මානසික වෛද්‍ය ප්‍රතිකාර ඒකකයට මේඝාව මාරු කල නිසා ඇයට දුරකථනය ළඟ තබා ගැනීමට අවසර තිබුණේ නැත. එය තිබුනේ නිකිනි ලඟය. නිම්නාදගෙන් ඇමතුම එන විට නිකිනි මේඝාව බලන්නට ගොස් ආපසු රෝහලෙන් පිට වූවා පමණි.
” අපි මේක ලේසියෙන් අතාරියි කියලා හිතන්න එපා නිම්නාද. මෙහෙමවත් සද්ද නොකර ඉන්නේ මේඝා තාමත් ඉන්නේ හොඳ සිටුවේශන් එකක නොවෙන නිසා. ඔයා එයාට කරේ සුළුපටු ඩැමේජ් එකක් නෙමෙයි. මේ වෙච්ච දේට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන ඔයා ”
නිම්නාදගේ හිස ගිනි ගෙන තිබුනි. මේ ප්රශ්නය තව දුරටත් දුර දිග ගියහොත් රැකියාවට සේම තමාගේ නමට ද විශාල කැළලක් ඇති වනු ඇත.
එයට පෙර මේ සියල්ලගෙන්ම ගැලවිය යුතුය. මේ සඳහා ඇස් පනාපිට පෙනෙන එකම විසඳුම වර්ෂා ය. වර්ෂා සත්‍ය නොදන්නා නිසා තමා කියන සෑම දෙයක්ම විශ්වාස කලත් කිසියම් හෝ අයුරකින් ඇය සියල්ලක්ම දැන ගතහොත් තමාට යන එන මං නැතිවනු ඇත .ඒ නිසා හොඳම දෙය වර්ෂාව කෙසේ හෝ කැමති කරවාගෙන ඇයත් සමඟම විදේශ ගත වීම බව නිම්නාද සිතුවේය.
මේඝාට තවත් සතියකටත් වඩා රෝහලේ ඉන්නට සිදු විය. කාරුණික හදවත් ඇති වෛද්‍යවරුන් සහ හෙදියන් නිසා මේඝා බිඳෙන් බිඳ සුවය ලැබූ අතර හදවතේ තුවාල තවමත් ඉතිරිව ඇති නිසා තවත් මාස කිහිපයක් වෛද්‍ය හමුවීම් වලට වෙන් කිරීමේ පොරොන්දුව මත මේඝාට යලි නිවසට පැමිණීමට අවසර ලැබිණි.
” මං ටික දවසක් උඹත් එක්ක නවතිනවා. මේ තත්වෙන් උඹව තනියම පුළුවන් කමක් නෑ “
නිකිනි කීවේ මේඝාගේ කාමරය අස් කරමිනි. දින ගණනාවක් වසා තිබූ නිවසේ ජනෙල් පියන් හැර දමන විට මේඝාට දැනුනේ තරමක සැහැල්ලුවකි. එහෙත් මේ නිවස තුළ තමා හෙලූ සුසුම් කොතරම් නම් සිරවී තියෙන්නට ඇතිද ?
” උඹට පින් නිකී ”
මේඝා නිකිනිගේ දෑතින්ම අල්ලා ගෙන කීවේ හැඬුම් හිරකරගෙනය.
” ඔන්න පටන් ගත්තා. පිස්සුද බන් උඹට ? ”
” ඒත් නිකී. කවුරුත් නොකරන තරම් උදවු උඹයි ධනුකයි කලා ”
” හරි හරි ඒවට ණය ගෙවන්න පස්සේ බැරියෑ. උඹ හෙමින් සැරෙ රිකවර් වෙලා ඉඳපන්කෝ ”
නිකිණි මුළුතැන්ගෙය දෙසට යමින් කීවාය. කියන තරම් කිසිවක් පහසු නැති බව නිකිනි දනී. තමාත් ධනුකත් මේ වෙලාවේ කල යුත්තේ මේඝාගේ දෑත් තදින් අල්ලාගෙන ඇයව දරා හිඳීමය. ජීවිතයේ බොහෝ කටුක අත්දැකීම් වලට මුහුණ දුන් ඇයට මෙය එක් නියං සමයක් පමණක් වනු ඇත.
” office එකේ මොනවා වෙලාද දන්නේ නෑ ”
මේඝා දුරකථනය අතට ගෙන පරීක්ෂා කළාය. නිම්නාදගෙන් හැරුනු කොට කාර්යාල සගයන් බොහෝ දෙනෙකුගෙන් සුව දුක් විමසා කෙටි පණිවිඩ ලැබී තිබුණි.
