සෙනෙහස් අවාරේ 27

අයිරාංගනී තිලකරත්න උඩු මහලේ සිට පහලට සම්ප්‍රාප්ත වුනේ සිසිමාධවීගේ ඒ සිතුවිල්ල එක්කය.

නිවසේ පිටිපස උද්‍යානයට විවරවෙන සිව් පලකින් යුතු ෆ්‍රෙන්ච් වින්ඩෝවක් සහිත ඒ කාමරය අතීතයේ අමුත්තන් සඳහා වෙන් කර තිබූවක් වුවත් ජීවිතයේ සැඳෑ සමය ගෙවන අයිරාංගනියගේ හිතත් ගතත් සුවපත්ව තබන්න බොහෝ උපකාර වනු ඇතැයි සිසිමාධවී සිතූ ඒ සිතිවිල්ල සුමධුර තිලකරත්නද පිළිගත්තේය.

“මහත්තයලට කරදරයක් නැත්තන් ලොකු නෝනව පල්ලෙහ කාමරේකට දාන්න පුලුවන්ද? ලොකු නෝන උඩ තට්ටුවට වෙලා ඉන්නෙ හිරවෙලා වගේ කියල කීප සැරයක් කිව්ව හන්දයි මං එහෙම ඇහුවෙ” කියා සිසිමාධවී කිව් විට ඒ තීරණය ක්‍රියාත්මක කරන්නට සුමධුර සම්පූර්ණ සහය දුන්නේය.

අනෙක් අතට මෙහි විත් මාස කිහිපයක් පමණක් ගෙවුන තැනක සිසිමාධවී හඳුනාගත් අම්මාගේ සුවපහසුව හඳුනාගන්නට අවුරුදු ගණනාවක් අම්මාගේ පුතා වූ තමාට නොහැකිවීම ගැන සුමධුර ඇත්තටම ලැජ්ජ වුණේය. ඒ පසුතැවීම, ලැජ්ජාව තුනී කරගන්නට මෙන් සුමධුර අම්මාව පහල මාලයට ගෙන ආවේය.

අයිරාංගනී ඒ ගැන බොහෝ සතුටු වුණාය.

“හිතට සැනසීමයි පුතා මේ ගස් කොලං දිහා බලන් ඉද්දි, උඩ තට්ටුවෙ බැල්කනි එකේ ඉඳන් ගස් මුදුන් දිහ බලනවට වඩා මම ආසයි මෙහෙම තණකොල යට තිබිල උඩට ඇවිල්ල ගස් අහස ඉඹින්න වගේ උඩට යනව දකින්න” අයිරාංගනී කාමරයේ ෆ්‍රෙන්ච් වින්ඩෝවේ පල හතරම විවර කල ඒ හරහා එන සීතල සුළඟ හදවත පුරවා විඳගනිමින් සුමධුරට කීවාය.

අම්මාගේ සතුට දැක සුමධුරද බොහෝ සතුටු වුණේයෙ. එහෙත් කල්පනා උන්නේ තමා නොමැති තිලකරත්න මැදුරේ තම අණසකට පිටින් වන විපර්‍යාස ඉස්සරහ කෝපගනිමිනි.

“අම්මට පල්ලෙහට එන්න උවමනා වුනානම් අපිට කියන්න තිබුනනෙ. මේ සර්වන්ට් කෙනෙක් කොහොමද අම්ම ඉන්න ඕන උඩද පල්ලෙහද කියල ඩිසයිඩ් කරන්නෙ?”

කල්පනා පුපුරා හැලුනේ දවසක සැඳෑවේ ගෙදර ඇවිදින් මේ වෙනස දුටු මොහොතකය. සිසිමාධවී එවෙලේ ගෙදර උන්නේ නැත. එහෙම උන එකත් හොඳ බව අයිරාංගනී හිතුවේ කල්පනා ඇයටද බැණ වදින්නට ඉඩ තිබුනා යැයි හිතුන හන්දාය.

“කවුරු මොනව ඩිසයිඩ් කරත් මොකද කල්පනා කාටවත් ඒකෙන් වරදක් වෙලා නෑනෙ”

“වරදක් උනා නැතා එහෙම මේ සර්වන්ට්ලට ඕන ඕන හැටියට වැඩ කරන්න ඕනද? අයියටත් පිස්සුනෙ. එයත් මේ අමුතුම නාඩගමක් නටන්න පටන් අරන් කියල මටත් තේරුණා. අනික අම්මට උඩ තට්ටුව හොඳටම හොඳයි කියල තමා මම නම් කියන්නෙ. ගෙදරට එන යන හැමෝම ඉන්නෙ පල්ලෙහ තට්ටුවෙ, සද්ද බද්දත් වැඩියි. අම්මටත් ඩිස්ටර්බ් නෙ. හොරෙක් හතුරෙක් උනත් ඇවිත් කරදරයක් කරොත් ඔය පිටිපස්සෙ ගාඩ්න් එක පැත්තෙ රූම් එක අයිසොලේට් වෙලා වගෙත්නෙ තියෙන්නෙ” කියා කල්පනා විවිධ දේ කියද්දී අයිරාංගනී මහ හඬින් හිනාවුණාය.

“හොරෙක් ඇවිල්ල මේ නාකි ගෑණිට මොන කරදර කරන්නද කල්පනා? අනික කවුද දැන් අපේ ගෙදරට යන්නෙ එන්නෙ? කල්පනත් මේ එන්නෙ දෙකට දෙවාරෙ. මේ ගෙදර හුස්ම ගන්නෙ මමයි සරණපාලයි, සුමධුරයි අර ළමය ඉන්න වෙලාවට එයයි විතරනෙ. මොන සද්ද බද්ධද පල්ලෙහා?

අනික උඩ තට්ටුව හොඳයි කියන උඹල දන්නවද මම දවාලට කොච්චර තනිකමේද ඉන්නෙ කියල? අර ලමය පල්ලෙහ තට්ටුවට වෙලා උයද්දි කරද්දි මම උඩට වෙලා ආත බූත වෙලා වගේ එලිය බලන් ඉන්න එකනෙ කරන්නෙ.අනේ ළමයො මැරෙන්න කළින් මට ඔය මල මිනී ජීවිතේ ආයෙ ගෙවන්න බෑ. පල්ලෙහ තට්ටුව හොඳයි මට. හොරෙක් ඇවිල්ල කරදර කරොත් මං කියන්නම්කො ඕන දෙයක් කරච්චාවෙ කියල”

“අම්ම කවදාවත් අපිට කියල නෑනෙ අම්මට මේ උඩ තට්ටුව පාලුයි කියල. එහෙම දෙයක් කිව්වනම් මම අම්මව පල්ලෙහට අරගෙන එන්නෙ නැතුව ඉන්නෙ නැනෙ”

“මගෙ පාලුව දැනගන්න ඉතින් උඹල මා එක්කල කතාකරන්න ඕනනෙ. මං උඩ ඉද්දි උඹ ගෙදර ආවත් මා එක්ක කතාකරන්න උඩට ආවෙ කී දවසද? කොහොමද ඉතින් මං හිතන ඒව දැනගන්නෙ”

කල්පනා එදා මහගෙදරින් නික්ම ගියේ ඇත්තටම කෝපයෙනි. මෙතෙක් දවසක් තිලකරත්න නිවස ඇතුලෙ වුනේ තමන්ට උවමනා දේවල් ය. මේ වෙනස දරාගන්නට අමාරු ඒකය.

දවස් එකිනෙක ගෙවෙද්දී කෙනෙකු නික්ම ගිය පසු හිතේ ඇතිවෙන දුක තුනී වන බව කෝසල කිව්වා මතක නමුත් අඬන්නේ නැතුව හැම කඳුලු කැටයක්ම බොහෝ පරිස්සමෙන් හිත පත්ලේ සඟවාගෙන උන් ගැහැණියක ලෙස සිසිමාධවී උන්නේ නිරත්තර අලුත් වන දුකකිනි.

ඒ දුක ඇරඹුණේත් අවසන් වුනේත් කෝසලගේ මතකයන් හා යා වෙමිනි.කෝසල හිඳියානම් හොඳයි කියා හිතෙන හැම වරකම ඒ සිතුවිල්ල අවසන් වුනේ සුළි සුලඟක් බඳු සුසුමකිනි. ඒ සුසුම්ද, දුක ද දැන් ඉතින් ඉදිරි ජීවිතය පුරාවට තිබෙන බව සිසිමාධවි දැන උන්නාය.

චනුක හා දෙව්මි කුඩා දරුවන් ලෙස තාත්තා නැතිවීම ගැන එහෙමකට කියා තේරුම් ගත්තේ නැත. ඔවුන් උන්නේ සාමාන්‍ය ලෙස සෙල්ලම් කරමින්,පාසල් යමින්, අම්මා හදන දෙයක් කමින් අම්මා ලඟ තුරුල් වීය. වෙනසක් තිබුනා නම් තිබුනේ වෙනදා තාත්තා වෙනුවෙන් අම්මා බිම එලූ පැදුර රෝල් වී අල්මාරිය උඩට යාම පමණකි. තාත්තා දකින්නට නැති වීම පමනකි.

“තාත්තා එන්නෙ කවද්ද අම්මෙ?” කියා කිසිදෙයක් හරියකට නොතේරෙන දෙව්මි අහද්දී සිසිමාධවී ඇයගේ හිත හදන්නට බොහෝ දේ කිව්වාය. චනුක කිසි දෙයක් ඇහුවේ නැති බව ඇත්තක් නමුත් අම්මා විසින් නංගීගෙ හිත හදන්න කියන වචන උඩ “තාත්ත ආයෙ කවදකහරි ඒවි” කියා බලාපොරොත්තු තබාගත්තේය.

හත් දවසේ දාන ද තුන් මාසේ දාන ද කෝසල වෙනුවෙන් කෙරෙද්දී දරුවන් දෙදෙනා සමග යන එන සිසිමාධවී දකින වාරයක් පාසා බොහෝ දෙනා “අනේ මේ නොදරුවො” කියා හිත රිදවාගත් අවස්තා ටිකෙන් ටික අඩු විය. සිසිමාධවී වනාහී හයිය ගෑණියක් බවත්, ඇය දරුවන්ට උගන්නාගෙන හොඳින් ජීවත් වනු ඇති බවටත් හිතමින් උනුන් හිත් රිදවාගන්නා වාර ගණන අඩු කරගත්තහ.

සිසිමාධවී බොහෝ රාත්‍රින්වල කෝසල සිහිනයෙන් දුටුවාය. ඒ සිහිනවල තම සුපුරුදු මනස්කාන්ත සිනහව විදහා දක්වමින් කෝසල සිසිමාධවී දෙස බලා උන්නාය. ඒ සිහිනවල සිසිමාධවීවත් චනුකවත් උන්නේ නැති නමුත් කෝසලගේ අතේ එල්ලී දෙව්මි උන්නාය.

තාත්තල කොහොමත් ආදරේ දූලට නිසාවෙන් තමා ඔවුන් දෙදෙනාව සිහිනෙන් දකින්නට ඇති බව සිසිමාධවී සිතුවාය. ගෙවී යන හැම දවසකම සිසිමාධවී උදේ තිලකරත්න නිවසට යන අතරතුර සුපුරුදු ලෙස දෙව්මිත් චනුකත් ඔවුන්ගේ පාසල් ලඟින් බස්සවාගෙන යන අතර දහවල් පාසල් ඇරී අවුදින් ඔවුන් අත්තම්මා වූ පුශ්පලතා සමග කාලය ගෙව්වහ.

උත්පලාගේ සැමියා වූ නිලන්ත තම රැකියාවෙන් ඉවත් වී ගේ ඉස්සරහ සිල්ලර කඩයක් දාගන්න අදහසකට ආවේ ඔය අතරේය. පුශ්පලතා ඒ පණිවිඩය සිසිමාධවීට කිව්වේ සිසිමාධවී තිලකරත්න නිවසේ සිට වැඩ ඇරී ආ වෙලාවක දරුවන් දෙදෙනාට කතාකරන්න මහගෙදරය ගිය මොහොතකය.

“නිලන්ත ලමයත් රස්සාවෙන් අස්වෙලා කඩයක් දාගන්න යනවනෙ ළමයො” ඒ අඩක් සිනාවෙන් කියවුනක් නිසා මේ වදන් පෙලට පසුපසින් තවත් කතාවක් ඇති බව සිසිමාධවී තේරුම්ගත්තාය. එහෙත් අම්මාම එය කියන තුරු නිහඬව නොතේරුනා සේ ඉන්න ඇය සිතුවාය.

“අම්ම කලිනුත් මට කිව්වනෙ අයිය කඩයක් දාන අදහසක ඉන්නව කියල”

“ඔව් ඒකනම් ඇත්ත, ඒ උනාට ඉතින් ළමයො මාසෙ පඩි ලැබෙන රස්සාවක් වගේද කඩයක් කරන එක? ඕව කොහොම ඉස්සරට යයිද කියල කවුද දන්නෙ? රස්සාවක් එහෙම නෙවෙයිනෙ. ඉස්තිරයිනෙ”

“ඒව නම් ඉතින් එහෙම තමා අම්මෙ. රස්සාවක් නැති කරගන්න එක නම් මේ කාලෙ හරි අපරාදයක්”

“ඒක නම් ඇත්ත” කියා පුශ්පලතා හොරෙන් සිසිමාධවී දෙස බැලුවේ මේ කතාව අහන්නෙ කොහොමද කියා හිතමිනි. මේ බව අහන්න කිව්වේ උත්පලා නමුත් සිසිමාධවී කිසිසේත්ම මේ අදහසට කැමති නොවනු ඇතැයි පුශ්පලතා එවෙලෙත් හිතුවාය. එහෙත් අහන්න කියා උත්පලා බලකල හන්දාම පුශ්පලතා හීන් සිරුවේ වචන ගලපාගත්තේ සිසිමාධවීගෙන් මේ ගැන අහන්නටය.
“මං මෙහෙම අහනවට අමනාප වෙන්න එපා ළමයො. උත්පලා අහනව ඔයා ගෙදරක වැඩට යන රාජකාරිය නතර කරල කඩේ කරන්න ඔය ළමය කැමතිවෙයිද කියල? මොකෝ රස්සාවක් නැති කරන් කඩ කෙරුවාවක් කරන එක අපරාදෙනෙ. නිකන් නෙවෙයි කීයක් හරි බලල උත්පලා නොදී ඉන්න එකකුත් නැ. නිලන්ත ළමයත් එහෙම කර අරින්නෙ නැනෙ.

දැනටම දෙව්මිට හෙම කොච්චර ආදරේද? තමන්ගෙ දරුවෙක්ට වගේ දරුවො දෙන්නට සලකන්නෙ. ඔය ළමය මොකද හිතන්නෙ?”

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles