එයා දැන් ඉස්සර වගේ ආදරේ නෑ කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන් කියවන්න.

“හිත පතුලේ තුවාලයක් තියෙනකොට හැමවෙලාවෙම ඔලුව වටේට රතු එළි පත්තු වෙනවා. වැඩිපුර ගතිපැවතුම් විමර්ශනය කරන්න ගියාම කොහිල වලෙත් කිඹුලෙක් ඉන්නවා කියලනේ හිතෙන්නේ. මේ හැමදේකටම පදනම වෙන්නේ කලින් වතාවකදි ඔබ විඳපු නරකම නරක  අත්දැකීම් සම්භාරය වෙන්නත් පුළුවනි. එක පාරක් අසීමිතව විඳවලා යන්තම් කෙලින් කටින් ඉන්න හිත හදාගත්තට පස්සේ ආයෙමත් දුක් විඳින්න තියෙන බය මිනිස්සුන්ගේ හිත් ඇතුළේ හොල්මන් කරනවා.”

මේ අදහස් ටික මම උපුටා ගත්තෙ එක් සිංහල බ්ලොග් පිටුවකින්. හිත පතුලේ කාලයක් තිස්සේ නිදන්ගත කරගත් සැකය ජීවිතේට මොන තරම් ලොකු තර්ජනයක් වෙනවද කියන එක ඒ ලිපියේ අපූරුවට විස්තර කරලා තිබුණා. එක්කෙනා දෙන්නා වෙලා දෙන්නා තුන්දෙනා වෙන්න කලින්ම යුග ජීවිත විනාශ වෙලා යන්න මූලික ම හේතුව වෙන්නේ සැකය. අපි ගියවර ලිපියෙන් ‍සැකය මඟහැර ගන්නට ඔබ අනුගමනය කරන්න ඕනේ පියවර කිහිපයක් ඉදිරිපත් කළා.

හැබැයි ‍දිගින් දිගටම ඔබේ සහකරුගේ වෙනස්වීම් ඔබට අත්විඳින්නට වුණොත් එය ඇත්තටම ඔබට විශාල මානසික පීඩාවක්. ඔහු වෙනදා තරම් ඔබ සමඟ කතාකරන්නේ නැත්නම්, ඔහු වෙනදා තරම් නිවසේ රැ‍‍ඳෙන්නට ප්‍රියකරන්නේ නැත්නම්, කොටින්ම ඔහු ඔබ සමග ජීවත්වන්නේ අපහසුවෙන් කියා ඔබට දැනෙනවානම් ඔබ පත්වන තත්ත්වය ඉතා පීඩාකාරී විය හැකියි. මෙහෙම තත්වයකට මුහුණ දෙන්න ඔබට සිද්ධ වුණොත් ඔබ මොකද කරන්නේ?

  • ඔහුගෙන් ප්‍රශ්න කිරීම සම්පූර්ණයෙන් ම නතර කරන්න
  • ඔහු සමග නිවසින් පිට නිදහස් තැනකට ගොස්, එනම් අවන්හලකට හෝ සිනමා ශාලාවකට හෝ ඔබ දෙදෙනා ආදරයෙන් සිටි කාලයේ දී ඇවිදින්නට ඉතා ප්‍රිය කළ තැනකට ගොස් ලිහිල්ව කතාබහ කරන්නට අවස්ථාව සලසා ගන්න. ඔබ ඒ සඳහා ඔහුට ආදරණීය යෝජනාවක් කරන්න. අපි මේක කතාකරල ඉවරයක් කරගනිමු යන්න වෙනුවට පරණ දේවල් පැත්තකට දාලා අපි වෙනද වගේ ඉඳිමු වැනි යෝජනාවකට ඔහු කැමති කරවා ගන්න.
  • ඔහුට ඔබෙන් මඟ හැරී ගිය යම් යම් අවශ්‍යතා තිබෙනවාද කියා නැවත නැවත කල්පනා කර බලන්න. සමහරවිට ඔහු ඔබෙන් බලාපොරොත්තු වූ යම් කිසි ලක්ෂණයක් ඔබෙන් ගිලිහි යාම මේ තත්ත්වයට හේතු වී තියෙන්නටත් පුළුවනි.
  • ඔහු සමඟ ලිංගික ජීවිතය තුළ ඔබේ අදහස් සන්නිවේදනය කරගන්න. මට ඕනේ කිසිම වෙලාවක ඔයා මං ළඟ නැහැ. වැනි චෝදනා වෙනුවට ඔයා හැම මොහොතකම මං ළඟ ඉන්නවානම් කොච්චර හොඳද වැනි ධනාත්මක අදහස් ඔහු සමඟ බෙදාගන්න.
  • ඔහු ඔබට ද්‍රෝහී වූවාය යන්න ඔබේ හිතින් ඉවත් කරගන්න. ඔහුගේ අඩුපාඩුව හදාගන්නට ඔහුට යම්කිසි කාලයක් ගතවන බව සිහිපත් කරගන්න.
  • ඔබේ මෙහෙයුම පටන්ගන්න ඕනේ ඔබ අලුතින් ම ඔහුට ආදරය කිරීමෙන්. මේ සියලු උත්සාහයන් අසාර්ථක වුණත්, ඔබ කිසිම ආකාරයකින්වත් පීඩා විඳින්නට ‍එපා.
  • එක් එක් යන්ත්‍ර මන්ත්‍ර, ගුරුකම් ශාස්ත්‍ර ආදියට යොමු වී ඔබේ කාලයත් මුදලුත් නාස්ති කරගන්නත් එපා. බලහත්කාරයෙන් කිසිම කෙනෙක් හෝ කිසිවක් තමන් සතු කරගන්නට බැහැ.
  • ඔබේ ජීවිතයට ඔහුගෙන් වූ අයහපත සිහිපත්කරන හැම මොහොතකම ඔබ විනාශ කරගන්නේ ඔබේ මානසික ශක්තියයි. ඔහු ඔබ සමඟ සතුටින් සිටි කාලයේ ඔබට ඔහුගෙන් ලැබුණු ශක්තිය සිහිපත් කරගන්න.
  • සමහරවිට ඔබේ යහපත් ප්‍රතිචාර ඔහු නැවත යහපත් සැමියෙකු බවට පරිවර්තනය කරාවි. කොතෙක් උත්සාහ දැරුවත් සැකය, අවිශ්වාසය නිසා දිගින් දිගටම ඔබේ සිත තැවෙනවානම්, හැකිතාක් කාර්යබහුල වෙන්න. සිතමින් ගත කරන කාලය අඩු කරගන්න. ‍මනස නිරවුල් කරන සොඳුරු ස්ථානවලට යන්න. තනිව සිටින්නට උත්සාහ ගන්න එපා.
  • ඔහු ගැන අන් අය සමඟ විවේචනවලට යන්නටත් එපා.  මේ සම්බන්ධ ඔබ ඉදිරියේ දී ගන්නට බලාපොරොත්තුවන දැඩි තීන්දු තීරණ, මතවාද අන්‍යයන් සමග හුවමාරු කරගන්න එපා.
  • ජීවිතය නැති කරගැනීම මීට වඩා හොඳයි වැනි හදිසි තීරණ ගන්න එපා. ඔබේ සැමියාට සම්බන්ධව සිටිනවා යැයි ඔබ සැකකරන පාර්ශවකරුවන් ගැන වෛරයෙන් පසුවන්නත් එපා. සියලු දේ සිදුවන්නේ මිනිසුන්ටයි. ඔබ ඒ මිනිසුන් අතර තවත් එක් අයෙක් විතරයි. ඔබටත් ඕනෑම මොහොතක ජීවිතයේ දී ඕනෑම දෙයක් සිදුවිය හැකියි.
  • ඔබට අයිති ජීවිතය කොතරම් අභියෝග ආවත් සතුටින් ම භාරගන්න.

– නිරංජලා –

 

Related Articles

Don't Miss


Latest Articles