” මේ දවස් ටික ගෙවා ගන්න ඔයාට හුඟක් අමාරු වෙයි. හැබැයි මේ දවස් ටික ගෙවා ගත්තොත් ඔයා හරි ශක්තිමත් මනුස්සයෙක් වෙයි ඉස්සරහට. මේ බෙහෙත් වලින් ඔයාට ලැබෙන්නේ ඒකට පොඩි තල්ලුවක් විතරයි. ඒ නිසා අමතක නොකර වෙලාවට බෙහෙත් බොන්න ”
රෝහලින් පිටව ඒමට පෙර වෛද්‍යවරයා කී වදන් මේඝාට සිහිපත් විය.
නිකිනි කාර්යාලයට යා යුතු නිසා දහවල් වරුව තනිව ගත කිරීම මේඝාට ගෙන ආවේ අලස හැඟීමකි. ඒ නිසා තවත් දින දෙකකට පසුව පුරුදු පරිදි කාර්යාලයට යන්නට මේඝා තීරණය කළාය.
” ඒකත් හොඳයි එක අතකට. රෙස්ට් කරනවා කියලා ගෙදර ඉන්න එකෙන් උඹේ ඔලුව තවත් විකාර වෙන එකයි වෙන්නේ ”
ඒ අනුව මේඝා පසු දින උදෑසනම සූදානම් වී කාර්යාලයට ආවේ බලාපොරොත්තු සහගතවය. නිම්නාද සමඟ වචනයක් හෝ කතා කරන්නට ඇත්නම් යැයි බලාපොරොත්තුවක් මේඝාගේ හදවතේ ඈත කොණක විය.
නමුත් , ඒ කුටිය හිස් ය.
සැම දෙනාම පාහේ ඇවිත් සුව දුක් විමසුවත් මේඝා තමාගේම ජීවිතයට සිදු කර ගන්නට ගිය විපත ගැන නොඅසා ඉන්නට සෑම දෙනාම පාහේ පරිස්සම් විය.
මේඝා ලැප්ටොප් එක දිග හැර අවසානයට නිම කල පිටපත් එකින් එක දිග හැර ගෙන බැලුවාය. එහෙත් හිත නොසන්සුන් වී ඇත. අපූර්වා ලඟට විත් හිඳ ගත්තේ එහෙම වෙලාවකය.
” මේඝා ”
මේඝා බැලුවාය. අපූර්වා ගේ දෑස් වල ලොකු කතාවක් ලියවී ඇති බව පෙනේ.
” නිම්නාද රිසයින් උනා. දවස් දෙකකට කලින් ”
මේඝාට වුවමනා වූයේ කෑගසා හඬන්නටය. එසේ නම් ඔහුව ආයෙත් මුණගැහෙන්නේ නැතිද ?
” මං හිතන්නේ එයා තව හුඟක් කල් ලංකාවෙ ඉන්න එකක් නැහැ. එහෙම කතාවක් තමයි හැමෝටම කියලා තිබුණේ. එයා ඔයාට කරපු දේත් එක්ක ඇත්තටම නිම්නාදගේ මූණ බලලා කතා කරන්න මට හිතුණේ නැහැ ”
අපූර්වා නතර විය. මේඝාට මෙය මහා රිදුමක් වන බවට සැකයක් නැත. එහෙත් දැන් එළඹ ඇත්තේ සත්‍යයට මුහුණ දිය යුතු කාලය බව මේඝා පසක් කර ගත යුතුව ඇත.
” නිම්නාද කාලයක් වර්ෂාගේ පස්සෙන් ගිහින්. ඒ වර්ෂා රට යන්න කලින්. ඊට පස්සේ තමයි එයාට ඔයාව මීට් වෙන්න ඇත්තේ. ආපහු ඒ දෙන්නා කොහොම සෙට් උනාද කියන්න නම් දන්නේ නෑ. ඒත් , ඔයා ගැලවුනේ ඔයාගෙම වාසනාවට මේඝා. ඔයා වගේ කෙල්ලෙකුට ආදරය කරන්න ඕනේ හිතේ තෙතමනයක් තියෙන මනුස්සයෙක් මිසක් කාගෙවත් හැඟීම් සෙල්ලමකට ගන්න මනුස්සයෙක් නෙමෙයි ”
මේඝා අසා උන්නාය. දෑස් මානයේම කෑලි දස දහසකට බිඳී යන්නේ තමා නිම්නාද වෙනුවෙන් දුන් හදවත නොවේද ?