හිමගිරි අරණ -25

වරද ඇත්තේ තමන් අත බැව් දැනුණ ද සහන් සිටියේ කෝපයෙනි.ඒ අහේතුකව නැඟුණු කෝපයකි.හිමාෂා කාට හෝ ආදරය කරන බවක්,ඇය කවුරුන් හෝ සමඟ කතාබහේ යෙදෙන බවක් ඔහුව ඕනෑවට වඩා කැළඹීමට ලක් කර තිබිණ.ඒ ඇයිදැයි ඔහු සිතී ය.

“මං ගෙදර යනවා සහන්.ආයේ මෙහෙ එන්න බලාපොරොත්තුවක් නෑ.”

එක්තරා උදෑසනකදී ගර්වයෙන් එසේ පැවසූ තරුණ ගැහැනියගේ අභිමානය ඔහුට අමතක නොවේ.තමන් නොසලකා හැරීම් විඳ ගනිමින් රැඳෙන්නට අකමැති බව ඇය එදා පැවසුවේ එහෙව් අභිමානයකිනි.නමුත් ඇය සැකයක් දිගේ ඇවිද යමින් සහන් සමඟ වාදයට කිසිම මොහොතකවත් උත්සාහ නොකළා ය.එදා ඇය මල්මි ගැන කිසිම සැකයකින් නැතැයි ඔහු සිතී ය.නමුත් හිමාෂා සියල්ලම අවබෝධ කරගෙන හිඳීම ම ඔහුට ගෙන එන්නේ මහත් ලැජ්ජාවකි.

“හරියට බලන් ගියාම මට ඔයාව නැති කරගන්න ඕනෑකමක් තිබ්බේ නෑ හිමාෂා.ඔයා අම්මලගෙ ගෙදරට ගියාට ආයේ එයි කියලා මගේ බලාපොරොත්තුවක් තියෙන්න ඇති.අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් මල්මි දික්කසාදෙට මාව පෙළඹෙව්වෙ නැත්නම් ඔයයි දුවයි තාමත් මාත් එක්ක ඉඳී.”

සහන් එසේ මුමුණා ගත්තේ තනිවම ය.ඔහුට මල්මි අවශ්‍ය වූයේ ජීවිතයට වෙනසක් වෙනුවෙන් පමණකි.නිස්කලංකව ගොඩ නැඟුණු පවුල සීසීකඩ විසිර ගියේ මල්මි නිසා යැයි සිතද්දී දැන් ඔහුට ඇති වන්නේ කෝපයකි.

“ගෑනු දරුවෙක් ඉන්න අම්මෙක් ආයේ පාරක් කසාද බඳිනකොට ටිකක් හිතන්න ඕන තමයි.දරුවා ගැන බයක් දැනෙනවනම් හිමාෂා එක්ක කතා කරලා දරුවා උඹ ළඟට ගනිං.එතකොට හරිනෙ.”

හිමාෂාට ආදර සම්බන්ධතාවයක් ඇතැයි හැඟෙන බව මිතුරෙකුට සමඟ හෙළි කරද්දී මිතුරා,ගයාන් සහන්ට පැවසී ය.සහන් හිඳින්නේ හිමාෂාගේ නාඳුනන පෙම්වතා සමඟ රෝෂයකින් යැයි ගයාන්ට නිකමටවත් සිතුණේ නැත.ඔහුට සිතුණේ තාත්තා කෙනෙකු තමන්ගේ දියණියගේ අනාගතය ගැන බියකින් හිඳින බව ය.

“තිරිසන්නුන්ට කිට්ටු මිනිස්සු ගැන පත්තරවල එහෙම ලොකුවට කතා කරාට දෙවියන්ට කිට්ටු මිනිස්සු ගැන කතා කරන්නේ අඩුවෙන් සහන්.නරකම ගැන වැඩියෙන් කතා කරාට හොඳ මිනිස්සුත් ඕන තරම් ඉන්නවා.තමන්ගෙ වයිෆ්ගෙ,හස්බන්ඩ්ගෙ කලින් කසාදේ ළමයින්ට අම්මලා තාත්තලා වෙන්න පුලුවන් මිනිස්සු ඕන තරම් ඉන්නවා.ඒකනෙ ඒ මිනිස්සු ඒ කසාද කරගන්නේ.ඒ වුණාට සින්ඩරෙල්ලගෙ කුඩම්මලායි,පොඩි ගෑනු දරුවෝ රේප් කරන බාප්පලයි ගැන කතා ප්‍රසිද්ධ වෙද්දී අපි බයයි ඉතින්.”

ගයාන් මිතුරාගේ හිත සනසන්නට කතා කළේ ය.හිමාෂා බුද්ධිමත් ගැහැනියක බව ඔහු දනියි.ඇය නැවත විවාහයකට යොමු වන්නේ නම් ඒ හොඳින් සිතා බලා වග කියන්නට ගයාන් සෑහෙන වෙලාවක් වැය කළේ ය.ඔහුට උවමනා වූයේ දියණියකගේ අනාගතය ගැන තැවෙන පියෙකු සනසන්නට ය.

“හිමාෂා කසාදයක් කරගත්තම එයාට මා එක්ක කිසිම සම්බන්දයක් නෑ කියන එක මට ටිකක් දරාගන්න අමාරු දෙයක්.”

සහන් හදිසියේ සත්‍යය පැවසී ය.ගයාන් මිතුරා දෙස බලා සිටියේ පුදුමයෙනි.ඔහු මෙතරම් වෙලා සිතූ කාරණාවට හාත්පස වෙනස් කරාණාවකට සහන් වේදනාවෙනි.හිමාෂා නොගැළපුණු නිසා ඇගෙන් දික්කසාද වී වෙනත් ගැහැනියක විවාහ කරගත් සහන්ට ඇය ගැන තවමත් ඇති ලෝබකම ගැන ගයාන්ට ඇති වූයේ පුදුමයකි.

“මොකක්ද බං ඒ ඉරිසියාව?”

ඔහු ඇසුවේ සැබෑ පුදුමයකිනි.ඒ ප්‍රශ්නයට දෙන්නට පිළිතුරක් නොමැතිව සහන් ළතැවිණ.හිමාෂා වෙනකෙකුට අයත් වීම තමන්ට මෙතරම් පීඩාකාරී වන්නේ ප්‍රේමය නිසා ද ආත්මාර්ථකාමී බව නිසාදැයි ඔහුට සිතන්නට අසීරු ය.ඒ ගැන වැඩිදුර නොසිතන්නට සහන් සිතී ය.

“දූගේ බර්ත්ඩේ එකට හිමාෂාගේ බෝයි ෆ්‍රෙන්ඩ් එයි නේද?”

ගයාන්ට අලුත් ප්‍රශ්නයක් මතු විය.දියණියගේ ඉතිරි ජීවිතය ගෙවෙන්නේ අම්මා සමඟ නම් “අලුත් තාත්තා”කොහොමටත් එතැනට ඕනෑ බව ද පැවසුවේ ගයාන් මය.සහන්ට ඒ තරුණයා දැක ගන්නට තදබල උවමනාවක් මතු වූයේ ඒ මොහොතේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles