පවසන්නට ඇතිදෝයි මට සිතුණි. එනිසා ඔහුට යළි විමසන්නට යැයි කියා කිසිවක් නැතිවා විය යුතුය.
” අම්මා අප්පාවත් කැමති වෙලා නෑ මිනිය බාරගන්න … ගමේ මිනිස්සු මැදිහත් වෙලා තමයි ඔය කටයුතු කරලා තියෙන්නේ…ඇති කාලේ මැස්සො රැල වගේ වට කරගෙන හිටියාට මොකද, නැති උනාට පස්සේ ඉතින් මොකෙක්වත් නෑ… ගෑණියෙක් ඇවිල්ලා ඉඳලා තිබුණා පොඩි එකෙක් එක්ක … තව අවුරුදු පහළොවක විතර ළමයෙකුත් හිටියා.. කතාවෙන් නම් තේරුණේ ළමයි දෙන්නම උගේ කියලා …. පොලිසියෙන් හැමෝගෙන්ම ප්‍රශ්න කරලා මළ ගෙදර ආව අයගෙන් පවා.. ..”
මහේල එලෙස කියද්දී මමද හැඟීමක් නැති සෙයින් බලා හිඳ ඉවත බැලුවෙමි.
සවස අම්මා බැලීමට යෑමට සුප් සකසාගෙන මම සාලය පසු කරමින් උන්නෙමි.
” ඌට සමාව දෙන්න මම තීරණය කලා අංකල් … මාලිනි ආන්ටි කියම විදියට, ඌ කස්සපගෙන් ගේම ඉල්ලුවේ අසේකා ට අවුලල් නොවෙන්න ඕනි කියලා හිතලා නම්, මම උගේ ජීවිතේ ලෝකේ මොන අස්සකට හරි ගෙනිහින් බේරලා දෙන්නම් … “
මහේල එලෙස පවසන්නේ කා ගැනදැයි එක්වරම සිහියට නාවත් මම එතැනම නැවතී සවන් දුන්නෙමි.
” මේ දේවල් වල ඇත්ත නැත්ත මම දන්නේ නෑ මහේල පුතා .. ඒ උනත්, අසේකාගේ අයියා අසේකා ගැන කතා කරන්න ඕනි කියලා මට මැසේජ් කිහිපයක්ම එවලා තිබුණා එදා අසේකා අපේ ගෙදර ඇවිල්ලා අර පිස්සුවක් නටපු දවසට දවස් දෙක තුනකට කලින්.. කතා කරන්න සූදානම් වෙන දේ මම දැනගෙම හිටපු නිසා මම ඒක එච්චර හිතුවේ නෑ…
දැන් මාලිනි කියම විදියට ඩිවෝස් පේපර්ස් ගැන ආරංචිය එක්ක තමා කස්සප යක්ශාවේශ වෙලා තියෙන්නේ.. ඊට පස්සේ කිව්වලු සතියක් මිනිස්සු සීයක් එක්ක වද දීලා මරන්නේ කියලා … ඔය ආරංචිය ලොකු පුතාට ආවම ඒ ගැන කතා කරන්න ගිහින් තියෙනවා කියලා මාලිනි කිව්වේ…
මාලිනී දන්නේත් ගියාට පස්සේලු … පස්සේ එතැනදි වෙච්ච සිද්දිය ඉතින් අර ගෝලයෝ පොලිසියට කියලා තිබ්බනේ..”
” අසේකාගේ අම්මා ගැන මටත් ලොකු විශ්වාසයක් නෑ අංකල්… ඒක එහෙම වුනත්, කස්සපගේ ගෝලයාගේ කට උත්තරේ විදියට අසේකගේ අයියා කස්සපගෙන් ගේම ඉල්ලලා තියෙනවා …. ඌ කස්සපට ත්‍රෙට් කලාලූ නේ බිස්නස් ඔක්කොම එලියට දානවා අසේකාට බලු වැඩක් කලොත් හෙම කියලා …”
මම නොසෙල්වී උන්නෙමි. ඉන් පසුව තාත්තා සහ මහේල අයියාගේ ප්‍රතිකාර හා අදාලා කාරණා කතා බස් කලහ. ඒ සියල්ල අවසන් ව මහේල කාමරයට යන්නට පැමිණි මඟ මා නිසා අවහිරව ඇති වග මට අඟවන තුරුම මම උන්නේ ඒ ඉරියව්වේමය
” අහන් හිටියා නේද හොර පූසි …”
මහේල නොවූ සැහැල්ලුවක් මවාගන්නට උත්සාහ කලේය. මම හිස සැලුවෙමි. යමක් විමසන්නට උත්සාහ කලෙමි. එහෙත් මහේල එයට ඉඩ නොදී මා කැටුව කාමරයට රිංගා ගත්තේය.
” ඔයා අම්මා ගැන ටිකක් බලන්න… මෙවෙලේ එයාට කවුරුත් නෑනේ.. අයියා දැන් ඩේන්ජර් එකක නෙවෙයි ඉන්නේ කියන එක අඟවන්න … අපිට කල දේවල් අමතක කරලා, මෙවෙලේ පොඩ්ඩක් ෆ්ලෙක්සිබල් වෙලා මේ ප්‍රශ්න ටික විසඳගමු … කොහොමින් කොහොම හරි ඔයාගේ අයියා නිසා මට හැදිලා තිබුණ බැරියර් එක ඌම කඩලා දැම්මා කියන එක මට අතාරින්න බැරි කාරණාවක්… මං ඒ ණය ගෙවන්න ඕනි ..”
මහේල කීවේය. මට විමසන්නට යම් දේ තිබුණත් මම ඒ මොහොත එලෙසින් සෑහීමකට පත් වන්නට තීරණය කලෙමි. කස්සප මරාදැමූ වරදට අයියා ට සිර දඬුවම් නියම වේදැයි මට ඔබෙන් හෝ විමසන්නට සිතේ. කිසිඳු තෙතක් නැතැයි සිතුවාට මා ගැන දයාර්ද්‍ර බවක් අයියා දරන්නට ඇතැයි ඔබටත් සිතේද ?
එය නොවැටහෙන්නේ නම්, දවස් කිහිපයක් තුළ එකම මිනිසුන් උදෙසා මෙවන් මානසික විපරීත කම් ඇතිවීමේ වෙනස ඔබට වැටහේද ?
මම රෝහලට යන්නට සූදානම් වුනෙමි. සුප් සහ අනෙකුත් දෑ බෑගයකට දමා මෝටර් රියේ තැබුවෙමි.
ඒ අතරේ මහේලගේ චොකලට් ව්‍යාපෘතිය වෙනුවෙන් වූ ඇමතුමක් නිසා අපට තව වේලාවක් ප්‍රමාද වන්නට සිදු විය. කොකෝවා ඇට පවුඩර් කිරීම සඳහා සවි කරන්නට නියමිත දෙවෙනි යන්ත්‍රය රේගුවෙන් නිදහස් කර ගැනීම සඳහා වන ක්‍රියා පට්පාටියෙහි වූ යම් හිඩැසක් නිසා එය මාස කිහිපයක් ප්‍රමාද විය හැකි බව ඉන් කියැවුණි. මහේල ඇමතුම විසන්ධි කලේ ඉතා බලාපොරොත්තු බිඳ වැටුණු හඬින් වග මට දැනුණි. මම කිසිත් නොවිමසාම උන්නෙමි.
” ලංකාවට ඇවිල්ලා වැඩක් කරන්න ගියාම එපා වෙන්නේ මේකයි අප්පා.. අපි වැඩ කරන්න ඕනි උන්ගේ ඇජෙන්ඩා එකට …ඒක නිගෙක්ට් කලාම අපේ වැඩ ඩිලේ…”
” ඇයි ?”
” මැශින් එකේ කොලිටි ආයේ චෙක් කරන්න වෙනවලු.. ඒකට ඕනි කෙමිකල් එකක් ඕනිලු..ඒක ගෙන්නගන්න තව ක්ල් යනවලු .. මුංගේ… ශික්…”
“අර මනුර ඇමතිතුමා ට කතා කරමුද ?”
“හැමදාම ඒක කරන්න පුළුවන් ද අසේකා … ? හරි කමක් නෑ.. උන් එන්නේ එහෙම නම් මාත් එහෙමයි .. මම මේක නියම පිළිවෙලටම අරගෙනයි නවතින්නෙ… අපි ප්‍රොජෙක්ට් එක පොඩ්ඩක් හෝල්ඩ් කරමු අසේකා …. “
මහේල මා දෙස බැලුවේය. එයට මා කිසිවක් පැවසිය යුතු නැති වුවත් මට කුමක් හෝ කියන්නට් උවමනාවිය.
“ඒත්….”
” කමක් නෑ… මේ ප්‍රශ්න ත් විසඳගෙනම ඒකට බහිමු …. අඩියක් පස්සට තිව්වා කියලා කවදාවත් පැරදෙන්නේ නෑ…”
ඔහු මගේ පිටි අල්ලට අනිමින් එසේ කීවේය. දින කිහිපයකට පසු මට ඇත්තටම සිනහ නැඟුණි.
” හිනාවෙලා ඉන්නවා.. ඔන්න ඔහොම..”
මහේල මගේ කම්මුලක් කොනිත්තා එතැනම ඉම්බේය.
සීමාවක් ඇති ජීවිතයකට අසීමාන්තික ප්‍රේමයක් ලැබීමේ ප්‍රහර්ශය මෙහෙම වන්නට ඇත. ගිණි මැද පවා සුව දැනෙන්නේය
| අපේක්ෂා ගුණරත්න |