ආදරය කියන්නෙ විශ්වාසය එක්ක බැඳුණ හැඟීමක්, බැඳීමක්. විශ්වාසය නැති තැනක පරම පිවිතුරු ආදරයකට රැඳෙන්න හරිම අමාරුයි.
අපි කියනව “මේ ලෝකෙ අපිට ආදරේ කරන්න පුලුවන් එක්කෙනෙක්ට විතරක් නෙවෙයි” කියල. ඒ උනාට තව කෙනෙක් එක්ක ආදරයෙන් බැඳිල ඉන්නකොට වෙන කෙනෙක් ගැන ආදරයක් හිතෙනවනම් දෙවනියව තෝරගන්න. මොකද ඔයා පලවෙනිවට අවංකවම ආදරේ කරානම් දෙවනියෙක් ගැන හිතෙන්න බැරි නිසා.
ඒත් මොන තරම් සුන්දර කතා කිව්වත් අපි දන්නව, සමාජ මාධ්‍ය ඇතුලෙ අපි දකිනව අනියම් සබඳතා නිසා දුක් විඳින, හිත් බිඳිච්ච මිනිස්සු. සමහර අනියම් සබඳතා එහෙමත් නැත්තම් ආදරයට ද්‍රෝහිවීම් අවසන් වෙන්නෙ අපි හිතුවෙ නැති ඉරණමකට අපිව ඇදල දාලා.
ඉතින් ඒ ගැන කියවෙන ලස්සන කතාවක් තමයි Unfaithful කියන්නෙ. මේ චිත්‍රපටය ටිකක් පරණයි. 2002 අවුරුද්දෙ රිලීස් උනත් අදටත් හෙටටත් ඕනම වෙලාවකට ගැලපෙන ආදරයට ද්‍රෝහිවීම ගැන කතාවක්.
කොන්ස්ටන්ස් සහ එඩ්වර්ඩ් කියන්නෙ බැඳල අවුරුදු ගාණක් ගෙවිච්චි යුවලක්. මෙයාලට ඉන්නව අවුරුදු 9ක විතර පුතෙක්. එඩ්වර්ඩ් ව්‍යාපාරිකයෙක්. සල්ලි වලින් අඩුවක් මෙයාලට නෑ. මෙයාලගෙ ජීවිත ලස්සනයි, සාමකාමියි ඒත් හරිම ඒකාකාරියි. එඩ්වර්ඩ් උදේට දරුව එක්ක වැඩට යනවා. කොනී ගෙදර වැඩ පල ටික කරගෙන ඉන්නව.
ඔහොම දවසක් ඉද්දි කොනීට නගරයට යන්න වෙනවා එයාගෙ දරුවගෙ 9 වෙනි උපන්දිනේට. මෙයා නගරයට යන දවසෙ පුදුම හුලඟක් තමයි තියෙන්නෙ. ගත්ත බඩු භාණ්ඩ අමාරුවෙන් උස්සගෙන ආපහු ගෙදර යන්න ටැක්සියකට නගින්න යන කොනී කාගෙද මන්ද තරුණ හාදයෙක්ගෙ ඇඟේ හැප්පිල බිම වැටෙනවා. ඒ තරුණය අතේ තිබ්බ පොත් පත් බිම ඉහිරෙද්දි කොනී අරගත්ත බඩු භාණ්ඩ හුලඟෙ යනව. ඒව අල්ලගන්න කොනීට උදව් වෙන තරුණය දකිනවා කොනී බිම වැටුණ වෙලේ එයාගෙ දණහිස් තුවාල වෙලා බව.
ඉතින් ආරාධනයක් ලැබෙනවා.
“මගේ නවාතැන තියෙන්නෙ මෙතන උඩ. යන් ගිහින් ඔය කකුලට බෙහෙත් දාගමු”
තරුණයගෙ ආරාධනාව පිලිගන්න කොනී නවාතැනට යනවා. බෙහෙත් දාගන්නවා. කෝපි එකක් බොනව. ආපහු එන්න හදද්දි ඒ තරුණය පොතක් දෙනවා කොනීට.
කොනීට දැනෙනව මේ තරුණය හම්බුන පලවෙනි දවස අද වුනාට මොකක් හරි අමුතු හැඟීමක් හිත ඇතුලෙ කැලතෙන බව. එදා දවසෙ ගෙදර ගියාට කොනීට ඒ පිරිමි ලමයව අමතක කරන්න බැරි වෙනව. හස්බන්ඩ් එක්ක එකට හිටියත්, දරුවගෙ වැඩ කරත් හිතේ එක පැත්තකින් තමන්ගෙ සිතුවිලි ඒ පිරිමි ලමයව මතක් කරන බව කොනීට දැනෙනවා. ඒක එක්තරා විදියක අපහසුවක් වගේ.
ඒ අපහසුව කොනීව මෙහෙයවනවා ආපහු ඒ පිරිමි ලමය ලඟට යන්න. ඒ යෑම අවසන් වෙන්නෙ කොනී සහ පෝල් ශාරීරිකව එකතු කරල අනියම් සබඳතාවයකට මුල පුරවලා.
කොනී හිතනවා මේ ලෝකෙ කවුරුවත් මේ ගැන දන්නෙ නෑ කියල. ඒ එක දවසක් එයා පෝල් එක්ක අවන්හලක සිපගන්නවා එඩ්වර්ඩ් ගෙ යාලුවෙක් දකිනකම්. ඒත් යාලුව ඇවිල්ල එඩ්වර්ඩ්ට මේ ගැන කියන්නෙ නෑ. ඒත් කොනීගෙ වෙනස් වීම්, තමන්ට කියන එක එක විදියෙ බොරු වලින් එඩ්වර්ඩ් තේරුම්ගන්නව කොනී තමන්ගෙන් ලොකු දෙයක් හංගන බව. ඒ හේතුව හොයාගන්න එඩ්වර්ඩ් හයර් කරනව පෞද්ගලික රහස් පරීක්ෂකයෙක්ව.
මේ කිසිම දෙයක් දන්නෙ නැති කොනී දිගටම පෝල් එක්ක සම්බන්ධෙ කන්ටිනිව් කරගෙන යනවා. දවසක් මේ නිසා කොනීට අමතක වෙනව එයාගෙ පුතාව ඉස්කෝලෙන් ගන්න. එදා තමයි කොනී හිතන්නෙ “මේ සම්බන්ධෙ තවදුරටත් කරගෙන යන්න මට බෑ” කියල. පෝල් ට මේ බව කියන්න පෝල්ගෙ අපාට්මන්ට් එකට යන කොනී දකිනව පෝල් වෙන කාන්තාවක් එක්ක ඉන්නව.
තමන් ආවෙ සම්බන්ධෙ නතර කරන්න කියල අමතක කරන කොනී පෝල් එක්ක රණ්ඩු වෙනව. රණ්ඩු වෙලා අපාට්මන්ට් එකෙන් පිටවෙලා එන්න හිතුවත් බලෙන්ම වගේ කොනීව සිපගන්න පෝල් කියනව “එයා යාලුවෙක් විතරයි” කියල. පෝල් එක්ක ඉඳල කොනී අපාට්මන්ට් එකෙන් පිටවෙලා යනවා.
කොනී පිටවෙද්දි පෝල්ව හමුවෙන්න අපාට්මන්ට් එකට අමුත්තෙක් එනවා.
ඒ වෙන කවුරුවත් නෙවෙයි පෞද්ගලික රහස් පරීක්ශකය හන්දා කොනී සහ පෝල් අතර තියෙන සම්බන්දෙ ගැන දැනගත්ත එඩ්වර්ඩ්.
එඩ්වර්ඩ් සහ පෝල් අතර වෙන කතාබහ මොන වගේ එකක් වෙයිද? ඒ කතාබහ අවසානයේ මේ සම්බන්ධෙ නවත්ත්තන්න පෝල් කැමති උනත් තමන්ව රවට්ටපු කොනීට සමාව දෙන්න එඩ්වර්ඩ් කැමති වෙයිද?
ආදරයකට දෝහිවෙච්ච කෙනෙක්ට සමාවක් ලැබෙන්න ඕනද?