රසම රස කෙබ්සා ගෙදරදීම හදමු

ඔබේ ගෙදර දහවල් එහෙමත් නැත්නම් රාත්‍රී කෑමකට එන අමුත්තන්ට සංග්‍රහ කරන්න තාමත් ඔබ හදන්නෙ ඔබට පුරුදු එළවළු බත් නැත්නම් කහ බත් ද?

ඔන්න එහෙනම් අපි අද කියල දෙන්න සූදානම් වෙන්නෙ ඔබට වගේම ඔබේ අමුත්තන්ටත් අමතක නොවෙන වෙනස්ම රසයක අත්දැකීමක් ලබාදෙන්න පුළුවන් කෑමක් හදා ගන්නෙ කොහොමද කියලයි. 

Smart lady අපි අද ඔබත් එක්ක බෙදාගන්න මේ සූදානම් වෙන්නෙ අරාබි සම්ප්‍රදාය අනුව පිළියෙල කරන බිරියානි, අපිට පුරුදු නමින් හැඳින්වුවොත් කබ්සා හදන්නෙ කොහොමද කියලයි. 

පුරුදු විදිහටම එහෙනම් මුලින්ම අපිට අවශ්‍ය කළමණා සූදානම් කරගෙන ඉමු. 

අවශ්‍ය ද්‍රව්‍ය 

පොල් තෙල් මේස හැඳි 03 ක් 

බටර් මේස හැඳි 03 ක් 

කරදමුංගු 05 ක් 

කරාබුනැටි 05 ක් 

කුරුඳුපොතු කැබලි 02 ක් 

ගම්මිරිස් ඇට 05 ක් 07 ක් පමණ

ලියාගත් ලොකු ළූණු කෝප්ප 01 ක් 

අඹරාගත් ඉඟුරු තේ හැඳි 01 ක් 

කොත්තමල්ලි කුඩු තේ හැඳි 01 ක් 

ගරම් මසාලා තේ හැඳි ½ ක් 

සූදුරු තේ හැඳි ½ ක් 

මිරිස් කුඩු තේ හැඳි ½ ක් 

ලුණු කුඩු තේ හැඳි 01 ½ ක් 

තක්කාලි ගෙඩි 04 ක් 

ටොමැටෝ පේස්ට් (tomato paste) මේස හැඳි 01 ක් 

වතුර කෝප්ප 03 ½ ක් 

බාස්මති සහල් කෝප්ප 02 ක් 

ග්‍රේට් කරගත් කැරට් කෝප්ප ½ ක් 

සාමාන්‍ය ප්‍රමාණයේ කුකුල් මස් කෑලි 06 ක් 

බැදගත් කජු 10 ක් 12 ක් 

මුද්දරප්පලම් 08 ක් 10 ක් 

සාදාගන්නා ආකාරය 

මුලින්ම බාස්මතී සහල් භාජනයකට දමා සහල් වැසෙන තෙක් වතුර දමා බාස්මතී සහල් පෙගෙන්නට තබාගන්න. 

ඊළඟට තක්කාලි ගෙඩි වල පොත්තේ පිහියකින් ඉරි ඇඳගන්න. 

වතුර භාජනයක් ලිප තබා වතුර නටන විට ඉරි ඇඳගත් තක්කාලි ගෙඩි එයට දමා විනාඩි 03 ක් 05 ක් පමණ තම්බාගන්න. 

වතුරෙන් ඉවතට ගත් තක්කාලි ගෙඩි නිමෙන්නට තබා පොත්ත ගලවා ඉවත් කරගන්න. 

දැන් මේ තක්කාලි ගෙඩි ටිකත් පසෙකින් තබාගන්න. 

දැන් වෙනත් තරමක් ප්‍රමාණයෙන් විශාල භාජනයක් ලිප තබා එයට තෙල් එකතු කරගෙන තෙල් රත්වූ විට බටර් එකතු කරගන්න. 

බටර් දියවී ගෙන එන විට කරදමුංගු, කරාබුනැටි, කුරුඳුපොතු, ගම්මිරිස් ඇට සහ සිහින්ව ලියාගත් ළූණු එකතු කර හොඳින් කළවම් කරගන්න. 

ලූණු රන්වන් පාට වනතුරු මඳගින්නේ බැඳගන්න. 

ඊළඟට, එයට අඹරාගත් ඉඟුරු, කොත්තමල්ලි කුඩු, සූදුරු, ගරම් මසාලා, මිරිස් කුඩු එකතු කර හොඳින් කලවම් කරගන්න. 

මේ ලූණු මිශ්‍රණයට වතුර මේස හැඳි 03 ක් 04 ක් එකතු කර නැවත හොඳින් කලවම් කරගෙන විනාඩි 02 ක් පමණ පිසගන්න. 

ඊළඟට, මේ මිශ්‍රණයට ටොමැටෝ පේස්ට්, ලුණු කුඩු සහ තම්බා පොතු ඉවත් කරගෙන පසෙකින් තබාගත් තක්කාලි එයට එකතු කර තක්කාලි ගෙඩි පොඩිවෙන සේ හොඳින් පොඩි කරගෙන කලවම් කරගන්න. 

නැවත විනාඩි 05 ක් පිසගන්න. 

මේ භාජනයට කුකුල් මස් කැබලි එකතු කර තක්කාලි මිශ්‍රණය හොඳින් කුකුල් මස් වල තැවරෙන සේ දෙපැත්ත පෙරලමින් විනාඩි 05 ක් පමණ බැඳගන්න. 

ඉන්පසු එයට වතුර කෝප්ප 02 ½ ක් එකතු කර කලවම් කරගෙන භාජනයේ පියන වසා අඩු ගින්දරේ විනාඩි 20 ක් පිසගන්න. 

විනාඩි 20 කට පසුව පියන විවෘත කර කුකුල් මස් කැබලි ඉවතට ගන්න. 

දැන් භාජනයේ ඉතිරි තක්කාලි මිශ්‍රණයට බාස්මතී සහල්, ග්‍රේට් කරගත් කැරට් සහ වතුර කෝප්ප 01 ක් එකතු කර හොඳින් කලවම් කරගෙන භාජනයේ පියන වසා බත් පිසගන්න. 

බත ඉදෙන තුරු ඉවතට ගත් මස් කැබලි ගැඹුරු තෙලේ බැඳගන්න. 

(air fryer එකේ හෝ අවන් එකේ පුළුස්සා ගන්නත් පුළුවන්)

බත ඉඳුනු පසු බැඳගත් කජු හෝ මුද්දප්පලම් වලින් සරසා බැඳගත් මස් කැබලිද සමඟ කබ්සා බත පිළිඟන්වන්න ඔබට දැන් පුළුවන්. 

එහෙනම්, මේ විදිහට කබ්සා හදල ඔබේ අමුත්තන්ට අළුත් රස අත්දැකීමක් ලබාදෙමු නේද?

සටහන – දුලානි නවෝද්‍යා 

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles