පෙඟුණු මල් පෙති 12

චරිත්‍රා උන්නෙ දැවෙමිනි.

උදෑසන වැඩට යන්නට සූදානම් වන මොහොතේදීත් ඇය උන්නේ දැවෙමිනි.

මුහුණෙහි ආලේපන තවරාගන්නා අතරවාරයේත් ඇය උන්නේ දැවෙමිනි.

අද ඉතාම වැදගත් දවසකි.

 වසරකට වරක් පැමිනෙන සේවය තක්සේරු කීරීමේ හමුව පවැත්වෙන්නේ අදයි. මේ සඳහා ආයතනයේ ඉහළම පුටු දරන්නන් පවා පැමිනෙන බැවින් ඉතාම සුන්දර එනමුත් කාර්‍යාලීය ලෙස හඳ පැලඳගෙන යෑම අනිවාර්‍ය බව චරිත්‍රා නොදන්නවා නොවේ.

අඩුවෙනුත් නොව වැඩියෙනුවත් නොවන ලෙස මුහුන පුරා තවරා ගන්නා අතර තුරේ මෙන්ම අරියෙන්ති වෙතින් මිල දී ගාත් තැඹිලි පැහැ ලිනන් ගවුම හඳින විටත්, රන් පැහැ කරාබු යුවල සහ වලල්ල පලඳින අතරත්, කොන්ඩය පිටුපසට කර ස්ලීක් ලෝ බන් එකක් බඳින අතරවුව ඇය උන්නේ දැවෙමිනි.

හුඩා බියුටි වෙතින් ලද ඉහලම වර්ගයේ මේකප් වලට වසා දමන්නට නොහැකි තරමේ දැවීමක් ඇයගේ මුහුනෙන් පෙනෙන බව සැරසී අවසානයේ කණ්ණාඩියෙන් වත දෙස බලා උන් චරිත්‍රා වුවද නොදැක්ක නොවේ.

එහෙත් ව්‍යාජ සිනහවක් සහිත වෙස් මුහුනක් පලඳා ගැනීම චරිත්‍රාට අපහසු කාරණාවක් නොවේ. 

එය මෙතුවක් කලක් කල රාජකාරියෙන් ලැබුනු දායාදයක් වැනිය. 

“ගෙදර මොන තරම් ප්‍රශ්න තිබුණත් ක්ලයන්ට්ස් ලා ලඟට යද්දි ඔයාලා පොසිටිව් ලුක් එකක් පෙන්නන්නම ඕන.

 ෆස්ට් ඉම්ප්‍රෙශන් ඉස් වෙරි ඉම්පෝටන්ට් කියල අපි කිව්වට ඉම්පෝටන්ට් වෙන්නෙ ෆස්ට් ඉම්ප්‍රෙශන් එකම නෙවි. 

ක්ලයන්ට් කෙනෙක්ට අපේ හැම ඉම්ප්‍රෙශන් එකක්ම ඉම්පෝටන්ට්” 

ලෙස සේවයට බැඳුණු මුල් දිනයේ ආයතනයේ ප්‍රධාන විධායක නිලදාරිනිය විසින් කියූ හැම වදනක්ම් චරිත්‍රා අද වන තුරු අමතක කර නැත. 

ගමෙන් කොලඹ ආ කෙල්ලක ලෙස කොළඹ කෙල්ලන් අතර හිස ඔසවා හිඳින්නට ඇයට හැකියාව ලැබුනේ එබැවිනි.

සිත ඇතුලෙන් කොතෙන් දැවුනද එළියෙන් නිවී හිඳින්නට සිදුවන බව ඉතින් චරිත්‍රා දනී. 

කුලී රියේ නැගී කාර්‍යාලයට යන අතරතුර මිහිකට වෙනදා මෙන් කතාකාරන්නටවත් ඇයට නොහැකි වූයේ පෙරදින රැයේ මිහික එවූ ජායාරූපය සහ පණිවිඩයට පිළිතුරක යැවුවෙ නැති බැවිනි.

මිහිකද ඉන් පසුව කිසිදු මැසේජයක් හෝ ඇමතුමක් නොදුන්නේ සිතේ හටගත් කෝපය සහ වේදනාව සහ සැකය නිසා බව චරිත්‍රා නොදන්නවා නොවේ.

ළහිරු යනු මිහිකට රහසින් ගෙන ගිය පළමු සබඳතාව නොවේ.

 මෙතෙකැයි කියා නිම කළ නොහැකි ගණනින් පුරුශයින් සමග යහන්ගත වුවද ඒ කිසිදු බැඳීමක් ශාරීරික සංතර්පණයකින් එහා ගෙනියන්නට සැම විටමක චරිත්‍රාට මෙන්ම බොහෝ අවස්තාවල ඒ පිරිමින්ටද උවමනාවක් සහ අවශ්‍යතාවයක් නොවිනි.

ඔවුන් චරිත්‍රාවද චරිත්‍රා ඔවුන්වද ඇසුරු කරනු ලැබුනේ හුදෙන් විනෝදාස්වාදය සහ කම්මැලිකම මකාගනු මිසක දිගුකාලීන බැඳීමක පැටලෙන්නට සිතා නොවේ.

මෙතෙකැයි කියා කිව නොහැකි දහස් ගණනක් සබඳතා ඉදිරියේ මිහිකට සහ ලොවටම රහසින් ප්‍රේමයෙන් බැඳුණු එකම පුද්ගලයා නම් ළහිරුය.

 ඔහු පිළිබඳව සියල්ල සඟවා හිඳින්නටත්, රහසේ විඳින්නටත් මෙතරම්ම උත්සහ දරන්නෙ ඔහු සහ ඔහුගේ අපිරිමිත ප්‍රේමය එතරම්ම වටනා නිසාවෙනි.

නොසිතූ මොහොතක නොසිතූ ලෙස සියලු බාධක සිතෙන් පසෙකලා නිදහස් සිතුවිලි වල බලපෑම මත ගත් ඒ එකම එක ජායාරූපය තමාට නොදන්වාම ගොස් තිබෙන දුර බොහෝ ය.

එදා පින්තූර ගන්නා අතරවාරයේ තමන් නොදක්කාට එහි සිටි කවුරුන් හෝ තම අනුදැනුමෙන් තොරව තමාගේ සහ ලහිරුගේ ගත් ජායාරූපය මුහුණු පොතේ පල කර තිබෙන්නේ “ආදරේ තිබ්බෙම නිදහස දීපු තැන්වල” යන තැන්වල යන හෙඩිම සහිතව වීමම මෙය මෙතරම්ම ගැටළුවක් මතුකරවන හේතුවකි.

ඒ පින්තූරයේ පෙනෙන තරමට තමා එදා සතුටින් සිටි බව දන්නේ තමා සහ ළහිරු පමණකි. 

එදා එය සැමටම රහසක් වේ යැයි සිතුවද අද වන විට කී දෙනෙකු නම් මේ ජායාරූපය දැක ඇතිද?

බාගදා නයනතාරා වුව එදා තමා ලියූ ලිපියට එසේ කමෙන්ටුවක් පල කරන්නට ඇත්තේ මේ ජායාරූපය දුටු බැවින් විය හැක. 

ඒ ඡායාරූපයත්, තමා ලියූ ලිපියත් ඔස්සේ ගැට පදය ලිහාගන්නට නයනතාරාට මෙන්ම, එයටම එක්වූ මිහික කියූ ලෙසින්ම තමා ඔහුව නොසලකා සිටි නිමේෂයන්ද එක්කරගන්නට මිහිකටද හැකි වීම දැන් චරිත්‍රාට පුදුමයක් නොවේ.

සියල්ලම තම මෝඩකම් බව දන්නා නමුත් මිහික හා විවාපත්ව සිටියදී ළහිරු සමග සිතෙන් මෙන්ම ගතින්ද බැඳීම වරදක් බව චරිත්‍රා තවමත් පිළිගන්නේ නැත.  

ඇයට අනුව තවමත් ආදරය මුන ගැසෙන්නේ අහම්බෙනි. 

එසේ අහම්බකාරකව මුණ ගැහෙන ආදරය අනෙකුත් සමාජමය බැඳීම් හේතුවෙන් මග හැර ගැනීම තරම් තවත් මෝඩකමක් මෙලොව තිබේද?

ළහිරු මෙබව නොදන්නා බව පමනක් තවමත් සිතට සැනසුමකි.

 ඊයේ රාත්‍රී භෝජනය රැගෙන විත් මහන්සි නිසා නිදාගන්නා බව ඔහු පැවසීම සිත තුලින් මහා සුළි කුණාටුවක පොරබදමින් උන් චරිත්‍රාට සහනයක් විය.

ඒ අස්සේ මේ උදෑසනම දුරකතනය නද දේ.

 කාර්‍යාලය අසලින් බසින්නට තවත් විනාඩි තිහක් පමන වේලාව තිබේ.

ඇමතුම ප්‍රභාත් ගෙනි.

ඊයේ සිට තමාගේ ග්‍රහ මාරුවක්වත් වී තිබේදැයි අම්මාගේන් අසන්නට තරම් චරිත්‍රාට සිතුනේ ප්‍රභාත් – නිව්ස් ලංකා ලෙස දුරකතන මත  සඳහන් ව තිබෙනු දැකීමෙනි.

අතීතයේ දිනෙක ප්‍රභාත් සමග ගාල්ලේ මූද අද්දර නිවාඩු නිකේතනයක ගෙවුනු දිනක් ගැන චරිත්‍රාගේ සිතුවිලි අවදිවන්නට වූයේ මෙතෙක් දිනක් නොදැනුනු තමා පිළිබඳවම ආත්මානුකම්පාවක් සහ පිළිකලක් ද සමගිනි.

ප්‍රභාත්ව මුණ ගැසුණේද තමා කොලඹ සේවය කරන්නට ඇරඹූ අලුත ය. 

මහා අත්දැකීමක් නොතිබුණු ඒ කාලයේ ප්‍රභාත් වැනි ධනවත් ව්‍යාපාරිකයෙකු තමා සමග තාවකාලික ඇසුරක් හෝ පැවැත්වීම චරිත්‍රාට ආඩම්බරයක් වුවත් මිනිසුන් පිළිබඳ හොඳින් දැනගත් පසු චරිත්‍රාට ඔහු ගේ ජාගර සිතුවිලි පිළිබඳව තිබුනේ පිළිකුලකි. 

කාලයත් සමග ප්‍රභාත් සමග තිබූ ඇසුර නැවතුනු අතර නැවත කිසි දිනෙක ඔහු තමා අමතනු ඇතැයි චරිත්‍රා සිතූ සිතුවිල්ල බොරුවක් වී හමාරය.

ප්‍රභාත් ගේ ඇමතුම රැගෙනත් බැරිය, නොගෙනත් බැරිය.

ඇමතුමට සවන් දීම ඔහු සමග තිබූ සබඳතාව යාවත්කාලීන කරන්නකි. 

එනමුත් ඇමතුම නොගෙන ඔහු වැනි පුද්ගලයකු තරහ කර ගැනීම ගැටලුවකි.

 එය තවත් බොහෝ ප්‍රශ්න ඇති කරන්නක් විය හැක.

අමතනවාද නැද්ද?

මේ ගෙවෙන්නේ තමාට ඉතාම අපල කාලයක් බව චරිත්‍රාට දැන් සක්සුදක් සේ පැහදිළිය.

 එක් පසෙකින් නිරපරාදේ තමාව සැක කරන මිහිකයි. අනෙක් පසින් අතීතයෙන් එන ජාගර ඇමතුම්‍ ය.

සැනසුමකට ඇත්තේ ළහිරු පමණකි.

චරිත්‍රා හෙලූ දිගු හුස්ම වාතලයට මුසු වුනේ එවන් කල්පනාවන්ද සමගිනි.

ජීවිතයේ සදහටම සන්තෝසය පිරුණු නිල් පැහැ පැහැබර දිනයන්ම නොඑන බවටත් අඳුරු සිතුවිලි පිරුණු කඳුලුබර දවස් එන බවත් ඇය විසින් අකුරු කල ලිපි දහස් ගණනක සටහන්ව තිබුණද ජීවිතයේ හැම මොහොතක්ම සතුටෙන් ගෙවිය යුතු බවට සිතූ අයෙකි චරිත්‍රා.

අද මේ කෙමෙන් කෙමෙන් මැකී යනේ ඇය එසේ තනන්නට සිතූ නිල් පැහැ පැහැබර දිනයන් ය.

 එහෙත් තවත් අඳුරු පැහැ කඳුලුබර දිනයන් නුදුරේදීම හමුවන්නට නියමිත බව චරිත්‍රා පිළිගන්නේ නැත.

චරිත්‍රා තමාට අමතන්නේ නැති බව මිහිකට හොඳාකාරවම පැහැදිළිය.

 එක්කෝ ඇය තමන් සමග කෝපයෙනි. 

නොඑසේනම් ඇය යමක් සඟවන්නට වෙර දරයි. 

විවාපත් බිරිඳකට මෙසේ දුරු රටක රැකියාවේ නිරත වන තම සැමියාගෙ සුව දුක් නොවිමසා සිටින්නට හැකිදැයි මිහිකට තේරුම් ගත නොහැක.

 විටෙක සිත මුසපත් කරන ආදරයට තවත් විටෙක මෙතරම්ම දුක්බර දවස් ජීවිතයට ගෙන ආ හැකිද?

රාත්‍රියේ චරිත්‍රා දැන් තමා අමතනු ඇතැයි, තමා යැවූ පණිවිඩයට පිළිතුරු එවනු ඇතැයි සිතමින් රැය පහන් කල මිහිකට තමාට නින්ද ගියේ කිනම් මොහොතක දැයි මතක නැත. 

අද රාජකාරිය සඳහා පිටත් වීමට තිබෙන්නේ දිවා කාලයේය.

 එබැවින් උදෑසන ආහාරය සඳහා යමක් පිලියල කරගත යුතු බව දන්නා නමුත් වෙනදා මෙන් සුදු හාලේ කිරිබතක් හෝ, වෙනත් යමක් පිස ගැනීමේ උවමනාවක්වත්, හිතක්වත් අද මිහිකට නැත.

 පහල ඇඹුලට ගොසින් යමක් මිලදී ගැනීමටද සිතක් නැත.

පෙර ගිය දිනක මිල දී රෝස්ටඩ් පාන් පෙති තුනක් සමග බිත්තරයක් සහ සොසේජස් එකක් කෑමට මිහික සිතුවේ අනං මනං කල්පනා කරමින් හිඳ උදෑසන ආහාරය නොගෙන සිටියහොත් රාජකාරිය සඳහා පිටත්වන්නට සිදු වන්නේ කුසගින්නෙ බැවිනි.

කෑම සකසා ගන්නා අතරවාරයේ වුවද විටෙන් විට ඔරලෝසු මුහුනත දෙස සහ දුරකතනය දෙස බැලෙන්නේ චරිත්‍රා දැන් දැන් තමා අමතනු ඇතැයි යන සිතුවිල්ල සිත තුලින් මතුවන බැවිනි.

 පෙම් කල විවාපත් කරගත් තරුණියගෙන් මෙවන් වූ පලිගැනීමක්, සිත් වේදනාවක් ලබන්නට සිදුවේ නම් විවාහ යෝජනාවලින් විවාහ වන මිනිසුන් අතර කුමනාකාරයේ ගට්ටන තිබෙන්නට හැකිදැයි යන්න මිහිකට සිතේ.

බාගදා මේ සියලු දුක්ක දෝමනස්සයන්ට හේතුව ප්‍රේමය විය හැක. 

ප්‍රේමය ඇති තැන දුක වැඩි වශයෙන් රැඳෙනවාද විය හැක.

පෝච්ඩ් ලෙස සකසාගත් බිත්තර සාරුවල පාන් දවටා ගනිමින් මුව රුවා ගන්නා අතරවාරයේ මිහිකට කල්පනා කරන්නට තිබූ දේ නම් බොහෝය.

 වෙන දිනක නම් බත් හෝ එවන් බර ආහාරයකින් උදෑසනම කුස පුරවාගන්නේ එවිට ආයමත් දිවා කාලයට අමුතුවෙන් කියා යමක් බුදින්නට උවමනා නොවන බැවිනි.

එනමුත් මේ ගෙවී යන්නේ කුසත් සිතත් හිස්ව පවතින දිනයන්‍ ය. 

ජනේලයෙන් එලියේ පෙනෙන දර්ශනය රන් පැහැ හිරුගේ රැස් කදම්බයන් සලුවක් මෙන් පොරවා හිඳින මුත් ඒ සුන්දරත්වය වෙනදා මෙන් නිදහස් හිතකින් විඳින්නට අද හැකියාවක් නැත.

මේ කිසිවක් ගැන යමක් කියන්නට, පිලිතුරක් අපේක්ෂා කරන්නට මිතුරෙක්වත් ලඟ පාතක නැති වීම කෙතරම් නම් වේදනාවක් දැයි මිහිකට තේරේ.

 සේවය කරන තැන සිටින ඉන්දියානු මිතුරා ප්‍රණව කෙතරම් ලෙංගතු වුවද තම විවාහක බිරිඳ පිළිබඳ සේවා ස්තානය මිතුරෙකු සමග විස්තර හුවමාරු කර ගැනීම නොමනා බව මිහික නොදන්නවා නොවේ.

ඉතින් දොඩමලු වන්නට හිඳින්නේ සිතුවිලි පමණකි.

කල්පනාවෙන් කල්පනාවෙන් කර කල පාන්, බිත්තර සහ සොසේජස් අනුභව කර කෝපි කෝප්පයක්ද හිස් කරන්නට පුලුවන් වී ඇත.

වෙනදාට නම් පසුවදාට අඳින ඇඳුම් පැලඳුම් ආදිය අයන් කරන්නේ රාත්‍රියේ වුව ඊයේ රැය යනු තම සුපුරුදු දෛනික ජීවිත රටාවෙන් මිදුනකි. 

ඉතින් කා බී අවසන්ව අනතුරුව ඇඳ පැලඳගෙන යාම සඳහා අවශ්‍ය කරන දේ සූදානම් කිරීම පහසුවක් මෙන්ම වේදනාකාරී සිතුවිලි වලින් මිදිමට හේතුවක්ද වනු ඇත.

“සැනසුම් සුසුමන් පාවීලා

සඳ කැන් වතුරෙන් නෑවීලා

සැනසුම් සුසුමන් පාවීලා

සඳ කැන් වතුරෙන් නෑවීලා

තරු මල් අතරින් රිංගාලා

කොහි යන්නෙද මා තනි කරලා

සැනසුම් සුසුමන් පාවීලා

සඳ කැන් වතුරෙන් නෑවීලා

රෑ සද පානේ සීතල පවනේ

නා මල් අරණේ ළා දළු සෙවනේ

මා ලය කර ඔබගේ සුව යහනේ

ගෙවූ අතීතය මතකද මිහිරේ

ගෙවූ අතීතය මතකද මිහිරේ”

වැඩ කරන අතරවාරයේ ගීතයක් ඇසීමේ පුරුද්ද කවදා කොතැනක කොයි මොහොතක ඇරඹුණක්ද යන්න මිහිකට මතක නැත. 

එනමුත් එය දැන් ජීවිතයේ කොටසක් වී හමාරය. 

සිංහල හෝ පැරණි හින්දි ගීයක් රස විඳිමින් වැඩ කිරීම කලාවක් වැනිය. 

අනෙක් අතට ගීත තෝරා ගන්නා විට ඒ මොහොතේ තමන් ගෙවමින් හිඳින, විඳිමින් හිඳින සංවේදනාවන් වලට අනුව ගීත තේරීම නිරායාසයෙන් සිදු වේ.

මිහිකට මතක් වන්නේ අතීතයයි.

 චරිත්‍රාව අතේ පටලවාගනිමින් විහාර මහා දේවි උද්‍යානයේ ඇවිද ගිය අයුරු, අයිස්ක්‍රීම් හෝ බාබකිව් කල සොසේජස් බෙදා ගනිමින් රස විඳි ආකාරය, ඩිල්මා ටී ලෞන්ජ් හී තේ බිබී පැය ගණන් දොඩමලු වූ අයුරු, විවාහයෙන් පසුව කණ්ඩලම හෝටලයට ගිය අයුරු ආදී මෙකී නොකී මතකයන් රැසක් ටී එම් ජයරත්නයන්ගේ මධුර මනෝහර හඬත් සමග සිත තුලින් හෙමින් හෙමින් අවදිවනු මිහිකට දැනේ.

ඒ ගී හඬ අතරින් සිතේ කොහේ හෝ කෙලවරකින් විටෙන් විට නින්නාද දෙන්නේ චරිත්‍රාගේ වදන් ය.

“මම දාපු ආටිකල් එකක් ගැන දැකල තමුසෙ මං ගැන ඔච්චර සැක හිතන්න උවමනාවක් නෑනෙ. 

අනික අරකිට ඔච්චර තියෙන රුදාව මොකද්ද මම මගෙ ප්‍ර්‍රොෆයිල් එකේ මොනව දැම්මත්? ඒකි දාපු කමෙන්ට් එක දැකල තමුසෙ ඔච්චර උඩ පනින්නෙ ඒකි තමුසෙ ළඟ තොදොල් වෙන බව මම නොදන්න නිසාද?” 

“තමුසෙ කියන්නෙ පුතේ තමුන්නැහේ කියන එක.” කුඩා කල හාන්සි පුටුවේ වාඩි වී හිඳින පියාගේ උකුල මත හුරතල් වෙමින් පියාගෙන් “තමුසෙ කියන්නෙ කුණුහලපයක්ද” කියා ඇසූ හුරතල් කොලු පැටවෙකුගේ සේයාවක් මිහිකගේ සිත තුල සිට මිහිකට අතීතයට අඬගසයි

තමුසෙ යන්නෙහි තේරුම තමුන්නැහේ වුවද අද සමාජය තුල තමුසෙ යන වචනයට ඇත්තේ යහපත් තේරුමක් නොවන බව ආපසු නුවර වලව්වට ගොසින් තාත්තාට කියන්නට මිහිකට උවමනාය.

සියල්ලන්ගේම දුක අසන, දුකක් ලඟ උණුසුම් සිතුවිලි වල දැවටූ සුන්දර වදන් අමුණන චරිත්‍රා තම සැමියාට තමුසෙ යැයි කීම සැබෑවටම මිහිකට දරාගන්න නොහැකි විය.

ඇයට එතරම් කෝපගන්නට දෙයක් තමා නොකී බව මිහිකට ඉතාමත් පැහැදිළිය. 

තමා අත කිසිදු වරදක් නැති බව දැන දැනම ඇය තමාට එසේ කෑ ගැසීම මොනතරම් නම් නොමනාද?

විහිලුවට උඹ, බං යැයි කියා ගැනීමත්, කෝපයෙන් හිඳින අවස්තාවක මෙසේ පැවසීමත් නොමනා බව මෙන්ම, සැක කිරීමට දාහක් හේතු තිබියදී ඇයව විශ්වාස කර උන් තමා වෙනුවෙන් තමා ඇයගෙන් ඇසූ පැනයට සිතා බලා, කාරුණික පිලිතුරක් දීමට ඇයට නොහැකිවුණේ ඇයිද?

සැබවින්ම ඇය යම් රහසක් සඟවා ගෙන හිඳින නිසාවෙන්ද?

නොඑසේනම් පසුගිය කාලය පුරාවටම ඇය කෙමෙන් කෙමෙන් තමාව නොසලකා හරින්නට පටන් ගත් නිසාවෙන්ද?

ගතින් දුරස් වීම තමාට ඇයට තවත් සිතෙන් ලං වීමට හේතුවක් වුවත් ඇයට එය තමාගෙන් ඈත්වීමට හේතුවක් වුණා විය හැක.

“තමුසෙ කියන්නෙ පුතේ තමුන්නැහේ කියන එක.” කුඩා කල හාන්සි පුටුවේ වාඩි වී හිඳින පියාගේ උකුල මත හුරතල් වෙමින් පියාගෙන් “තමුසෙ කියන්නෙ කුණුහලපයක්ද” කියා ඇසූ හුරතල් කොලු පැටවෙකුගේ සේයාවක් මිහිකගේ සිත තුල සිට මිහිකට අතීතයට අඬගසයි

තමුසෙ යන්නෙහි තේරුම තමුන්නැහේ වුවද අද සමාජය තුල තමුසෙ යන වචනයට ඇත්තේ යහපත් තේරුමක් නොවන බව ආපසු නුවර වලව්වට ගොසින් තාත්තාට කියන්නට මිහිකට උවමනාය.

සියල්ලන්ගේම දුක අසන, දුකක් ලඟ උණුසුම් සිතුවිලි වල දැවටූ සුන්දර වදන් අමුණන චරිත්‍රා තම සැමියාට තමුසෙ යැයි කීම සැබෑවටම මිහිකට දරාගන්න නොහැකි විය.

ඇයට එතරම් කෝපගන්නට දෙයක් තමා නොකී බව මිහිකට ඉතාමත් පැහැදිළිය. 

තමා අත කිසිදු වරදක් නැති බව දැන දැනම ඇය තමාට එසේ කෑ ගැසීම මොනතරම් නම් නොමනාද?

විහිලුවට උඹ, බං යැයි කියා ගැනීමත්, කෝපයෙන් හිඳින අවස්තාවක මෙසේ පැවසීමත් නොමනා බව මෙන්ම, සැක කිරීමට දාහක් හේතු තිබියදී ඇයව විශ්වාස කර උන් තමා වෙනුවෙන් තමා ඇයගෙන් ඇසූ පැනයට සිතා බලා, කාරුණික පිලිතුරක් දීමට ඇයට නොහැකිවුණේ ඇයිද?

සැබවින්ම ඇය යම් රහසක් සඟවා ගෙන හිඳින නිසාවෙන්ද?

නොඑසේනම් පසුගිය කාලය පුරාවටම ඇය කෙමෙන් කෙමෙන් තමාව නොසලකා හරින්නට පටන් ගත් නිසාවෙන්ද?

ගතින් දුරස් වීම තමාට ඇයට තවත් සිතෙන් ලං වීමට හේතුවක් වුවත් ඇයට එය තමාගෙන් ඈත්වීමට හේතුවක් වුණා විය හැක.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles