මේඝාට වාඩිවී සිටි අසුනින් නැගිට්ට වුනේ වෛද්‍යවරයා විසින් ඇසූ පැනයටය.
” මෙතන මේඝා කියලා කෙනෙක් ඉන්නවද ? ”
වෛද්‍යවරයා එසේ අසද්දී මේඝාව හඳුනන සියලු දෙනා එක වරම මේඝා දෙස හැරී බැලූ අතර මේඝා සෙමෙන් සෙමෙන් වෛද්‍යවරයා වෙත කිට්ටු වූයේ ඇතුලාන්තයෙන්ම දැවෙන අතරේය.
” ඩොක්ටර් මම ”
වෛද්‍යවරයා මේඝා දෙස බැලුවේ උනන්දුවෙනි.
” ඔයා පේශන්ට් ගේ කවුද ? ”
” යාලුවෙක් ”
මේඝා කීවේ දෙවරක් නොසිතාය. අවට සිටියවුන් කිසිවක් නොකියා බලා සිටි අතර නිම්නාදගේ දෙමව්පියන් ද වෛද්‍යවරයා සහ මේඝා සිටි තැනට ආවේ අසුභ ආරංචියක් නොලැබේවා යැයි පතමිනි.
” ඩොක්ටර් අපේ දරුවට කොහොමද ? ”
නිම්නාදගේ පියා ඇසුවේ නිම්නාදගේ මව කඳුළු සලන අතරේය.
” පේශන්ට් ට සිහිය ආවා. එයා අහන්නේ මෙයාව ”
නිම්නාදගේ දෙමව්පියන් එතනින් එහාට කිසිවක්ම කීවේ නැත. මේඝා වෛද්‍යවරයා සමඟ දැඩිසත්කාර ඒකකය වෙත යද්දී සියල්ලෝම නිහඬව බලා සිටියහ.
විශේෂිත වූ ඇඳුමක් සහ මුඛ ආවරණයක් පැළඳ මේඝා දැඩිසත්කාර ඒකකය වෙත ඇතුළු වූයේ ගැහෙන දෙපා වලිනි. නිම්නාද ඇඳ මත වැතිරී ජීවිත ආරක්ෂක උපකරණ කිහිපයකට මැදි වී සිටි අතර ඔහුගේ එක් පාදයක් සම්පූර්ණයෙන්ම වෙළුම් පටිවලින් වෙලා තිබිණි. ඔහු සිටි ආකාරය දුටු සැනින් ඔහු මුහුණ දුන් අනතුරේ ස්වභාවය තේරුම් ගැනීමට මේඝා ට අපහසු වූයේ නැත.
නිම්නාද උන්නේ වහලය දෙස බලා ගෙනය. තමා දැන් සියල්ල අහිමි කරගත් පරාජිත ජීවියකු යන හැඟීම මිස වෙනත් කිසිවක් ඔහුගේ සිත තුළ නොවීය. මේඝා දැඩි සත්කාර ඒකකය වෙත ඇතුළු වූ බව ඔහු දුටුවේ ඇය ඇඳ අසලටමත් ආ පසුවය.
” මේ… ඝා .. ”
නිම්නාද වචන පිට කළේ අපහසුවෙනි. මේඝා ඇගේ ජීවිතය නැති කර ගන්නට උත්සාහ කර රෝහලේ අසරණව සිටින විට තමා ඇයව බැලීමට වත් නොගිය බව නිම්නාදට ඒ මොහොතේ සිහි විය. නමුත් මේඝා යනු එවැනි දේවල් සිතේ තබා ගෙන පළි ගන්නියක නොවන බව නිම්නාද මේඝාව දුටු පළමු මොහොතේම පිළිගත්තේය.
” ඔයාට කොහොමද නිම්නාද ? ”
මේඝා ඇහෙන නෑහෙන ගානට ඇසුවේ වෙන අසන්නට දෙයක් නොමැති නිසාය. නිම්නාදගේ දෑස් අගින් කඳුලක් පිටව යන ආකාරය දුටුවත් මේඝා එය නුදුටුවා සේ උන්නේ මේ කඳුලු ඔහු වෙනුවෙන්ද නැතිනම් තමා වෙනුවෙන්ද කියා නොදත් නිසාය.
” මට සමාවෙන්න මේඝා ”
අපහසුවෙන් පිටවන නිම්නාද ගේ වචන හැඬුම්බරය. ඔහු කවදාකවත් තමා ඉදිරියේ කිසිම හේතුවකට මෙසේ හැඬුම්බර වී නැත.
” මොනවටද ? ”
” මං ඔයාට කරපු හැමදේටම මට දඬුවම් ලැබුණා මේඝා ”
ඒ වචන වල තිබුණේ පසුතැවිල්ලකි. නමුත් මේ , ඒ කිසිවක් පිළිබඳව කතා කළ යුතු වේලාවක් නොවේ.
” ඔයා සනීප වෙන්න නිම්නාද . වෙන කිසිම දෙයක් ගැන හිතන්න එපා ”
මේඝා කාරුණික වූවාය. මේ කාරුණික බව තමා විසින් ඇයට ලබා දුන්නා නම් මේ වන විට ඇයත් තමාත් සතුටින් ය. නමුත් සියල්ල සිදු වූයේ , සියල්ල විනාශ වූයේ තමාගේ වරදින් ය. මේ සියලු කරදර තමා විසින්ම ඇති කර ගත් ඒවාය.
නිම්නාද හට තවත් කිසිවක් කියා ගත හැකි වූයේ නැත. ඔහු සිරවී උන්නේ ජීවිතයේ කිසිදාක විඳින්නට බලාපොරොත්තු නොවූ කම්පනයකය. එයින් මිදෙන ආකාරය පිළිබඳව අදහසක්වත් නිම්නාද සතු වූයේ නැත. විනාඩි කිහිපයකට පසුව මේඝා දැඩි සත්කාර ඒකකයෙන් පිටතට පැමිණියේ වේදනාවෙනි. නිම්නාදගේ දෙමව්පියන් ඒ අසල රැඳී බලා සිටියේ මේඝාව මුණ ගැහෙන්නටය.
” නිම්නාද ඔයාට කරපු දේ අපි දැන ගත්තේ හුඟක් පහු වෙලා. එයාට ඔයා වගේ කෙනෙක් ලබන්න පින නෑ පුතේ ”
නිම්නාදගේ මව කීවේ මේඝා ගේ දෑතින්ම අල්ලා ගෙනය. මේඝා පිළිතුරු දුන්නේ නැත. මද හිනාවක් පෑවා පමණි. දැන් මේ සමාව ගැනීම් ,පසුතැවිලි වීම් වලින් පලක් නැත. නිම්නාද විසින් සිදු කළ දේවල් නිසාවෙන් හදවත කෑලි දහස් ගණනකට බිඳී අවසානය.
” මේ ඇවිල්ල හිටපු අයත් කිව්වේ ඔයාගේ හොඳමයි. ඔයා වගේ දරුවෙක්ව අමාරුවේ දාපු එකට අපේ දරුවාට වුණත් සමාවක් ලැබෙන්නේ නෑ. සමහර විට මේක වෙන්නැති දෙවියෝ එයාට දුන්නු දඬුවම ”
නිම්නාදගේ පියා තවත් කරුණු එකතු කළේ උපේක්ෂා සහගතවය. මේඝා මේ සියල්ල දරා සිටියේ ඉවසීමෙනි. ඒ ඉවසීම කොහෙන් ආවා දැයි ඇය පවා දැන උන්නේ නැත.
මේඝා නිවසට පැමිණියේ රාත්‍රී හතට ආසන්න වන විටය. ඇය පැමිණෙන විට ධනුකත් නිකිණිත් නිවස අසල රැඳී සිටියහ. මේඝා ත්‍රීරෝද රියෙන් බැස ආවේද ඉතාම සාමාන්‍ය ලෙසය.
” උඹ ෆෝන් එක ආන්සර් කරන්නෙ නැති නිසා අපි මෙතනට වෙලා හිටියේ කීයට හරි ගෙදර එයිනේ කියලා ”
ධනුක කීවේ මේඝා නිවසේ දොර විවෘත කරන අතරේය.
” මම හොස්පිටල් ගියා ”
ධනුකත් නිකිනිත් මුහුණට මුහුණ බලා ගත්තේ මේඝා එය කියූ ස්වරය නිසාය. එය හැඟීම් විරහිත කලකිරීම මුසු වූ එකක් නිසා ය. මේ මේඝා තුළින් කිසිදාක දක්නට නොලැබූ දෙයකි.
” තනියම ? ”
මේඝා වාඩි වන විටම නිකිනිද ඇය අසලට පැමිණ ඇසුවේ නැවත ධනුක දෙස බලමිනි. ඔහු උන්නේද වික්ෂිප්ත වී ය.
” office එකේ අය ගියා. මට නොයා ඉන්න බැරි නිසා මම ගියා ”
මේඝා කියන්නේ ඇය ගියේ ඉතාම සාමාන්‍ය ගමනක් ලෙසින් ය. ඇය හැඬූ බවටද සලකුණක්වත් නැත.
” මේඝා මට උඹව තේරෙන්නෙ නෑ බං දැන් නම් ”
ධනුක කෑම මේසයේ පුටුවක් ඇද වාඩි වූයේ ය.
” ඇයි තේරෙන්නේ නෑ කියන්නේ ? දැන් මං අඬන්නද ඕනේ ? නැත්තං ඉස්සර වගේ බිම වැටිලා කෑගහලා නිම්නාද ගැන කියලා මැරෙන්න හදන්නද ඕනේ ? ”
” ඇත්තමයි උඹ ඇඬුවත් ප්‍රශ්නයක්. නැතත් ප්‍රශ්නයක් ”
එවර මේඝාගේ මුවට නැගුනේ මද හිනාවකි. ධනුකටත් නිකිනිටත් සුළු හෝ සැනසුමක් දැනුනේ එවිටය.
” ඔයා නිම්නාදව බලන්න යන්න එපා මේඝා ආපහු . එයාගේ දේවල් එයාට විසඳ ගන්න අරින්න. ඔයාගේ ජීවිතේ බිංදුවටම වට්ටලා ඔයාව අන්ත අසරණ කරලා දාපු මිනිහෙක් එයා ”
නිකිනි ඔය කියන්නේ තමා කෙරෙහි ඇති ආදරය නිසා බව මේඝා දනී. නමුත් මේ මොහොතේ තමාට අකාරුණික විය නොහැක. තමාට අවැසිම මොහොතවල් වල පවා කරුණාව සහ ආදරය නොලැබුණ බව සත්‍යයක් නමුත් තමාට අන් අයට එසේ කළ නොහැකි බව මේඝා සිතුවාය.
” නිම්නාදට දැන් තේරෙනව ඇති එයා පයින් ගැහුවෙ මැණික් ගලකට කියලා . එයාට ඒක තේරුම් ගන්න ඉඩ ඇරලා ඔයා ඔයාගේ ජීවිතේ ඉස්සරහට යන්න ”
” මං එහෙම කළොත් එයාගේයි මගේයි වෙනස මොකද්ද නිකී ? එයා මට එහෙම කළා කියලා මමත් එයාට එහෙම කරන්න ඕනෙද ? ”
මේඝා එසේ අසද්දී ධනුක කෝපයට පත් වී පුටුව පසෙකට තල්ලු කරමින් පුටුවෙන් නැගිට්ටේය. මේඝා පමණක් නොව නිකිනිද තිගැස්සී ධනුක දෙස බැලූහ.
” දැන් එතකොට තමුසේ ඔය හදන්නේ ඒ බූරුවට සමාව දෙන්නද ? ”