මතක දිගහැරුම 86 – අප්සාරි සිංහබාහු තිලකරත්න

අසූ හයවන දිගහැරුම ,

ගර්භාෂයෙන් පිටත කළලය වැඩෙන නාලයම කපා ඉවත් කළ යුතු බව වෛද්‍යවරුන්ගේ තීරණය විය.මෙම නාලය කපා දැමූ පසු අනෙක් නාලය විෂබීජහරණය කරන බවත් , ඇතිවී තිබෙන තත්ත්වය මත මා හට නැවත දරුවන් ලැබීමේ සම්භාවිතාව ඉතාම අඩු බවත් වෛද්‍යවරයා පැවසීය.හදිසියේ රෝහල්ගත වූ නිසා මා පත් වී සිටින අවදානම් සහගත තත්ත්වය ඒ වන විට පවුලේ කිසි අයෙක් දැන සිටියේ නැත.මෙවැනි තත්ත්වයක් කාන්තාවකට ඇති වෙනවාද කියා වත් මම හෝ හෂාන් දැනුවත්ව නොසිටි අතර මගේ ජීවිතයට පවා අනතුරක් ඇති විය හැකි යැයි වෛද්‍යවරුන් පැවසූ නිසා මම මෙන් ම හෂාන් ද ඉතා බියට පත් වී සිටියෙමු.කෙසේ වුවත් වෛද්‍යවරයා පවසන දේ අප විශ්වාස කළ යුතු විය යුතු මෙන්ම ඔහු පවසන දේට එකඟ විය යුතුද විය.එම නිසා ඒ මොහොතේ මගේ ජීවිතයට යම් බලපෑමක් ඇතිවන දෙයක් සිදුවී ඇත්නම් කළ යුතු හොඳම දේ වහාම කරන ලෙස හෂාන් ද වෛද්‍යවරයා හට පැවසීය. සුළු මොහොතකින් මා ශල්‍යාගාරයට කැටුව යන බැවින් අවශ්‍ය ලියකියවිලි වලට අත්සන් තබන ලෙස වෛද්‍යවරයා හෂාන්ට උපදෙස් දුන්නේය.ඒ අතරතුර හෙදියන් පැමිණ, ශල්‍යාගාරයට කැටුව යාම සඳහා මා සූදානම් කළහ.

හෂාන්ගේ ලොකු නැන්දාගේ දියණිය වූ ” හසන්ති අක්කා ” එකල නවලෝක රෝහලේ වෛද්‍යවරියක ලෙස සේවය කළාය.ඇය සමග කලින් සේවය කළ හෙදියක් මා ඇතුළත් කළ රෝහලේ ඒ වන විට සේවය කරමින් සිට ඇත.මා හඳුනාගත් ඇය විසින් වහාම ,මා රෝහල් ගත කළ බව හසන්ති අක්කා වෙත දැනුම් දී තිබුණි.මා පිළිබඳව තොරතුරු දැනගත් හසන්ති අක්කා හැකි ඉක්මනින් මා ඇතුළත් කළ රෝහළ වෙත පැමිණියාය.ඇය පැමිණියේ මා ශල්‍යාගාරය වෙත ගෙන යාමට මොහොතකට පෙරය.ඉතා කලබලයට පත් වී සිටි ඇය මගෙන් කරුණු විමසූ විට මා සිදුවී ඇති සියල්ල ඇයට පැවසුවෙමි.ඒ මොහොතේ ඇගේ පැමිණීම ඇත්ත වශයෙන්ම මට විශාල සැනසීමක් මෙන්ම ශක්තියක්ද විය.

” පිස්සුද නංගි ? ඩොක්ටර් කොහොමද එහෙම කියන්නේ ? දැන් වෛද්‍ය විද්‍යාව දියුණුයි.ඔයා වගේ ලස්සන දුවෙක්ව ඔයා හදන්න ඕන.ඒ කාලෙට ප්‍රශ්නයක් උනොත් අපි ඒක එතකොට බලමු.ඩොක්ටර්ට කියන්න කපන්න ඕන එක විතරක් කපන්න, අනික් එකට අතවත් තියන්න එපා කියලා “

හසන්ති අක්කා එසේ පැවසූ විට ඒ පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කරන ලෙස මා ඇගෙන් කාරුණික ඉල්ලීමක් කළෙමි.ඒ අනුව ඇය කටයුතු කළ අතර මා ශල්‍යාගාරයට රැගෙන යන විට ඇයද මා අසලින්ම සිටියාය.ඉන්පසුව අප බලාපොරොත්තු වූ පරිදිම සාර්ථක ලෙස ශල්‍යකර්මය අවසන් විය.නැවත මවක් වීමට ඇති අවස්ථාව ඉතා අඩු බව වෛද්‍යවරයා පැවසූ නිසාම ඒ පිළිබඳව බලාපොරොත්තු අතහැර දමා සිටියෙමි.ඒ පිළිබඳව මා සිත තුළ විශේෂ හැඟීමක් නොවූ අතර නැවත මවක් වීමට මා හට භාග්‍යය ඇත්නම් එය ඉදිරි කාලයේ දී කෙසේ හෝ සිදුවේයැයි මාව විශ්වාස කළෙමි.ශල්‍යකර්මයෙන් පසුව සුව වීමෙන් මම සහ හෂාන් අපගේ පුරුදු ජීවන රටාවට කෙමෙන් කෙමෙන් අනුගත වූයෙමු.

කතරගම නවාතැනට ඉක්මනින් ගෙවැදීමට අපට අවශ්‍ය වූ නිසා එහි වැඩ කටයුතු කඩිනමින් අවසන් කිරීමට අප සැලසුම් කළෙමු.එහි ගෙමිදුල පුරා රාත්‍රියේ දී දැල්වීම සඳහා මුහුදු ලාම්පු සවි කිරීමට හෂාන් හට උවමනා වූ අතර ගෙමිදුලෙහි සහ අප නවාතැනට පිවිසෙන පාර දෙපස එම ලාම්පු දැල්වීමෙන් අවට පරිසරයට පවා සුන්දරත්වයත් එකතු කල හැකි බව ඔහුගේ අදහස විය.ඒවා මිලදී ගැනීම සඳහා ස්ථානයක් අප සොයමින් සිටින විට එක් අයකුගෙන් අපට ඒ පිළිබඳව තොරතුරක් ලැබුණි

” හම්බන්තොට ඔරලෝසු කණුව ළඟ මුහුද අයිනේ නානා කෙනෙක් ඉන්නවා.එයා මුහුදු යන අයට මේ ලාම්පු හදනවා “

ලද තොරතුරු වලට අනුව මම සහ හෂාන් එම නානා මුණගැසීමට ගියෙමු.ජනවාරි මාසයේ අපගේ නවාතැනට ගෙවැදීමට අප සූදානම් වන නිසා ඊට පෙර කෙසේ හෝ මෙම ලාම්පු සකස් කර ගැනීමට අපට අවශ්‍ය බව අප ඔහුට පැවසුවෙමු.මුහුදු ලාම්පු 50ක් අප ඇණවුම් කළ අතර දෙසැම්බර් 26 වන දින උදෑසන 9 පමණ වන විට ඒවා සූදානම් කර තබන බවට නානා පොරොන්දු විය.දෙසැම්බර් 24 වන දින අප කොළඹ පැමිණියේ අසංක ගුරුසිංහ විදෙස් ගතව සිට පැමිණිමෙන් පසුව, ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් හට රොෂාන් මහනාම විසින් ඔහුගෙ නිවසේ රාත්‍රී සාදයක් සූදානම් කර තිබුණු නිසාය.සියලු වැඩ කටයුතු මධ්‍යයේ එයට සහභාගි වීම සඳහාම හෂාන් සහ මම කොළඹ පැමිණියේ කතරගම නවාතැන ඉදිකිරීමේ කටයුතුවල යෙදෙමින් සිටි සේවකයන් හට එම වැඩ කටයුතු කරගෙන යාමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර දීමෙන් අනතුරුවය.

කතරගම නවාතැනට ගෙවැදීම සඳහා ජනවාරි මාසයේ යෙදී තිබූ ඉතා හොඳ නැකතක් අප වෙන් කරවාගෙන තිබුණි කරවා ගෙන තිබුණෙමු.පිරිත් සජ්ජායනය කර ආගමානුකූලව ඒ කටයුතු සිදුකිරීමට අප සැලසුම් කළ නිසා එයට පෙර වැඩ කටයුතු සියල්ල අවසන් කළ යුතු විය.පසුදින උදෑසනම හම්බන්තොට යාමට නියමිතව තිබූ බැවින් සාදයට සහභාගි වූ අප දෙදෙනා එතරම් වේලාවක් එහි රැඳුණේ නැත.පසුදින අලුයම අප හම්බන්තොට යාමට නියමිත බව පවසා අප සාදයට සමුදී ඉක්මනින් පිටත් වූයෙමු. කෙසේ හෝ පසුදින අලුයම් කාලයේම හෂාන් සහ මම පිටත් වූ අතර තවත් වැඩ කටයුතු කිහිපයක් සඳහා අවශ්‍ය කළ කම්කරුවන් දෙදෙනෙක්වද අපගේ ගමනට සම්බන්ධ කරගත්තෙමු.නිවසින් පිටත් වී හම්බන්තොට බලා යාම අපගේ සැලසුම විය.

මතු සම්බන්දයි

Related Articles

Don't Miss


Latest Articles