පරිත්‍යාගය යනු ආදරේ කොටසක් ය.

ශානිකා කන්නාඩියෙන් පෙනෙන තමන්ගේ රුව දිහා බලාගෙන හිටි හිස් හැඟීමකින් . කන්නාඩියෙන් පෙනෙන උඩරට මනාලියට , ඇත්තටම තමන් ආදරය කළ කල පෙම්වතාව විවාහ කර ගන්න තිබුණා නම් කොච්චර හොඳද කියලා හිතුනා.

මහා සෙනගක් මැද්දේ දිවුරුම් දීලා ශානිකා ජනිත් ව විවාහ කරගත්තෙ තාත්තගේ කැමැත්තට. අම්මා නැති වුන දවසේ ඉඳලා තමන් වෙනුවෙන් අසීමිතව වෙහෙසුණු තාත්තගේ හිත සතුටු කරන්න විතරයි ශානිකාට ඕන වුණේ. දෛවය විසින් තමන්ට අහිමි කරපු තමන්ගේ පෙම්වතාව ශානිකාට නොමැකෙන මතක සටහනක් වුණා.

” දැන්වත් ඔයා හිත හදාගන්න . මං නැති දවසක ඔයාව බලාගන්න කෙනෙක් ඉන්නම ඕනේ “

ශානිකාගේ තාත්තා ශානිකාට හැම වෙලාවෙම කිව්වේ එහෙම . ඒත් දහම්ගේ මතකයෙන් මිදෙන්න ශානිකාට ඕන වුණේ නැහැ.

” ශානිකා අදවත් පොඩ්ඩක් හිනා වෙලා ඉන්නකො ළමයෝ “

ජනිත් එහෙම කිව්වේ ශාලාවේ ඈත බලාගෙන ඉන්න ශානිකාගේ මූනට එබෙන ගමන්. ජනිත් කියන්නේ තවමත් තමන්ට ආගන්තුකයෙක් වුණත් අද ඉඳන් ඔහු තමන්ගේ සැමියා නේද කියලා ශානිකාට හිතුනා . ඒත් දහම්ට වගේ ජනිත්ට ආදරය කරන්නේ කොහොමද කියලා ශානිකාට හිතාගන්න බැරි වුණා.

” දැන් මගේ හිතට සැනසීමයි “

ශානිකා ජනිත් එක්ක මධුසමයට පිටත් වෙන්න මොහොතකට කලින් තාත්තා ශානිකාගේ කනට කරලා එහෙම කිව්වා. ඒත් මේ පටන් ගන්නේ තමන්ගේ හිතේ සැනසීම නැති වෙන දවස් නේද කියලා ශානිකාට තාත්තට කියන්න ඕන වුණා . නමුත් ඇය හැම වෙලාවෙම නිහඬවම හිටියා .

ජීවිතයේ අලුත් පරිච්චේදයක් පටන් ගත්තත් ශානිකාට ඕන වුණේ හැමදාම පරණ මතක එක්ක තනි වෙන්න . කිසිම දෙයක් නොදැන හිටපු ජනිත් ශානිකාගේ ජීවිතයට ඇතුල් වෙන්න බලාගෙන හිටියා . නිදි යහනේදී පවා ආගන්තුකයන් වුන ඔවුන්ගේ ජීවිතය ඔහේ ගලාගෙන ගියා. ජනිත්ට තේ එකක් හදල දෙන්න තරම් වත් හිත හදාගන්න ශානිකාට බැරි වුණා.

අවන්හලක හිමිකරුවෙක් වුන ජනිත්ට කෑමෙන් බීමෙන් අඩුපාඩුවක් නොවුනත් ජීවිතේ ලොකු හිස් තැනක් දැනෙන්න ගත්තා . බිරිඳකගෙන් ඉටු වෙන්න ඕන යුතුකම් එකක්වත් ශානිකාගෙන් ඉටු නොවෙනකොට ඉවසීමේ සීමාව ඉක්මවා යනවා කියලා ජනිත්ට දැනුනා .

” ශානිකා. මගෙ මේ ශර්ට් එක අයින් කරලා දෙන්නකෝ “

එක දවසක් උදේ ජනිත් කිව්වේ තරමක් තදින්

” මම ඔයාගේ වැඩකාරි කියලද හිතාගෙන ඉන්නේ ? “

ශානිකා ගේ ස්වරයත් ටිකක් රලු උනා.

” වැඩකාරි නෙමෙයි ඔයා මගේ වයිෆ් “

” ඉතින් ? “

” ඔයයි මමයි මේ ගෙදර ඉන්නේ නිකං තරහකාරයෝ දෙන්නෙක් වගේ . මොකද්ද ශානිකා මේකෙ තේරුම. ඔයා කැමැත්තෙන් නෙමේද මාව කසාද බැන්දේ “

” ඔයාව මට propose කරපු තැන ඉඳන් හැම තීරණයක්ම තාත්තගේ “

උස් හඬින් එහෙම කියපු ශානිකා කාමරෙන් එලියට ගියේ ගස්සගෙන. ජනිත් අතට අහුවුන ෂර්ට් එකක් ඇඳගෙන වාහනේට නැගලා පිටත් වුණේ ශානිකාගේ මහ ගෙදර යන්න . දැන් එහෙ ඉන්නේ ශානිකාගේ තාත්තයි ඔහුගේ මෙහෙකාරයයි විතරයි.

මිදුල නතර කරපු වාහනෙන් ජනිත් විතරක් බැහැලා එනවා දැක්ක ඩග්ලස්ගේ හිතට දැනුනෙ අමුතු බියක් . ඔහු ඒ බව නොපෙන්නා පුරුදු කරුණාවන්ත හිනාවෙන්ම ජනිත්ව පිළිගත්තා

” පුතා මොකෝ මේ උදේ පාන්දර තනියම “

” මං ආවෙ තාත්තත් එක්ක ටිකක් කතා කරන්න හිතාගෙන . ඒකයි restaurant එකට යන්න කලින් මෙහෙ ආවෙ “

” පුතා මට කලින් කියන්න තිබුනනේ . යාලුවෙක් මගෙන් සල්ලි වගයක් ඉල්ලුවා. එයා මේ ළඟ ඉන්නේ.මම ඒ ටික දීලා එනකම් පුතා ටිකක් ඉන්නකො. මම ජයපාලට කියන්නම් පුතාට තේ ලෑස්ති කරන්න කියලා “

ඩග්ලස් පිටත් වුණාට පස්සෙ ජනිත් ගේ පුරාම ඇවිද්දා . ශානිකා හිනාවෙලා ඉන්න ඡායාරූප ගේ පුරාම එල්ලලා තිබුණා. ඒ ඡායාරූප වල තියන ශානිකාගේ හිනාව දැන් නැත්තේ ඇයි කියලා ජනිත් ට හිතා ගන්න බැරි වුණා .

ජයපාල සූදානම් කරලා දීපු තේ එක බීපු ජනිත් ගෙදර සාලය පහුවෙනකොට තිබුණු කාමරයට ඇතුල් වුණා. කාමරේ තිබුණ ඇඳේ එලලා තිබුණ රෝස පාට ඇඳ ඇතිරිල්ලෙනුයි බිත්තියෙ එල්ලල තිබුන ශානිකාගේ පාසල් වියේ ඡායාරූප වලිනුයි මේක ශානිකා ගෙදර ඉන්න කාලේ හිටපු කාමරය කියලා ජනිත් අඳුර ගත්තා . පොත් රාක්කෙ තිබුණු පොත් අතර ඇඟිලි තුඩු යවපු ජනිත්ට ඒ පොත් අතර තිබුණ දින පොතක් ඇහැ ගැටුනේ අහම්බෙන්.

හදිසියේම ආපු සිතුවිල්ලකට ඒ දින පොත අතට ගත්ත ජනිත් වේගයෙන් එකේ පිටු එහාට මෙහාට කලා . ඒ අතර හංගලා තිබුණ කඩවසම් තරුණයකු ගේ පින්තූරය දැකලා ජනිත්ගේ හිත මොහොතකට ගැස්සුනා . මේ දිනපොත කියවන්නම ඕන එකක් කියලා ජනිත් ට හිතුණේ ඊට පස්සේ . අනුන්ගේ දින පොතක් කියවන එක වරදක් වුණත් දිනපොත ගත්ත ජනිත් ඉක්මනින්ම ඒක තමන්ගෙ වාහනයට දාගත්තා. ඩග්ලස් ආවට පස්සේ ඔහුගේ සැපදුක් අහල තමන්ට පරක්කු වෙන බව කියමින් ජනිත් පිටත් වුණා .

අවන්හලේ තමන්ගෙ කාර්යාලයට ගිය ජනිත් ශානිකාගේ දිනපොත පෙරළුවේ ලොකු කුතුහලයකින් . දින පොත කියවගෙන යද්දි වැඩි උන හද ගැස්මට වඩා ජනිත්ගේ ඇස් වල කඳුළු වේගවත් වුණා.

හැන්දෑව ගෙදර ගිය ජනිත් ශානිකාටත් එක්කම කෝපි පිළියෙල කරා. ඊට පස්සේ තමන්ගෙම අවන්හලෙන් ගෙනාපු කෑම , කෑම මේසේ උඩින් ලස්සනට තිබ්බා. ශානිකා කෑම මේසයට ආවේ අකමැත්තෙන් උනත් ජනිත්ගේ මේ වෙනසට හේතුව ඇයව පුදුමයට පත් කළා .

පහුවදා උදේ ශානිකා ඇහැරෙනකොට ඇඳ ගාව ඇයගේ තේ එක දුම් දමමින් තිබුනා.

උදෙන්ම ලෑස්ති වුණු ජනිත් අවන්හලට නොයා කෙලින්ම ගියේ ශානිකාගේ ගෙදර .

” පුතා අදත් ආවේ මොකක් හරි හදිස්සියක්ද ? “

” මං හැමදේම දන්නවා තාත්තේ “

ජනිත් එහෙම කිව්වේ ඉස්තෝප්පුවේ පුටුවකින් වාඩි වෙන ගමන්

” තාත්තලා මට වෙඩින් එකට කලින් හංගපු හැමදේම මම දැන් දන්නවා.ශානිකා මාව බඳින්න කැමති වුනේ ඇයි කියලත් මම දන්නවා “

” ශානිකා ද පුතාට විස්තර කිව්වේ ? “

” නෑ. ශානිකාගේ ඩයරි එකෙන් මං මේ හැමදේම දැන ගත්තා . විශේෂයෙන්ම දහම් ගැන “

ඩග්ලස්ගේ මූන වෙනස් උනේ ජනිත් බලාගෙන ඉද්දි

” ඒ දරුව නැතිවුණේ හදිස්සියේ. මගේ කෙල්ලට ඒක දරා ගන්න බැරි වුණා. කාමරේ එල්ලලා තිබුණු ඒ දරුවාගේ පින්තූර ගැලවුවෙත් මගේ වදේට “

ඩග්ලස් කිව්වේ කම්පාවෙන්.

” ඔයාව රවට්ටන්න අපි හිතුවේ නෑ පුතා . මේ කසාදෙට ශානිකා කැමති වුනේ මං නිසා . මං හිතුව ඒකෙන් පස්සෙවත් මේ දරුවාගේ හිතේ තියෙන දුක නැති වෙයි කියලා “

” එයා තාම බින්දුවක්වත් වෙනස් වෙලා නෑ තාත්තේ . අඩුම ගානේ එයා මගේ වයිෆ් කියලා හිතන්නවත් එයා කැමති නෑ “

” මට සමාවෙන්න පුතේ “

ඩග්ලස්ගේ හඬ බිඳිලා ගිහින් තිබුණා.

” මට ශානිකා ඉන්න තත්වේ තේරුම් ගන්න පුළුවන් . මට තාත්තා එක්කවත් එයා එක්කවත් තරහක් නෑ . මට විශ්වාසයි ශානිකා දවසක මට ආදරේ කරයි “

” පුතා මේවා දන්න බවක් ශානිකාට කියන්න එපා “

” දහම් එයාට කැන්සර් එකක් තිබුණ බව ඇයි ශානිකාට කියලා නැත්තේ ? “

” ඒ දරුවා මගේ කෙල්ලට ගොඩක් ආදරේ කරා . නිතරම මෙහෙ ආවා ගියා . ලෙඩේ ගැන දැනගෙන තිබුණේ අන්තිම මොහොතේ . ඒක කියල කෙල්ලගෙ හිත රිද්දන්න බෑ කියල දහම් එයාගෙ අම්මලත් එක්ක කියලා තිබුණා “

ශානිකා තමන්ව සැමියා විදිහට පිළිනොගන්න හේතුවත් බලාගත්තු අතේ බලාගෙන කොයිවෙලෙත් කල්පනාවක අතරමං වෙලා ඉන්න හේතුවක් ජනිත් තේරුම් ගත්තා. ජීවිතේ ලස්සන හීනයක් වගේ ගෙවාගෙන ගිහින් එකපාරටම අතරමං වුන නිසා ඇය ලක් වෙලා ඉන්න මානසික පීඩාව සහ කම්පනය තේරුම් ගන්න ජනිත්ට පුළුවන් වුණා .

ගෙදර තේ එක හැදෙන එක පවා ජනිත් ගේ අතින් සිද්ධ වෙනකොට ශානිකාට බලාගෙන ඉන්න බැරි වුණා . ඇය ටික ටික ගෙදර වැඩ කරන්න පටන් ගත්තා. ඒත් ජනිත් කිසිම වෙනසක් නොපෙන්වා පුරුදු විදිහටම ගෙදර දේවල් හොයලා බලලා කරන්න පටන් ගත්තා . ජනිත් ඒ දේවල් කරන එක මදිකමක් වගේ දැනුන නිසා ශානිකා උදේම ඇහැරිලා ජනිත් ට උදේ කෑම එක හදන එක , තේ එක හදන එක වගේ දේවල් කලා. ශානිකා කුස්සියේ ඉන්නකොට කුස්සියට ගිහින් ඇයට උදව් කරන්න ජනිත් දෙපාරක් හිතුවේ නෑ .

මාස දෙක තුනක් ගත වෙනකොට ශානිකා සහ ජනිත් අතරේ වෙනදාට වඩා ආදරය යන්තමින් ගෑවුන වචනත් හුවමාරු වෙන්න ගත්තා . ශානිකා ටිකෙන් ටික යථා තත්ත්වයට පත් වෙනවා කියලා ජනිත් තේරුම් ගත්තේ ඊට පස්සේ. ශානිකා ගැන තමන්ගෙ හිතේ මුලදි තිබුනු අපැහැදීම අඩුවෙලා ඒ වෙනුවට ආදරයක් දළු දානවා කියලා ජනිත්ට දැනුනා.

” අපි අනිද්දට පන්සලට දවල් දානේ අරගෙන යමු ශානිකා. මම හාමුදුරුවොත් එක්ක කතා කරගත්තා “

” දානේ ? “

” ඔව් . මම restaurant එකේ කුක් කෙනෙකුට එන්න කිව්ව. දානේ හදන්න ඔයා කරදර වෙන්න ඕනේ නෑ “

” ඇයි හදිස්සියේම ? “

” අනිද්දට දහම් නැතිවෙලා අවුරුදු දෙකයිනේ. ඉතිං එයාට පින් දීලා අපි දානයක් දෙමු “

ඇහෙන නෑහෙන ගානට එහෙම කියපු ජනිත් නාන කාමරයට ගියේ ශානිකාට කිසිවක් හිතාගන්න බැරි වෙද්දි .

කිසිම අඩුපාඩුවක් නොවෙන්න අංග සම්පූර්ණ දානයක් සූදානම් කරලා තිබුන ජනිත් වෙනුවෙන් තමන්ගේ යුතුකම් ඉටුකරන්න කාලය ඇවිල්ලා කියලා ශානිකාට හිතුනෙ දානය අවසන් වෙලා ගෙදර එද්දි .

ආදරෙයි කියල දැනෙන්න දෙන මිනිස්සු වගේම ආදරේ හිත ඇතුළේ තියාගෙන ඒ වෙනුවෙන් අසීමාන්තිකව ඉවසන , කැපකිරීම් කරන මිනිස්සුත් ඉන්නව කියල ශානිකා තේරුම්ගත්තේ ජනිත් නිසා. ජනිත්ට හොඳ බිරිඳක් වෙනවා කියලා හිත හදාගන්න ශානිකාට ඒ සිතුවිල්ලම ඇති වුණා.

දහම්ට සැනසීම ප්‍රාර්ථනා කරන ගමන් මෙතැන ඉඳලා තමන්ගේ නීත්‍යානුකූල සැමියා වුන ජනිත් එක්ක ජීවිතය හොයාගෙන යන්න ඕන කියන යථාර්ථය අන්තිමට ශානිකා තේරුම් ගත්තා.

ඔබේ හිතේ ඕනෑ තරම් පෑරෙන මතකයන් ඇති. නමුත් ඔබට කවදාවත් එවැනි මතකයන් එක්ක ජීවිතයේ ඉදිරියට යන්න බෑ. ඔබ කරන්න ඕනේ යථාර්ථයට මුහුණදෙමින් අලුත් වූ බලාපොරොත්තු සමග ජීවිතයේ ඉදිරියට යාමයි

More Stories

Don't Miss


Latest Articles