අහස් තරමක් බීමත්ව උන්නත් ඔහු සිටියේ රිය පදවාගෙන යාමට හැකි තරමේ සිහියකිනි. ඔහු පාරේ අයිනකට කර වාහනය නතර කලේ විශ්මිත එහා අසුනේ නින්දේ ඉද්දිය.
” මං වැඩිපුරම ආදරේ තාත්තට නිසා අම්මට මාව ඉස්සර ඉඳලම පෙන්නන්න බැහැ. මං කවදාවත් එයාගෙන් කිසිම දෙයක් ඉල්ලලා නැහැ , අඩුම ගානේ birthday එකකටවත්. එයාගේයි අක්කලාගේයි වෙනස්කම් නිසාම මට තේරෙන කාලෙ ඉඳලම මම හිතුවා මම කවදාවත් එයාලත් එක්ක එකට ජීවත් වෙන්නෙ නෑ කියලා. මම ජීවිතේ මේ වෙනකම්ම කරේ මට පොඩි කාලෙ ඉඳලම නැතිවෙච්ච ආදරේ හොයපු එක. ඒත් මට කවදාවත් නොලැබුණෙත් ඒකමයි ”
අහස්ගේ දෙසවනේ රැව් දුන්නේ මේඝා දහවල කී වදන් ය. ඒ හඬෙහි ගැබ්ව තිබුනේ අසරණකමක්ද නැත්නම් පසුතැවීමක්ද කියා අහස්ට මේ වනතුරුත් සිතා ගැනීමට නොහැකි විය.
” මනුස්සයෙකුගේ ජීවිතේට ආදරේ කියන දේ නැතිවෙන එක , කාගෙවත් හයියක් නැති වෙන එක මොනතරම් වේදනාවක්ද කියලා මම දන්න නිසා මං හැමදාම පුරුදු වුණා මගේ ළඟ ඉන්න හැමෝටම අඩුවක් නැතුව ආදරේ කරන්න. හැමවෙලේම එයාලට කරුණාවන්ත වෙන්න. ඒත් මට හම්බවුණේම නපුරු , අවස්ථාවාදී මිනිස්සු ”
දෛවයකට මේ තරම් කුරිරු විය හැකිදැයි අහස් කල්පනා කළේය. තමා ජීවිතයේ මොනතරම් අසීරු දේවල් වලට මුහුණ දුන්නත් ඒවා මේඝා මුහුණ දී ඇති ඒවා තරම් කටුක නැතැයි අහස්ට සිතුණි.
” මං හැමදාම ඇඬුවේ හැමෝටම හොරෙන්. මගෙ අම්මයි අක්කලයි වත් දන්නේ නැතුව ඇති එයාලා නිසාම මම ඒ ගෙදර ඇතුලේ කොච්චර තනියම ඇඬුවද කියලා. නිම්නාදව මට නැති වෙනවා කියලා තේරෙන කොටත් මට දැනුනේ අම්මයි අක්කලා දෙන්නයි නිසා දැනුනු අසරණකමමයි ”
අහස්ට හෙලුනේ දිගු සුසුමකි. මේඝා මේ වැටී සිටින අගාධයෙන් ගොඩ ගත යුතුය යන සිතුවිල්ල අහස්ට තදින්ම දැනුනි.එහෙත් එය කල යුත්තේ කෙසේද කියා වත් ඔහුට අදහසක් නොවිනි.
” මං හිතුවේ නිම්නාද මගේ හැමදේටම ඉඳියි කියලා. එයා මාව දාලා යයි කියලාවත් , එහෙම උනොත් එතනින් එහා වෙන දේවල් වලට මූණ දෙන්නෙ කොහොමද කියලවත් මං හිතලා තිබුනේ නෑ. මට තාමත් විශ්වාස කරන්න බෑ එයා මාව දාලා ගියා කියලා ”
එසේ කියා අවන්හලේ මේසයට හිස තබාගෙන මේඝා හැඬූ ආකාරය අහස් සිහි කලේ බොහො වේදනාවෙනි.
අහස් රථයට නැග්ගේ පාන්දර තුන පසුවීය. ගෙවුණු දවස ගැන ඔහුට ඇත්තේ පුදුමාකාර හැඟීමකි. හිත හොඳටෝම හෙල්ලි ගොසිනි.ඒ මේඝා නිසාද නැත්නම් මේඝාගේ කතාව නිසාද කියා අහස් සිතන්නට නොගියේය. නමුත් මේ දැනෙන හිස් බවට, කියන්නට නොතේරෙන වේදනාවට හේතුව මේඝා පමණක් බව අහස් දනී.
” මං දැන් ගෙදර ආවේ ”
අහස් ගෙදර ආ සැනින් මේඝාට වට්සැප් පණිවිඩයක් යැව්වේ එතරම් දුර දිග සිතා නොවේ.ඒත් එසේ කරන්නටම සිත කී නිසාවෙන් අහස් එසේ කලේය.ඔහු දුරකථනය අතේ තබා ගෙන ඇඳ මත වාඩිවී සිටිද්දිම වට්සැප් පණිවිඩයක් ආවේය.
” කොහෙද ගියේ ? ”
පිළිතුරු පණිවිඩය මේඝා ගෙනි. අහස් අනිත් අතට ඇමතුමක් ගත්තේ වෙලාව පාන්දර 3.50 ලෙස දුරකථනයේ සටහන්ව තිබියදීය.
” හෙලෝ අහස් ”
ඇගේ හඬ හැඬුම්බරය. ඇය බොහෝ වේලා හඬන්නට ඇත.
” මේඝා ? මොකද මේ පාන්දර ඇහරගෙන කරන්නේ ? ”
අහස් ඇසුවේ කලබලයෙනි. ඒත් මේඝා නිහඬය.
” මේඝා මං ඔයාගෙන් අහන්නේ? මොකද මේ පාන්දර ඇහැරගෙන කරන්නේ ? ”
අහස් උන්නේ පිළිතුරක් බලාපොරොත්තුවෙනි.
” ඇහැරෙන්න මං නිදාගත්තේ නෑ ”
මේඝා වචන පිට කරන්නේ අපහසුවෙනි. කියන්නෙ කුමක්ද කියා අහස් සිතුවේය.ඇය ඉන්නෙ දුකෙනි.කුමක් කීවත් එය පරිස්සමින් කිව යුතු බව අහස් දනී.
” ඔයා කොහෙද ගියේ ? ”
මේඝා නිහඬ බව බින්දේ අහස් කල්පනා කරමින් ඉද්දීය.
” විශ්මිත එක්ක එලියට ගියා ”
” විශ්මිත කිව්වෙ ? ”
” ආ.. මගේ හොඳම යාලුවා. මං එයාව ඔයාට ඉන්ට්‍රඩියුස් කරලා දෙන්නම්කො. මං වොශ් එකක් දාගෙන එන්නද ? ”
මෙවැනි සංවාද දීර්ඝ ලෙස කෙරුනේ නිම්නාද සමඟ බව මේඝාට සිහි විය. හදවතට හීන් රිදුමක් දැනෙද්දි මේඝා ඇමතුම අවසන් කර බැල්කනියට ආවේ අලුයම සීතලට ඇය කොහොමත් ඇලුම් කල නිසාය. ජීවත් වන්නට තව බොහෝ කල් ඇතත් ඒ සියල්ල නිම්නාද නැතිව ගෙවන්නට සිදු වන බව මතක් වෙද්දි මේඝාගේ දෑස් නැවතත් කඳුලින් පිරුනි. බැල්කනියේ බිම ඉඳ ගත් ඇය බිත්තියට හිස හේත්තු කර ගත්තේ වාරු වන්නටවත් දැන් උරහිසක් නැති බව සිහියට ගනිමිනි.
” ඔය දේවල් ආයෙ ආයෙම කා එක්ක හරි කියන එකෙන් වෙන්නේ උඹේ හිතේ තියෙන තුවාලේ පෑරෙන එක. උඹ දැන් කරන්න ඕනේ ඔය තුවාලෙ හොඳ කර ගන්න එක මිසක් , ඕක පාරගන්න එක නෙමෙයි ”
තමා බලන්නට ආ මොහොතේ ධනුක කී කතාව මේඝාට සිහි වෙද්දි ඇය උන්නේ නින්දත් නොනින්දත් අතරේය. තමා අහස්ව මුණගැහුනු බව කීවිට ධනුකවත් නිකිනිවත් කිසිවක්ම කීවේ නැත. සමහර විට ඒ අහස් තමාට උදව් කළ නිසා විය යුතු යැයි මේඝා සිතුවාය.
උදෑසන පහ වෙද්දිවත් කාර්යාලයට යාමට සූදානම් විය යුතු උනත් හරි හැටි නින්දක් නොලැබූ මේඝා උන්නේ බොහෝ වෙහෙසට පත්වීය. ජීවත් වීමට නම් රැකියාව කල යුතුය යන සත්‍ය සිහි කරමින් මේඝා වාඩිවී සිටි තැනින් නැගිට්ටේ මෙවැනි නිදි වර්ජිත රාත්‍රීන් තවත් කීයක් නම් ගත කළ යුතු දැයි සිතමිනි.
නිම්නාදව දකින්නට තිබුණානම් යයි මේඝා ට සිතුනේ ඒ මොහොතේය. මුහුණු පොතට පිවිසුණු ඇය නිම්නාදගේ නම සෙව්වේ මීට සති කිහිපයකට පෙර ඔහු තමාව මිතුරු ලැයිස්තුවෙන් ඉවත් කර තිබූ බව මතක් කරමිනි.
හදවත ගැහෙන වේගය වැඩිවන බව මේඝාට දැනුනේ නිම්නාද පැය කිහිපයකට පෙර පළකර තිබූ ඡායාරූපය දුටු විටය