සෙනෙහස් අවාරේ 35

සිසිමාධවී තිලකරත්න නිවසට ආවේ දෙව්මි සහ චනුක සමගය. ඊයේ රැයේ වුණු සන්තෑසිය කියන්නට සහ උදව්වක් ඉල්ලගන්නට අයිරාංගනී සහ සුමධුර හැරෙන්නට කිසිවෙක් සිසිමාධවීට උන්නේ නැත.

උත්පලා අක්කා ඊයේ රැයේ ගම දෙවනත් කරද්දී සිසිමාධවී නිවස තුලටම වී දරුවන් දෙදෙනා තුරුලු කරගෙන කඳුලු සැලුවේ මේ රැයේ ඔවුන්ගේ තැනක වැටී ඉද්දී එලියට බැස රණ්ඩු කරන්නට හයියක් තමන්ට නැති බව දන්න හන්දාමය.

“යකෝ මගෙ මිනිහව ඇරෙන්න වෙන කෙනෙක් ඉඳියෙම නැද්ද උඹට අල්ලගන්න. මිනිහ මරාගත්තෙ මගෙ මිනිහව රෑට ගෙට වද්දගන්නද බැල්ලියෙ?

අනේ දෙයියනේ, ඇයි දෙයියනේ මටම මෙහෙම දෙයක් වුනේ? තමුසෙ තමුසෙ බලු මිනිහා. උඹ කෑව මාව. අරකි අරකි අනිත් බැල්ලි. ගෙට වෙලා දොර වහං ඉන්නෙ දැන්? ඇරපං යකෝ දොර. ඇරපං. උඹට දොර ජනෙල් අරින්න පුලුවන් මිනිස්සු එන වෙලාවට විතරද යකෝ?

පත්තිනි අම්මා වගේ හිඟන පැටව් දෙන්න ඉස්සර කරන් යද්දි ලෝකෙටම හිතන්නෙ හරි සාන්ත දාන්ත තීන්ත කූඩුව කියල. යකෝ මහ රෑටනෙ මුංගෙ ජවුසම් ඔක්කොම. දෙයියනේ මං විනාසයි. අපෙ පවුල විනාසයි. මුලින් අපේ මල්ලිව මරාගත්තා. මේකි තමයි අපෙ පවුල විනාස කරේ”

උත්පලා එදා රැයේ බෙරිහන් දෙද්දී ඒ ශබ්ධයට නොඇහැරුන කෙනෙකු ඒ වත්තේ උන්නේ නැත. මෙවන් දේවල් මේ වතුකරයට නුපුරුදු දේවල් නොවුනද ආයෙම වරක් එවන් දෙයක් වෙද්දී මිනිසුන් එදෙස බලන්නේ කුණු රසය සෙවීම කුතුහලය සහ ආශාව සහිතව අලුත්ම පණිවිඩයක් අසන කරන හැඟීමෙනි.

තමා ගෙතුලට වී දොර වසාගෙන උන්නද දැන් බොහෝ දෙනා තමාට සිනාසෙන බව සිසිමාධවී නොදත්තා නොවේ. තමා වරදක් නොකල බව දන්නවා වුනත් ගෙදරින් එලියට බැස ඒ බව ඔප්පු කරන්න හයියක් සිසිමාධවීට තිබුනේ නැත. මෙතෙක් කලක් තමා සැමියා මළ බිරිඳකට මුහුන දෙන්නට වෙන අපහසුකම් කියා සිතා තිබුන දේවල් ඇත්තම ප්‍රශ්නවලට වඩා කොච්චර සරලද කියා සිසිමාධවී සිතුවේ උත්පලාගේ විටින් විට නැගෙන උස් හඬ මධ්‍යයේය.

එක් අතකින් උත්පලා අක්කා ඔහොම කෑගහන එක සාධාරණය. අවුරුදු ගාණක් කසාද බඳින්න මිනිසෙකු සොයා අවසානයේ සොයාගෙන සරණ පාවාගත් මිනිසා තමාව රවටනවා යැයි දැනගන්නට ලැබීම ගැහැණියකට කෑගසන්නට නොව මැරෙන්නට තරම් වේදනාවක් වන්නට හැක. එකම වරද උත්පලා අක්කා කිසිම වරදක් නොකර තමාව වරදකාරියක, පව්කාරියක කර මැරිච්ච කෝසලටද බැණ වැදීමය.

“ඇයි අම්මේ උත්පලා නැන්දා කෑගහන්නේ?”

අම්මාගේ කඳුලුත් උත්පලා නැන්දාගේ බෙරිහන් දීමත් අතර සම්බන්ධයක් හදාගන්නට අපහසු වූ චනුක ඇසුවේ සිසිමාධවීට වඩා තුරුලු වෙමිනි.

“උත්පලා නැන්දට තරහ ගිහින්නෙ පුතේ ඒකයි”

“ඉතින් ඇයි රෑ වෙලා කෑගහන්නෙ, අපි නිදිනෙ”

“එහෙම තමයි පුතේ, තරහ ගියාම මිනිස්සුන්ට රෑ දවල් තේරෙන්නෙ නෑනෙ. පුතා දැන් නිදාගන්න. අපි හෙට උදේ ගමනක් යන්න ඕන”

“ඉස්කෝලෙ යන්නෙ නැද්ද අම්මෙ හෙට?”

“හෙට යන්න ඕන නෑ පුතේ ඉස්කෝලෙට. මාත් එක්ක නංගිගෙ ඉස්කෝලෙට ගිහින් ඇඳුම් ටික දීල අපි තිලකරත්න ගෙදරට යං හෙට”

“එහේ ඉන්න නෝන හෙටත් අපිට බනීවිද අම්මේ හිඟන්නො කියල”

“නෑ පුතේ ඒ නෝන හෙට එහෙ ඉන්න එකක් නෑ” කියා කඳුලු අස්සෙන්ම සිසිමාධවී චනුකගේ හිස සිම්බාය.

උදේ වෙන්න ඇත්තේ තව පැය කිහිපයක් වුනත් සිසිමාධවී නින්දක් නැතුවම ගෙවා දැම්මේ අනන්ත රාත්‍රියකි. ඒ අනන්ත රාත්‍රියේ නිදිවරාගෙන කල්පනා කරන්නට බොහෝ දේ සිසිමාධවීට අප්‍රමාණ ප්‍රමාණයක තිබුණාය. තවදුරටත් පුරුදු විදියට තමාට ඔලුව උස්සගෙන මෙහි ඉන්නට හැකියාවක් නැති බව සිසිමාධවී දනී. මේ නරාවලේ වරදක් නොකල මිනිසෙකු වුවද පව්කාරයෙක් වරදකරුවෙක් කරන්න එක් මනුස්සයෙකුගේ එක් වචනයක් ඇති බව මෙහි ජීවත් වූ වසර අට නවයට සිසිමාධවී තේරුම්ගෙන උන්නාය. දරුවන් සමග තව දුරටත් මෙහි හිඳීම දරුවන්ට පවා උස් මහත් වෙද්දී නම්බුකාරව ලොවට මුහුන දෙන්නට අපහසු කරන්නක් බව සිසිමාධවී නොදන්නවා නොවේ. එහෙත් එහෙමයි කියා තමාට යන්නට තමන්ගේ කියා තැනක් මෙලොව නැත. දරුවන් දෙදෙනා නොහිටියානම් තමාට කෝසල ලඟට හෝ යන්නට තිබුනාය.

“යකෝ මිනිහ මැරිච්ච ගමන් ගෑණු ඔහොම අනුන්ගෙ මිනිස්සුන්ව ඩැහැගන්නවද? පුදුම අමාරුවකනෙ යකෝ ඉඳල තියෙන්නෙ අපිට පෙන්නුවෙ නම් කොහොමද මිනිහ වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්තියි කියල.

එහෙම උන්නු ගෑණි මිනිහ මල ගමන් අනුන්ගෙ මිනිස්සු ඩැහැගන්න බලන්නෙ. තමුසෙත් තමුසෙත් හිමිජ්ජා වගේ ඉඳගෙන කී වතාවක් ඒකිගෙ රෙද්ද අස්සෙ රිංගුවද කියල මට කියපන්? කියපන් යකෝ කටවහං ඉන්නෙ නැතුව. උඹ හිතන්න එපා මමත් ඒකි වගේ හැමදේටම කරබාගෙන ඔලුව නවාගෙන ඉන්න ගෑණියෙක් කියල. මම මරාගෙන මැරෙනව තොපිල දෙන්නවම.

දොරවල් වහන් ඉන්නෙ පත්තිනි අම්මා වගේ. ඇරපන් යකෝ දොර” කියා උත්පලාගේ හඬ ඇහෙද්දීත් සිසිමාධවී කලේ සද්ද නැතුව ඉන්න එකය. මෙවන් මිනිසුන් එක්ක කතා බස් කර ප්‍රශ්න විසඳගන්න බැරි බව සිසිමාධවී දනී. මොවුන් ඉපදී තිබෙන සමාජයට අනුව ප්‍රශ්නයක් ව්සඳාගත යුත්තේ අතින් පයින් බැරිනම් කට වචනයෙන් ගහගෙනය. ඉඳගෙන හිමින් සැරේ ඇත්ත නැත්ත හොයන ක්‍රමයක් ගැන මොවුන් දන්නේ නැත. ඉතින් එහෙම තැනක තමන් නිවැරදි බව ඔප්පු කරන්න තමන්ට විදියක් නැති බව සිසිමාධවී දනී.

උත්පලාගේ කෑගැහිල්ල කුණු රෙදි ගම මැද්දෑවේ තියා හෝදාගැනිල්ලක් බව පුෂ්පලතා දනී. මිනිසුන් හැමෝම දැන් උත්පලාගේ වචන ඔස්සේ හිතාගන්නට ඇති හැකි සියල්ල හිතාගෙන ඉවර බව අමුතුවෙන් කියන්න ඕන නැත. උත්පලා උන්නේ ආවේශ වී මෙන් කෑගසමිනි. එකාතකින් ඇයගේ කෝපය දුක වේදනාව සාධාරණ බව ඇත්තක් වුවත් ප්‍රශ්නයක් විසඳාගත යුත්තේ රටේ ලෝකයේ සියල්ලන්ටම ඒ බව කියාපාමින් බව මේ සමාජ ස්තරය තුල ඉපදුනද පුෂ්පලතා සිතුවාය.

අනෙක් අතට උත්පලා මොන දේ කිව්වද, පහුගිය දවස් ටිකේ එහෙමකට කියා ඇයි හොඳැයියක් තිබුනද සිසිමාධවී කිසිසේත් ඔවන් පහත් දෙයක් කරන්නට හිතන අන්දමේ ගැහණියක යැයි හිතන්න පුශ්පලතාට නොහැක. ඒ කතා කුමක් වුවත් මේ කෑගැහිල්ල තියෙන ප්‍රශ්න එක දෙක කරන්නකි.

“උත්පලා දැන් උඹ කොච්චර කෑගැහුවත් වෙච්ච දේවල ආපස්සට හරවන්න බෑනෙ. කෑ නොගහ ඇවිදින් නිදාගනින්. හෙට උදේට අපි මනුස්සයො විදියට එක්කාසු වෙලා මේව කතා බහ කරල විසඳගමු”

“අම්මටත් ඉතින් ලේලිව ලොකුයිනෙ ඔක්කොටම වඩා. ඒකි මගෙ මිනිහා එක්ක නිදියගත්තත් අම්මට හොඳ ඒකිව. අනේ දෙයියනේ අන්තිමේ මට තමයි මොකෙක්වත් නැති උනේ මගෙ පැත්තට. ඕකි ඕකි කඩේ වැඩට එන්නත් බෑ කියන්න ඇත්තෙ මූ කියල වෙන්නැති. මදිකමක් වෙන්නැති ඕකුන් දෙන්නට මගෙ කඩේ වැඩට එන එක.

මනුස්සයො විදියට එක්කාසු වෙලා කතාකරන්න කියල අම්ම තව කියන්නෙ. එක්කාසු වෙලා ඇති උන්දෙන්න දැනටම අපෙ ඇස් වලට වැලි ගහලා”

උත්පලා නිහඬ වුණේ කෑගසාත්, හඬාත් උගුර බැරැන්ඩි වී රිදෙන්න ගත්තයින් පසුවය.

සිසිමාධවී මේ සියල්ල අයිරාංගනීට කිව්වේ හඬමිනි. සිසිමාධවී අම්මා සමග වෙච්ච දේ ගැන කතාකරමින් ඉද්දී සුමධුර දරුවන් දෙදෙනාව කාරයෙ නග්ගවාගෙන රවුමක් එක්ක ගියේ ගැහැණුන් දෙන්නාට නිදහසේ මේවා කතාකරන්නට ඉඩ දෙන්නත්, දරුවන්ගෙ කන්වලට මේව නොවැටෙන්නත් පිණිසය.

“දැන් කොහොමද ළමයො ඔයා ඔතන තව දුරටත් ඉන්නෙ ඔය මිනිස්සු එක්ක?”

අයිරාංගනී ඇසුවේ ඇත්තටම අනුකම්පාවෙනි.සංවේගයෙනි.

“අනේ මට හිතාගන්න බෑ නෝන. කොහොම කරත් මට එතන ඇරෙන්න වෙන ඉන්න තැනක් නෑනෙ. මං කොහෙ කියල යන්නද? රෑ වෙලා කාටවත් නොපෙනෙන්න යනව කියල හිතන් මම උන්නෙ. උදේම ගෙදරින් එන ගමන් ඉස්කෝලෙට ගිහින් මහන්න භාරගත්ත ඇඳුම් ටික දීල ආවා.

වරදක් කරල නම් මට දුකක් ලැජ්ජාවක් නෑ මිනිස්සු මොනව කිව්ව කරත්. ඒ උනාට මේ මං හීනෙකින්වත් වෙයි කියල හිතන් උන්නු දෙයක් නෙවෙයිනෙ නෝන. මට දුක ඔය ගේ ඔහොම හරි උස්ස ගන්න කෝසල අපා දුක් වින්දා. අන්තිමේ මැරිල ගියෙත් ඔය ගේ කෑල්ල හදාගන්න ගැරජ් එකේ වැඩ කරන්න ගිහින්නෙ.

මේ වෙලාවට තමා නෝන හිතෙන්නෙ කෝසල ගිය තැනට යන්න තිබ්බ නම් කොච්චර හොඳද කියල. දරුවො දෙන්න නොහිටියනම් මම ඒක මෙලහකට කරලා”

අයිරාංගනී බලා උන්නේ ඇත්තටම මේ වේදනාවෙනි. තමන් මේ වෙලාවේ සිසිමාධවීට උදව් කල යුතු බව අයිරාංගනී සිතුවේ තමා මිල මුදල් තියෙන තැනක නොඉපදුනානම් ලලිත් මිය ගියායින් පසු තමාටද අත්වෙන්න තිබුනේ මෙවන් ඉරණමක් බව සිතුන නිසාමය.

මිනිසුන්ව අසරණ කරන්නේත් මිනිසුන්මය. ඒ අසරණ වූ මිනිසුන්ට පිහිට වෙන්නට එන්නේද මිනිසුන්මය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles