මිය ගිය තම පුතා නැවත ගෙන්වාගන්න මළවුන් සමඟ ගණුදෙනු කළ අම්මා..

සතුටු පවුලක්

ගොඩක් දුක්බර කතන්දර වල ආරම්භය සතුටක්. ඒ වගේම මේ කතාවත් සතුටුදායක ජීවිතයක්  තිබුන පවුලක් තමයි පදනම් වෙන්නේ. ට්‍රැවිස් සහ ඔලිවියා මේබල් කියන්නේ විශාල පවුලක් එක්ක ජීවත් වෙන්න සැලසුම් කරපු තරුණ යුවලක්. ඔවුන් දරුවන් පස් දෙනෙකුවත් පවුලකට අවශ්‍ය බව විශ්වාස කලා.  ඒ වගේම දරුවන් සමඟ ජීවත් වෙන්න විශාල ගෙවත්තක් එක්ක තියෙන නිවසක් ගැන ඔවුන් හීන දැක්කා. ඔවුන්ගේ පලවෙනි පුතා වුන ඒඩ්න් ඉපදුනාට පස්සේ ට්‍රැවිස් සහ ඔලිවියා ටෙක්සාස්වල සෙලිනා කියන කාර්‍යබහුල නොවුන නගරයේ තිබුණ ගොවිපලක් එක්ක තැනුන විශාල නිවසක් මිලයට ගත්තා. තමන්ගේ කුඩා පුතාගේ ජීවිතය ගොඩ නැංවෙන තැන වගේම, අනාගත දරුවන්ගේ උපත සිදුවෙන්නත් සුදුසුම තැන එතැන බව ඔවුන් දෙදෙනාම විශ්වාස කලා.

මේ තරුණ අම්මටයි තාත්තටයි විශාල දරු පවුලක් ඕනෑ වුනත්, ඔවුන් තීරණය කලා පුංචි ඒඩ්න් වෙනුවෙන් වසර කිහිපයක් කැප කරන්න. මේ ඔවුන්ගේ පලමුවෙනි දරුවා වූ නිසා ඔවුන් දරුවන් රැකීම, වැඩීම ගැන ඉගෙන ගන්නා ගමන්මයි හිටියේ. මේ පුංචි පවුල හරිම සාමකාමී විදියට ජීවත් වුනා. පුංචි ඒඩ්න් ලොකු මහත් වුනේම සොබාදහම එක්ක. සමහර දවස් වල හැන්දෑ වෙනකල්ම ඒඩ්න් සෙල්ලම් කරමින් එළියෙ රැඳී උන්නා.

අවාසනාවන්ත පොකුණ

1991 මාර්තු මාසේ 13 වෙනිදාව මේ පුංචි පවුලට එතරම් සුබ දවසක් වුනේ නැහැ. එහෙත් ඒ බවක් නොදැන එදා දවල් කෑමෙන් පස්සේත් ට්‍රැවිස් සහ ඔලිවියා පුංචි ඒඩ්න්ට සෙල්ලම් කරන්න යන්න ඉඩ දුන්නා. හැමදාම වගේ මතක් කරන දේත් මතක් කලා.

“රෑ කෑම වෙලාවට ඔයා ගෙදර ඉන්න ඕනි …”

ඒත් හවස හය වෙනකොටත් ඒඩ්න් නිවෙසට  ආවේ නැහැ. ට්‍රැවිස් සහ ඔලිවියා හිතුවේ අඳුර වැටිලා නැති නිසා ඒඩ්න් තව ටික වෙලාවක් සෙල්ලම් කරමින් ඉන්නවා ඇති කියලා. මොකද, ඒඩ්න් මින් පෙර දවස් වලත් එහෙම ප්‍රමාද වෙලා තිබුනා. ඒත් තව ප්‍රමාද වෙනකොට මේ යුවල තමන්ගේ සුරතල් පුතාව සොයාගන්න ගෙදරින් එලියට බැස්සා.

ඒඩ්නව හොයමින් ඇවිද්ද ඔවුන්ට දකින්න ලැබුනේ පොකුණක පාවෙමින් තියෙන තමන්ගේ පුංචි පුතාගේ සිරුර. අවුරුදු  හතක පුංචි ඒඩ්න්ගේ ප්‍රාණය  ඒ වෙනකොටත් නිරුද්ධ වෙලයි තිබුනේ. අවසාන කටයුතු කෙරුණේ දෙදෙනාටම සිහියක් පවා නැතිව තියෙද්දී. තමන්ගේ එකම පුතාගේ මරණය මේ තරුණ යුවලට දරාගන්න පුලුවන් වුනේ නැහැ.  ට්‍රැවිස් සහ ඔලිවියා අතර තිබුන ආදරය පෑල දොරෙන් පැනලා ගියා. ඔවුන් දෙදෙනා අතර නිතරම අඬ දබර ඇති වුනා. ට්‍රැවිස් සහ ඔලිවියාට ඒ නිවසේ ජීවත් වීම පවා අතිශය අපහසු තත්වයක් බවට පත් වුනා. ට්‍රැවිස් ඉස්සෙල්ලාම නිවෙස අත හැරලා ගියා.  ඒ අලුත් ජීවිතයක් පටන් ගන්න හිතලා. ඒත් ඔලිවියාට ඒ තරමටවත් සිහියකට එලැඹෙන්න පුලුවන් වුනේ නැහැ.

හුදෙකලා වූ අම්මා

ඒඩ්න්ගේ මරණය සහ ට්‍රැවිස්ගේ හැර යෑම නිසා ඔලිවියාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම අඳුරු වුනා. එහෙත් ඇය ගොවිපොල සහිත නිවස හැර ගියෙ නැහැ. ඒ කොහොම වුනත්, ඇය රැකියාවට යෑම, මිතුරන් සමඟ මුණ ගැසීම සහ මිතුරන් සමඟ කතා බහ කිරීම නම්  සම්පූර්ණයෙන්ම නවත්තලා දැම්මා. පුංචි ඒඩ්න්ගේ අකල් මරණයත්, ට්‍රැවිස් ගොවිපොල සහ ඔලිවියා අත් හැර යෑමත් ගැන ඔලිවියාගේ මිතුරන් සහ පවුලේ අයත් හිටියේ බොහෝම කණස්සල්ලෙන්. ඒ නිසාම මිතුරන් සහ පවුලේ අය ඇයට ලිපි ලිව්වත්, දුරකතන ඇමතුම් ලබා දුන්නත්, නිවෙසටම ඇවිල්ලා මුණ ගැහෙන්න උත්සාහ කලත්,  ඔලිවියා ඒ කිසිවකට ධනාත්මක පිළිතුරු නම් ලබා දුන්නේ නැහැ.

ඔලිවියා කෙතරම් හුදෙකලා  වුනාද කියනවා නම් ඇය නිවසින් එලියටවත් බැස්සේ නැහැ. ආහාර ලබා ගැනීම සම්පූර්නයෙන්ම ඩිලිවරි සේවාවන් හරහා සිදු කරගෙන තිබුනා. නිවසේ ලිපක්වත් දැල්වුනේ නැහැ. ඒ නිසා ඔලිවියා එක්ක සම්බන්ධතා පවත්වපු එකම කොට්ඨාශය වුනේ බෙදා හැරීමේ ආයතන සේවකයන්.

ටික කාලයක් යනකොට ඔලිවියාගේ මිතුරන්ටත් ඇයව මඟෑරුනා. ඔවුන් හිතුවේ අතීතය අමතක කරන්න ඕනෑ නිසා ඇය අතීත සම්බන්ධතා වලින් පවා ඉවත් වෙන බව.

අත් හැර දැමූ නිවසකින් ආ ඇමතුම

1994 එක දවසක ටෙක්සාස් වල පොලිස් දෙපාර්තමේන්තුවේ දුරකතනය නොනවත්වා නාද දුන්නා. ඒත් පිළිතුරු දෙන්න ඇමතුම පිළිගත්තම අනෙක් පසින් කිසිම කෙනෙක් කතා කලේ නැහැ. දිගින් දිගටම මෙහෙම වුන නිසා, පොලිසිය ඇමතුම ලබා දුන් අංකය සහිත නිවසේ ලිපිනය හොයාගෙන ඒ නිවසට ගියා. ඔවුන්ට දකින්න ලැබුනේ මිනිස් වාසයක්වත් නැති අත්  හැර දාපු පැරණි නිවසක්. පොලිසිය දොරවල් විවෘත කරගෙන ඇතුලට ගියා. අඟුලු කඩන්නේ නැතුව ඇතුලු වෙන්න පුලුවන් කමක් තිබුනේ නැති නිසා පොලිසියට සිදු වුනා දොර කඩා දමන්නත්. පිටතින් කිසිම හැලහොල්මනක් නෑ වගේ පෙනුනත් නිවස තුළට ඇතුල් වුන පොලිස් නිළධාරීන්ට  දැණුනේ අමුතුම අද්භූත , ගත කිලි පොලා  යන හැඟීමක්.

අද්භූත නිවෙස

පොලිසිය ඒ අද්භූත හැඟීම පැත්තකට දාලා නිවෙස තුලට ඇවිදන් ගියා. පරීක්ෂා කලා. නිවසේ බිම සහ පුටු මත තිබුණේ ඉතාම ඝණ දූවිලි තට්ටුවක්. නිවස තුල වාතයත් ඉතාම කටුක ඝණ්ධයකින් යුක්ත වුනා. පොලිසිය නිවසේ සියලුම කාමර පරීක්ෂා කලා. අනෙක් හැම කාමරයක්ම අවුල් වෙලා, දූවිලි වලින් වැහිලා තිබුනත් ඒඩ්න්ගේ කාමරය කියලා සැක කරන්න පුලුවන්කම තිබුන කාමරය නම් පිළිවෙලට තිබුනා.  කාමරය මැද තිබුන පුටුවක වාඩි වෙලා උන්නේ ඔලිවියා. වාඩි වෙලා උන්නා කිව්වට ඇය මිය ගිහින් තිබුනේ. ඇය රාත්‍රී ගවුමකින් සහ සෙරෙප්පු ජෝඩුවකින් සැරසිලා උන්නා. ඇයගේ අතේ නිවසේ සකස් කරගත්තා කියලා හිතන්න පුලුවන් බෝනික්කෙක් හිටියා. පොලිසියට ඒ බෝනික්කා පෙනුනේ කුඩා පිරිමි ලමයෙක් වගේ. ඒ බෝනික්කට අන්දලා තියෙන්නේ ඒඩ්න්ගේ ඇඳුම් කියලා පොලිස් නිළදාරීන් එවෙලේ අනුමාන කලා.

පුතු වෙනුවෙන් සකස් කල පූජාසනය

ඔලිවියා වටා පරීක්ෂා කරපු පොලිස් නිළධාරීන්ට දකින්න ලැබුනේ මියගියපු පුතා වෙනුවෙන් කැප කරපු පූජාසනයක්. ඒක ආවරනය කරලා තිබුනේ කුඩා ළමයින් පාවිච්චි කරන බ්ලැන්කට්ටුවකින්. කුඩා ඒඩන්ගේ ඡායාරූප, ඔහුගේ චිත්‍ර, ඔලිවියා ඔහුගේ මරණයෙන් පසු ලියූ ලිපි, ඔහුගේ සෙල්ලම් බඩු, ඉටිපන්දම්, මල් සහ දරුවාගේ අළු සහිත බඳුනක් ඒ මත තියලා තිබුනා. මරණ පරීක්ශකවරයා ඇවිල්ලා ඔලිවියාගේ මරණ පරීක්ෂණ කටයුතු කලා.

” ඇය මිය ගිහින් මාස දෙකක්…”

ඔහු තීණ්දුව ලබා දුන්නා. නමුත් පුදුමය කියන්නේ, පූජාසනය මත තිබුන ඔලිවියා ලියන්නට ඇතැයි සැක කරපු  ලියුමේ තිබුණේ පොලිසිය විසින් ඔලිවියාව සොයා ගත්ත දිනය.

ලිපිය කියවපු පොලිස් නිලධාරීන් පවා සංවේදීව කම්පනයට පත් වුනා.

“මගේ පුතේ ඒඩන්අම්මාට  සමාවෙන්න. මට ගොඩක් දුකයි මේ වුන දේට . මට කවදාවත් මේ වගේ වෙන්න දෙන්න තිබුණේ නැහැ. මම ජීවත් වෙන්න ඕනි. ඒ නිසා  අම්මා ඔයා ළඟට එනවා,…මම මේ පිළිකුල් සත්වයා සමඟ ඉන්නේ නැහැ…. ඒඩ්න් මගේ පුතේ…..මගේ ආදරණීය ඒඩන්. අම්මි ඔයාට ආදරෙයි..”

අද්භූත චාරිත්‍ර ඉටු කල අම්මා

පූජාසනය හොඳින් පරික්ශා කරනකොට ඔලිවියා යම්කිසි ගුප්ත චාරිත්‍රයක් ඉටු කරන්නට ඇති කියලා පොලිසිය සැක කලා.  කහ පාට කඩදාසි වල නොතේරෙන අකුරු බොහෝමයක් ලියලා තිබුනා. ඇය මළවුන්ට පණ දෙන චාරිත්‍රය කරමින් සිට ඇති බව ගුප්ත ශාස්ත්‍රය පිළිබඳව දන්නා අය තහවුරු කලා. මේ  සියල්ල පැහැදිලි වෙමින් ගියත්, ඔලිවියා මිය ගිහිලා මාස දෙකකට පස්සේත් ඇගේ දුරකතනයෙන් පොලිසියට ඇමතුම් ලබා දුන් කෙනා ගැන කිසිම අනාවරණයක් සිදු වුනේ නැහැ.  නිවසට පිටතින් කිසිම කෙනෙක් ආව සලකුනු තිබුනෙත් නැහැ. ඔලිවියාගේ දුරකතනය තිබුනෙත් ඇය උන්න කාමරයෙන් එපිට කාමරයක. දුරකතනය දූවිල්ලෙන් වැහිලා තිබුනේ.

උත්තර නැති ප්‍රශ්න

ඇමතුම දුන්න කෙනා වගේම තව අභිරහස්   විසඳගන්න  බැරිව පොලිසියට බලාගෙන ඉන්න සිදු වුනා, ඔලිවියාගේ අවසාන ලියුමේ සඳහන් කල යක්ශයා ගැන කිසිම අදහසක් තිබුනේ නැහැ. ඇය මිය ගිය විදිය ගැන කිසිම අදහසක් තිබුනෙත් නැහැ.  ඇතැම් භූත ශාස්ත්‍රය දන්නා අය නම් අනාවැකි කිව්වේ ඔලිවියාගේ අතේ උන්න බෝනික්කට යම් යක්ශයෙක් ආරූඩ වෙලා ඇය මරා දමන්නට ඇති බව. නමුත් පොලිසියට එය විශ්වාස කරන්නට හැකි වුනේ නැහැ.  ඒ නඩුව නොවිසඳුන අභිරහසක් විදියට ඉතුරු වුනේ ඒ අනුව.

අත් හැර දාපු නිවස

2005 වෙනතුර ඒ  ඔලිවියා උන්න නිවස විකුනන්න දේපල වෙලඳ සමාගම් සෑහෙන්න උත්සාහ කලා. ඒත් ඒ සියලු උත්සාහයන් ව්‍යර්ත වුනා. නිවෙස මිලදී ගන්න කලින් පරීක්ශා කරන්න ඇතුලට යන හැමෝටම අමුතු අපහසුතාවයක් දැනෙන්න පටන් අරගෙන තිබුනාඅන්තිමේදී, ඉඩම් හිමියා නිවස ආරක්ශා කර ගැනීම  සඳහා ඔස්ටින් අද්භූත විශේෂඥයෙකු ගෙන්වා ගත්තා. ඔහු නවර්. නවර් කියන විදියට, ඔහු නිවසට ඇතුළු වූ වහාම ඔහුට හුස්ම හිරවෙන්න පටන් අරගෙන තියෙනවා.

“මට කවදාවත් මේ තරම් අද්භූත බලවේගයක් මගේ වටේ ඉන්න බව දැනිලා නැහැ..මට වැටහෙන්නේ නැහැ මේ නිවස ගොඩගන්න කල යුතු දේ ගැන.. ඒත් දැනට මේ නිවස මිනිස් වාසයට නම් සුදූසු නැහැ.”

ඔලිවියා, ට්‍රැවිස් සහ පුංචි ඒඩ්න්ගේ කතාව ඒ විදියට වැලලිලා යනවා. අන්තර්ජාලයේ තියෙන තොරතුරු වල විදියට ඔලිවියා නිවසේ  මිය ගිහින් බව දැනගත්ත, අනන්‍යතාවය එලිදරව් කරන්න කැමති නොවූ අයෙක් පොලිසියට සූක්ශම ඇමතුම් දෙන්නට ඇති කියන විශ්වාසය තියෙනවා.  ඒ වගේම ඇය විසින් ඉශ්ඨ කරපු අද්භූත චාරිත්‍ර ඇයව ගොදුරු කරගත්ත බව විශ්වාස කරන පිරිසකුත් ඉන්නවා. ඒ කොහොම වුනත් තවමත් ඔලිවියාට සිදුවුන දෙයක් ඇගේ සැමියා වුන ට්‍රැවිස්වත් දන්නේ නැති බව නම් මාධ්‍ය වාර්තා වල සඳහන් වෙනවා.

අපේක්ෂා ගුණරත්න 

Related Articles

Don't Miss


Latest Articles