වෙනස්ම රස හොයන ඔයා හදලා බලන්නම ඕන කෑමක් – කේසඩියා

අලුත් අලුත් කෑම වර්ග අත්හදා බලන්න වගේම රස බලන්නත් කැමති smart ඔබට ඔන්න තවත් රසම රස කෑමක් ලේසියෙන්ම හදන්නෙ කොහොමද කියල කියල දෙන්නයි අපි අද සූදානම් වෙන්නෙ. 

අද අපි හදන්න සූදානම් වෙන්නෙ කේසඩියා. කේසඩියා කියන්නෙ ලොව පුරාම ජනප්‍රිය මෙක්සිකන් කෑමක්.

පවුලේ සෞඛ්‍ය, පෝෂණය වගේම ආරක්ෂාව ගැන හිතල වෙළඳපොලේ ඇති ආහාර වර්ග සීමා කරන ඔබට ඔන්න මේ කේසඩියා ඔබේ අතින් ඔබේ නිවසෙදීම සෞඛ්‍යාරක්ෂිතව පිළියෙළ කරගන්න පුළුවන්. 

එහෙනම්, මුලින්ම අපි බලමු අපිට අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියල ?

අවශ්‍ය ද්‍රව්‍ය 

ටෝටියා සඳහා 

පාන් පිටි කෝප්ප 02 ක් 

ලුණු කුඩු තේ හැඳි 01 ක් 

බේකින් පවුඩර් තේ හැඳි ½ ක් 

තෙල් මේස හැඳි 05 ක් 

උණු වතුර 

පිරවුම සඳහා 

කුඩා කැබලි වලට කපාගෙන තම්බාගත් කුකුල් මස් 250 g ක් (මාළු/ ඉස්සන්)

තම්බාගත් බඬ ඉරිඟු ඇට කෝප්ප 01 ක් (අත්‍යාවශ්‍යම නැත)

සිහින්ව කපාගත් ලොකු ලූනු ගෙඩියක් 

සිහින්ව කපාගත් අමු මිරිස් කරල් 02 ක් 

(අවශ්‍ය නම් සිහින්ව කපාගත් කැරට්, ලීක්ස්, රතු සහ කොළ බෙල් පෙපර් යොදාගත හැක) 

ලුණු කුඩු 

ගම්මිරිස් කුඩු 

තක්කාලි සෝස්

ග්‍රේට් කරගත් චීස් (අත්‍යාවශ්‍ය නැත) 

සාදාගන්නා ආකාරය 

මුලින්ම භාජනයක් ගෙන එයට පිටි, ලුණු, බේකින් පවුඩර් දමා හොඳින් කලවම් කරගන්න. 

ඉන්පසු එයට තෙල් එකතු කර නැවත හොඳින් මිශ්‍රකරගන්න. 

පිටි මිශ්‍රණයට උණු වතුර ස්වල්පය බැගින් දමමින් මිශ්‍ර කරමින් අතේ සහ භාජනයේ නොඇලෙන පිටි ගුලියක් සාදාගන්න. 

පිටි ගුලිය සහිත භාජනය හොඳින් වසා කාමර උෂ්ණත්වයේ පැය 02 ක් පමණ තබාගන්න. 

පැය දෙකකට පසුව පිටි ගුලිය භාජනයෙන් ඉවතට ගෙන සමාන කොටස් වලට වෙන් කරගන්න. 

ඉන්පසු පැතලි මතුපිටක් මතට පිටි ස්වල්පයක් ඉස පිටි ගුලිය ඒ මත තබා රෝලින් පින් එකක් හෝ වීදුරු බෝතලයක් යොදාගෙන පැතලි තුනී රොටියක් සාදාගන්න. 

ඉන්පසු පැතලි තැටියක් ලිප තබා තැටිය රත්වූ පසු සාදාගත් රොටී තැටිය එයට දමා එක් පැත්තක් තප්පර 40 ක් පමණ පුලුස්සා ගන්න. 

මෙලෙස සාදාගත් ටෝටියා භාජනයකට දමා රෙද්දකින් වසා තැබීමෙන් ඒවාගෙ මෘදු බව වැඩි වෙලාවක් පවත්වා ගත හැක. 

දැන් තවත් භාජනයක් ගෙන එයට තම්බාගත් මස් සහ බඬ ඉරිඟු, අමු මිරිස්, ලූණු, බෙල් පෙපර් එකතු කර එයට ඔබේ රස අනුව ගම්මිරිස් කුඩු සහ ලුණු කුඩුත් එකතු කර හොඳින් කලවම් කරගන්න. 

දැන් නැවත පැතලි භාජනයක් ලිපතබා එහි තෙල් ස්වල්පයක් ආලේප කරගන්න. 

තෙල් රත්වූ පසු සාදාගත් ටෝටියා රොටිය ඒ මත තබා එහි එක් භාගයක තක්කාලි සෝස් සහ චීස් අතුරා ගෙන ඒ මත සාදාගත් පිරවුම අතුරා ගන්න. 

දැන් ටෝටියා වල අනෙක් භාගය පිරවුම උඩින්  එකමත එක සිටින සේ නමාගන්න. 

රොටියේ තැනින් තැන ලා දුඹුරු පැහැති ලප සෑදෙන සේ දෙපැත්ත හරවමින් පුලුස්සා ගන්න. 

උණුසුම්වම රස විඳින්න ඔන්න දැන් අපේ රසට කේසඩියා සූදානම්. 

එහෙනම් මේ විදිහට කේසඩියා හදල බලල අපිත් එක්කත් රස බෙදාගන්න අමතක කරන්න එපා. 

සටහන – දුලානි නවෝද්‍යා 

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles