ඒකපාර්ශ්වික 10

ධනුක උන්නේ ජීවිතයේ කිසිම දවසක මුහුණ නොදුන් සිදුවීම් පෙළකට මුහුණ දෙමිනි. කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ඇඳක් මත නිසොල්මනේ වැතිර උන් මේඝා ජීවිතයත් මරණයක් අතර සටනකය. මේඝා මෙවැනි තීරණයක් ගන්නට හේතු වූයේ කුමක්දැයි සිතා ගන්නටවත් නොහැක.එහෙයින් ඇයට දරා ගත නොහැකි තරමේ යමක් සිදු වී ඇති බව පමණක් ධනුක නිගමනය කලේය.

මුළුතැන්ගෙය තුළ සිහිසුන් වී සිටි මේඝාව ධනුක රෝහලට ගෙන ආවේ ගිලන් රථයකිනි. ඇය එකඳු තප්පරයකට හෝ දෑස් හැරියේ නැත. ඒ නිසා ධනුක රෝහල කරා ආවේ සිතින් දෙවියන් යදිමිනි. 

රෝහල් කොරිඩෝවේ එහා මෙහා යමින් සිටි ධනුක නිම්නාදට ඇමතුමක් ගත්තේය.

නිම්නාද වර්ෂා සහ ඇගේ යහලුවන් පිරිසක් සමඟ රාත්‍රී සමාජ ශාලාවක විනෝද වෙමින් සිටින අතරේ ධනුකගෙ ඇමතුම දුටුවේය. ධනුක තෙවන වරටත් ඇමතුම ගන්නා විට කුමක් හෝ සිදු වී ඇතැයි සිතුනත් නිම්නාද ඒ තරම් ඒ ගැන සිතන්නට ගියේ නැත. 

” Call me.  urgent ” 

ධනුකගෙන් කෙටි පණිවිඩයක් පැමිණි අතර නිම්නාද පිරිසෙන් මදක් මෑත් වී ධනුකට ඇමතුමක් ගත්තේය. 

” නිම්නාද උඹ කොහේ කොහොම හිටියත් මට කමක් නෑ. මට කියපන් අද දවස ඇතුළත මොකද උනේ කියලා ? ” 

ධනුක සිටින්නේ කෝපයෙන් සහ කලබලයෙන් බව වටහා ගන්නට නිම්නාදට වැඩි වෙලාවක් ගියේ නැත. 

” මුකුත් නෑ . ඇයි ? ” 

නිම්නාද පිළිතුරු දුන් විලාසයට ධනුකගේ කෝපය වැඩි විය. ඔහු ඇමතුම විසන්ධි කලේය. මේ වෙලාවේ මේඝාට සිටින්නේ තමාත් නිකිනිත් පමණකි. අනෙක් අතට නිම්නාද වැන්නෙකු සමඟ පැටලීමෙන්ද පලක් නැත. 

දැඩි සත්කාර ඒකකය තුළ සිටි වෛද්‍යවරයා පිටතට පැමිණියේය. ධනුක වහා ඔහු වෙත ගියේ බියෙනි.

” ඔයා පේශන්ට්ගේ කවුද ? ” 

වෛද්‍යවරයා ඇසුවේය.

” මං.. එයාගේ හොඳම යාලුවා ඩොක්ටර් ” 

” ඕකේ. මේක වෙලා කොච්චර වෙලාවක්ද කියලා කියන්න පුලුවන්ද ? ” 

” අ.. ඒක මට හරියටම කියන්න බැහැ ඩොක්ටර් . එයා ෆෝන් එකට ආන්සර් කරන්නේ නැති නිසා තමයි මම ගෙදරට ගිහින් බැලුවේ. ” 

” ඕකේ. මෙහෙමයි. එයාගේ තත්වෙ නං එච්චර හොඳ නැහැ. නමුත් අපි පුළුවන් උපරිම උත්සාහ කරනවා ” 

එසේ කියූ වෛද්‍යවරයා නැවතත් දැඩි සත්කාර ඒකකය තුළට ගියේය. 

ජීවිතයේ ප්‍රථම වතාවට තමන්ගේ හොඳම මිතුරිය නිසා ධනුකගේ දෑස් වලට කඳුළු නැග එමින් තිබුණි. කුඩා කල ඇය සමඟ තිබූ මතක ධනුකට එකින් එක සිහි විය. ඇගේ බියඟුලු කමට හේතු වූයේ මවගේ කෙනෙහෙලිකම් බව ධනුක තේරුම් ගත්තේ සාමාන්‍ය පෙළ කරන වයසේදීය. කුඩා මේඝාට ඒ සියල්ල බර වැඩි උනත් ඇය ඒවා දරාගෙන මේ තාක් දුර ජීවිතය ඇදගෙන ආවාය. නමුත් මේ එළඹෙන්නට යන්නේ ඒ සියල්ලෙහි අවසානයද ? 

ධනුකගේ කල්පනා ලොව බිඳ වැටුනේ දුරකථනය නාද වන හඬිනි.ඇමතුම නිකිනි ගෙනි. සිදුවී ඇති විපත ඇයට කෙසේ නම් කියන්නද ? 

” නිකී ” 

ධනුකගේ හඬ වෙව්ලන්නේය. එය හඳුනා ගැනීමට නිකිනිට අපහසු වූයේ නැත.

” ධනුක.. මේඝා කෝ ? ඔයා එහෙ ගියාද ? මොකද උනේ ?  ” 

නිකිනි ප්‍රශ්න පිට ප්‍රශ්න අසයි.

” මං එහේ ගියා “

ධනුක කීවේය. 

” මේඝා කෝ ?” 

නිකිනි ඇසුවාය. ධනුක දැඩිසත්කාර ඒකකය ඉදිරිපිට හිඳ ගත්තේය. 

” කලුබෝවිල හොස්පිට්ල් එකේ . ICU එකේ. Suicide attempt එකක් ” 

ධනුක කියා දැම්මේය. ඉන්පසුව ඇසුනේ නිකිනි කෑගසා හඬන හඬය. එය අසා ඉන්නට නොහැකි තැන ධනුක ඇමතුම විසන්ධි කලේය. 

රාත්‍රී දහයාමාරට ආසන්න වන විට වෛද්‍යවරයා නැවතත් දැඩි සත්කාර ඒකකයෙන් පිටතට පැමිණියේය. ධනුකට ආසනයෙන් නැගිට්ටවුනේ ඔහු දුටු සැණිනි.

” පේශන්ට් ට සිහිය ආවා . But she is not stable yet ” 

” ඒ කිව්වේ ඩොක්ටර් ? ” 

” එයා තාම ඉන්නේ රිස්ක් එකක. අපි කරන්න පුළුවන් සේරම දේවල් කරලා තියෙන නිසා හෝප් එකක් තියා ගන්න පුළුවන් ” 

” Thank you doctor ” 

ධනුක දෑතින්ම වෛද්‍යවරයාගේ අතක් අල්ලා ගත්තේය. නිකිනි හඬමින් දුවගෙන ආවේ එවිටය. 

” ධනුක.. මේඝා ? ” 

වෛද්‍යවරයා නිකිනි දෙස බැලුවේය. 

” එයාට සිහිය ආවා ” 

වෛද්‍යවරයා කීවේ මද සිනහවකිනි. නිකිනි හඬමින්ම එහෙමම වාඩි වීය. 

” එයාට මුකුත් වෙන්න බෑ ” 

නිකිනි ආයේ පැවසුවාය. 

” යාලුවා ඉක්මනට stable වෙයි.බය නැතුව ඉන්න ” 

වෛද්‍යවරයා එසේ කියා ධනුකගේ පිටට තට්ටුවක් දමා පිටව ගියේය.ධනුක නිකිනි අසලින් වාඩි වුනේය. 

” අපිට මේඝා ගැන මීට වඩා බලන්න තිබුනා ” 

ධනුක පසුතැවිල්ලෙන් කීවේය. 

” එයාට හිතෙන්න ඇති තව ඉන්න බෑ කියලා .අසරණී ” 

ධනුක නැගිට ගොස් දැඩි සත්කාර ඒකකයේ වීදුරු කවුලුවෙන් එබුනේය. මේඝා උන්නේ යන්තමින් දෑස් හැරගෙනය. එය දැකීමම පවා සැනසීමකි. නමුත් ඇය මේ තත්වයට පත්වීමට හේතුව සොයා ගත යුතුය. 

ධනුක නැවතත් නිම්නාද ඇමතුවේය. එවර දුරකථනයට පිළිතුරු දුන්නේ වර්ෂාය. ඇය ධනුකව හඳුනන්නේ නැත. 

” නිම්නාද වොශ් රූම් එකේ. පණිවිඩයක් තියෙනවා නම් කියන්න මම කියන්නම් ” 

වර්ෂා බය නැතිව පවසද්දී ධනුක බොහෝ දෑ සිතා ගත්තේය.

” මම කතා කළේ මේඝා ගැන අහන්න ” 

ධනුක කීවේය. කතා කරන තැනැත්තිය මේඝාව නොදන්නවා විය නොහැක. 

” ආ.. අර හවස ලොකු නාඩගමක් නටපු මේඝාද ? ” 

වර්ෂා සිනාසුනේ සමච්චලයටය. සිදු වූ දේ දැන ගැනීමට නම් ඉවසීමෙන් මැය හා කතා කල යුතු බව ධනුක සිතුවේය. 

” ඇයි මොකද්ද උනේ ? ” 

” මමයි නිම්නාදයි කොෆි එකකට ගියාම ඔය මේඝා එතනට ආවා.මං අහන්නේ එයා නිම්නාද ගැන හෝප්ස් තියාගෙන හිටියා කියලා නිම්නාද මොනවා කරන්නද ? ” 

ධනුක කෝපයෙන් දත්මිටි කෑවේය. එසේ නම් සියල්ලටම වැරදිකාරිය වී ඇත්තේ මේඝාද ?

” මම නිම්නාදව එතනින් අරගෙන ආවේ නැත්ත ම් මේඝා ගුටි කනවා නිම්නාදගෙන් ” 

” කවුද වර්ෂා ? ” 

නිම්නාදගේ හඬ ඇසුනේය.

” මේ ධනුක කියලා කෙනෙක් ” 

වර්ෂා කියනු ඇසුනාය. 

නිම්නාද තැති ගත්තේ වර්ෂා විසින් මොනවා කියන්නට ඇත්දැයි සිතා ගත නොහැකිවය. ඔහු දුරකථනය උදුරා ගත්තේය.

” ධනුක මම උඹට පස්සෙ ගන්නම් ” කියූ නිම්නාද ඇමතුම විසන්ධි කළේය. ඉතින් තවත් කතා කරන්නට හෝ අසන්නට දෙයක් නැත. සිදුවී ඇති දෙය ධනුක එකින් එක ගලපා ගත්තේය.

” බල්ලා ” 

ධනුක බිත්තියට වැරෙන් පහරක් ගැසුවේය. නිකිනි ධනුකව අල්ලා ගත්තාය.

” ධනුක ඇයි ? මොකද වෙලා තියෙන්නෙ ?” 

නිකිනි ඇසුවේ කුතුහලයෙනි. සිදුවී ඇති දෙය ධනුක දැනගෙන ඇති බවට සැකයක් නැත. ඒ කොතන හෝ නිම්නාද ගෑවි ඇති බව පමණක් නිකිනිට සිතුනි.ඒ නිසා ඇය බලා සිටියේ ධනුක පිළිතුරු දෙනතුරුය.

” අරූ වෙන එකියෙක් එක්ක ඉන්නවා මේඝා දැකලා ” 

ධනුක කියා දැම්මේය. නිකිනි දෑතින්ම මුව වසාගෙන හිඳ ගත්තාය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles