ඒ මීට අවුරුදු කිහිපයකට පෙර දවසකි. මේඝා උන්නේ හදිසි වෙළඳ දැන්වීමක තිර පිටපතක් සකසමිනි. පැය දෙකක් ඇතුළත නිම කර බාර දෙන්නට තිබූ නිසා මේඝාට තිබුනේ හිස ඔසවා අවට බලන්නටවත් නොහැකි තරමේ කාර්‍යබහුලකමකි . පිටත පවතින අධික වර්ශාව නිසා Rainbow Eye හී සමාජික සාමාජිකාවන් බොහෝ දෙනා අලසකමින් එහෙ මෙහෙ වී සිටියත් මේඝාට එසේ සිටින්නට පුළුවන්කමක් අද නැත.
” මේඝා .. කොෆී “
අපූර්වා කෝපි කෝප්පය මේසය මත තැබුවේ මේඝා කෝපි වලට තරම් වෙන කිසිම දෙයකට පෙරේත නැති බව දන්නා නිසාවෙනි.ඇරත් ඕනෑම කෙනෙකු සමඟ හිතවත් , ඕනෑම කෙනෙකුට කරුණාවන්ත වන මේඝාට මෙසේ සැලකිලි ලැබීමම අරුමයක් නොවේ.
” මේ.. ”
අපූර්වා කතාවකට මුල පුරන්නීය.
” ම්ම් ”
මේඝා ඉන්නේ ලැප්ටොප් එකට මුහුණ ඔබාගෙනය.
” දැක්කද අද ලස්සන කොල්ලෙක් ආවා අපේ ඩිපාට්මන්ට් එකට ? ”
මේඝා මුහුණ ඔසවා කලු පැහැ උපැස් යුවලට උඩින් අපූර්වා දෙස බැලුවේ එතකොටය.
” කෝ ”
” තාම බොසාගේ රූම් එකේ. කොල්ලා හැන්ඩියා හොඳේ . අපේ මේ ඉන්න හපුට්ටෝ ටික වගේ නෙමෙයි ”
අපූර්වා කියද්දි මේඝාට හිනාවක් ගියේ එකවරමය.
” අනේ මේ නෝනා.මට මේ වැඩේ කර ගන්න දෙනවද ? මේක වෙලාවට දුන්නෙ නැත්තම් මට මේ ඝන වැස්සේ එලියට බැහැලා ගෙදර යන්න තමයි වෙන්නේ ”
සිනාව තද කරගත් අපූර්වා මේඝාගේ පිටට තට්ටුවක් දමා ඇගේ අසුනට ගියේ ප්‍රධානියාගේ කුටිය ඇස් වලින් පෙන්වමිනි.
පැයකට පමණ පසුව මේඝා තිර පිටපත අවසන් කර , එහි මුද්‍රණ පිටපත්ද ගොනු කරගෙන සුරවීර මහතා මුණගැහෙන්නට ගියේ ඔහු පණිවිඩයක් එවා තිබූ නිසාය. කුටියට ඇතුලු වෙත්ම අපූර්වා කියු තරුණයා යැයි සිතිය හැකි සුන්දර තරුණයෙක් සුරවීර මහතා ඉදිරිපිට වාඩි වී උන්නේය.
” මේඝා .. මේ නිම්නාද පුංචිහේවා. ඉස්සරහට අපේ ගොඩක් Tv commercial වල ඩිරෙක්ටර් මෙයා වෙයි.මෙයාට තව ගොඩක් දේවල් පුළුවන්.අනික, මෙයාට හොඳ ඇහැක් තියෙනවා. ඒ වගේම හොඳම වැඩේ තමයි මෙයාට මෙයාගෙම ටීම් එකකුත් ඉන්නවා ”
” හායි ”
නිම්නාද අසුනෙන් නැගිට මේඝාට අතට අත දුන්නේය.
” නිම්නාද. මේ අපේ මේඝා. මේඝා ලියනපතිරණ. මෙයා තමයි මෙහෙ Creative writer. බොහොම දක්ශ ළමයෙක් වගේම කාටත් වැඩ කරන්න පහසු කෙනෙක් ”
සුරවීර මහතා කියද්දි මේඝා සිනාසුනේ බිම බලාගෙනය. ඔය වාගේ ඇගයීම් සුරවීර මහතාගේ මුවින් නිතරම පිටවුනත් ආගන්තුක තරුණයෙකු ඉදිරියේ වර්ණනාවට ලක් වීමත් , ඒ තරුණයා එක එල්ලේම තමා දෙස බලා සිටිනු දැකීමත් නිසා මේඝාට දැනුනේ තරමක ලැජ්ජාවකි.
නිම්නාදගේත් මේඝාගේත් හමුව සිදුවූයේ එහෙමය. ඉන්පසුව නිම්නාදට බොහෝ වැඩ වලදී මේඝාගේ සහය අවශ්‍ය වූයේ කැමරා කෝණ සැලසුම් කීරිමේ සිට බොහෝ දෑ පිළිබඳව අදහස් වූයේ මේඝා තුළ නිසාය.
” හවස කොෆී එකකට යමුද මේඝා ? මට අර ශැම්පු කමර්ශල් එක ගැන ඩිස්කස් කරන්නත් තියෙනවා ඔයා එක්ක ”
නිම්නාද කීවේ හවස හතර පහු වනවිටය.කාර්‍යාලය නිම වන්නට තවත් වෙලාව ඉතිරිව ඇත.ඒ නිසා මේඝා නිම්නාද දෙස බැලුවේ මුහුණ ඇද කරය.
” ඉතින් තව වෙලාව තියෙනවනේ ? දැන් ඩිස්කස් කරමුකො ? ”
” නෑ අනේ. ඔයාගේ කොෆි පිස්සුව ගැන දන්න නිසා කිව්වෙ ”
තමා ආසා කරන දෙයක් පිළිබඳව උනන්දු වූ පලමු පිරිමියා මේඝාගේ සිතට තට්ටු කලේ එහෙමය.
හවස් වන විට කාර්යාලයෙන් පිටවූ නිම්නාද කොල්ලුපිටියට ආසන්නයේ වූ කෝපි අවන්හලක මේඝා එනතුරු බලා සිටියේ හදිසියේ යෙදුනු වැඩකට නතර වන්නට මේඝාට සිදුවූ නිසාය. ඇය හරි අපූරු යුවතියකැයි නිම්නාදට සිතුනේ කාර්යාලයට පැමිණි පළමු දිනයේ වුවත් ඔහු තවමත් මේඝා යනු කවුදැයි තේරුම් ගනිමින් උන්නේය. විටෙක කෑගසා සිනාසෙන මේඝා තවත් විටෙක දුක්බරව ඔහේ බලා ඉන්නා අයුරු නිම්නාද දැක නොතිබුනා නොවේ. ඉතින් මේ පලමු වෑයම කිසිවෙක් නොදන්නා යමක් වේ නම් එය දැන ගැනීම පිනිසය.
” මිස්ටර් සුරවීර එක්ක පොඩි මීටින් එකක් කිව්වට කවදාවත් පොඩියට ඉවර වෙන්නේ නෑ කියලා නිම්නාද දන්නවනේ. අනේ සොරි ”
” No worries at all. මොන කොෆි එකද ඉතින් බොන්නේ ? ”
නිම්නාද නිකටට අත තබාගෙන මේඝා පිළිතුරු දෙනතුරු, මේඝා මෙනුපත පුරා දෑස් යවා අවසන් වනතුරු බලා උන්නේය. දෑස් ඔසවා බැලූ මේඝාට නිම්නාද තමා දෙස බලා සිටිනයුරු දැක දැනුනේ තිගැස්මකි.මොකද්දෝ හැගීමකි.නමුත් එය සැණින් යටපත් කර ගන්නට මේඝා පසුබට නොවීය.
එතැන් පටන් හෝරා දෙකකට වැඩියෙන් බොහෝ කතා බහ නිම්නාදත් මේඝාත් අතර විනි. එය රාජකාරීමය කතා බහකට සීමා නොවී අතරින් පතර පෞද්ගලික දෑ පිළිබඳවත් කරන්නට නිම්නාද වග බලා ගත්තේ සිතා සිටි ආකාරයටමය.
” බලන්නකො ඌබර් එකක් කන්ෆර්ම් වෙන්නෑ නේ .වැස්ස නිසා වෙන්න ඇති ”
මේඝා විනාඩි දහයකට එහා ගත කලේ කුලී රථයක් වෙන් කරවා ගැනීම වෙනුවෙනි. නිම්නාද උන්නේ ප්‍රීතියෙනි. ඔහු වාහනයේ යතුර ගෙන නැගිට්ටේ මේඝා දෙස බලමිනි.
” යන් යන්. මෙතන මේ වාහනයක් තියාගෙන ඌබර් එකක් එනකන් ඉන්නෙ පිස්සුවටෑ. අනික මේ වැස්සේ ඕවා එන්නෙත් නෑ ”
” අනේ එපා නිම්නාද. කරදර වෙන්නෙපා ”
මේඝාට ඇහුම්කන් දෙන්නට නිම්නාද නැවතුනේ නැත. ඉතින් නිම්නාදට ඇහුම්කන් දෙන්නට මේඝාට සිදු විය.වාහනයට නැගි මේඝා උන්නේ නිහඬවය. ගෙදර ගොස් කරන්න ඇති වැඩ තොගය ඇයට සිහිවේ. ” වැඩ ඇරී වැඩට යති ගැහැණු ” යන කියමන මේඝාට සිහි විය. මේඝා උන්නේ කල්පනාවක බව දුටු නිම්නාද රථයේ ගුවන්විදුලිය ක්‍රියාත්මක කලේ මාර්ග සංඥා ඉදිරියේ රථය නතර කල විටය.
” කැකුළු වසින සිරිපොදේ
පිරුනු සීතලේ
දෙතොල් පෙති ලිහී.. ලිහී.. ලිහී..
මධුවිතක්ද මේ තරම් මධුර වූ
ඔබේ ආදරේ … ඔබේ ආදරේ … ”
මේඝා එකවරම නිම්නාද දෙස බැලුවාය. ඒ වනවිටත් නිම්නාද තමා දෙස බලා සිටි බැල්ම මේඝාට දරන්නට හැකි තරමේ එකක් නොවුනු අතර ඒ බැල්මේ බොහෝ දෑ ලියවී තිබූ බව පමණක් මේඝාට මතකය.