ඒකපාර්ශ්වික – 29

” ඔයාව ලැබෙන කෙනා හරි වාසනාවන්තයි ” යැයි අහස් කියූ ආකාරය මේඝාට නිවසට ආ පසුත් සිහි විය. තමාට ඒ තරම් වටිනාකමක් කෙදිනකවත් කිසිවෙකුත් දී තිබුනේ නැත.  මතක ඇති කාලයේ පටන්ම අම්මා කීවේද ” උඹ මහ කාලකන්නි කෙල්ලෙක් ” කියා පමණි.

” උඹ එදා Podium එකේදී අර නිම්නාදයට කියපුවයේ හැටියට මම හිතුවේ උඹ මෙලහටත් මේඝාට මොනහරි කියලා ඇති කියලා ” 

විශ්මිත කීවේ අහස් කාය වර්ධන මධ්‍යස්ථානයට පැමිණි පසුය. 

” මං මොනවද බන් කියන්නේ මේඝාට ? ” 

අහස් එකවරම ඇසුවේය. විශ්මිත ඔහු දෙස බැලුවේ පුදුමයෙනි.

” ඇයි යකෝ . උඹ මේඝාට කැමැත්තෙන් නෙමෙයි ද ඉන්නේ එතකොට ? ” 

” මං දන්නේ නෑ බන් ” 

අහස් නැගිට්ටේය. ඔහු ඉන්නෙ නොසන්සුන් වී බව විශ්මිත හොඳින්ම දැක්කේය.

” මේ අහපංකෝ . උඹ ඉන්නේ එදා නිම්නාද කියපු කඩප්පුලි කතාවට අවුල් වෙලාද ? ” 

අහස් එවර විශ්මිත දෙස බැලුවේ රවමිනි.

” පිස්සුද බන් ? උඹ හිතන්නේ මම ඒ ජාතියේ පටු මිනිහෙක් කියලද ? ” 

” හරි දැන් මොකද්ද ප්‍රශ්නේ ? ” 

” මට තේරෙන්නෙ නෑ බන්. මේඝා කියන්නේ නිම්නාද මොකෙක් උනත් ඌට පැලෙන්න ආදරේ කරන කෙල්ලෙක්. උඹ හිතනවද ඒකි ලේසියෙන් හිත හදා ගනී කියලා ? ” 

මේඝා යනු දහසක් කෙල්ලන් අතර සොයා ගැනීමට අපහසු වර්ගයේ කෙල්ලකි. ඇය ආදරය කරන්නේ හදවතින්මය. ඒ ආදරයට ඇය අවංකය. ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නට ඇය පැකිලෙන්නේ නැති බව අහස්ට බොහෝ වාරයක් දැනී තිබුනි.ඉතින් කෙනෙකුට හිමි විය යුත්තේ එහෙව් සහකාරියක් නොවේද ? ජීවිත කාලයම සැනසිල්ලේ සිටිය හැක්කේ එවැනි සහකාරියක් හිමි වූවොත් පමණක් නේද ? 

පසු දින උදෑසන කාර්යාලයට යාමට සූදානම් වන විටත් මේඝා උන්නේ සිතිවිල්ලේය. තමා සමග දොඩමළු වන්නට කිසිවෙකුත් නැති නිවසේ ගත කරන සෑම මොහොතකම මේඝාට හිතේ හැටියට කල්පනා කිරීමට කිසිවකින්වත් බාධාවක් නොවීය.උදෑසන දහයට රැස්වීමක් තිබෙන නිසා නමය වනවිට කාර්යාලයට යාමට එදින මේඝාට අවසර තිබුනි. ඒ නිසා වෙනදාට වඩා සැනසිල්ලේ සූදානම් වීමට මේඝාට ඕනෑ තරම් කාලය තිබුනි. එවැනි මොහොතක මේඝාගේ කල්පනා ලෝකය බිඳ වැටුණේ උදෑසන අට වීමටත් මත්තෙන් නිවසේ සීනුව නාද වන හඬිනි.

මේ තරම් උදෑසනින් තමා හමුවීමට පැමිණියේ කවුරුන්දැයි සිතමින් මේඝා දොර ඇරියාය. නිල් පැහැ කෙටි සායකට සුදු පැහැ සැහැල්ලු බ්ලවුසයක් හැඳ කොණ්ඩය කොටට කපා සිටියේ ” තේජා ලියනපතිරණ ” හෙවත් ලොකු අක්කාය. අවසන් වරට දකින විට සිටියාට වඩා අක්කා බොහෝ පැහැපත්ව , වෙනස්ව උන්නාය. 

” මොකද තමුසෙගේ කට ඇරිලා  ? ගෙට එන්නවත් කියන්නැද්ද මෙච්චර අමාරුවෙන් හොයාගෙන ආවම ? ” 

ලොකු අක්කා දමා ගැසුවේ සුපුරුදු අකාරුණික වචන වලිනි. 

” නෑ.. මට එකපාරටම අක්කව අඳුරගන්න බැරි උනා. එන්න ” 

ලොකු අක්කා නිවස තුළට පැමිණියේ දෑස් කරකවමිනි. මේඝා තනිව ජීවත් වනවා යැයි කීවාට කෙදිනකවත් ඇය මේ තරම් පිළිවෙලට ජීවත් වනවා යැයි තේජා ඇතුලු පවුලේ කිසිවෙකු වත් බලාපොරොත්තු වූයේ නැත. 

” තමුසේ මාව බ්ලොක් කරලා නේද තියෙන්නේ ? ” 

ලොකු අක්කා ඇහුවේ සමච්චලයෙනි. එක් දිනක් කාර්යාලයට කතා කර ඇය ඔය කතාවම කීවද ඇත්තටම තමා එසේ කළ බවක් මේඝාගේ මතකයේ නැත. ඒ බව දුරකථනයේ පරීක්ෂා කිරීමටද අමතක වූ මේඝාට සිහිවූයේ ඒ මොහොතේය. 

” මං හැම මාසෙම අම්මට සල්ලි දානවා ” 

මේඝා එසේ කීවේ කතාව වෙනස් කිරීමටය. ඒ නැතත් පවුලේ අය තමාව අමතන්නේ හෝ සොයා එන්නේ මුදල් මත පමණක් නිසා ඒ පිළිතුරෙන් අක්කා සෑහීමකට පත් වේ යැයි මේඝා සිතුවාය.

” මම සැලොන් එකක් දාන්න ඉන්නේ. මට ඒකට සල්ලි ටිකක් හොයලා ඕනෙ ” 

ලොකු අක්කා කෙසේ හෝ තමා සොයාගෙන එන්නට ඇත්තේ එවැනි කාරණාවක් නිසා බව මේඝා දැන උන්නාය. පවුලේ ස්ථිර රැකියාවක් කරන එකම කෙනා තමා වුවත් මේ තරම් අසාධාරණ ලෙස මොවුන් තමාගෙන් මුදල් ඉල්ලා සිටින්නේ කෙසේදැයි මේඝාට සිතා ගත නොහැකි විය.

” මං ඉතින් ඇක්ට් කරන්න ආස උනාට කොහෙද තමුසේ වත් මට සපෝට් එකක් දුන්නෑනේ. දැන් ඉතින් මේකවත් කරලා ගොඩ යන්න මං බලන්නේ. මනුස්සකමක් තියෙනවා නම් අඩු ගානේ මේකටවත් උදව්වක් කරනවකෝ ” 

මනුස්සකම නැත්තේ කාටදැයි අක්කාගෙන් අසන්නට උවමනා වුවත් මේඝා කට වසාගෙන උන්නාය. 

” මම බලන්නම් ” 

කියන්නට දෙයක් නොමැතිම තැන මේඝා කියා දැම්මාය. 

” හැමදාම කියන්නේ ඕකනේ. ඒත් තමුසෙ කවදාවත් බැලුවේ නෑනේ. ඒකනේ අම්මත් කියන්නේ තමුසෙ ගාව කිසිම සහෝදර කමක් නෑ කියලා. තැන් කීයකට කෝල් කරලා බලලද තමුසෙගෙ ගෙදර හොයාගෙන ආවේ මම. අඩුම ගානේ එහෙම ආවම වත් උදව්වක් කරයිද බලන්න. බලන් ගියාම අම්මා කියන කතාවත් ඇත්ත ” 

ලොකු අක්කා මේ කියන්නෙ තමාට තේරෙන වයසක සිටම දවස ගානේ කියූ කතාවය. මේවාට දැන් හිත රිදෙන්නේ නැති වුවත් එදවස පටන් හදවතට දැනුනු කම්පාව තවමත් අවසන් ව නොමැත. 

” මට පහුගිය දවස් වල කරදර ටිකක් වුණා. ඒ නිසා මේ ටිකේ මං ගාව සල්ලි වැඩිය නැහැ අක්කේ “

” කරදර නං ඉතින් කාටත් තියෙනවා. අනික තනි මනුස්සයෙක් වෙච්ච ඔයාට මොන වියදම්ද ? ” 

ලොකු අක්කා යන්නට ගියේ කිසිසේත්ම සාධාරණ නොවන එවැනි කතා තවත් කිහිපයක්ම කියා දමා මුදල් ගන්නට නැවත එන බව කියමිනි. මේඝා දොර වසා දමා කාමරයට පැමිණ ඇඳ මත හිඳ ගත්තේ අන්ත අසරණ වූ හැඟීමක් මුලු හිතම වෙලා ගෙන යද්දීය. 

මේඝාට උවමනා වූයේ හඬන්නටය. එහෙත් එයට පවා ශක්තියක් නැති සේ මේඝාට දැනේ. සැනසීම සොයන සෑම මොහොතකම එය තමාගෙන් දුරට යන්නේ කෙසේදැයි මේඝා කල්පනා කළාය. 

දුරකථනය නාද විය.අනෙක් පස උන්නේ අහස් ය.

” මේඝා ? ඔයා ඔෆිස් යනවද ? ” 

මේඝා වචනයක් හෝ කතා කරන්නට මත්තෙන් අහස් ඇසුවේය .

” යන්න ඕනේ අහස් ” 

මේඝා පිළිතුරු දුන්නේ උගුරෙනි. හඬ පිට වූවා දැයි වත් මේඝාට නොදැනුනි.

” මං දන්නෙ නෑ මට ඔයාට කතා කරන්නම හිතුනා. ඊටත් වඩා.. ” 

අහස් යමක් කියන්නට ගොස් නතර කලේය. 

” ඔයා හොඳින් ද ? ” 

අහස් ආයෙමත් අසන්නේ අමුතුවටය.එහෙත් තමාගේ ප්‍රශ්න කියා ඔහුවද අවුල් කරන්නට උවමනා නැත. අනෙක් අතට ඔහුට තමාගේ කරදර වලින් වැඩක් ඇත්තේද නැත.

” මං හොඳින් ” 

අවසන මේඝා කීවාය.

” ඔයා කවදා ඉඳන්ද මට බොරු කියන්න පටන් ගත්තෙ මේඝා ?” 

අහස් සැර විය. එහෙත් එය මොකක්දෝ ආදරණීය බවක් මුසු වූවකි.

” මං මොකක්ද කියපු බොරුව ? ” 

” ඔයා හොඳින් නෙවෙයි. ඔයා ඔය හොඳින් කියන විදියෙන්ම මට තේරෙනවා ඔයා ඉන්නේ හොඳින් නෙමෙයි කියලා ” 

” එහෙම දෙයක් නෑ ” 

” එහෙනම් කවුද ඔයාව හම්බවෙන්න ආවෙ ? ” 

” ඒ කිව්වේ ? ” 

” මං අහන්නේ , ඔයාව හම්බවෙන්න ඔයාගේ ගෙදරට ආවේ කවුද කියලා ? ඔයා ඔය අවුලෙන් ඉන්නේ ඒ නිසානේ ? ” 

මේඝා පුදුම විය. අහස් අක්කාව හඳුනනවා වත්ද ? 

” අක්කා ආවා. ලොකු අක්කා ” 

මේඝා එපමණක් කියා නතර විය. තවත් විස්තර කිවහොත් හැඬෙන්නට පුළුවන.

” ඉතින් ?” 

” ඉතින් මුකුත් නෑ ” 

” මුකුත් නැති වෙන්න බෑ. වෙච්ච දේ මට කියනවද  ? නැත්නම් මං ඔයාගේ ගෙදර දොර ඇරගෙන එන්නද ? ආ ? ” 

අහස්ගේ හඬෙහි ඇත්තේ හිතුවක්කාර බවකි.

” ඔයා.. ඔයා කොහෙද ඉන්නේ අහස් ?” 

මේඝා එකවරම ඇසුවේ පුදුමයෙනි.

ReplyForwardAdd reaction

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles