මියුරු තෙපුල් රදන්පොල උන්නේ උදේ පාන්දරම තරහ අරගෙනය. අද තමන්ගේ කාර්‍යාලයේ තමන්ගේ වැඩ කටයුතු සඳහා සහය වන්නට එක කාර්‍යාල සහායකවරිය එන බව දන්නා නිසාම මියුරුට උවමනා වුනේ උදේ පාන්දරම කාර්‍යාලයට ගොස් වැඩ කටයුතු ආරම්භ කරන්නටය.
“දැන් ඇයි මේ ෆින්ගර් ප්‍රින්ට් මැශින් එක වැඩ කරන්නෙ නැත්තෙ?” මියුරු කෝපය පාලනය කරගෙන කාර්‍යාලයේ ලොබියේ උන් පිළිගැනීමේ නිලධාරිනියගෙන් අහද්දී ඇය මියුරුගේ වදන් වල තැවරී තිබුන අමනාපය සහ කෝපය හඳුනාගෙන සසැලුනාය. කාර්‍යාලයේ කණිශ්ට විධායක නිලධාරී තුමා යනු ඉක්මන් කේන්තිකාරයකු බව කාර්‍යාලයේ නොදන්නා කිසිවෙකු නොවේ.
“අයි ටී එකට කිව්වා සර්. එයාල ප්‍රොබ්ලම් එක ෆික්ස් කරන ගමන්. පැයක් දෙකක් යනකන් ඩෝ එක මැනුවලි ඕපන් කරල තියන්න කිව්වා”
රිසෙප්ශනිස්ට් ලෙස උන් ලිඩියා කිව්වේ බය හිත අස්සේ පොකුරු ගැසෙන්නට ඉඩ දෙමින් නමුත් එය එළියට නොපෙන්වමිනි. තමාගේ බය එළියට පෙන්වීම “දෙබොස්”ගෙන් බැණුම් අහන්නට හේතුවක් වනු ඇතැයි ලිඩියා උන්නේ බියෙනි.
“මැනුවලි ඕපන් කරන්න? මේක සිල්ලර කඩයක් කියලද හිතන් ඉන්නේ කවුරුහරි යන එන වෙලාවට මෙතනට වෙලා දොර ඇර ඇර ඉන්න? එහෙම ඉන්න කියනව අයි ටී එකේ කාට හරි එහෙනම්” කියමින් මියුරු එතනින් නික්මුනෙ සුලඟක් බඳු වේගයෙනි.
මියුරුගේ පෙනුමෙනුත් ඒ කෝපය වෑහෙනවා දුටු නිසා ෆ්ලෝ එකේ උන් කිසිවෙක් වෙනදා මෙන් මියුරුට ගුඩ් මෝනින් කියන්නවත් ගියේ නැත. දෙබොස්ට යකා නැගී ඉන්න දවසට වඩාත්ම හොඳ දේ මූණට මුලිච්චි නොවී ඉන්න එක බව ඕර්ගනික් ෆුඩ් කාර්‍යාලයේ සියල්ලන්ම පාහේ දන්නා දෙයකි.
මියුරු එද්දීත් නදී උන්නේ බසයේ එල්ලී කාර්‍යාලය බලා එමිනි. තමන්ගේ ප්‍රධානියා මෙතරමි ඉක්මනින් සේවයට වාර්තා කරන ඕනවටත් වඩා කලින් වැඩකරන කෙනෙකු බව නදී ඇත්තටම දැන උන්නේ නැත. බොහෝ තැන්වල ආයතනවල ප්‍රධානීන් සේවයට එන්නේ පමා වී බව දන්න හන්දා නදීට බයක් තිබුනේත් නැත. අනෙක් අතට මෙවන් සතියේ දිනවල උදෑසන සාරිද ඇඳගෙන බස් වල එන්නට යාම කොච්චර අමාරුද කියා කාර්‍යාලවලට කාර් බාර් වලින් එන ලොක්කන් දන්නේ නැත. අමාරුව දන්නේ බස් වල එන මිනිස්සුන්‍ම පමණි.
නදී උන්නේ උදේ පාන්දරම කෝප ගෙනය.උදේම නා ආපු හන්දා කෙස් කළඹ ගැටගසා ගන්න විදියක් තිබුනේ නැත. තෙත කොණ්ඩය බස් එකේ මිනිසුන්ගෙ මූණ වල වැදීම නිසා උදේ පාන්දරම කතා අහගන්නට වීමත් දවසම මූසල කරන්නකි.
“බස් වල යද්දි දිග කොණ්ඩ ගැටගහන් යන්න දන්නෙ නැද්ද ළමයො, මේ උදේ පාන්දර කොණ්ඩ පිට දිගේ විසුරුවන් එනව අපේ කටෙයි කන්වලයි ඇස්වලයි හැම තැනම කොණ්ඩෙ”” කියමින් තවත් උදේ පාන්දර කෝප අරගෙන උන් කාන්තාවකගේ වචන හන්දාම තෙත පිටින් උනත් නදී කොණ්ඩෙ ගැටගහ ගත්තාය. දවල් වෙද්දී ඔලුව කැක්කුමක් එන්නට පුලුවන් බව දන්නව උනත් මේ කතා අහගන්නවට වඩා ඒ ඔලුව කැක්කුම හොඳය.
බස් එකෙන් බැස ඉස්සරහ වූ බිල්ඩිමේ වීදුරු කෑලි අලවා තිබූ බිත්තියෙන් නදී දුටුවේ උදේ පාන්දර සමන්පිච්ච මල් සුවඳ සලමින්, තෙත බේරෙන කොණ්ඩය සමග පිනිබර මලක් මෙන් ගෙදරින් පිටත් වූ කෙල්ලක නොවේ. බස් එකේ මිනිසුන් දාහක් අස්සෙ තෙරපෙමින් අවුත්, ඔවුන්ගේ දහදියත් තමන්ගේ ඇඟේ උලාගත්, අවුල්වූ කෙස් කළඹක් සහිත කෙල්ලෙකි.
“මෙහෙම කොහොමද පලවෙනි දවසෙම රස්සාවට යන්නෙ?” කියා නොහිතුනා නොවේ. එහෙත් කරන්න දෙයක් නැත. “ඕන කතාවක් හදාගන්න කියල මිලින්දයා එක්ක දඬු මොණරගෙ පිටේ එන්න තිබ්බෙ” කියා කාවින්දි උන්නා නම් කියන බව නදීට ස්තිරය.
බස් එකෙන් බැස්ස තැන බිල්ඩිමේ වීදුරුවෙන් නදී අවුල්වූ කෙස් කළඹත් සාරියත් හදාගත්තේ තමන් පසුකර යන මිනිසුන් බලනවා කියා හිතන්නේවත් නැතුවය.
“මේ මිනිස්සු මාව දකින්නෙ අද විතරනෙ. ඔෆිස් එකේ මිනිස්සු එහෙම නෙවෙයිනෙ.පලවෙනි දවසෙම අමනුස්සය වගේ ගියොතින් ඕක ඔතනින් අස් වෙන දවස වෙනකම්ම මතක තියාගෙන ඉඳීවි”
ඕර්ගනික් ෆුඩ්ස් කාර්‍යාලය පිහිටා තිබුනේ නුගේගොඩ හන්දියේ බෝගහ ලඟින් මැක් ඩොනල්ඩ්ස් එක පැත්තක තිබෙන පටු පාරකය. ඉන්ටවිව් එකටත් ආව නිසාවෙන් තැන හොයාගන්න අපහසුවක් නදීට තිබ්බේ නැත.තමන්ට සේවයට වාර්තා කරන්නට කියා තිබෙන්නෙ උදේ අටහමාර වෙද්දී වුවත් දැනටම තමා විනාඩි පහක් ප්‍රමාදය. හෑන්ඩ්බෑගය එක් අතකින් ගතට තුරුල් කරගෙන නදී හනි හනික කාර්‍යාලය වෙත පියමැන්නාය.
දොරෙන් ඇතුලු වෙද්දීම ආවේ ඇඟේ වූ දහඩිය බිංදු එක තප්පරේකින් කොහෙටදෝ මන්දා විසිවුණි. ඇඟ හීතල වී ගියේ වායු සමීකරණයෙන් මිදී ආ ඒ හීතල හුලඟට පමණක් නොවන බව නදීට ස්තිරය. කාර්‍යාලයට ඇතුලු වන තැනම ලොබියේ ලී මේසය පිටුපස උස් කැරකෙන පුටුවක වාඩි වී උන්, කොණ්ඩය තඹ පැහැයෙන් වර්ණ ගන්වා, සුන්දරව වත්සුණු තවරා උන් රිසෙප්ශනිස්ට් කෙල්ලගේ වූ දෙනෙත් බැල්ම නිසාමය. ඒ බැල්මේ වූයේ “හූ ඊස් දිස්?” යැයි කියවෙන අවඥාසහගත බැල්මක් බව අඳුරාගන්න නදීට අපහසු වුනේ නැත. ඒ බැල්ම මගහැර නදී ඇය වෙත ගියේ කොහොමත් පමා වී ඉන්න එකේ මෙතන රිසෙප්ශනිස්ට් කෙල්ලගේ බැල්මට බය වී ගල් ගැහී ඉන්න වෙලාවක් නැති බව හිතමිනි.
“ඉයස්?”
“මම අද ආවෙ,අද තමයි මෙහෙ පලවෙනි දවස. මිස්ට මියුරු රදන්පොලගෙ සෙක්‍රටරි විදියට” නදී තමන්ව හඳුන්වා දෙද්දී කොණ්ඩය තඹ පාට කරන් උන් කෙල්ලගේ දෙනෙත් විස්මයෙන් තව ටිකක් විසල් වෙනුත් නදී දුටුවාය. එයට හේතුව කුමක් වන්නට හැකිද කියා හිතුවත් නදී ඒ සිතුවිල්ලට එයට වඩා දුර යන්නට ඉඩ දුන්නේ නැත.
ලිඩියා තමන් මෙතෙක් වෙලා වාඩි වී උන් කැරකෙන පුටුවෙන් බැස මේසය වටෙන් ආවේත් නදීගේ රුව වෙතම දෙනෙත අල්වාගෙනය.තමන් හිතන් උන්නාට වඩා මෙතන වෙනස් බව නදීට තේරුනෙත් මේසයෙන් මෑත් වී පෙනෙන්නට වූ ලිඩියගේ සම්පූර්ණ රුව දකිද්දීය. දණහිසෙනුත් අඟල් දෙක තුනක් ඉහලින් නතර වී තිබූ කලු කොට හිර සායට ඇය හැඳ උන් රෝස පැහැ වේස්ට් කෝට් ටොප් එකත්, අඟල් තුන හතරක් උස හීල් එකත්, තඹ පැහැයෙන් වර්ණ ගැන්වූ ඇගේ කෙස් කළඹටත් ලා රෝස පැහැ වත්සුණු තවරා වඩාත් අලංකාර කර තිබූ මුහුණටත් මනාව ගැලපුණි. ඒ ගැලපීම ලිඩියාට පමණක් උරුම දෙයක් නොව ඒ කාර්‍යාලයේ සියලුම කොල්ලන්ද කෙල්ලන්ද ඇතුලු ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම අදාල බව නදී දුටුවේ ලිඩියා පසුපස කාර්‍යාලයේ අභ්‍යන්තරයට ගිය පසුවය. එතනටත් ඒ මිනිසුන් අතරටත් ආ නොගැලපෙන එකම දෙය තමාත්, තමන්ගේ අම්මාගේ පරණ සාරියත් බව වැටහෙද්දී නදී හිතෙන් ලැජ්ජ වුණාය. එහෙත් දැන් ආපහු හැරී යන්නට නොහැක. හැරී ගොස් ආපසු හැඳගෙන එන්නට මේවා හැරෙන්න තමාට වෙන දෙයක් නැත.මේ රස්සාව නැති කරගන්නට ද නොහැක. ඉතින් එවෙලේ කරන්නට තිබූ එකම දෙය නදී කරාය.අපහසුවක් ගෙන එන්නේ මිනිසුන්ගේ දෙනෙත් බැල්ම ඔස්සේ මතුවන “මේ කවුද මේ?” කියා කියවෙන කතාව හන්දා නදී ඒ දෙනෙත් මගහරින්නට මෙන් බිම බලාගෙනම උන්නාය. එවිට පෙනෙන්නේ තමන්ගේ පරණ, යාන්තම් අඩිය උස සපත්තුවත්, ඒ පරණ කමට කෝචෝක් කරන්නට මෙන් ටක් ටක් ගා ටයිල් පොළොවේ වැදෙන ලිඩියාගේ අඩි උස සපත්තුවත් ය.
ඒ ටක් ටක් සද්දෙ පිටිපස්සේ ලිඩියා හඹා ගිය නදී නැවතුනේ ලිඩියා නැවතී තමා වෙත හැරෙද්දීය. ඇයට පිටුපසින් වූයේ වීදුරුවලින් වටකල විසල් කාමරයකි. ඒ කාමරයට ඇතුලුවන්නට තිබු දොරේ සවි කර තිබූ නේම් ටැග් එක නදී දුටුවාය.
මියුරු රදන්පොල – ඇක්ටින් සී ඊ ඕ
ඕර්ගනික් ෆුඩ්ස් ඇන්ඩ් ප්‍රඩක්ට්ස්
තමන් අද සිට මේ කාර්‍යාලයේ සේවය කල යුත්තේ මේ වීදුරු කාර්‍යාලය ඇතුලේ බව නදී තේරුම් ගත්තේත් ඒ නේම් ටැග් එක දැක්කාමය. තමන්ව ඉන්ටවිව් කල ජජ් බොඩ් එකේ තමන්ගේ ප්‍රධානියේ නොඋන්නේ ඔහු ඒ වෙද්දී විදේශයක කුමක් හෝ ආයතනය සම්බන්ධ ගණුදෙනුවකට ගොස් හිඳීම නිසා බව නදී දැන උන්නාය. ඒ නිසාවෙන්ම ඇයව ඉන්ටවිව් කරන්නට ආවේ ආයතනයේ මානව සම්පත් කළමනාකරණ අංශයේ අය පමණකි. තමාට සේවය කරන්නට නියමිත ප්‍රධානියාව හමුවන්නේ අදය.ඔහුගේ අසුන තිබුනේ එක එල්ලේ දොරට සමාන්තරව නිසාවෙන් ජායාවක් මිසක ඔහුගේ පැහැදිලි රුවක් එලියේ ඉන්න අයෙකුට බලාගන්නට හැකියාවක් නැතිබව නදී ඒ සුලු මොහොතේදීත් විමර්ශණය කලාය.
“දිස් ඊස් යුවර් බොසස් කියුබිකල්. ප්ලීස් ගෝ අහෙඩ්” කියා ලිඩියා එතනින් නික්මුනේ මේ අමුතුම විදියට ඇඳගෙන ඇවිත් ඉන්න ගොඩේ කෙල්ලට ඕන දෙයක් කරගන්න කියාය.
කොහොමත් බොස් අද ඉන්නේ උදෙන්ම තරහ අරගෙන හන්දා ඔය ගොඩේ කෙල්ලව ඉන්ට්‍රඩියුස් කර දෙන්නට යාම තමන්ට බැණුම් කෝටියක් ඇඟේ වක්කරගන්නට හේතුවක් වනු නොඅනුමානය.
“කවුද අනේ ඒ?” තමන්ව පසුකරගෙන යන්නට ගිය ලිඩියාව නතරකරගෙන නම නොදන්නා, සාරියක් ඇඳගත් ඒ කෙල්ල ගැන අහන්න කටයුතු කලේ සනුකි ය.
“දෙබොස් ගෙ අලුත් සෙක්‍රටරි”” කියා ලිඩියා සිනාසුනේ ඔච්චමටය. සනුකි වදන් වලින් නොකීවත් මූණේ ඇඳගත් බැල්මේ වූයේ “ඉව්ව්ව්ව්” කියන අන්දමේ හැඟීමකි. අප්‍රසන්න බැල්මකි.
“එයා නම් ඉන්න එකක් නෑ නේද ගොඩක් කල්?””
“ගොඩක් කල් කෙසේ වෙතත් දෙබොස් අදම යන්න කියාවිද දන්නෙ නෑ” කියා සිනාසෙමින් ලිඩියා එතනින් නික්ම යද්දී ඒ කිසිත් නොඇසුන නදී හීන් සීරුවේ දොර හැරගෙන වීදුරු කාමරයට ඇතුලු වුණාය.
ඇයත් සමගම සමන්පිච්ච මල් සුවඳඳ හීන් සීරුවේ කාමරයට ඇතුලු වී කාමරය පුරවාගෙන උන් සීතල සුලඟ හා එක්ව හැම තැනකම පැතිරුණි.
මියුරු දෙනෙත ඔසවා බැලුවේ මෙතෙක් දවසක් පුරාවට නොදැනුන නමුත්, හදවතට සුපුරුදු යැයි කියා හිතුණ ඒ සමන්පිච්ච මල් සුවඳ නිසාමය.