කිරිපිටි වලින් රසම රස චොකලට් බාර් අයිස්ක්‍රීම් හදමු…

සීතල පැණිරස කෑමක් කියන්නෙ ශරීරය වගේම හිතත් සුවපත් කරල හොඳ ප්‍රබෝධමත් බවක් ගෙනල්ල දෙන්න පුළුවන් දෙයක්නෙ. 

හිතුන ඕන වෙලාවක කන්න ඔබේ ගෙදර ශීතකරණෙම හදල තියාගන්න පුළුවන් අන්න එහෙම සීතල පැණිරස කෑමක් ලේසියෙන්ම හදන්නෙ කොහොමද කියල ඔබට කියල දෙන්නයි අපි අද මේ සූදානම් වෙන්නෙ. 

එහෙනම් අද අපි බලමු කිරිපිටි වලින් ලේසියෙන්ම චොකලට් බාර් අයිස්ක්‍රීම් හදන්නෙ කොහොමද කියල?

මුලින්ම, අවශ්‍ය ද්‍රව්‍ය සූදානම් කරගමු 

අවශ්‍ය ද්‍රව්‍ය 

අයිස් ක්‍රීම් බාර් 10 ක් සඳහා 

දියර කිරි 500 ml ක් 

කිරිපිටි 10 g ක් 

සීනි 67 g ත් 100 g ත් අතර ප්‍රමාණයක් 

හෙවි ක්‍රීම් කෝප්ප 01 ½ ක් 

වැනිලා තේ හැඳි 01 ක් 

අයිස් ක්‍රීම් මෝල්ඩ්ස්

චොකලට් දැවටුම සඳහා

චොකලට් 400 g ක් 

තෙල් මේස හැඳි 05 ක් 

සාදාගන්නා ආකාරය

මුලින්ම භාජනයක් ලිප තබා එයට දියර කිරි එකතු කරගන්න. 

මඳ ගින්නේ හැඳිගාමින් කිරි නටන තුරු විනාඩි 04 ක් 05 ක් පමණ තබාගන්න. 

කිරි නටන විට ගින්දර අඩු කරගන්න. 

අඩු ගින්දරේ විනාඩි 10 ක් පමණ විටින් විට හැඳිගාමින් තබාගන්න. 

විනාඩි 10 කට පසු එයට කිරිපිටි එකතු කර හොඳින් කලවම් කරගන්න. (කිරිපිටි රත්කළ කිරි ස්වල්පයක දියකර එකතු කිරීමෙන් කිරිපිටි දියකර ගැනීම පහසු වේ)

කිරිපිටි හොඳින් දියවන තුරු හැඳිගා විනාඩි 05 ක් පමණ තබන්න. 

විනාඩි 05 කට පසු සීනි එකතු කර සීනි දියවනතුරු හැඳිගා විනාඩි 02 ක් 03 ක් තබාගන්න. 

මේ වන විට ප්‍රමාණයෙන් අඩක් පමණ කිරි ප්‍රමාණයක් ඉතිරි වී ඇති බව ඔබට දැකගන්න ලැබේවි. 

දැන් භාජනය ලිපෙන් ඉවතට ගෙන කාමර උෂ්ණත්වයට පත්වන තුරු නිවාගන්න.  

තරමක් විශාල භාජනයක් ගෙන එයට හෙවි ක්‍රීම් එකතු කරගෙන සාමාන්‍ය වේගයෙන් විනාඩියක් පමණ බීට් කරගන්න. (විස්ක් එකක් භාවිතයෙන් විස්ක් කරගන්න වුනත් පුළුවන්) 

දැන් එයට කලින් රත් කරගෙන නිමාගත් කිරි මිශ්‍රණය සහ වැනිලා එකතු කරගන්න. 

නැවත සාමාන්‍ය වේගයෙන් විනාඩි 02 ක් පමණ බීට් කරගන්න. 

දැන් මේ කිරි මිශ්‍රණය අයිස් ක්‍රීම් මෝල්ඩ්ස් වලට පුරවා ගන්න. 

ඔබේ අයිස් ක්‍රීම් මෝල්ඩ්ස් වල අල්ලා ගැනීමට කූරු නොමැති නම් මෝල්ඩ්ස් වල යට කොටස (අයිස්ක්‍රීම් බාර් වල යට පැත්ත) ඇළුමිණියම් කඩදාසියකින් වසා ඒ තුළින් මෝල්ඩ්ස් වල මැදට සිටින සේ ලී කුරු ගසාගන්න පුළුවන්. 

දැන් ශීතකරණයේ උඩ කොටසේ පැය 24 ක් තබාගන්න. 

පැය 24 කට පසු අයිස්ක්‍රීම් මෝල්ඩ්ස් ශීතකරණයෙන් ඉවතට ගැනීමට පෙර චොකලට් දැවටුම සාදාගත යුතුයි. 

ඒ සඳහා, වතුර භාජනයක් ලිප තබා වතුර නටන තුරු රත්කර ගන්න. 

චොකලට් ටික වීදුරු භාජනයකට දමා නටන වතුර සහිත භාජනයේ උඩින් තබාගන්න. 

වතුර සහ භාජනයේ පතුල ස්පර්ශ නොවිය යුතු අතර වාෂ්පය පමණක් චොකලට් සහිත භාජනයට වැදීම සිදුවිය යුතුයි. 

එයටම තෙල් මේස හැඳි 05 එකතු කර චොකලට් හොඳින් දියවෙන තුරු සෙමින් හැඳිගාන්න. 

චොකලට් දියවූ පසු ලිප නිවා භාජනය ලිපෙන් ඉවතට ගෙන දියකරගත් චොකලට් මිශ්‍රණය කාමර උෂ්ණත්වයට නිවීමට තබා එය උස වීදුරුවකට වත්කරගන්න. 

තෙල් කඩදාසියක් ඇතිරූ පැතලි ට්‍රේ එකක් සූදානම් කර තබාගන්න. 

කලින් සූදානම් කරගත් අයිස්ක්‍රීම් සහිත අයිස්ක්‍රීම් මෝල්ඩ්ස් ශීතකරණයෙන් ඉවතට ගෙන ප්‍රවේශමෙන් අයිස්ක්‍රීම් ටික ගලවා ඉවත් කරගන්න. 

ගලවා ඉවතට ගත් අයිස්ක්‍රීම් වීදුරුවේ ඇති චොකලට් මිශ්‍රණයේ ගිල්වා වීදුරුවෙන් ඉවතට ගෙන චොකලට් මිශ්‍රණය පෙරී අවසන් වන තුරු ටික වේලාවක් හිඳ (විනාඩියක් දෙකක් පමණ) තෙල් කඩදාසිය මත අතුරා ගන්න. 

ඔන්න දැන් ඔබට චොකලට් අයිස්ක්‍රීම් බාර් රසවිඳින්න පුළුවන්. 

වෙන වෙනම පැකට් වල අසුරා ශීතකරණයේ උඩ කොටසේ ගබඩා කරල තියාගන්නත් ඔබට පුළුවන්. 

ඔබ කැමති නම් චොකලට් දැවටුමට කුඩාවට කපාගත් රටකජු හෝ කජු එකතු කරන්නත් පුළුවන්. 

එහෙනම් මේ විදිහට හදල බලමුද කිරිපිටි වලින් චොකලට් අයිස්ක්‍රීම් බාර් ? 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles