ඔබ දකින තුරා – 23

සියල්ලෙහි මැවුම් කරුවා සොබා දහම නම් වෙයි. ඒ අසිරිමත් මැවුම්කරුවා සියල්ල නිමවා තිබෙන්නේ ඉතා සියුම් වූ සමීකරණ වලින් යුතුව ය. ඔහු ඒ කිසිවක් මිනිසාට කියා දුන්නේ නැත. නමුත් සොයා ගන්නයි ඉඟි කොට කීවේ ය. යම් යම් අවස්ථා වල මිනිසා විසින් ඇතැම් රහස් අනාවරණය කර ගන්නා ලදී. සමහර කාරණා තවමත් සොබා දහම තුළ සැඟවුණු රහස් ය.

මේ අපමණ විශ්වයෙහි ඕනෑ ම දේ කට දෙපැත්තක් තිබේ. කාසියකට දෙපැත්තක් ඇතිවා මෙනි. ජීවිතය හා මරණය ද විවාහය හා දික්කසාදය ද එබඳු ය. එක පැත්තක් නොගැලපේ නම් අනිත් පැත්ත තෝරා ගත හැක. ජීවිතය එපා වූ විට මරණය තෝරා ගත හැකිවා සේ මරණය එපා නම් ජීවිතය යළි ඉල්ලා සිටීමේ සාධාරණ අවස්ථාවක් හිමි ව තිබේ දැයි දැන් ඔබ ප්‍රශ්න කරනු ඇත. අපි මැරෙමින් යළි උපදින බව, සර්වඥ වූ  බුදුන් වහන්සේ දේශනා කොට වදාල බව මම ඔබට සිහිපත් කරමි.

විවාහයක තව දුරටත් රැඳිය නොහැකි නම් කරුණු විමසා බලා කිසිවෙකුට අසාධාරණයක් නොවන පරිදි වෙන් වීමේ අවස්ථාව නීතිය විසින් සලස්වා දී තිබේ. දරුවන් සිටියදී පවා දික්කසාදයට අවසර තිබේ. දිසත් සිය හිත සන්සුන් කර ගැනීමට උත්සාහ කළේ ය. නමුත් කිසිවක් බන්දේසියක තබා කිසිවෙකු වෙත උරුම වන්නේ නැත. අපට යමක් ඕනේ වුණත් එපා වුණත් ඊට එරෙහි ව ඕනෑ තරම් හේතු සාධක ඉදිරිපත් වනු ඇත. ඔබට මල් වැවීමට ඕනේ නම් වල් උදුරා දැමීම කළ යුතු ම ය. මල් පැළ අතරේ මල් වලට වඩා වල් හෝ තණ කොළ වැඩෙනා බැවිනි. නමුත් ඔබට තණකොළ වැවීමට ඕනෑ වූ විට ඒ අතරේ වෙනත් වල් වැඩෙන්නට ගනී. කිසිවක් පහසු නැත!

පරාක්‍රම දිසත් ව කැඳෙව්වේ ය.

“මේක ෆෝන් එකෙන් කතා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි නිසයි මං පුතාට ඔෆිස් එකට එන්න කිව්වෙ..”

පියෙකු වශයෙන් දියණියකට සම්බන්ධ මේ වාගේ කාරණයක් කතා කරන්නේ කෙසේ ද යන දෙගිඩියාව ඔහු ට විය.

“ඇත්තටම…මට මේ ගැන කිව්වෙ කේෂිගෙ අම්ම. එයත් අහම්බෙන් දැන ගෙන තියෙන්නෙ. දිසත්…කේෂි ප්‍රෙග්නන්ට්ලු. අපිට…ඔයාගෙ තීරණේ ගැන ආයෙත් සැරයක් හිතල බලන්න වෙනව නේද දිසත්…”

“සොරි අංකල් මෙහෙම කියනවට. කේෂිගෙන් තමයි දැනගන්න වෙන්නෙ ඒ දරුව කාගෙද කියල”

“මොකද්ද…තමුසෙ කියන්නෙ ඒ දරුව තමුසෙගෙ නෙවෙයි කියලද…අපේ කේෂි… දඩාවතේ ගිහිං ළමයි හදං ඇවිත් කියලද…”

පරාක්‍රම ගේ ඒ ආවේගශීලී ක්ෂණික කෝපය ගැන දිසත් අහිතක් සිතුවේ නැත.

“අංකල්ට ඒක හරියටම දැන ගන්න පුළුවන්…දරුව හම්බ වුණහම ඩීඑන්ඒ ටෙස්ට් එකක් කරල”

පරාක්‍රම ට දැනුණේ ඔහු ඉදිරියේ කිසිදු කලබලයකින් තොර ව හිඳිනා කොල්ලා සිය කම්මුල ට දරුණු අතුල් පහරක් එල්ල කළා සේ ය. ඔහු ගේ අතක් සිය කම්මුල වෙත ගියේ සැබවින් ම ඒ පහරේ රිදුම පිරිමැද ගන්නට මෙනි.

“ඒත් මට හරි ලැජ්ජයි අංකල්..මොකද…කිසිම මනුස්සයෙක් විශ්වාස කරන එකක් නෑ කේෂි ප්‍රෙග්නන්ට් නං ඒ මං නිසා නෙවෙයි කියල. මට ඒක දකින දකින කෙනා එක්ක කිය කිය යන්න බෑ. පැහැදිලි කරල දෙන්න බෑ අපි අතරෙ තිබුණ සිටුවේශන් එක කොයි වගේද කියල. මෙහෙම වෙලාවක මං ඩිවෝස් එක ඉල්ලනකොට ලෝකෙ මිනිස්සු මං දිහා බලයි නරුමයෙක් දිහා බලන ගානට. මෙතන වැඩිම ප්‍රෙශර් එකක් තියෙන්නෙ මට අංකල්. ඊයෙ රෑ කේෂි හොඳටම ඩ්‍රිංක්ස් අරං මගෙ ඇනෙක්ස් එකට ආව. මං යන්න කියද්දි වැටිල නිදා ගත්ත. ඇබෝශන් එකකට එයාව එක්ක යනවනං ඩිවෝස් එකට කැමතිලු. මොනාද අංකල් මේ. අංකල් කියන්නෙ මං තවත් එයා එක්ක ජීවත් වෙන්න ඕන කියලද…ඒක කොච්චර ස්ට්‍රෙස්ෆුල් ලයිෆ් එකක්ද කියල මං විතරයි දන්නෙ. දෙයියංගෙ නාමෙට අනුංගෙ පව් වලට මට කරගහන්නයි කියන්න එපා අංකල්. මං එහෙම කරයි කියල බලාපොරොත්තු වෙන්නත් එපා. මොනා වුණත් එකම දුකක් තියෙනව. කවුරු නිසා හරි කේෂි වගේ ගෑනියෙක්ගෙ බඩේ දරුවෙක් හැදිච්ච එක ගැන…”

සිය හදවතේ වූ ආවේගය ඒ විදිහට වචන වලට පෙරළෙතැයි දිසත් වුව සිතුවේ නැත. පරාක්‍රම ට, වායු සමීකරණ තත්ව යටතේ දීත් දහදිය දමා තිබිණ. ඉතාම සන්සුන් මිනිසුන් ව කෝප කර ගත් විට ඇති වන්නේ භයානක තත්වයක් බව අසා තිබුණා ට එය මෙතරම් ම භයානක ය කියා ඔහු අත්විඳ තිබුණේ නැත. තවත් කතා කරන්නට කිසිවක් ම නැති බවත්, තවත් කතා කළ හොත් දිසත් ටත් වඩා තමන් අසරණ වනු ඇති බවත් පරාක්‍රම ට දැනිණ.

දිසත් ට එදා ගමට යන්නට ම සිතුණේ ය. මේ විසල් පිරිපත වලින් මිදී ගෙදර ගොස් අම්මා ගේ උකුලේ හිස තබා ගැනීමේ උවමනාව අනිත් සියල්ල අභිබවා ගියෙන් ඔහු රාත්‍රියේ ම ගෙදර ගියේ ය. ඒ වෙලාවේ සිය පුත්‍රයා දකින්නට බලාපොරොත්තු නොවූ දිසත් ගේ මව් පියවරු, ‘අම්මේ’ කියා දොරට ගසනා පුතු ගේ හඬින් දොර ඇරියේ වචන වී පිට නොවුණ ගැස්මෙන් යුතුව ය. පුතා කරදරයක් නැතිව දොරකඩ සිට ගෙන සිටිනු දුටු ඔවුන් ගේ හද ගින්න මඳකින් නිවී යන්නට ඇත.

“පුතා…”

“තේ එකක් හදල ඉන්න පුතාට බොන්න”

රෝහණ සිය බිරිය ශාන්ති ට කීවේ ය. හිතේ ප්‍රශ්න පෝලිම් ගැසීගෙන සිටියා ට ඇය ට පුතා එක්ක වචනයක් හෝ කතා කරන්නට ඉඩක් නො ලැබුණේ රෝහණ ගේ ඒ විධානය තුළ නො කියා කියනා බොහෝ දේ ඇති බව ඇය ට දැනුණ නිසා ය.

ශාන්ති තේ හදන තුරු කතා කරන්නට පිය පුතුනට නම් බෝ දේ විය. රටේ තත්වය එන්න එන්න ම නරක අතට හැරේ. නැහී ගෙන දුක් විඳ ගෙන හදා ගන්න භෝග වලට වුව සාධාරණ වෙළෙඳ පොළක් නැත්තේ ය. පොහොර ප්‍රශ්න ය. වතුර ප්‍රශ්න ය. වෙළෙඳ පොළ ප්‍රශ්න ය. නමුත් ජීවත් විය යුතු ය.

“අප්පච්චිටයි අම්මටයි ජීවත් වෙන්න මං එවන සල්ලි මදිනං මං තව කීයක් හරි වැඩි කරල දාන්නං. දැං ඔය පොළොවත් එක්ක ඔට්ටු වෙන එක නවත්තල විවේකෙං ඉන්න”

රෝහණ තරමක් උස් හඬින් හිනහුණේ ය.

“ගහ කොළත් එක්ක සොබා දහමත් එක්ක ගැවසෙන තරං විවේකයක් කොහෙද පුතා…මේව අතෑරල නිකං හිටියොත් අපි නිකංම ලෙඩ්ඩු වෙයි”

“අප්පච්චිටයි අම්මටයි කොළඹ ඉන්න පුළුවන්. ඒත් ඉතිං කැමති නෑනෙ”

“අපෝ මේ ගම් වල ඉපදිලා ගම් වල ජීවත් වෙච්චි අපි ගම් වලම මැරිල යන එක තරං නිවනක් කොයින්ද පුතා. කොළඹ අර හුණ්ඩු වගේ ඉඩං කෑලි ඇතුළෙ මටනං දවස් දෙකක් හුස්ම ගන්න බෑ”

මේ මොනවා කතා කළත් රෝහණ ගේ පපුවේ යම් කිසි නුහුරු බරක් විය. ජීවිතයේ කටුක කාෂ්ටක බවින් පදම් වී තිබුණා වුව ද පීතෘ හදවතක් නිහඬ ව නිසල ව දරා ගන්නා බර සියල්ල අභිබවා යයි.

දිසත් කාලෙකට පස්සේ ළිඳෙන් ඇද ගෙන දිය නෑවේ ය. ළිඳ මෝටර් කොට ගෙදරට පයිප්ප සකසා ඇතිවා වී ද අතීත මතකය අලුත් කර ගන්නට ද වර්තමාන ඇතැම් මතකයන් අමතක කර දමන්නට ද මන්දා ඔහු මේ ක්‍රමයට නෑමට රිසි වූයේ ය.

“මං…කේෂිගෙං දික්කසාද වෙන්න හදන්නෙ තාත්තෙ”

බෝම්බය පුපුරා ගියේ පුත්‍රයා කෑම කන අතරේ ය. වේලපහ රෑ කෑම ගෙන සිටියෙන් රෝහණ මේස පුටුවෙහි වාඩි වී සිටියේ පුතා එක්ක ආ ගිය තොරතුරු කතා කරමින් ඔහු ගේ තනියට වාගේ ය. ශාන්ති, කාලයකින් පැමිණ අම්මා ඉවූ බත් කටක් කන පුතුට අඩු වැඩිය බෙදමින් සිටින්නී, පුතා ගේ ප්‍රකාශයෙන් අත ගැස්සී වැව් මාළු හොදි මේසයේ ඉහිරිණි. ව්‍යාංජනය  මේසය මතින් තැබූ ඕ තොමෝ යාබද පුටුව ඇද එහි හිඳ ගත්තා ය.  රෝහණ ශාන්ති දෙස හොරැහින් බැලුවේ ය. ඇය කලබල වී සිටින බව ඔහු ට නො රහසකි.

“ඇයි පුතේ ඒ…කසාදයක් කර ගත්තනං ඒක කොහොම හරි රැක ගන්න එකනෙ හපංකම. කොළඹ රටේ දැං කාලෙ ඔය දික්කසාදෙ කියන එකත් මෝස්තරයක් වෙලා තිබුණට…ප්‍රස්න ගැටළු ඇති වෙනව තමයි. මොකෝ මේ අපි කියල ප්‍රස්න නැතුව පවුල් කෑවයැ…ප්‍රස්න ඇති වෙන පලියට පවුල් කඩා ගන්න ගියොත් මේ ලෝකෙ පවුල් කියල දෙයක් ඉතුරු වෙන එකක් නෑ මන්නං හිතන්නෙ”

“පොඩ්ඩක් කෑ නොගහ ඉන්නවකො පුතා ට කතා කරන්න දීල”

රෝහණ තරමක් රළු බැල්මක් බිරිඳ වෙතට හෙළමින් නො පහන් හඬකින් කීවේ ය. නමුත් ශාන්ති ගේ හිතට ආ සියල්ල කියා නිම කර ගත හැකි ව තිබුණේ නැත.

“මං දැන් ඇනෙක්ස් එකක් කුළියට අරං ඉන්නෙ. ඉක්මනට දික්කසාද නඩු දාන්න ඉන්නෙ”

“දෙන්න කතා වෙලා දෙන්නගෙ කැමැත්තෙන්ද…”

රෝහණ කල්පනාකාරී සන්සුන් හඬකින් ඇසුවේ ය.

“කේෂි කැමති නෑ”

“ඉතිං එහෙනං…ඒ ළමයත් වෙන් වෙන්න කැමති නැති එකේ…දෙන්නත් එක්ක කතා බහ කරල ප්‍රස්න විසඳගෙන සමාදානෙං ඉන්න බලන්නනෙ තියෙන්නෙ”

“කෝ මේ ගෑනි කතා කරන්න දෙන්නෙම නෑනෙ”

එවර නම් රෝහණ ගේ තරවටු කිරීමට ශාන්ති කර බා ගත්තාය.

“මේක දිගින් දිගටම තිබුණ නොගැලපීමක් තාත්තෙ. අපිට ඒ නොගැලපීම් දරා ගන්න ම බැරි තැනක් එනවනං…මං හිතන්නෙ වෙන් වෙන එක තමයි හොඳම”

“හ්ම්. බෝග වුණත් තියෙනව එකට එක ළඟ හදන්න බැරි. එහෙම ඒව ගලවල වෙන් වෙන් තැන් වල පැළ කරල හදන එක ඒ බෝග දෙකටම හොඳයි”

“මෙයා මේ බෝගයක් ගැන කතා කරනව. මේක පුතාගෙ පවුල් ජීවිතේ ගැන ප්‍රස්නයක්”

රෝහණ ගේ බැල්මට ශාන්ති යළිත් මුව පියා ගත්තා ය. දිසත් ආවාට ගියාට තීරණ ගන්නේ නැති බව රෝහණ දනී. ඔහු නරක මිනිසෙකු නොවන බව කාටත් වඩා හොඳින් තාත්තා දනී. නමුත් කෙළින් තීරණ ගෙන කෙළින් වැඩ කරන්නට කොලු ගැටයෙකු සන්දියේ පටන් ම ඔහු කැමති ය. අනිත් අතට ඔහු ගේ පවුල තුළ වන අර්බුධය ගැන බාහිර පුද්ගලයන් ට වඩා හොඳින් දන්නේ ඔහු ය. ඒ ගැන තීන්දු තීරණ ගැනීමේ අයිතිය තිබෙන්නේත් ඔහු ට ය.

මහා සැහැල්ලුවක් ඒ රාත්‍රියේ දී දිසත් ට දැනිණ. සිය යොවුන් විය ගෙවුණා වූ කාමරයේ අලුතෙන් ඇතිරිලි දැමුණු යහන මත හිඳ, සිවිලින් නො ගැසූ රට උළු සෙවිලි කරන ලද වහලය දෙස බලා ගෙන සිටියදී, ජීවිතය කියන්නේ කෙතරම් සැහැල්ලු හා සරල ලෙස ගත කළ යුත්තක් ද කියා ඔහු ට අලුතෙන් කල්පනා වෙමින් තිබිණි. එදවස මේ කාමරයට වී ගෙන ඔහු සිහින දැක්කේ ගමෙන් කොළඹට පිය නැගීම ගැන ය. ගමට විවර නොවූ නව ලෝකයට කොළඹ ට ගොස් එබිකම් කොට බලනා එක ගැන ය. විශ්ව විද්‍යාලයත් විවාහයත් යන දෙක ම ඔහු ඒ ලෝකයේ උස් ම ස්ථානයක් කරා රැගෙන යන්නට හේතු වූයේ ය. නමුත් මෙතැනට වී බලා සිටියදී ඒ සියල්ල කෙතරම් ව්‍යාජ හා නිරර්ථක මවා පෑම් ද කියා දිසත් ට සිතේ.

“මං ගමේ ගෙදර ආව. දවල් වෙලා ඔෆිස් එනව”

යනුවෙන් ඔහු උදෙන් ම අමාරසී ට පණිවිඩයක් තැබුවේ ය. එය ඇය තුළ සහනයක් දැනවී ය.

“බොසාට මොකක් හරි අවුලක් ද බං…”

අදත් වීදුරු කුටියේ විදුලි පහන් නො දැල්වී තිබෙන නිසාවෙන්, නිරෝෂන් එසේ අසමින් දිලිනි ගේ මේසය මතින් ඇලයට හිඳ ගත්තේ ය. අමාරසී පරිගණක තිරයෙන් නෙතු මිදවූයේ නැත.

“මූඩ් එක අවුල් නේද…එන්නෙත් ලේට් වෙලා”

“අමාරසී මොකද බං ඊයෙ අර උඹට එන්න කියල කිව්වෙ..”

“ඕඩර්ස් චෙක් කළා ඒ ගැන එක එක දේවල් ඇහුව. මොකද කියලනං කිව්වෙ නෑ”

ඇය අසීරුවෙන් ඇඟ බේරා ගත්තා ය.

“මූ ගෑනිත් එක්ක වලි දාගෙන ඇවිත් අපිව කන්න හදනවද මන්දා”

අමාරසී හඬ නගා සිනහ වූවා ය. ඒ කී දේ ට සිනහ යනවා ද කියා ඇය ට සිහි වූයේ පමා වී ය.

“බලහංකො මේකිගෙ හිනාව. හැබැයි ඇත්තටම ඒකත් වාසනාවක් බං. මොනා වුණත් ඔහොම හිනා වෙලා ඉන්න හැමෝටම බෑනෙ”

 හඬන්නට බැරි කමට සිනහ වෙන මිනිසුන් ගැන කතා තිබේ. නමුත් සිනහව කියන්නේ හංගා ගෙන ඉන්නා දුක තවත් වසන් කළ හැකි වෙස් මුහුණක් ය කියා මේ වෙලාවේ ඇය ට සිතිණ. කාලයක් තිස්සේ පළඳනා ඒ වෙස් මූණ ඉදිරියේ දී වඩාත් ප්‍රයෝජනවත් වනු ඇත!

වැඩ කරමින් ඉන්නා ගමන් අජිත් ගේ දුරකතනය හැඬවෙන්නට ගත්තේ ය. එය පිටතට ගත් ඔහු දුටුවේ ‘හෝම්’ යනුවෙන් තිරය මත ලියැවී ඇති ඉංග්‍රීසි අකුරු ය. ඇස් දෙක හකුලා ගෙන ම හෙතෙම දුරකතනය සවනට ගත්තේ ය.

“හෙලෝ…”

“අජී…පොලීසියෙං කතා කළා දැං”

නිර්මලා ගේ කලබලකාරී ස්වරය වෙව්ලා ගියේ ය.

“පොලීසියෙං….ඇයි…”

“රසීට විරුද්දව පැමිණිල්ලක් තියෙනවලු. එකොලහට පොලීසියට එන්න කිව්ව”

අජිත් ට පුටුවෙන් නැගිටවිණි. කුමක් සිදු වෙමින් පවතින්නේ ද කෙසේ ප්‍රතිචාර දැක්විය යුතු ද කියා එක්වන ඔහු ට වෙන් කොට සිතා ගත හැකි වූයේ නැත.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles