මීදුම් මාරුත -15

බිළිඳියට නිදන්නට දී උදාරා සාලයට ආවා ය.වසංගතය අහවර වෙමින් පැවතිය ද කොහේවත්ම යන්නට රසිකගේ කාර්යබහුල ව්‍යාපාර හන්දා ඉඩ නැත.ඔහු වෙහෙසෙන්නේ පිය උරුමය ඉදිරියට ගෙන යන්නට යැයි හිත හදා ගන්නවා ඇරෙන්නට උදාරා වැඩිමනත් ඒ ගැන නොසිතන්නී ය.

“වාහනයක්..”

රසික තනිව සකසමින් හුන් ගිණුම් වාර්තා පසෙක තබා එබී බැලුවේ ය.මෝටර් රථයෙන් බසින තරුණ යුවල දුටු ඔහුට ඇති වූයේ විමතියකි.

“උදාරා ඉන්නව නේද අයියේ..”

කාව්‍යා එසේ අසද්දී උදාරා වහා බරාඳය දෙස බැලුවා ය.තවමත් එකිනෙකා වැළඳ ගන්නට තරම් ආරක්ෂාකාරී කාලයක් නැති හන්දාම හැඟුම් වාවා ගත්තාට ඇයට දැනුණේ අප්‍රමාණ ප්‍රීතියකි.මුළු පාසල් කාලය පුරාම තමන්ගේ සෙවණැල්ල වූ මිතුරිය දොරකඩ හිඳීම මෙතරම් සතුටක් යැයි ඇය කිසිදා සිතා තිබුණේ නැත.

“ඔයා මට මෙච්චර ළඟ කියලා මං දන්නෙ සකුණ කිව්වම..”

කාව්‍යා එසේ පවසා බරාඳයෙන්ම අසුන් ගත්තා ය.

“අපි මේ ආවේ හදිසියේ හිතුණු ගමනක් උදාරා.බබා බලන්න වෙනම වෙලාවක එන්නං.තාම තැන තැන අසනීපෙ නැතුවම නෙවෙයිනෙ.”

සකුණ එසේ කියද්දී උදාරා තම මිතුරිය දෙස බැලුවා ය.වසංගතය ඇයට පහර දුන් තරමට ඇය මෙතරමට හෝ හිස ඔසවා හිඳීම ගැන උදාරාට දැනුණේ සැනසීමකි.සෙනුර ගැන කිසිවක්ම නොපවසා හිඳින්නට ඇය සිතුවා ය.තුවාලයක් ගැන විමසීමම එය පෑරීමක් බව උදාරා හොඳින් දන්නී ය. රසික සමඟ නිස්කලංක පවුල් ජීවිතයක් ගෙවන්නට හිත හදා ගත්ත ද සකුණ දකිද්දී සෙනුර සිහි වෙද්දී ඒ නඩයේ හුන් දඟකාරම කොලුවා සිතේ ඇඳීම නවතන්නට තරම් උදාරට ශක්තිමත් බවක් නොදැනේ.සෙනුර ජීවතුන් අතර නොවීමත් අකලංක ජීවතුන් අතර හිඳීමත් හැර තමන්ගේත් කාව්‍යාගේත් වෙනසක් නොවන බව උදාරා සිතුවා ය.

ඔවුන් නික්ම ගියේ තමන්ව ඇවිදින මළ කඳන් කරමිනි.

“මට ඔයාලට කාලෙකින් කතා කරන්න බැරි උනානෙ..”

අකලංක සිහි වන හන්දා ඒ මිතුරු සමාගමය අත හැරීම ගැන නොකියා උදාරා එසේ පැවසුවා ය.

“අපිත් කැම්පස් ගියාට පස්සෙ යක්කු බැඳගත්ත වගේ උනානෙ උදාරා.හුස්මක් කටක් ගන්න හදනකොට කෙහෙම්මල් ලෙඩක් මතු උනා..”

සකුණ එසේ කියමින් කතාව සාමාන්‍ය අතට හැරවූයේ ය.අත් අතහැරුණු කාලය ගැන කතා කිරීම තේරුමක් වන්නේ නැත.ජීවිතය වඩා අසීරු කාලයන් රැගෙන එද්දී ළඟ හිඳිය යුත්තේ කාලාන්තරයක් තිස්සේ අත් අල්ලාගෙන සිටි අය මිස ජීවිතය අතරමැද හමුවූවන් නොවන බව සකුණ සිතන්නට පටන් ගෙන එතරම් දවස් ගෙවී නොතිබුණි.ඒ දහම කාව්‍යාටත් වටහා දෙන්නට ඔහුට සිතුණේ හදිසියේ ය.

“මං මේ කිට්ටුව ගෙදර හිටියනම් ඔයා බලන්න නිතර නිතර එනව.අනේ මං අම්මලගෙ ගෙදරනෙ දැන් ඉන්නෙ..”

කාව්‍යා එසේ කියද්දී ඈ දෙස බලන සකුණගේ දෑසේ රැඳී ඇති ආදරය උදාරාට හොඳින් පෙනිණ.ඒ ස්නේහය උතුරා යන බැල්ම ගැන උදාරාට ඉව වැටී දැන් බොහෝ කාලයකි.

සෙනේහය පිරී ගිය ඔය නයන නිල් පොකුණ
දිය නිලන වැසිසමේ රැළි නඟා උතුරාය
තඹර පෙති අතර හෙල්මැලි රේණු වැසි වසින
ඔබෙ සිනාවෙන් නිවේ හුනුව ගිය ලේ නහර

සාමාන්‍ය පෙළ පන්තියේදී ඒ කවිය උගත් කාලය උදාරා සිහි කළා ය.

“එහෙම ආදරේ උතුරන ඇස් දෙකක් ඔය ළමයා වටේ කැරකෙනව කියල පේන් නැද්ද?”

උදාරා කාව්‍යාගෙන් ඇසුවේ එනිසා ය.

“උණු වෙච්ච ලේ නහර නිවන හිනාවක්ද? සෙනුරගේ හිනාවනෙ..”

කාව්‍යා දෙකොපුල් රතු කරගෙන එසේ කියද්දී කාව්‍යා දුටු විට ස්නේහයකින් පිරී යන සකුණගේ දෑස ගැන කතා කිරීම තේරුමක් නැති බව උදාරා අවබෝධ කර ගත්තා ය.සකුණ එය දරා ගත්තේ කෙසේදැයි ඇයට අදට ද පුදුමයක් නොදැනෙනවා නොවේ.

“ළඟදි වෙඩින් එකක් තියනව උදාරා..”

සමහර වැරදීම් නැවත නිවැරදි කරන්නට දෙවියන් ක්‍රියා කරමින් හිඳින වග තනිවම සිතමින් හුන් උදාරා ඒ අසා ප්‍රීතියට පත් වූවා ය.එසේ නම් සකුණට නැවත ඔහුගේ වාරය පැමිණ තිබෙන හැඩකි.

“සකුණ අපේ නංගිව මැරි කරන්න යන්නෙ..”

කාව්‍යා එය කියන්නේ සන්තෝසයෙන් වුව ද සකුණගේ දෑස් නොරිස්සුම්සහගත වූ බව උදාරාට පෙනිණ.

“අපි ඒක ටිකක් කල් දාගන්න කතා උනා.ඒ නිසා වෙඩින් එකකට සාරි ලෑස්ති කරන්න එපා උදාරා.නිකං රසිකගෙ සල්ලි නාස්ති කරන වැඩ..”

ඒ ආරංචිය කාව්‍යා එක්වරම අතහැරීම ගැන කෝපය සරදමකින් පිට කරන්නට සකුණ ප්‍රවේසම් විය.නමුත් උදාරා ලෝබ නැති සිනාවක් දෙමිතුරන් වෙත පා කළා ය.

“සාරියක් අරන් තියාගන්නං..මං හිතන්නෙ අපතෙ යන එකක් නෑ.”

රාත්‍රී විදුලි පහන් එළියෙන් හැඩ වූ උදාරාගේ කුඩා ගෙඋද්‍යානය පුරා කාව්‍යා සැරිසරද්දී උදාරා සකුණට ළං වූවා ය.

“ඔයා සෑහෙන ලොකු වන් සයිඩ් ලව් එකකින් විඳෝනව කියල කවුරු නැතත් මං දන්නව සකුණ.ඒ හන්ද ඔන්න ඔය මැරේජ් එක කරගෙන ආයෙ පාරක් වරද්දා ගන්න එපා.සෙනුර වගේ තව කවුරුහරි ඉස්සර වෙන්න කලින් මේ වතාවෙවත් හිතේ තියන දේවල් වචන කරන්න..”

සඳ එළිය වළා අතරින් පෙරි පෙරී රෑ කඩුපුල් සිප ගනිමින් තිබිණ.සේපාලිකා සුවඳ දැනෙන ගෙමිදුලේ එහෙමෙහෙ ඇවිදින කාව්‍යා දෙස සකුණ මොහොතක් බලා හුන්නේ ය.ඉනික්බිති ඔහු උදාරාගේ වචන පිළි ගන්නාසුළු සිනාවක් පළ කළේ ය.

“සෙනුර තරහ වෙයි කියල මේ වතාවෙ බය වෙන්න එපා.එයා කවදටත් වඩා ඔයා ගැන ආදරෙන් හිතයි.”

උදාරාගේ මිත්‍රත්වයේ උණුහුමෙන් පිරුණු කටහඬ සකුණට ඇසුණේ දේව භාෂිතයක් පරිද්දෙනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles