ඒකපාර්ශ්වික 04

” ඔයා ආවේ මගේ හොර අල්ලන්නද ? ” 

නිම්නාද උන්නේ කෝපයෙන් පුපුරමිනි. මේඝා දොර අසල සිටිද්දි ඔහු මේඝාව තල්ලු කරගෙන ගොස් හිඳ ගත්තේ එසේ අසමිනි. මෙතරම් කෝපයට පත් වන්නට තමා කුමක් කලේදැයි මේඝා සිතුවේ නිම්නාද දෙස බලාගෙනය

” මං සමහර දවස් වලට එහෙම එනවනේ නිම්නාද ? මොකක්ද ඔච්චර තරහ ගන්න උනේ ” 

මේඝා අසන්නේ සන්සුන්වය. ඇය නිම්නාද අසලට ගොස් වාඩිවීය.

” ඔව් ඔයා එනවා තමයි. ඒත් ආවනං ඇවිල්ල කතා කරනවනේ. අහුමුලු වලට වෙලා හොරගල් අහුල අහුල ඉන්නේ නැහැනේ. ” 

” ඒකට කියන්නේ හොර ගල් අහුලනවා කියලද ? මම නම් පැත්තකට වෙලා හිටියේ ඔයාට ඩිස්ටර්බ්  කරන්න ඕන නැති නිසා ” 

” අනේ මේ නිකන් බොරු කියන්න එපා මේඝා. ඔයා කොහොමත් කැමති උනේ නැහැ නේ මම මේ කමර්ෂල් එකට වර්ෂාව ගන්නවට. ඔයා ඒක බලන්නද ආවේ ? “

” මේ කතාවට කොහොමද වර්ෂා ගෑවුනේ දැන් ? හැබැයි මම දැක්කා එයා ඔයා දිහා කන්න වගේ බලාගෙන ඉන්නවා නම් “

නිම්නාදගේ කෝපය අලුත් විය. ඔහු නැගිට්ටේ මේඝා දෙසට ඇගිල්ල දිගු කරගෙනමය.

” මේඝා මේ. ඔයා මගේ ලයිෆ් එකේ දේවල් වලට ඕනවට වඩා අත දානවා වැඩියි දැන්. මට නිදහසේ වැඩක් වත් කරගන්න විදියක් නෑනෙ බලාගෙන ගියාම. කරුණාකරලා මේක හොඳට අහගන්න. මම ඔයාට මගේ ජීවිතේ ලියල දීල නැහැ. මේ විදියට මගේ හැම වැඩේ අස්සටම එන්න තියාගන්න එපා. ඔයා ස්ක්‍රිප්ට් එක ලිව්වට අනිත් සේරම ප්ලෑන් කලාට පස්සේ ආයේ ඔයාට ඇඟිලි ගහන්න දෙයක් නැහැනේ . මේක මල කරුමයක් වුනානේ ” 

එසේ කියා නිම්නාද පිටව යද්දි මේඝා ගල් ගැසී උන්නාය. විනාඩි පහක් දහයක් ගෙවී යද්දිත් එය පැය බාගයක් වෙද්දිත් මේඝා උන්නේ ගල් ගැසීය. තමා හොඳක් කරන්නට යන සෑම විටකම එය නරකක් වන ආකාරය මේඝා කල්පනා කලාය. මෙය යලි යලිත් සිදුවන්නේ කෙසේද ? මෙය සිදුවන්නේ තමාට පමණක්ද ? මේඝා අසල වූ සෝෆාවේ කොට්ට එකින් එක විසි කරමින් යටි ගිරියෙන් කෑගැසුවේ දහවල් සිටම උගුරේ සිරවී තිබූ හැඬුම පිට කර ගන්නටය. ඉන්පසුව ඇය බිම හිඳ ගත්තේ අසරණකමිනි. මේ නිවස තුළ තමන්ගේ හැඬුම නවතන්නට කිසිවෙකුත් නැත. තමා හැඬුවද , සිනාසුනද එයින් කිසිවෙකුට පලක් නැත. මේඝාට සිතුනේ එපමණකි. ඉතින් ඒ ගෙවී ගියේ මේඝා හිතේ වූ සියලු දුක පිට කරගන්නට උත්සහ දැරූ හෝරා දෙක තුනකි.

කොළඹ කින්ග්ස්බරි හෝටලයේ සුඛෝපභෝගී කාමරයක බියර් වීදුරුවක රස බලමින් හුන් නිම්නාද සිටියේ වෙනම ලෝකයකය. සැහැල්ලු ඇඳුමකින් සැරසී සිටින වර්ෂා සිටින්නේ පහලින් පෙනෙන Honey beach club එක දෙස බලාගෙනය. නිම්නාද ටික වෙලාවකට පෙර මෙහි පැමිණියේ වර්ෂාගේ ආරාධනාවකටය. එය ප්‍රතික්ෂේප කරන්නට තරම් සිතක් නිම්නාදට නොවීය. ඒ අනුව දින කිහිපයකට වර්ෂාගේ නවාතැන වූ මෙහි පැමිනෙන්නට නිම්නාද දෙවරක් සිතුවේ නැත. 

” ඉතින් ඔයාට කියන්න තිබුණනේ නිම්නාද ඒ ගර්ල්ට කෙලින්ම ? ඔයා කැමති නැහැ කියලා ? ” 

වර්ෂා එක එල්ලේම නිම්නාද දෙස බලාගෙන කීවාය.

” එකම ඔෆිස් එකේ වැඩ කරනකොට ඔය වගෙ දෙයක් කෙල්ලෙක්ට හිතෙන එක සාමාන්‍ය දෙයක්නේ වර්ෂා. මම ඉතින් මගේ ලිමිට්ස් තියාගෙන හිටියම ඉවරයි නේ ” 

නිම්නාද කියන්නේ හිතට එකඟව නොවේ. මේඝා සමඟ තිබෙන බැඳීම සුලුපටු එකක් නොවන බව කාර්‍යාලයේ අය අතර රහසක් නොවේ.ඒ නිසාම මේඝා පැමිණි පැය කිහිපයට වර්ෂා ඒවායින් බොහෝ දේ දැනගෙන තිබේ. ඒවා කෙසේ හෝ ඇගේ හිතින් ඉවත් කල යුතුව ඇත.

” ඒ උනාට සෙට් එකේ හිටපු අය නම් කිව්වේ ඔය දෙන්නා මාර ක්ලෝස් කියලා. යන්නේ එන්නෙ වැඩ කරන්නේ එකටමයි කියලා. ” 

” එහෙනම් ඉතින් එතනදිත් එහෙම වෙන්න එපැයි ? මේඝා එනවා වත් යනවා වත් මම දන්නෑ ” 

වර්ෂා ඒ වදන් පිළිගත් බවක් පෙනේ. නමුත් මේඝා පිළිබඳව එතරම් හොඳ හැඟීමක් ඇය තුළ නැත. නිම්නාදව තනිව මුණගැසිය යුතු බව වර්ෂා තීරණය කළේ කණ්ඩායමේ අය මේඝා සහ නිම්නාද පිළිබඳව විවිධ දෑ කියූ පසුවය. මේඝා සුන්දර යුවතියකි. හොඳ පෞරුෂයක් ඈ සතුව ඇත. වර්ෂාට සියුම් ඉරිසියාවක් දැනුනේත්, මෙවර නිම්නාදට යම් පිළිතුරක් දිය යුතු බව සිතුවේත් එහෙයිනි. වර්ෂා දෙස බලා හුන් නිම්නාද හිත යටින් සැනසුම් සුසුම් හෙලුවේය. මෙය වසර කිහිපයක් මුලුල්ලේ බලා සිටි මොහොතකි. එය ගිලිහෙන්නට දෙන්නට නොහැක.

ධනුකත් නිකිනිත් මේඝා සොයා පැමිණෙන විට මේඝා උන්නේ සාලයේ බිම වාඩි වීය. ඇය හුන් ඉරියව්වෙන් සහ මුහුණේ ඇති සලකුණු වලින්ම ඇය හැඬූ බවට සාක්ශි පෙනෙන්නට තිබුනි. නිකිනි එකවරම දිව ගොස් මේඝාව වැළඳගත්තේත් , මේඝා නැවත කෑගසා හඬන්නට ගත්තේත් එකවරමය. කුමක් හෝ සිදුවී ඇති බව ධනුකට ඉවෙන් මෙන් දැනුනි. පසෙක තිබූ මේඝාගේ දුරකථනය ගත් ධනුක එහි ඇමතුම් ලැයිස්තුව පරික්ශා කලේය. 

” තමුසේ මේ අඬන්නේ අක්කගෙන් ආව කෝල්ස් වලටද ? නැත්තම් නිම්නාද කට් කරපු කෝල්ස් වලටද මේඝා  ? ” 

මේඝාගෙන් පිළිතුරක් නැත. ඇය හඬනවා පමණි. ධනුකට නිහඬ වන්නැයි නිකිනි අතින් සංඥා කර කීවාය. මේඝා කතා කරන්නට ගත්තේ තවත් බොහෝ වෙලාවක් හැඬීමෙන් අනතුරුවය. 

” නිම්නාද උඹව මග අරිනවද ? ” 

නිකිනි ඇසුවේ මේඝාගේ හිත රිදුනත් නොරිදුනත් එය ඇත්තටම දැන ගත යුතුව ඇති නිසාය.

” දන්නේ නෑ ” 

” මම ඌට කතා කරන්නද ? ” 

ධනුක නිම්නාද සමඟ කතා කිරීමට යාම ප්‍රශ්නය උග්‍ර වීමක් යැයි මේඝාට සිතුනි. අනෙක් අතට නිම්නාද සිටින්නේ තමා සමග කෝපයෙන් නිසා කුමකින් කුමක් සිදුවේදැයි කිව නොහැක. හොඳම දේ වෙන්න තිබෙන දෙයක් වෙන්නට හැර බලා හිඳීමය.

” මං මේක විසඳගන්නම් ” 

මේඝා කීවේ අසරණවය.

” දැන් මෙච්චර කල් උඹගේ ප්‍රශ්න වලට අපි හිටියේ නැද්ද එතකොට ? ” 

ධනුක කෝපයෙනි.

” මට ඔයාලවත් නැති කරගන්න බෑ. තේරෙන්නේ නැද්ද ? ” 

” හිටපංකො මං අරූට දෙකක් කියන්න ” 

මේඝා උන්නේ දරාගැනීම අගිස්සේය. මේ තරම් දේවල් බර වැඩි යැයි හිතෙන තැනකය. ධනුක ඔය කියන්නේ කුඩා කල සිටම තමාට ඇති මිත්‍රත්වයේ නාමයෙන් බව මේඝා දන්නා නමුත් මෙවෙලෙහි තවත් ගැටළුවක් ඇති වනවාට මේඝා බයය.

” අපි පොඩ්ඩක් ඉවසමු ධනුක. අපි දන්නේ නෑනේ නිම්නාද මොකක් හරි ප්‍රශ්නෙකද කියලා. මෙයත් ඉන්නෙ ප්‍රශ්නක නිසා එයා ඒක නොකියා ඉන්නවද දන්නෙ නෑනේ ? ” 

නිකිනි කීවේ කල්පනාකාරීවය. එය සැබෑවක් බව ධනුකට දැනුනේද ඒ මොහොතේය. එහෙත් මේඝා සිටින තත්ත්වය තවදුරටත් බලා හිඳිය හැකි එකක් නොවේ. නමුත් ඉක්මන් වී විසඳිය හැකි එකක්ද නොවේ.

මේඝාට කෑමට යමක් සකසන මෙන් නිකිනිට පවසා ධනුක බැල්කනියට විත් මොහොතක් කල්පනා කළේය. බැල්කනිය පුරා මේඝා විසින් වවා තිබූ මල් පැල බොහෝමයක් වියළී ගොසින්ය. ඇය දිනපතා ඒවාට සාත්තු කළේ පුදුමාකාර උනන්දුවකිනි. ඒවාට වතුර දමන්නට පොහොර යොදන්නට සහ බෙහෙත් දමන්නට ඇය කෙසේ හෝ වෙලාවක් වෙන් කලාය.

” මේ තමයි මගේ ළමයි ” 

මේඝා කීවේ එහෙමය.එහෙත් ඒ මල් පැලද අද මේඝාගේ ජීවිතය වගේම වියලී ගොසින් ඇතැයි ධනුකට සිතුනි. ඔහු නිම්නාදගේ අංකය ඇමතුවේ හැකිතාක් ඉවසීමෙන් ඕනෑම දෙයකට මුහුණ දීමේ අටියෙනි. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles