ඒකපාර්ශ්වික 03

යලි එතැයි සිතන්නට නොහැකි අතීතයේ දවස් මේඝා සිහි කලේ වේදනාවෙනි. මතක ඇති කාලයේ සිටම අහිමිවූ අසීමාන්තිකව ආදරය කළ දේවල් ලැයිස්තුවට නිම්නාදව එකතු කරන්නට මේඝාට හිත හදා ගත නොහැක. කුණාටු හැමදාම එක ලෙස නොපවතින නිසා, නිම්නාදගේ ඇතැම් වෙනස්කම් හෙට අනිද්දාම පහව යනු ඇතැයි මේඝා සිතුවාය. 

” මිනිස්සු හරි අසාධාරණයි මේඝා. සමහර වෙලාවට අපි කොච්චර ආදරේ කරත් එයාලා ඒක තේරුම් ගන්නේ නැහැ. ඇත්තටම සමහර වෙලාවට තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැහැ ” 

නිම්නාද කීවේ හිස් බැල්මකින් ඈත බලාගෙනය. එදවස මේඝාගේ බොහෝ හවස්වරු ගෙවුනේ නිම්නාද එක්ක කෝපි වල රස බලන්නටය. නැතිනම් ගෝල්ෆේස් හී ඇවිදින්නටය. මේ කෝකටත් මේඝා ආසා කලේ නිම්නාද යනු ඕනෑම දෙයක් කියන්නට සහ බෙදා ගන්නට තරම් පහසු පුද්ගලයකු ලෙස දැනුනු නිසාය. හොඳම යහළුවන් දෙපළ වූ නිකිණිට සහ ධනුකට සම වන්නට මේඝාගේ ජීවිතයේ හුන් එකම පුද්ගලයා වූයේද නිම්නාදය. 

නිම්නාදට දවල් වරුවේ රූගත කිරීමක් ඇති නිසා එය කෙරෙන ස්ථානයට ගොස් ඔහුව බලන්නට මේඝාට සිත් විය. එහි තිර පිටපතද  සකස් කලේ තමා නිසා එහි යන්නට තහනමක් තමාට නැත. මේඝා ලහි ලහියේ ලෑස්ති වූයේ තමාගේ පැමිණීමෙන් නිම්නාදව පුදුම කරන්නටය. සති අන්තයේ කෙරෙන රූගත කිරීම් වලට අවශ්‍යම අවස්ථාවකදී හැරුණු කොට මේඝා සහභාගී නොවන නිසා තමාගෙ පැමිණීමක් නිම්නාද අපේක්ශා නොකරන බව මේඝා දනී. 

නිම්නාද උන්නේ අතිශය කාර්‍යබහුලකමිනි. බලාපොරොත්තු සහගත බවෙනි.ඒ විදෙස්ගතව සිට පැමිණි ලාංකික නිරූපිකාවක් සමඟ තම නවතම වෙළඳ දැන්වීම රූගත කිරීමටය. සියල්ල නිවැරදි විය යුතුය. තම දස්කම් මෙහිදීද මනාව විදහා දැක්විය යුතුය. නිම්නාද තම කණ්ඩායම සමඟ සූදානම් වෙද්දී අවුඩි වර්ගයේ මෝටර් රථයක් පැමිණ නුදුරින් නතර කරද්දී නිම්නාදගේ හිත ගැස්සිණි. අවසන් වරට වසර එකහමාරකට පමණ පෙර දුටු රූපය රථයෙන් බසිනු නිම්නාද නොසෙල්වී බලා සිටියේය.

” හෙලෝ වර්ෂා ” 

වර්ෂාගේ දෑස් වල පුදුමය හඳුනා ගන්නට නිම්නාදට අපහසුවූයේ නැත. නිම්නාද දිගු කල දෑතට වර්ෂාගේ දෑත දිගු වුණේ නිරායාසයෙනි.

” What a surprise .ඩිරෙක්ටර් නිම්නාද කිව්වට මම හිතුවේ නැහැ ඒ ඔයා කියලා ” 

වර්ෂා පිළිතුරු දුන්නේ ආයාසයෙන් මවාගත් සිනහවකිනි.

“අපි හිතන්නැති දේවල් කොච්චර වෙනවද නේද ? ” 

නිම්නාද උන්නේ සතුටෙන් ඉපිලෙමිනි. ඉගිලෙන්නට හැකිනම් ඉගිලෙන්නට තරමේ සතුටක් ඔහු තුළ විය.

” කොස්ටියුම් ඇන්ඩ් මේකප් ලෑස්තියි.  යන්න.රෙඩි වෙන්න ” 

වර්ෂා යන දෙස නිම්නාද බලා  සිටියේය. ඇය පෙරටත් වඩා සුන්දර වී ඇති බව නිම්නාදට දැනුනි. ඇගේ සිත වෙනස් වී ඇත්නම් මෙය අත නොහැරිය යුතු අවස්ථාවක් බව නිම්නාද සිතුවේය. 

මේඝා රූගත කිරීම සිදු වෙන ස්ථානයට පැමිණියේ තවත් පැයකට පමණ පසුය. ඇය ඈත සිට බලා උන්නේ ඒ මේ අත යමින් සියල්ල සොයා බලමින් රූගත කිරීමට සූදානම් වන නිම්නාද දෙසය . ඔහු එහෙමය. ඔහුට වැඩකදී සියල්ල නියම ආකාරයෙන් තිබිය යුතුය. මේඝා ආස කලේ ඒ පිළිවෙලටය. ඇය බලා උන්නේ නිම්නාදගේ ඉරියව් දෙස සහ එහෙ මෙහෙ යන ඇස් දෙසය. නිම්නාද තවමත් තමාව දුටුවේ නැත. ඔහු ඉන්නේ රූගත කිරීමෙහි සිහියෙන්ය.තවමත් එය ආරම්භ වී නැත්තේ නිරූපිකාව සූදානම් නැති නිසා විය යුතුය. 

නිම්නාද වේශ නිරූපණය කෙරෙන කාමරය වෙත ආවේ වර්ෂා සූදානම් වී ඇත්දැයි බැලීමටය. තාරක තම කාර්යය අවසන් කරනතුරු වර්ෂා උන්නේ දෑස් පියාගෙනය. නිම්නාද වර්ෂා දෙස මඳ වේලාවක් බලා සිටියේ දෑස් ඉවතට ගැනීමට තිබූ ලෝබකමකිනි. වර්ෂා දෑස් ඇරියේ නොසිතූ මොහොතකය. තමා දෙස ඇසිපිය නොහෙලා බලා සිටින නිම්නාදව වර්ෂා දුටුවේ එවිටය.

” නිම්නාද ? What are you doing here ? ” 

වර්ෂා ඇසුවේ කණ්ණාඩියෙන් පෙනෙන තම සුන්දර රුව දෙස බලමිනි.

” Nothing . Let’s go ” 

නිම්නාද කීවේ ඉවතට යමින් වර්ෂාගේ දෑස් මග හරිමිනි . වර්ෂා කිසිවක් නොකියාම පුටුවෙන් නැගිට නිම්නාද පසුපස ආවේ පසුගිය කාලය පුරාවට නිම්නාද කොයි තරම් නම් වෙනස් වී ඇත්දැයි සිතමිනි. නිම්නාද තමාව සතු කර ගන්නට කොතෙක් උත්සහ කලද තමා ඔහුව ප්‍රතික්ෂේප කරන්නට සාධාරණ හේතුවක් තිබුනේම නැත.මිල මුදල් අතින්ද , කඩවසම් බව අතින්ද ඔහුට අඩුපාඩුවක් නොතිබූ අතර ඇතැම් සමකාලීන නිරූපිකාවන් පවා නිම්නාද කෙරෙහි බලාපොරොත්තු තබාගෙන සිටි බව ක්ශේත්‍රයේ අය අතර නොරහසකි. තමා ඔහුව ප්‍රතික්ෂේප කලේ එවන් වකවානුවකය. තමාට කොතෙකුත් පෙම්වතුන් සිටියද ඒ කිසිවෙකුගේත් නොතිබූ මොකද්දො යමක් නිම්නාද සතු බව වර්ෂාට දැනෙමින් තිබුනි. 

රූගත කිරීම තිබුණේ රූපලාවන්‍ය නිෂ්පාදන පෙළක් පිළිබඳවය. නිම්නාද ඒ සඳහා වර්ෂාව තෝරා ගත්තේ ඇය නැවතත් ලංකාවට පැමිණ ඇති බව දැනගන්නට ලැබුණු සැනිනි. මෙයට ගැලපෙන්නේ ඇයම බව තීරණය කළේත් නිම්නාදමය. එයට තිර පිටපත ලියූ මේඝාගේ එතරම් කැමැත්තක් නොවුවත් නිම්නාද එයට ඇහුම්කන් දුන්නේ නැත. මේඝා ඈත සිට බලා උන්නේ නිම්නාද වර්ෂාට පිටපත නැවත විස්තර කරන ආකාරයය. වර්ෂා බලා ඉන්නේ නිම්නාද දෙසය. ඒ බැල්ම සාමාන්‍ය එකක් නොවන බව මේඝාට වැටහෙමින් තිබුනි. එහෙත් මෙවැනි වැඩ වලදී නිම්නාදට ඕනෑ තරම් තරුණියන් මුණගැසෙන නිසා මෙය තවත් එක අවස්ථාවක් පමණක් බව සිතන්නට මේඝාට උවමනා විය.

” කාගේද මේ script එක ?” 

වර්ෂා ඇසුවේ නිම්නාද පිටපත විස්තර කර අවසන් වෙද්දීය. 

” අපේ company එකේ creative writer ගේ.මේඝා ලියනපතිරණ ගේ ” 

නිම්නාද කීවේ ඉතාම සාමාන්‍ය ලෙසය. අසල ආලෝකකරණය සකසමින් සිටි ජනකට එය ඇසුනි. මේඝා පැමිණ සිටි බව ඔහුට මතක් විය.

” ආ.. මේඝා මිස්ගේ වැඩක් නම් ඉතින් ආයේ බලන්න දෙයක් නැහැ මිස්. ඕන්නම් මිස්ට කතා කරන්න පුළුවන් එයා එක්ක.මේඝා මිස් ඇවිල්ලා ඉන්නේ ” 

ජනක එසේ පවසන විට නිම්නාද තිගැස්සෙනයුරු දුටුවේ ජනක පමණක් නොවේ.වර්ෂාද එය හොඳින්ම දුටු අතර නිම්නාද වටපිට බැලුවේ පුදුමයෙනි.

” මේඝා ආවා ? කොයි වෙලාවෙද ? ” 

” දැන් ගොඩක් වෙලා සර්. මං හිතන්නේ පැයකටත් වැඩියි. ඉන්නකො මම බලලා එන්න ” 

ජනක ඉවතට ගියේය. මේඝා උන්නේ එලියේ දුරකථන ඇමතුමකට පිළිතුරු දෙමිනි. එය මුදල් දැම්මාදැයි අසන්නට අක්කාගෙන් ආ ඇමතුමකි. මේඝා ඇමතුම අවසන් කර අනෙක් පැත්ත හැරෙද්දී ජනක බලා සිටින අයුරු දුටුවේය.

” මිස්. නිම්නාද සර් එන්න කිව්වා ” 

” එයා දන්නවද මං ආවා කියලා ” 

” ඔව් මිස් එන්න ” 

මේඝා රූගත කිරීම කෙරෙන තැනට ආවේ දෙගිඩියාවෙනි. තමා මෙතනට විත් නිම්නාදට බාධා කලාදෝයි සිතුවිල්ලක් ඇය තුළ විය. රූගත කිරීම ආරම්භ වී තිබිනි. නිම්නාද කාර්යබහුල නිසා මේඝා ඔහු අසලට ගියේ නැත. නිම්නාද වරින් වර මේඝා දෙස බැලුවත් ඇය සමඟ කතා කරන්නට තරම් උනන්දුවක් ඔහුට නොවීය. 

මේඝා නිවසට ආවේ තවත් පැය දෙක තුනකට පමණ පසුවය. ඇය ආවේ නිම්නාදටවත් කියන්නේ නැතිවය. වෙනදාට නිම්නාදව දුටු සැනින් දැනෙන පිරුනු හැඟීම වෙනුවට මොකද්දෝ අමුත්තක් හිත පෙලමින් පැන නැගෙමින් පවතින බව මේඝාට දැනුනි.සෝෆාවේ ඇලවුනු මේඝා දෑස් පියා ගත්තේ ඒ සිතුවිල්ලෙනි.

මේඝා අවදිවූයේ නිවසේ සීනුව නාද වන හඬිනි.නින්ද ගියේ කොයි මොහොතේ දැයි මේඝාට මතක නැත. එක දිගට කිහිප වරක් සීනුව නාද වෙද්දි මේඝා ඉක්මන් ගමනින් ගොස් දොර හැරියාය. ඒ වෙලාවේ කිසිසේත්ම බලාපොරොත්තු නොවුන රුවක් කෝපයෙන් පුපුරු ගසමින් දොර ඉදිරියේ පෙනී සිටියේය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles