මියුරු පෙම් වසන්තේ – 6

“මහ ලැජ්ජ නැති කෙල්ලෙක්”

නදී ගැන හිතන්න මියුරුට වෙන අදහසක් තිබ්බේම නැති තරම් ය.උදේ පාන්දරම ඇස් දෙකෙන් දුටුව දසුන බොරුවක් යැයි හිතන්න හැකියාවක් මියුරුට නැත.

“ලැජ්ජාව තියෙන කෙල්ලෙක් නම් පාරවල් ගානෙ කොල්ලො එක්ක කතා කර කර ඉන්නෙ නෑනෙ. ලැජ්ජ නැතිකම නිසා තමයිනෙ එහෙම කරන්නෙ””

නදී එදා කලින්දාටත් වඩා පරක්කු නිසාවෙන් මියුරු උන්නේ කොහොමත් තරහ අරගෙනය. තරහ ගන්නට උවමනා නම් තරහා ගන්නට තියෙන එකම සාධාරණ හේතුව නදී පමා වීම පමණක් වුණත් මියුරුට තරහ ගොස් තිබුනේ සම්පූර්ණයෙන්ම වෙනස් හේතුවකටය.

ඒ නදී උදේ පාන්දර ත්‍රීවිල් පදින කොල්ලෙකු එක්ක පාර අයිනේ කතා කර කර උන්නු එකය.

ඇස්වලින් කඳුලු වැක්කෙරෙද්දී නදී පාරට දිව්වේ අත් බෑගයත් කිහිල්ල අස්සේ තද කරගෙනය. කෙල්ලෙකුට තනියම පොලිසි ගාණේ රිංගන්න බැරි එක ඇත්තක් වුනත් මේ වෙලාවේ තාත්තා වෙනුවෙන් ඒ ඇරෙන්න වෙන කරන්න දෙයක් නදීට නැත.

ඇය අල්විස් වත්තේ පටුමගේ හිඳ මහ පාරට පැන්නේත්, වේගයෙන් ආ රියක් බරාස් ගා බ්‍රේක් කරේත් එකම විටය.

“නදියා කොහෙද බං මේ ගිනිපුක් වගේ උදේ යන්නෙ?” මිදි වල්ලක් පැත්තකින් එල්ලූ රතු පාට ත්‍රීවිල් එකෙන් බෙල්ල එලියට දමා ඇහුවේ වස්තුය. වස්තු නදීව අඳුරන්නේත් කාවින්දි නදීව අඳුරන කාලයේ ඉඳලමය. නදීලා තරම් ඉහලට ඉගෙන ගත්තේ නැති වස්තු සාමාන්‍ය පෙල පංති වලින් එලියට විසිවුණ දවසේ සිට කලේ ත්‍රීවිල් එකක් ගන්න සල්ලි එකතු කල එකය.

“ත්‍රීවිල් කාරයො කියන්නේ රස්තියාදුකාර මිනිස්සු” කියා කොතෙක් අය කීවද වස්තු කවදාවත් නදී කෙරේවත් නදීගේ යහලුවන් හෝ වෙන කිසිම ගැහැණු ළමයෙකු කෙරේ නොසණ්ඩාලකම් කරේ නැත. ඒ හන්දාම කාවින්දි සහ නදීගේ මිතුරු හවුලට ඉඳ හිටක හෝ පැමිණ හිස පොවන්න වස්තුට බැරිකමක් තිබුනේ නැත. වස්තු කෙල්ලන් දෙදෙනාව ආශ්‍රය කරනවාට ගෙවල් දෙකේ වැඩිහිටියන්ගේ අකමැත්තක් තිබුණේත් නැත. පොඩ්ඩක් හෝ අවුල් ගියා නම් ගියේ මිලින්දය. ඒද නදී දකින විට පමණක් හිතට කාවදින “සත්‍ය ප්‍රේමය” නිසාවෙන්‍ ය.

කඳුලු ඉස්සර වුණේ හිතවත් දෙනෙතක් නෙත ගැටුණ නිසාවෙන්‍ ය. නදී ගේ කම්මුල් දිගේ ගලායන කඳුලු දහරාව දුටු සැණින් වස්තු ත්‍රී වීල් එක පැත්තකට කර නතර කරේය. මොක උනත් මේ වත්තෙ කෙල්ලෙකි. වත්තෙ එවුන් හැමෝම තමන්ගේ එවුන් ය. එහෙම තමන්ගේ එකෙක්ට මෙහෙම පාරවල් ගානේ අඬන්න දෙන්න ඉතින් පුලුවන් කමක් නැත.

“අනේ වස්තු තාත්තව පොලිසියෙන් අල්ලගෙන ගිහිල්ල” නදී කියන්නේ එක් අතකින් ලේන්සුව මූණට තද කරගෙන කඳුලු පිහිදගනිමිනි.

“මල හුට්ටප්පරයයි, ඒ මොකෝ බං?”

“බීලා කාත් එක්කද රණ්ඩු වෙන්න ගිහිල්ල, අනේ ආච්චිත් එන්න බෑ කියනව වස්තු, මම කොහොමද කියන්නකො තනියෙන් යන්නේ?”

“නෑ නෑ, යන් යන්, මාත් එක්ක යන් කොහෙද මේ මරදානෙ පොලිසියනෙ? කෙල්ලෙක්ට පුලුවන්ද බං මේ පොලිසි ගානෙ රිංගන්න, අනික මේ උඹ වගේ එකියෙක් ඕව අස්සෙ රිංගල අන්තිමේ පොලිසිය ටික දවසකින් වත්ත අස්සෙ රිංගන් ඉඳී. මං නොදන්නවය ඔය පුතයලගෙ හැටි. නැගහන්කො” කියා වස්තු ආයෙම ත්‍රීවිල් එක ස්ටාර්ට් කරද්දී නදී අඬමින්ම ත්‍රිවිල් එකට නැග්ගාය.

මේ උදේ සැරසුනේ එක හිතකින් ඕන දෙයක් වෙච්ච දෙන් කියා වැඩට යන්නට වුණත් අන්තිමේ යන්න උනේ වෙන ගමනක් ය. දුක සහ බය තියෙන්නෙ පොලිසියට යනවට වඩා මෙහෙම දවස් දෙකක්ම රාජකාරියට පරක්කු වී යන්නට වෙච්ච එක ගැනය. කාර්‍යාලයේ අනික් අය නම් කුමක් සිතුවත් කම් නැති වුවත් අර නපුරු මිනිහාගෙන් කතා අහගන්න නම් නදීට කොහෙත්ම උවමනාවක් නැත. මේවයින් වෙන්නෙ අන්තිමේ රස්සාවත් නැති වෙන එක කියා නොසිතා ඉන්නට නදීට බැරිය. තමන්ගේ ජීවිතයේ ස්වරූපය වනාහී චට් පට් ගගා ඉංගිරිසියෙන් කියවන කොල්ලන් කෙල්ලන් ඉන්න කාර්‍යාලයකට ඉතාම දුර ලෝකයක් බව නදී නොදන්නවා නොවේ. ඒ ජීවිතය වචන වලින් කියා ඔවුන්ට පැහැදිලි කරන්නට හැකියාවක් නැත.

වස්තු ත්‍රීවිල් එක පවනට බඳු වේගයෙන් විස්සෙ කණුවේ හිඳ මරදාන පොලිසියට ගෙන යන අතරවාරයේම කතා කරේය.

“විල්සන් මාමාට දැන්වත් කියහංකො බං ගෙදෙට්ට වෙලා ඉන්න කියල, උස් මහත් වෙච්ච කෙල්ලෙක් ඉන්න තැනක අප්පෙක් හැසිරෙන විදියට නෙවෙයිනෙ ඩයල් එක හැසිරෙන්නෙ”

වස්තු කියන්නේ කොන්ද නවාගෙන ඩූම් චිත්‍රපටයේ ජෝන් එබ්‍රහම් මෝටර් සයිකල් එක පැද්ද ආකාරයට ත්‍රීවිල් එක පදවමිනි. මේ වගේ වේගෙන් වෙන වාහනේක ගියානම් තමන් මැරෙන්නේ හාට් ඇටෑක් එකක් හැදී බව දන්නවා උනත් වස්තුට ත්‍රීරිල් එක කප්පිත්තට නැව වගේ පුරුදු බව දන්නා හන්දා මෙන්ම මේ වෙලාවෙ ජීවත්වෙනවාට වඩා මැරෙන එක සැපක් කියා හිතුවිල්ලක් නදීගේ හිත අස්සේ තිබිච්ච හන්දාය.

“කියන දේ අහන මනුස්සයෙක්නම් මෙච්චර දවසක් ඉතින් මමයි ආච්චියි කියපු ඒව අහල හැදෙන්න එපාය. බොන එක ඇරෙන්න වෙන විනෝදයක් නෑ එයාට”

“උඹ බැඳපන්කො, අඬුගාණෙ මෙහෙම වෙලාවක යන්න හරි මොකෙක් හරි ඉන්නවනෙ උඹට, නැත්තම් මේ කෙල්ලෙක්ට පුලුවන්ද බං මෙහෙම ඔය මනුස්සය පොලිසි ගානෙ රිංගන විදියට ඒවට යන්න කරන්න, පිරිමියෙක්ගෙ හයියක් තියෙන්න එපාය”

“ඉතින් තාත්තත් පිරිමියෙක්නෙ බං, දැන් මොකද්ද එයැයිගෙන් අපිට ලැබිල තියෙන හයිය?”

“ඒකත් ඇත්ත” කියමින් වස්තු මරදාන පොලිසිය ළඟ ත්‍රීවිල් එක නතර කරේය.

සුදු පාට කමිසයට මියුරු අද පැලඳුවේ ලා නිල් පාට ටයි පටියකි. අලු පාට ඔෆිස් කලිසමට බෙල්ට් එක දාන්න කලියෙන් මියුරු ඇඳේ වාඩි වී සපත්තු පැළඳුවේය. මේ ඇඳුම් කැඩුම් මෙසේ හොඳින් සෝදා, කම්ෆර්ට් දමා සුවඳ කරවා, පිලිවෙලට අයන් කර හෝ නවා අල්මාරියට එන්නේ ගෙදර සේවයට හිඳින මෙහෙකාරියන්ගේ දෑතිනි.

උදයේම අවදි වන මියුරුගේ දිවියේ පලමුවන ක්‍රියාව වන්නේ හොඳින් හිස් බඩම වතුර පානය කර ව්‍යායාම වල නිරත වීමයි. ගෙදරම තිබෙන ව්‍යායාම කාමරය නිසාවෙන් ගෙදරදීම පහසුවෙන් ව්‍යායාම වල පැයක් හමාරක් නිරත වන මියුරු අනතුරුව දහදිය නිවෙන තුරු දුරකතනය ඔස්සේ රාජකාරියට අදාලාඊමේල් පණිවිඩ ආදිය බලමින් දිනයේ කාලසටහන සකසයි. කිරීමට තිබෙන වැඩ කටයුතු ආදිය අනු පිලිවෙලකට සකසයි. අනතුරුව හොඳින් නා කියා ගෙන සැරසී පහත මාලයට එන්නෙ උදෑසන ආහාරය සඳහාය.

අයියා අමයුරු කොහොමත් වෛද්‍යවරයෙකු හන්දා උදෑසනින්ම නිවසින් පිටත් වේ. අමයුරුගේ විවාහ මංගල්‍යය යෙදී ඇත්තේ ලබන මාසයේ හන්දා අමයුරු මේ දිනවල හිඳින්නේ ඉතාම කාර්‍යබහුලවය. පුතුන් දෙදෙනා සමගම උදෑසන ආහාරය ගනු පිණිස ධම්මිකා රදන්පොලත් උදයේම ඇහැරී ආගමික කටයුතු අවසන් කර කෑම මේසය වෙත එයි. විවාහ වෙන්නට ඔන්න මෙන්න උන්නද අමයුරුත්, කෙතරම් කරදඬු උස් මහත් වුවත් මියුරුත් යටත් කරගන්නට තවමත් ධම්මිකාගේ එකම එක බැල්මකට හොඳින් පුලුවන් ය. දෙන්නම ඉතින් මමාස් බෝයිස්ලා බව හැමෝම දන්නා දෙයකි.

ක්ලීටස් රදන්පොල එයට වඩා වෙනස් මිනිසෙකි. ධම්මිකා රදන්පොලට වඩා අවුරුදු දහයකින් පමණ වැඩිමහල් හෙතම තම පියාගෙන් දායාද කරගත්තා වූ ඕර්ගනික් ෆුඩ්ස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී කම දැරුවද කාර්‍යාලයට එන්නේ සතියට දවස් දෙකක් පමණකි. “දැන් මේ බිස්නස් ඔයාලා තමා මහන්සි වෙලා බලාගන්න ඕන” කියා මියුරු අතට කාර්‍යාලයේ පාලනය භාර දී ක්ලීටස් වඩා රුචිකත්වයක් දක්වන්නේ නිවසට වී පොත් කියවන්නටය. නැතිනම් තමන්ට පරම්පරාවෙන් දායාද වූ හතර ශ්‍රී ෆෝඩ් මස්ටෑන්ග් කාරයේ නැගී පරණ පොත් කඩවල රවුම් ගහන එකය.

නදී උන් විස්සෙ කණුවෙ අල්විස් වත්තත් මියුරු උන් කොළඹ හතේ බාන්ස් පෙදෙසේ මාළිගයත් අතර වූයේ එතරම්ම දුර ප්‍රමාණයකි. සැබෑ ජීවිතයේදිත්, රාජකාරි ජීවිතයේදිත් පෑහෙන්නට අමාරු අන්දමේ පරතරයකි.

මහ රැයේ බීගෙන චන්ඩිකම් පෙන්නන්නට ගියාට විල්සන් උදේ වෙද්දී උන්නේ තෙමිච්ච කුකුලෙක් මෙන් කරබාගෙනය. රැයේ පොලිස් නිළධාරින් ඉස්සරහත් “උඹල දන්නෙ නෑ යකෝ මේ අල්විස් වත්තෙ විල්සන් කියන්නෙ කවුද කියල, පුකට පයින් ඇනල මං තොපිලව එලියට ඇදල දාන්නෙ බල්ලො වගේ” කියා සද්ද දාන්න ගියායින් පසු පුකට පයින් දෙකක් ඇනගෙන බල්ලෙකු මෙන් කූඩුවක් ඇතුලට තල්ලු වෙන්නට වූ නිසාවෙන් විල්සන් කොහොමත් උන්නේ ලැජ්ජාවෙන් මූණ වහගෙනය.

නදී වෙනුවට විල්සන්ගේ පුතු ලෙස ඔහුව ඒ කූඩුවෙන් එළියට ගන්නට වස්තුට පොලිස් නිළධාරීන් දෙදෙනෙකු ලඟ වැඳ වැටෙන්නටත්, අනතුරුව පැත්තකට පොඩ්ඩක් එක්කගෙන ගිහින් වෙනම කතා කරන්නත් වුණේය. වස්තු ඒ කරේ නදී ගැන දුක හන්දාම මිසක් විල්සන් නම් දිගටම කූඩුවේ උන්නට ඔහුට ගාණක් නැති නිසාවෙන්‍ ය.

“මොනවද විල්සන් මාමේ මේ ලැජ්ජ නැති වැඩ?” කියා විල්සන්ට හොඳටම බැණ වදිමින් වස්තු විල්සන්ව අල්විස් වත්තෙන් ඇරලවා විගහට නදීව නුගේගොඩට දාන්න ගියේ ඇයට කොහොමත් දැන් පරක්කු වෙලා නිසාය.

එදා මියුරු ඔහුට ආ පාර්සලයක් අරගන්නට කාර්‍යාලයෙන් එලියේ මදක් රැඳී උන්නේය. මියුරු වස්තුවත් නදීවත් දැක්කේ ඔන්න ඔහොමය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles