මියුරු පෙම් වසන්තේ – 13

මියුරු ඇන්දේද තනි කලු ඇඳුමකි. කලු කලිසමට ගැලපෙන පොඩි ශොට් එකක් තියෙන කලු කමිසය ගත්තේ ඩිලී ඇන්ඩ් කාලෝස් වෙතිනි. එයටම ගැලපෙන්නට කලු බෙල්ට් එකත් කලු සපත්තු දෙකත් මියුරුගේ කිරි පාට හම තව තවත් කැපී පෙනෙන ලස්සනකින් හැඩ ගැන්වීය.

වමත ලස්සන කරන්නට බැඳගත් රිදී පාට ඔරලෝසුව අතේ දිස්නෙ දෙද්දී, මියුරු ක්ලයිස් ක්‍රිස්ටියන් ‍රොක් රෝස් මැස්කියුලින් සුවඳ විලවුන් බිඳක් ඇඟ ගල්වා ගත්තේය. අද බොහෝ දෙනා විත් අතට අත දෙන බවත් තමාව බදා ගෙන සුබ පතන බවත් දන්නා හන්දා සුවඳට, ප්‍රියමනාපව ඉන්න එක වැදගත් ය.

සූදානම් වන අතරවාරයේත් මියුරුට නදීව මතක් නොවුණා යැයි කියන්නට නොහැක. නදීට අඳින්නට හරිහමං ඇඳුමක්වත් තියෙනවද කියා නොහිත ඉන්න මියුරුට පුලුවන් උනේ නැත. නදීට මාසෙකට වතාවක් හොඳ ඇඳුමක් පැලඳුමක් ගන්නට හැකි අන්දමේ පඩියක් ලැබෙන බව දැන උන්නද ඇය ඒ සල්ලි තමන්ගේ සුඛ විහරණය උදෙසා වියදම් කරන බවක් මියුරු දැක්කේ නැත.

ගෙවුණ කාලයටම ඇයට ලැබුණ පඩියෙන් ඇය අලුත් ඇඳුමක් ගත්ත බවක් මියුරු දැක්කේ නැත. ඇය ඇඳගෙන ආවේ මුල් මාසයේදීත් ඇය ඇඳගෙන ආ ඇඳුම්ම බව මියුරුට මතකය.

“එයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් එයාගෙන් සල්ලි ඉල්ලගන්නව ඇති. ත්‍රීවිල් ඩ්‍රයිවර්ස්ලට සල්ලි නෑනෙ එහෙම ලොකුවට. ලැබෙන එකත් එයාලා ඩේලි තෙල් ගහන ඒවට එහෙම වියදම් කරනවනෙ. බොනවද දන්නෙත් නෑ. පව් වැඩේ” මියුරු ඇඳ පැළඳගන්නා අතරම තමන්ටම එසේ කියාගත්තේය.

“පුතා ආ යූ රෙඩි?” කියාගෙන ධම්මිකා රදන්පොල මියුරුගේ කාමරයට ආවේ තට්ටු කරන්නේවත් නැතුවය.

“දරුවන්ගෙ කාමරවලට එහෙම තට්ටු කරන්නෙ නැතුව යන්න එපා ධම්මිකා” කියා ක්ලීටස් කීප වරක්ම කියා තිබ්බත් ධම්මිකාට එයට එරෙහිව කියන්නට දෙයක් තිබේ.

“ඔය ඕනවට වඩා මැනර්ස් පුරුදු කරාම වෙන්නෙ දරුවො අපෙන් දේවල් හංගන්න හදන එක. අනික ඕනම පේරන්ට් කෙනෙකුට පුලුවන් වෙන්න ඕන තමන්ගෙ දරුවන්ගෙ රූම් එකට යන්න. තට්ටු කර කර යන්න මොකෝ එයාලා ඕක ඇතුලෙ බෝම්බ හදනවද?”

“ධම්මිකා උන් කොල්ලො. මොන්ටිසෝරි යන පොඩි උන් නෙවි කරදඬු උස් මහත් වෙච්ච උන්. එහෙම උන්ට කාමර අස්සෙ ඉඳන් කරන්න තියෙන්නෙ මොනවද කියන එක මම අමුතුවෙන් කියන්න ඕන නෑනෙ”

“අන්න ඒ හන්දා තමා අපි කියන්නෙ නැතුව එහෙම යන්න ඕන. කොල්ලො තමයි ක්ලීටස් කෙල්ලන්ටත් වඩා පරිස්සම් කරන්න අමාරු. අපිට ඉන්නෙ දෙන්නයිනෙ. ඒ දෙන්නව පරිස්සම් කරගන්න ඕන අපි” ධම්මිකා එසේ කියා හැමදාමත් ක්ලීටස්ව පැරැද්දුවාය. ක්ලීටස් ද අවසානයේ කට පියා ගත්‍තේ ධම්මිකාට කියනවාට වඩා කට ගලක අතුල්ලා ගැනීම හොඳ බව දන්න හන්දාය.

“ඉයස් අම්මා, වන් මෝමන්ට්” කියා ධම්මිකාට කාමරයට එන්නට ඉඩ දී මියුරු අවසන් වතාවට කාමරයේ විසල් කණ්ණාඩියෙන් තමන්ගේ රූපය දෙස බලා හිත සතුටු කරගත්තේය.

“ලස්සනයි ලස්සනයි, දැන් ඔෆිස් එකේ ඉන්න කෙල්ලො එහෙම පිස්සු වැටෙයි නේද ඔයාව දැකල” ධම්මිකා ඉඳහිටක මෙහෙම විහිලුවක් කරේ අමයුරුත් මියුරුත් තමන්ට ආසන්නම වපසරියක තියාගන්න හිතාගෙනය. කොල්ලන්ව මෙච්චල් කරන්න අම්මා කෙනෙකු ලෙස දරදඬු වී බැරි බව දන්න හන්දාම ධම්මිකා නිරතුරුවම කොල්ලන් දෙදෙනාට සමීපව ඉන්න උත්සහ කලාය. දරදඬු අම්මා කෙනෙකුට වඩා කොල්ලන්ව තේරුම් ගන්නා අම්මා කෙනෙකු ලෙස සමීපව හිඳීම කොල්ලන් දෙදෙනාව තමන්ට උවමනා අන්දමින් හසුරුවන්න උදව්වක් වන බව ධම්මිකා දනී.

“කෙල්ලො කොච්චර පිස්සු වැටුණත් අම්මා දන්නවනෙ ඉතින් කොල්ලා ගැන” කියා මියුරු කියන්නේ සුන්දර සාරියකින් සැරසී වටිනා ආභරණ පැළඳ වත්සුණු තවරා සිනාමුසුව ඉන්නා අම්මා ගේ කර වටේ අත දමමින්ම පහත මාලයට බහින පඩිපෙල බසිමිනි. ක්ලීටස් ඒ වෙද්දිත් සූදානම් වී පහත මාලයේ සෙටියේ වාඩිවීගෙන අම්මාත් පුතාත් එනතුරු බලා උන්නේය.

මියුරුගේ කලු පැහැ පැජරෝ රියේ ඉස්සරහට නැග්ගේ ක්ලීටස් ය. ධම්මිකා පසුපස අසුනේ බොහෝ සැපපහසුව වාඩි වුණි.

නදී හෝටලේට ගියේ වස්තුගේ ත්‍රීවිල් එකේය. නදීව දැක ඇස් දෙක උඩ ගියේ මිලින්දගේ පමණක් නොවේ. හැබැයි මිලින්දට වඩා වස්තු නම් ඇයගේ ලස්සන දැක්කේ හොඳ ආකාරයකටය.

“අම්මටසිරි පාටියක්ද රූප රැජිණ තරගයක්ද?” වස්තු අහන්නේ කට පුරා හිනා වීගෙන නදී ත්‍රීවිල් එකට නගින ආකාරය බලමිනි.

“අනේ මේ රූප රැජිණ තරගවලට යනවද මෙහෙම?” නදීත් ඉතින් කොමල කරන්න දන්නෙම නැති එක්කෙනාය. හැබැයි ඉතින් එහෙම හරි කොමල කරන්න පුලුවන් වස්තු එක්ක විතරක් බව නදී දනී. මොන දේ උනත් වස්තු වනාහී විශ්වාස කරන්නට ඇහැක් විශ්වාසවන්ත එකෙකි.

“හැබැයි බං උඹ එහෙම එහෙකට ගියොත් ආයෙ දිනුම නතිං ඈ” වස්තු සිනාසෙමින් පිටුපස අසුනේ වාඩි වී හිඳින නදී දෙස බලා කියයි.

“හරි හරි ඒවට යන්න තව කල් තියෙනව. උඹ ඉස්සරහ බලං
පලයංකො. නැත්තං මාරයා ලඟට යන්න වෙන්නෙ ඔක්කොටම
කලින්”

හෝටලය එලියේ හිඳ සරසා තිබුනේ ඕර්ගනික් ෆුඩ්ස් ආයතනයේ කොඩි එහෙම එල්ලාය. වාහන අංගනය පිරෙන්නටම ඉහල පන්නයේ උදවියට අයත් යාන වාහන තිබුණි. වස්තු ත්‍රීවිල් එක හෝටලය ඇතුලට දමාවිද කියා බයක් හිතේ තිබුනේ නැතැයි කියන්නට නොහැක. මෙවන් තැනක මෙවන් උත්සවයකට ත්‍රීවිල් එකකින් ගිහින් බහින එක කට්ටියටම හිනාවෙන්න හේතු කාරණා සපයන්නක් විය හැක.

“ටුක් එක ඇතුලට දාන්නෙ නෑ බං. මෙහෙම තැනකට ඔහොම ලකේට ඇඳන් රෝද තුනෙන් ගිහින් බහින එක චාටර්නෙ පොඩ්ඩක්. මං අයිනෙන් නවත්තන්න උඹ ශේප් එකේ හෝටලේ ඇතුලට පලයං” කියා වස්තු ටුක් එක අයිනෙන් නවත්තද්දී හිතට දැනිච්ච සහනය වචනෙන් කියන්න බැරි එකක් බව ඇත්තකි. ඒත් නදීට ඊට වඩා දුක හිතුනේ තමන් මෙතනට නොගැලපෙන බව හිතා වස්තු එහෙම කිව්ව එක ගැනය.

“අඳින ඇඳුම්, එන වාහන වලින් මිනිස්සුන්ගෙ මනුස්සකම් මනින්න බෑනෙ බං” කියා කොච්චර කිව්වත් මනුස්සකම් වලට ඕවත් අදාල බව නදී දනී. සමහරු හිනාවෙන්නෙත් කතාකරන්නෙත් තියෙන යාන වාහන, අතපත ගාන සල්ලි ගාණ එහෙම දැක්කයින් පසුවය. අඩි හයක් යටට ගිය දවසට පෙට්ටියට කරගහන්න එකෙක්වත් නැත.

“දැන් උඹ රෑට එන්නෙ කොහොමද?” වස්තු අහන්නේ ඇත්තටම හිතවත්කමට බව නදී දනී. රෑට යන්නට වාහනයක් හොයාගන්න ඕන එක ඇත්තය. එහෙමයි කියා තනිපංගලමේ මහ රෑට නොදන්නා වාහනයකින් යන්නත් බයය. කියන්න ඕන කුමක්ද කියා නොදන්න හන්දා නදී කටවහගෙන ඉද්දී වස්තු ආයෙම කතාව ඇරඹුවේය.

“උඹ රිං එකක් දාහන් ඉවර වෙන්න ලංවෙලා. මං එන්නම්. මං මේ හරියෙම කැරකි කැරකි ඉන්නං බං. හයර් එකක් ආවොත් සෙට් කරගන්නත් පුලුවන්නෙ. මං එනකම් උඹ එලියට එන්න එපා” කියා වස්තු පිටවී ගිය පසු නදී හීන් සැරේ හෝටලේ ඇතුලට ඇවිද ආවාය. මෙච්චර වෙලා හිත අස්සේ තිබුනේ නැති බයක්, තිගැස්මක්, ලැජ්ජාවක්, කෝල බවක් හිත වෙලා ගන්නා බවක් තේරුණද නදී හෙමින් පියවර තබා ඉස්සරහට ඇවිද ගියාය. අතරින් පතර උන් නදී හඳුනන මුහුණු නදීගේ හිසේ සිට පාදාන්තය දක්වාම බලා අහක බලා ගන්නා අයුරුත්, සමච්චලයට හිනාවෙන අයුරුත්, එකිනෙකා සමග කුටුකුටු ගාණ අයුරුත් දුටුවද නදී ඒ නොදැක්කා සේ උන්නාය.

“මං ඔතනට දීපිකා පදුකෝන් වගේ ඇඳගෙන ගියත් ඕකුන් බලන්නෙ අරියාදුවටමයි” කියා නදී එන්න ලෑස්ති වෙන අතරවාරයේ කාවින්දි එක්ක කිව්වේත් ඒකමය.

මියුරු හෝටලයට ඇතුලු වුනේ නදීව හෝටලයෙන් බස්සවා වස්තු ත්‍රීවිල් එක හරවගෙන ආපහු යද්දීය. හෝටලයට ඇතුලුවන්නට එවෙලේ වාහන පෝලිමක්ම වූ නිසාවෙන් වස්තුට යන්නට දෙන්නට මියුරුට තමන්ගේ පැජරෝ රිය පොඩ්ඩක් පස්සට ගත්තේය. එහෙත් හිත තිබුණේ කැළඹීය.

“නදී එහෙනම් ඇවිත් තියෙන්නෙ එයාගෙ ත්‍රීවිල් බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක”

එහෙම නොහිතා ඉන්න පුලුවන්කමක් මියුරුට තිබුනේ නැත. නදී ගැන හිතේ ලියවී තියෙන ඒකපාර්ශ්වීය ආදරය හිතෙන් මකාගන්නට කොච්චර අපහසුද කියා මියුරුට තේරුනේත් ඒ මොහොතේය.

නදීගේ පෙම්වතා ත්‍රිරෝද රියේ නලාව පිඹිමින් යද්දි මියුරු කල්පනාවේම හිඳ වාහනය හෝටලය ඇතුලට දැම්මේය.

මියුරු නදීවත් නදී මියුරුවත් එකිනෙකාව දෙනෙත් මත ඇඳගත්තේ එවෙලේය.

ඒ එකිනෙකට වෙනස් හැඟීම් සමුදායකින් වුවද එකමාකාරයක කැළඹීමකිනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles