“වෙරෝනා නිල් විලේ
කිමිදෙන්න යන් ප්‍රියේ
ඔබේ ස්වරයෙන් මේ ජලේ
පියුම් නැලවේ සුවඳ දේ
වස්සානේ කැන්දා ආවදෝ”
අල්විස් වත්ත දෙදරන්න වගේ සින්දු දාලා තිබ්බෙ අල්ලපු වැටේ මාග්‍රට් ඇන්ටිලගෙ දිහා. ඕක ඉතින් නුපුරුදු සද්දයක් නෙවෙයි. අල්විස් වත්තෙ මිනිස්සු උදේට ඇහැරෙන්නෙ කුකුල අඬලන සද්දෙට නෙවි මාග්‍රට් ගෙ රස්සාවක් නැතුව තැන තැන රස්තියාදු ගහ ගහ ඉන්න පුතා වෙච්ච මිලින්ද අල්විස් වත්ත දෙදරන්න දාන ස්පීකරේ සද්දෙට.
එක එක දවසට මිලින්දට එක එක ගායක ගායිකාවන්ව හම්බෙනව. දවසකට බී එන් එස්. තව දවසකට රිකී මාටින්. තව දවසකර සෝනු නිගම්. අද අල්ලගෙන තියෙන්නෙ කාන්චනා අනුරාදිව.
නදී නැගිට්ටෙත් මිලින්දගෙ සින්දු එලාම් එකට. සින්දුවෙන් වෙරෝනා නිල් විලක් ගැන කාන්චනා කිව්වට මොකෝ නැගිට්ට ගමන් ගන්න පලවෙනි හුස්මෙන්ම නදීගෙගෙහය අස්සට රිංගගන්නෙ අල්විස් වත්තෙයි ඒ පැත්තෙ හැම ලොකු පොඩි ගේකින්මයි විසික්කෙරෙන කුණු එක්කාසු වෙච්ච කලුම කලුම පාට වතුර පිරිච්ච කුණු ඇලේ සුවඳ.
සුවඳ කිව්වට ඉතින් නාහෙ කඩාගෙන යන ගන්දස්සාරෙ. ඉන්පස්සෙ කන් දෙක හාරගෙන යන තාත්තගෙ උගුර පෑදිල්ලෙ සද්දෙ.
මේ තමයි නදී පහන්‍යා ගුණසිරිගෙ ජීවිතේ. අවුරුදු විසි එකක කෙල්ලෙක් කිව්වම ඕන කෙනෙක්ගෙ හිතේ මැවෙන්නෙ ලස්සන, ජීවිතේ ගැන ලස්සන හීන දකින, සරලව ඉන්න කෙල්ලෙක් උනාට මොකෝ අවුරුදු විසි එකට නදී උන්නෙ ඔලුව උඩ අවුරුදු තිස් එකක ප්‍රශ්න පුරවන්.
“දැන්වත් උදේ ඇහැරෙන්න පුරුදු වෙයන්. හෙට ඉඳල උඹ රස්සාවකට යනව නේද? ඔන්න කෙල්ලෙ හෙට ඉඳල උඹත් උදේ ඇහැරිල ගෙනියන කෑමක් බීමක් උයා ගන්න මට අත් උදව් දීපන්. මං මේ ඔක්කොම කරන්නෙ පිනක් දහමක් කොරන් පාඩුවෙ පැත්තකට වෙලා ඉන්න ඕන කාලෙ. එහෙම වයසක උඹලගෙ කුණු වැඩ කරන්න වෙච්ච එකයි මගෙ හිතට අමාරු”
අත්තම්මා කොහොමත් උදේ පටන් ගන්නේම ඔහොම කතාවකින් ය. නදීට ඉතින් ඕවා නුපුරුදු කතා නොවේ. අම්මා තමාවත් තාත්තාවත් දා කුවේට් වල රැකියාවකට ගිය දා පටන් තමාවත් තාත්තාවත් බලාගත්තේ අත්තම්මාය. අම්මාගේ අම්මාය. ඇත්තටම අම්මාට වඩා අම්මා උනේ අත්තම්මා බව නදීට අමතක කරන්නට බැරිය. ඉතින් උදේ පාන්දර සුපුරුදු ලෙස අත්තම්මාගේ කනිපින්දමෙන් පටන් ගන්න වෙන එක ගැන අහිතක් හිතන්න නදීට හිත දෙන්නේ නැත.
“අපිට කන්න බොන්න උයල දෙන එකත් ඉතින් පිනක් තමයි බං” එහා පැත්තේ ඉස්තෝප්පුවෙ බූරු ඇඳේ නිදියගන්න තාත්තා වැඩක් තිබ්බත් නැතත් උදේට ඇහැරෙන්නේ, මයිකල්ගේ බූරු පොලට යන්න බලාගෙනය. ඔය කෑ ගහන්නේ තමන් ඇහැරිච්ච බව පෙන්නන්නට මෙනි.
“අපෝ මොකට කියනවද ඒ පිංකම් ගැන? හැබැයි විල්සන් මෙන්න මේක හොඳට මතක තියාගං. මං මේ උඹට පක්කලි කම් කර කර මේ උඹේ ගුබ්බෑයම අස්සෙ රිංගන් ඉන්නෙ අර වසන්තගෙ වචනෙ අහක දාන්න බැරි හන්ද. ඒකි උඹෙනුයි මේ අපායෙනුයි ගැලවිල ගියාට ඒකිගෙ දරුව මෙතන ඉන්න හන්ද ඒකිට වගෙම මටත් හිත එකලාසයක් කරන් අතෑරල දාන්න බැරි හන්ද මං මේ ඉන්නෙ. මේකිගෙ කටයුතු පිලිවෙලක් වෙච්ච දවසට උඹ කොහෙ මකබෑවුනත් මට කමක් නෑ”
“අනේ කෑගහන්න එපා ආච්චි. මිනිස්සුන්ටත් ඇහෙනව ඇති මේ උදේ පාන්දර” නදී කිව්වේ හිත යාන්තමට රිද්දාගෙනය. පුංචි කාලයේ නම් වත්තෙ කොයි ගෙදරත් ඔහොම බව දන්නා හන්දා අමුතුවෙන් ලැජ්ජාවක් ඇති උනේ නැතත් ඩිංග ඩිංග ලොකු වෙද්දී, ඉස්කෝලේ එක වයසේ යාලුවන් ජීවත්වන පිළිවෙන, වැදගත් ජීවන රටාව ඇහැ ගැටෙද්දී නදීට තමන් ජීවත්වන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් පාතාලයක බව වැටහුනාය. ලැජ්ජාව ඩිංග ඩිංග උඩට මතු උනේ ඒ වැටහීම එක්කය.
“උඹ හිතන්නෙ මේ වත්තෙ එවුන්ට අපෙ ගේ අස්සට කන් දෙක දාගෙන ඉන්නවට වඩා වෙන වැඩක් නෑ කියලද?” කියමින් චන්ද්‍රකාන්ති ඇතුලත ගියේ ජොග්ගුවෙන් කෝප්පයටත් කෝප්පයෙන් ජොග්ගුවටත් තේ වක්කරමිනි.
“අනේ බං උඹලගෙ ලැජ්ජාව. උඹ ලැජ්ජ වෙන්න ඕන උඹට තේරෙන කාලෙම උඹේ මහ ගෑණි රට රස්සාවකට යනවය කියල ගිහින් අන්තිමෙ එහෙ පැලපදියම් වෙච්ච එක ගැන.උඹට වගේම ඒකිගෙත් ඔලුවට මුලින්ම ගැහුවෙ ලැජ්ජාව. ලැජ්ජාව අම්මග් රෙද්ද. ඒකිට අල්විස් වත්තෙ උන්ගෙ හැටි තමා ලැජ්ජ. ඒකි රටවල් වල ගිහින් නටන නාඩගම් වල ලැජ්ජාවක් නෑ. තුහ් නොදකින් මගෙ කට” කියමින් තාත්තා ආයෙමත් කකුල් දෙක වකුටු කරගෙන සීතලට සරම පොරවන් බූරු ඇඳේ හරි බරි ගැහෙනවා නදීට ඇහේ. ඊලඟට සුපුරුදු ලෙස ඇසෙන්නේ අත්තම්මාගේ කට හඬ බව නදී නොදන්නවා නොවේ.
“තුහ් නොදකින් කියහංකො ඒකි එවන තුට්ටු දෙකට උඹ පුලුවන් නම්. ඒකිට රටවල් වල ගිහින් මොන නාඩගම හරි නටන්න උනේ උඹ අප්පෙක් විදියටවත් මිනිහෙක් විදියකටවත් හරියාකාරව උන්නෙ නැති හන්දනෙ. ඒකි මේ කෙල්ල ගැන හිතල එවන සොච්චමෙන් බොන්න ලැබුණනම් උඹ ඒකිට ඔහොම අවලාද කියන එකක් නෑ නේද? මේ කෙල්ල මෙහෙම හරි රස්සාවකට යන්න ඔලුවක් උස්ස ගත්තෙ ඒකි ඒ රටවල නැහිල හම්බ කරන තුට්ටු දෙකෙන්. උඹ කරා නම් බලන්න තිබ්බා.උඹ එහෙනම් කසිප්පු වලට මේකිවත් විකුණල මෙලහකට”
“අනේ මේ උඹත් ඒකිටම කත් ඇදපන්. ඒකිගෙම මහ එකීනෙ උඹ. පල නාකිච්චි යන්න මෙහෙන් තොලොංජි වෙලා. උදේ පාන්දරම දෝණියැන්දගෙ වංසෙ කබල් ගාන්න පටන් ගත්තා”
“කබල් ගාන්න හරි තියෙන්නෙ එච්චරනෙ” කියමින් අත්තම්මාගේ කට හඬ හීන් සැරේ මැකීයද්දී නදි හයියෙන් හුස්මක් ගත්තාය. ඒ හුස්මේ රැඳී තිබුනේ අම්මා ළඟ නැති වීමේ වේදනාවට එක්කාසු වූ අල්විස් වත්තේ නිරත්තර කාල ගෝට්ටියෙන් හද වැකුණ ශබ්ධ බව නදී දනී. මේ ජීවිතයට උරුම වූද ජිවිතයට උරා ගත්තා වූද කාලගෝට්ටියකි.මෙයින් මිදීමක් ඉතින් හිතීම පවා උගහටය.
නදීගේ කාමරයේ ජනේලය ඇරෙන පැත්තේ ඇය සමන්පිච්ච මල් වැලක් හිටුවාගත්තේ වැඩිවිය පැමිණි අලුතය. ඒ මල් වැලේ මල් හටගත් දවසේ සිට කිසිම දවසක මල් වැරුවේ නැත.අල්විස් වත්තේ එක් පැත්තක් වසාගෙන පැතිර තිබෙන කුණු කාණුවෙන් එන දුගඳ ඉස්කෝලෙ පොත්වලද, ඉස්කෝලෙට අඳින සුදු ඇඳුම් වලද තැන්පත් වී ආ ගන්දස්සාරය ඉස්කෝලෙ මිතුරියන්ගෙ ඈත් කර තබනු පිණිස නදී මතක ඇති කාලයේ සිට සුදු ඇඳුම් අස්සේත් පොත් අස්සේත් සමන් පිච්ච මල් ඇතිරෙව්වාය. අල්විස් වත්තේ දුගඳින් මිදී යොවුන් වියට උරුම සමන්පිච්ච මල් සුවඳකින් සැරසෙන්නට නදීට හැකිවුනේ ඒ ලෙසිනි.
“උඹට නදී කියල නෙවෙයි නම දාන්න තිබ්බේ සමන් පිච්ච කියල”මිතුරියන් කියූ අවස්තා අනන්තය. එහෙත් ඒ සමන්පිච්ච මල් සුවඳට එහා ගිය අල්විස් වත්තට උරුම දුඟඳ ගැන දැනගන්නට තමන් ලඟින්ම හිටගන්නට ඉඩ ලැබුණේ කාවින්දිට පමණකි. නදීත් කාවින්දිත් එක වත්තේ එක කාලයේ ඉපදුණ කෙල්ලන් නිසාම කුඩා අවදියේ සිටම මිතුරියන් වීය. වත්තේ සිට උදේට වැඩට යන උදවියට කඩයප්පන් හදන හන්දා නදීලට වඩා කාවින්දිලගෙ අත මිට සරු විය. එහෙත් මිතුදම ඉස්කෝලෙ ගොස් අහවර වෙද්දිත් අවසන් වුණේ නැත.
“ආච්චීඊඊඊඊ” කියාගෙන හැමදාම උදේට නදීලාගේ ගෙට ගොඩවෙන්න කාවින්දි අමතක කරන්නේ නැත.
“උඹ ආවද?
“ඔව් ආච්චි, කෝ අපේ සමන් පිච්ච මල් කුමාරි නිදිද?” කියාගෙන නදීගේ කාමරයට හිස පොවන්නට කාවින්දිට අමුතුවෙන් අවසරයක් ඕන නැත. කාවින්දි කාමරයට කඩන් වැටෙද්දිත් නදී උන්නේ ඇඳේ හාන්සි වී හෙට දවස ගැන කල්පනා කරමිනි.
“මොකෝ නිදිද තාම?””
“උදේම ඇහැරුණා ඒත් කම්මැලිකමට ඇඳට වෙලා උන්නා”
“පුදුම කම්මැලිකමක්නෙ ඒක.දැන් හෙට ඉඳල ඔය කම්මැලිකම අතෑරල උදේ නැගිටින්න පුරුදු වෙන්න වෙනව නේද පුංචි නෝනට?”
“රස්සාවක් හොයාගන්න ඕන කියල හිත හිත වද උනාට රස්සාවට යන්න තියෙද්දි නිකන් ඔලුවට පිස්සු වගේ”
“අප්පේ ඒ මොකද? රස්සාවට යන්න කලින් ඔලුවට එහෙම දැනෙන්නෙ?”
“නෑ බං ඉතින් ඒලෙවල් ඉවර වෙලා කරපු සෙක්‍රටරි කෝස් එක හන්ද යන්තම් සෙක්‍රටරි පෝස්ට් එකකට කියල යන්න පුලුවන් උනාට, අනේ මන්ද ඔය ලොකු කම්පනි වලට මං වගේ අය පෑහෙයිද කියල”
“යන තැනට පෑහෙන විදියට ඉතින් ඉන්න තමන් දැනගන්න ඕන. අනික ඉතින් කාලයක් යද්දි එකට කද්දි බොද්දි ඔය පෑහෙන්නෙ නෑ කියල හිතන් ඉන්න ඒවත් පෑහෙනව” කියා කාවින්දි හිනාවෙන්නේ අමුතුවටය.
“ඇයි එහෙම කියල උඹ අමුතුවට හිනාවෙන්නෙ?”
“නෑ ඉතින් මං කල්පනා කරේ කවුද දන්නෙ අල්විස් වත්තෙ ඉපදුනාට උඹේ පින තියෙන්නෙ ඔය වගේ කොළඹ හතේ ඔෆිස් එකක ලස්සන කුමාරයෙක් වගේ කොල්ලෙක් ලඟද කියල”
“අනේ බං මේ අපි වගේ තිරිවානා කෑලි අහුලගන්න එන කුමාරයො ගැන හීන නොදැක ඉඳපන්. අපි මේ මඩේ ඉපදිච්ච මල් වගේ”
“නෙලුම් මල් පිපෙන්නෙත් මඩේනෙ බං. ඒ උනාට අන්තිමෙ මඩ අස්සෙ ඉඳල ඔලුව උස්සල වටේටම සුවඳ දිදී, බුදුන් ලඟ පූජා වෙන්නෙයි, මනමාලියන්ගෙ මල් බොකෙ වලට එහෙම යන්නයිත් නෙලුම් මල් වලට පිණ තියෙනව. එහෙම එකේ උඹට ඔහොම චාන්ස් එකක් මොකෝ වදින්න බැරිද?”
“මඩෙන් ඔලුව ඉස්සුවයින් පස්සෙ පූජ කරන්නයි මල් බොකෙ වලටයි ගන්න බව ඇත්ත. හැබැයි ඒ මඩෙන් එලියට නටුවෙන් ගලවගත්තට පස්සෙ පිපිල ඉන්න ඇහැක් දවස් කීයද කියල හිතපන්කො
එහෙම බලද්දි අල්විස් වත්තෙ මඩ වගුරෙන් ගැලවිල ගිහින් කොහෙට ගියත් අපිට සදාකාලිකව එතන පැලවෙන්න බෑ බං”
නදී කිව්වේ සමන් පිච්ච මල් සුවඳැති හුස්මක් පපුව පුරා උරාගන්න ගමන් ය.