ළපෙති මල් -20

“ඔයා තේරුම් ගත්තු එක නම් ලොකු දෙයක්..”

ඇඳුම් බෑගය සකසමින් කාමරයේ හුන් මන්දාරා වෙත ආ තේජන පැවසුවේ සොම්නසිනි.මෙවන්ගේ ඇමතුම පිළිගත් ඔහු පවුලේ රාත්‍රී සාදයට එක් වන්නට පැමිණියේ ය.

“ඔයාලගෙ අම්මල මොකෝ කියන්නේ තේජන.”

මන්දාරා ඇසුවේ සැකයෙනි.ඒ ඇයට පවතින තවත් ගැටළුවකි.

“මං මේ එකසිය තිස්තුන්වැනි පාරට කියන්නෙ.අපෙ අම්මලට රහල් සර්ගෙ මැරේජ් එක අවුලක් නෑ..”

ඔහු එසේ කියා මන්දාරා නවා තිබූ ඇඳුම් බෑගයේ ඇසිරී ය.මන්දාරා තේජනට සමීප වූයේ තවත් දෙයක් පවසන්නට ය.

“හිමා ප්‍රෙග්නන්ට් වෙයි නේද?”

තේජන කිසිත් නොකියා හුන්නේ ය.මන්දාරා ද මෙවන් ද යෞවන වියේ පසු වන නිසා ඕනෑ නම් ඒ අදහස ඉවත දමන්නට රහල්ට නොහැකියාවක් නැත.නමුත් ඔහු හිමංගිගේ ආශාව ඉවතට දමන්නට තරම් තරුමයෙකු නොවන බව තේජනට සහතික ය.

“අපිත් ලබන අවුරුද්දේ මැරි කරනවනෙ.අපේ බබාලයි හිමාගෙ බබාලයි සේම් ඒජ් වෙයි කියල මට බය..”

තේජන මන්දාරාගේ හිස පිරිමැද්දේ වචන නාස්ති නොකර ය.

“ඉස්සරහ ගැන අනාවැකි නොහිතා ඉමු මන්දි.අනික ඒ දරුවෝ ඔයයි හිමංගියි වගේ හොඳ යාලුවෝ වෙයි කියල හිතන්න.ඒ ඇති..”

මන්දාරා සැකසූ බෑගය ඔසවාගෙන ගොස් කාරයේ තැබුවේ හිමංගි ය.ඇය ආපසු නිවසට කැඳවාගෙන යන්නට ලැබීම ගැන හිමංගිට දැනුණේ සැනසීමකි.
කෙදිනකවත් තමා නොරිදවූ මන්දාරාට රිදෙන දෑ කරන්නට තමන් තුළ වූ ආශාව ගැන හිමංගිට දැන් දැනෙන්නේ ලැජ්ජාවකි.ලංකාට රිදවීම නවතන්නට නොහැක.නමුත් මන්දාරා වැනි සුන්දර අහිංසක යුවතියක සමඟ කෝන්තර තබාගෙන පලක් නොමැති බව හිමංගි සිතුවේ ළතැවිල්ලෙනි.

“ඔයාලා දෙන්නා අතර තියන රිලේෂන්ශිප් එක තව දුරටත් හොඳම යාළුවෝ විතරක්ම නෙවෙයි,තවත් නෑකමක් තියනව කියලා ඔයාලා දෙන්නම දන්නව.ඒ නිසා ප්‍රශ්න ආවම රණ්ඩු කරන එකවත් අනිත් කෙනාව සදහටම එපා කරගන්න එකවත් නෙවෙයි විසඳුම කියල තේරුම් ගන්න ඕන..”

සිරිමා මහත්මිය මිණිබිරියත් ලේලියත් වැලඳ ගත්තේ එසේ කියන අතර ය.
යුවතියෝ නිසොල්මන්ව ඒ අවවාදය පිළි ගත් හ.

“තාත්තා..අර හිමා අක්කා හිටිය අපාට්මන්ට් එක ආපහු දුන්නද?”

සිහින් ගී හඬක් හැරුණු කොට සන්සුන්ව පැවති මෝටර් රථයේ නිහැඬියාව බින්දේ මෙවන් ය.මඳ දුරක් රථය ධාවනය වෙද්දී ඔහු එසේ පැවසීම ගැන හිමංගිට ඇති වූයේ තිගැස්මකි.ඉදිරිපස අසුනේ සිටි රහල් ඉතා උපේක්ෂාසහගත බැල්මකින් රියදුරු අසුනේ සිටි පුතු දෙස බැලී ය.

“ඇයි පුතා..”

ඔහු ඇසුවේ ඒ උපේක්ෂාවෙන් ය.

“මට එහෙ නවතින්න හිතෙනව..”

මන්දාරා තමන්ට අනිත්පස හුන් තේජනගේ අත අල්ලා ගත්තේ තදිනි.තමන්ට නිවසට යන්නට ආරාධනා කළ ද මල්ලීගේ හිත ද සසැලී ඇතුවා විය නොහැකිදැයි ඈ සිතුවා ය.

“එහෙම යන්න අවශ්‍ය වෙයි කියලා මං හිතන් නෑ පුතා..”

රහල් කතාව ආරම්භ කළේ සන්සුන්ව ය.

“මොකෝ නැත්තේ තාත්තා..මේ ජෝඩුවම එකට ඉන්න ගත්තම මම විතරක් නෙවෙයි තාත්තත් ඉන්න තැනක් හොයා ගන්න එක හොඳයි.අපි කැමති ද්කෑමක්වත් හදල දෙන් නෑ ෂුවර්.මට පිරිසිදුකම එහෙම උගන්නන්න ආවොත් නම් දෙන්නම එළියට දානව. “

රහල්ගේ උස් සිනාවට සියල්ලන්ම එක් වූයේ සැනසිල්ලේ ය.මෙවන් තම උරහිසට වැදුණු පහරට අක්කාට රැවූයේ “ගෙදර යංකො” කියමිනි.

බොහෝ කාලයකට පසු නිවසට ආ ප්‍රීතියෙන් මන්දාරා කාමරයට රිංගා ගත්තා ය.තාත්තා හිමංගි සමඟ ආදරයෙන් බැඳී ඇතැයි දැන ගත් දා පටන් ඇය නිවසට ඒම ප්‍රතික්ෂේප කරමින් අම්මාගේ නිවසේ ද ආච්චම්මාගේ නිවසේ ද රැඳුණා ය.

“මේකයි ඔයාගෙ ගෙදර.ඔය මිනිහගෙ ගෙවල් අස්සෙ නොයා ඔයා මෙහෙ ඉන්න පැටියෝ..”

අම්මා එසේ කීව ද මන්දාරා ඇය ඇසුරේ රැඳුණේ ද අකමැත්තෙනි.

“ජයන්ති නැතුව පොඩි පාළුවකුත් තියනව..”

තාත්තා නිවසට ඇතුළු වෙද්දී පැවසුවේ හිනැහෙමිනි.නමුත් ගෘහ සේවිකාවක් අනවශ්‍ය බව කියන්නට තරම් තමා නිවසට බැඳී ඇත්දැයි මන්දාරා සිතුවා ය.

“මන්දී…”.

තේජනගේ දිගු දුරකථන සංවාදය අවසන් කළ පසු මන්දාරා හැරී බැලුවේ දොරට සන් කරන හඬ නිසා ය.ඇය දොර හැර හිමංගිව ඇතුළට ගත්තා ය.

“සර්ට කොෆී හැදුව.ඔයාටත් අරන් ආව..නිදි නෑනෙ..”

හිමංගි දුන් කෝපි කෝප්පය මන්දාරා අතට ගත්තේ ආදරයෙනි.පාඩම් වැඩකටයුතු අධික කාලයක තේජන සමඟ රණ්ඩුවක් ඇල්ලූ දවසක් ඇගේ මතකයට ගලා ආවේ ය.

“මේ සබ්ජෙක්ට් එක පට්ට බෝරිං නේද? මං අම්මව රෑ තිස්සෙ ඇහැරවල කොෆී හදා ගන්නව..”

තේජන එසේ කීවේ ඔහු හා එක්ව පාඩමේ යෙදී සිටි මන්දාරාටත් හිමංගිටත් ය.

“ඉතිං ඇයි අපිට කියන්නෙ?”

තමන් එදා ඔහුට කඩා පැන්න අන්දම මන්දාරා තවම සිහි කරන්නේ ලැජ්ජාවෙනි.

“එතන ඔයා නෑනෙ මන්දි කොෆී හදන්න.නැන්දම්මට ජෙලස් වෙන ජාතියේ ලේලියක් වෙන්න එපා ඉතිං..”

හිමංගි එසේ කියද්දී මන්දාරා හිමංගි සමඟ ද උරණ වූවා ය.

“අපි දෙන්නා වගේ අම්මාගෙ ආදරේ දන් නැති දෙන්නෙක් ගාව මෙයා මේ අම්මා වරුණාව කරන්නෙ ඇයි?”

මන්දාරාට එතැනින් එහා වචන තිබුණේ නැත.කතා කළේ කඳුළු ය.

“හරි හරි මෝඩ කෙල්ලෙ..දවසක ඒ ඔයාගෙත් අම්මනෙ.අනික ආන්ටි කොහොමත් ඔයාටත් ආදරෙයිනෙ..”

හිමංගි මන්දාරා සන්සුන් කරන්නට උපරිම උත්සාහයක් ගත්තා ය.මන්දාරා මේ කෝපි කෝප්පයේ දුම් අතරට මැදි වී ඒ අතීතය සිහි කළා ය.

“ආච්චම්මා ඔයාට ආදරෙයි..”

ඇය පැවසුවේ සවස් වරුව පුරා නිරීක්ෂණය කළ දේ ය.හිමංගිගේ මුහුණේ සිහින් සිනාවක් ඇදී මැකී ගියේ ය.

“ජෙනී ආන්ටි ඉතින් මෙහෙ එවෙන්නෙ වැකේෂන් විතරනෙ.එක්කො අපි එහෙ ගියාම.එයා ඉතින් ආච්චම්මාට ආදරෙයි තමා.ඒත් ලේලි කියන අඩුව පිරවෙනවද දන් නෑ.අනිත් ලේලි ගැන නම් කතා කරන්න ඕන නෑ හිමා. ඔයාට පුලුවන් නම් හොඳ ලේලියක් වෙන්න.මං ආසයි ඔයා එහෙම වෙනවට..”

මන්දාරා පැවසුවේ සිතිවිලි අතර සක්මන් කරමිනි.අම්මා නම් හොඳ ලේලියක නොවන බව ඇය හොඳින් දනියි.

“ඔයා ගෙදර ආව කිව්වම ලංකා මැඩම්ටනම් කේන්ති යයි.”

හිමංගි මන්දාරාගේ කණ්ණාඩි මේසය පිළිවෙලකට අසුරමින් පැවසුවා ය.
මන්දාරා හිනැහුණේ සැහැල්ලුවෙනි.

“මං කියනව ඔයා ප්‍රෙග්නන්ට්.මං උදව්වට ආව කියල..”

හිමංගි දෑස් හකුළා තරවටු බැල්මකින් හිනැහුණා ය.ඒ මොනතරම් සොඳුරු සිහිනයක්දැයි ඇය අනතුරුව කල්පනාවට වැටුණා ය.

“වෙන්න පුලුවන් වුණොත් ඔයයි මායි දෙන්නම මේ ලෝකෙ ඉන්න හොඳම අම්මල වෙන්න උත්සාහ කරන්න ඕන මන්දි.දරුවෙක් වදලා අත් අරින්න පුලුවන් කියන දේ අපේ අම්මලා ඔප්පු කරල ඉවරනෙ.දුප්පත්ම ගෑනියෙකුයි,පෝසත්ම ගෑනියෙකුයි වෙලා ඒ දෙන්නම කළේ ඔය දේ.අපි ඊට වෙනස් වෙන්න ඕන..”

මන්දාරා හිමංගිගේ කතාව සහමුලින්ම පිළි ගත්තා ය.අම්මා කියන්නේ දරුවන් වෙනුවෙන් තම සිහින කැප කර හූල්ලන ගැහැනියක නොවේ.එහෙත් තමන්ගේ අම්මා තම පහත් ආශාවන් සඳහා තමන්ව පවා බිල්ලට ගත් හැටි අමතක කරන්නට තරම් මන්දාරා පරිණත නොවූවා ය.

“හිමා..අපි ඔයාගෙ අම්මව හොයමුකො.අපි කලිනුත් කතා වුණා මතකද?”

ඇය හිමංගිගෙන් ඇසුවේ හදිසියේ හටගත් හිතුවිල්ලකිනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

සුහදිනි -17

"සකී?" සියුම් ඇසුවේ පුදුමයෙනි.ඔහු දන්නා තරමින් අහස්ට සකීව කිසි දිනෙක මුණ ගැසී නොමැත. "ඒ ළමයා උඹට...

ප්‍රේමයේ අභිමන් – 10

දොර ළඟ සිට ගෙන සිටියේ තරුණියන් දෙදෙන ය. අපරාජිතා තිලිණය අතැතිව පිටුපසිනි. දේශිකා ඉදිරියෙනි. කොහොමත් හැමදාමත් එහෙම ය. ඉස්සරහා ට යන්නේ දේශිකා...

සුහදිනි – 16

සකී හැරී බැලුවේ නැවත වතාවක් ඇගේ නම ඇසුණු නිසා ය.ඇයට ඒ හඬ හුරුපුරුදු ය.ඒ ඇමතීම ද හුරුපුරුදු ය.ඒ හඬින් සකී යැයි කියැවෙන්නේ...

(අ)හිමි සිහින -179

මේ කතා මෙසේ ඔබට පවසද්දී මේ කාරණාව ඔබ සමඟ බෙදා නොගෙන බැරි බව මට හිතෙනවා.නීත්‍යානුකූල විවාහ තුනක් කරගත් එක් මිනිසෙකු වෙනුවෙන් ජීවිතය...

ප්‍රේමයේ අභිමන් -09

අපරාජිතා දනිපනි ගා නැගිට ගත්තා ය. ඒ කලබලයට ඇය වැටෙන්නට පවා ගියේ ය. හිත ඇති ව තිබුණේ ගෙහිමියා ගේ කන හරහා අතුල්...