ධනුක රෝහලේ පුටුවක් මතට බරවී නොඉවසිලිමත් විනාඩි ගණනාවක් ගත කරමින් උන්නේය. මේඝා නිකිනි සමඟ වෛද්‍යවරයා හමු වීම සඳහා ඔහුගේ කුටියට ඇතුලු වී මේ ගෙවෙන්න විසි වෙනි විනාඩියය. මේඝාගේ දුරකථනය තිබුනේ ධනුක සතුවය. ඒ මේඝාට කාර්යාලයෙන් හදිසි ඇමතුමක් පැමිණියහොත් පිළිතුරු දීමටය. දුරකථනය නාද වද්දී ධනුක එදෙස බැලුවේ ඇත්තටම එය කාර්යාලයෙන් යැයි සිතාය.
” නිම්නාද ”
නිම්නාදගේ නම දුරකථන තිරයේ සටහන් වන විට ධනුකගේ සිතට නැගුනේ ඉහිලුම් නොදෙන කෝපයකි. ඔහු ඇමතුම ක්‍රියාත්මක කර දුරකථනය කනේ තබා ගත්තේ මේඝා පැමිණීමට කොහොමටත් තවත් වේලා ගත වන බව දන්නා නිසාය.
” හෙලෝ මේඝා ? ඔයාට මොකද්ද අර අහස් එක්ක තියෙන ගනුදෙනුව ? ආ ? ”
ධනුක නිහඬව සිටියේය. නිම්නාද මේ අසන්නේ මේඝාට උපකාර කල අහස් ගැන විය යුතුය. එසේ නම් නිම්නාද කොහෙන් හෝ කුමක් හෝ දැන ගන්නට ඇත.
” මේඝා ? ඇහෙනවද ? හෙලෝ ? ඇයි තමුසෙට උත්තර නැද්ද ? ”
නිම්නාද කතා කරන්නේ කෝපයෙනි. තවත් නිහඬව සිටිය යුතු නැත.මේඝා කුමක් කලත් දැන් එය ප්‍රශ්න කරන්නට නිම්නාදට අයිතියක් හෝ හේතුවක් නැත.
” මම ධනුක ”
නිම්නාද මොහොතකට නිහඬ විය. ධනුක උන්නේ නිම්නාදගේ පිළිතුර එනතුරුය.
” නෑ මචන් මම මේ ඇහුවේ.. ”
නිම්නාදට තවත් කතා කිරීමට ඉඩ දිය යුතු නැත.ඔහු මේඝාගේ ජීවිතයට සිදු කර ඇති හානිය ඕනෑවටත් වඩා වැඩි බව ධනුක සිතුවේය.
” නිම්නාද මේ.. මේඝා කරන්නේ මොනාද ඉන්නේ කා එක්කද කියලා උඹට දැන් වැඩක් නෑනේ නේද ? මගේ යකා අවුස්සගන්නෙ නැතුව ඕක තියපන් ”
තමා මේ මොහොතේ සිටින්නේ රෝහලක නිසා ධනුකට ඊට වඩා යමක් කියා ගත නොහැකි විය. නිම්නාද ඇමතුම විසන්ධි කර දැම්මේ ලැජ්ජාව මුසු වූ කෝපයෙනි. වර්ෂා කියූ කතාවේ ඇත්ත නැත්ත කෙසේ හෝ දැන ගත යුතුය යන උවමනාව නිම්නාදට තදින්ම දැනෙන්නට විය.
මේඝා වෛද්‍යවරයාගේ කුටියෙන් එලියට ආවේ සිහින් සිනා රැල්ලක් සමඟය.එය බොහෝ දේ කියා පෑ අතර එම සිනහවම නිකිනිගේ මුහුණේද විය.
” මෙයා හරි ඉක්මනින් රිකවර් වෙයි කියලා ඩොක්ටර් කිව්වා ”
මේඝා ධනුක ලඟින් වාඩි වෙද්දි නිකිනි කීවාය.
” දැනට මාස දෙකකට බෙහෙත් දුන්නා ”
ධනුක මේඝාගේ කරට අතක් දමා ගත්තේය. වසන්තය ලඟ එන ලකුණු ඔහුට දැනුනි. හදවතින් ආදරය කලවුන්ට හැමදාම දුක උරුම නොවන බව මේඝාට දැන් හෙමින් සීරුවේ පහදා දිය යුතුය.
” අද සැටර්ඩේ නේ.. අපි ලන්ච් වලට යන් ”
ධනුක කීවේ වාහනයට නගින අතරේය.
” අහස්ටත් එන්න කියන්න ”
ඔහු වාක්‍ය සම්පූර්ණ කලේය. ඉදිරිපස අසුනේ සිටි නිකිනිත් , පසුපස අසුනේ සිටි මේඝාත් ධනුක දෙස බැලුවේ එකවරමය.
” එදා මේඝාට උදවු කරපු එකට අපිට ඌට මුකුත් ට්‍රීට් එකක් දෙන්න බැරි උනානේ. මේඝා, මට අහස්ට කෝල් එකක් අරන් දෙන්නකෝ ”
මේඝා කිසිවක් නොකියා අහස්ගේ අංකය අමතා දුරකථනය ධනුක වෙත පෑවේය. පැමිණිය යුතු තැන සහ වේලාව ඔහුට දැනුම් දුන්නේ ධනුකය.
” ඔයාට මොකද එකපාරටම අහස් මතක් උනේ ? ”
නිකිනි ඇසුවේ අවන්හලට පැමිණි පසුව මේඝා මුහුණ සෝදා ගැනීම සඳහා ගිය අතරේය.
” ඕගොල්ලෝ ඩොක්ටර් ගාව ඉන්නකොට ,මේකිගේ ෆෝන් එකට අරූ කෝල් කරා ”
ධනුක කීවේ සෙමිනි.
” නිම්නාද ? ”
නිකිනි අනිත් අතට ඇසුවේ ධනුක ඔය ආකාරයට අමතන්නේ නිම්නාදට පමණක් නිසාය.
” ඌ අහස් ගැන ඇහුවා. මේඝායි අහසුයි ගැන මොන හරි කියලා ඇති කවුරුහරි. හොස්පිට්ල් එකේ නිසා මට ඌට මුකුත් හරියට කියා ගන්න බැරිවුනා ”
ධනුක නතර විය.
” ඒ නැතත් අහස් එදා මේඝා වෙනුවෙන් කරපු දේට නම් අපි ට්‍රීට් එකක් දෙන්න ඕනේ නේ ”
නිකිනි කිසිවක් කීවේ නැත. නිම්නාද යනු අප්‍රසන්න පුද්ගලයෙකි. ඔහු කලේ මේඝාව පාවිච්චි කිරීමය. එය ආදරය ලෙස දුටු මේඝාට අත්වූ ඉරණම සරල එකක් නොවේ. ඇය ආදරය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නියකි. එහෙව් ඇයට නුදුරේදීම සැනසීම අත්විය යුතුමය.
සුන්දර දේහදාරී තරුණයා අවන්හලට ආවේ ධනුක කියූ වේලාවටත් කලින්මය.
” හායි මචන් ”
ධනුක හුන් තැනින් නැගිට අහස්ව පිළිගත්තේය.
” වාඩි වෙමු. උඹ එනකන් අපි ඩ්‍රින්ක්ස් විතරක් ඕඩර් කලා ”
ධනුක අහස්ට පෙන්වූයේ මේඝාට එහා පස වූ අසුනය. අහස් නිකිනි වෙතද සිනාවක් පාමින් මේඝා අසල වාඩි විය.
ධනුකට සහ අහස්ට කතා බහ කිරීමට බොහෝ දේ විය. නිකිනිද ඊට එකතු වුවත් මේඝා වැඩි පුරම කාලය ගත කලේ නිහඬවමය. ඇය කතාවට එකතුවූයේ වචනයක් දෙකක් ඇරුනුකොට සිනහවකින් පමණමය.
ගෙවී ගිය දහවල සතුටින් පිරුණු අමතක නොවන එකක් බවට පත්වූයේ අහස්ගේ පැමිණීමත් සමඟ බව ධනුකට දැනුනේ කාලයකට පසුව මේඝාගේ මුහුණේද නොමැකෙන සිනාවක් දුටු විටය.
” ඌ හරි genuine පොරක් ”
ධනුක ආපසු එන අතරේ කීවේය. නිකිනිද එය පිළිගත් අතර මේඝා ඒ ගැන වචනයක් හෝ කීවේ නැත. එහෙත් අහස් යනු ඇත්තටම සුන්දරයෙකුම බව මේඝා තමාගේම සිතට කියමින් උන්නාය.
නිම්නාද නිවසේ සිටියේ තනිවමය. වර්ෂා දහවල පිටත් වූ ගමන තවමත් නිවසට පැමිණ නැත. ඇය පිටත් වී ගියේ සුපුරුදු ලෙසම හදිස්සියක් බව කියමිනි.මෙවැනි හදිසි ගමන් වර්ෂාට දැන් ඕනෑවටත් වඩා වැඩියෙන් ඇති බව නිම්නාද සිහි කලේ කෝපයෙනි.
නිම්නාද ඔහුගේ ව්‍යාජ facebook ගිණුම වෙත පිවිස එහි මේඝා ලියනපතිරණ ලෙස සටහන් කලේ තමාගේ සැබෑ ගිණුමෙන් තමන් ඇයව අවහිර කර ඇති නිසාය. මේඝා මෑතකදී මුහුණු පොත වෙත කිසිම ඡායාරූපයක් එකතු කර තිබුනේ නැති නිසා නිම්නාද ඊලගට ටයිප් කලේ අහස් අබේරත්න ලෙසය.
පසුගිය සතියක Rainbow Eye සමඟ කල රූගත කිරීමේ ඡායාරූප කිහිපයක් අහස් මුහුණු පොත වෙත එකතු කර තිබුනේය. තම කාර්යාල සගයන් බොහෝ දෙනෙකු එම ඡායාරූප අතර සිටි අතර ඉන් කිහිපයක මේඝා ද විය. ඒ සෑම තැනකම මේඝා උන්නේ අහස් අසලය.
නිම්නාද ලැප්ටොප් එක වැසුවේ වේගයෙනි. එසැණින්ම විවෘත වූ නිවසේ ප්‍රධාන දොරෙන් ඇතුළු වූයේ වර්ෂාය. නිම්නාද ඇය ඉදිරියට ගියේ සිතේ දැල්වෙමින් තිබූ කෝපයත් සමගමය.
” වෙලාව කීයද කියලා බලනවා වර්ෂා ”
නිම්නාද කෑගැසුවේය. වර්ෂා ඔහු දෙස බැලුවේ පුදුමයෙනි. නිම්නාද වෙනදාට මෙසේ නැත.
” මොකක්ද ? ”
වර්ෂා ඇසුවාය.
” පාන්දර දෙකයි කාලයි. තමුසෙ මොන මඟුලේ ගිහින්ද මේ එන්නේ ? ”
නිම්නාද කෑ ගැසුවේ පෙරටත් වඩා හඬිනි. ප්‍රමාද වූ බව ඇත්තය. එහෙත් එය ඇසිය යුත්තේ මෙසේ නොවන බව වර්ෂා සිතුවාය. නිම්නාද මෙසේ කෝපයට පත් වන්නට පටන් ගත්තේ තමා මේඝා සහ අහස් ගැන කියූ දිනයේ පටන් බව තේරුම් ගන්නට වර්ෂාට එතරම් වෙලාවක් ගියේ නැත.
” මගේ අම්මා තාත්තවත් මගෙන් අහන්නේ නැති ප්‍රශ්නයක් ඔයා මේ අහන්නේ නිම්නාද ”
වර්ෂා නිම්නාදව පසෙකට කර අත්බෑගය සෝෆා එක මතට විසි කර වාඩි උනාය. නිම්නාද වේගයෙන් එතනට පැමිණ වර්ෂාගේ අතකින් ඇද නැගිට්ටුවේ ඇයට සිතන්නවත් ඉඩක් නොතබමිනි.
” අම්ම තාත්තා එහෙම අහපු නැති එකේ වැරැද්ද නිසා තමයි තමුසේ ඉලංදාරියෙක් වගේ හැම තැනම රස්තියාදු ගහන්නේ ”
වර්ෂාට කේන්ති ගියේ ඒ කතාවටය. ඇය නිම්නාද ගේ අත වේගයෙන් ගසා දැමුවාය.
” එතකොට තමුසෙ කියන්නේ මම මේඝා වගේ ගේ අස්සට වෙලා ඉන්න ඕනේ කියලද ? ”
වර්ෂා එසේ අසා තත්පරයක් ගෙවෙන්නටත් කලින් නිම්නාදගේ දකුණත වර්ෂාගේ කම්මුල මත පතිත විය.