පුංචි පැටවු එක්ක දුර ගමනක් යනවා කියන්නේ කිසිසේත්ම ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි. එහෙත් එහෙම කියලා ගෙදරට වෙලා ඉන්න බැහැනේ .එදිනෙදා ජිවිතයේ ඒකාකාරී බවෙන් මිදෙන්න පොඩ්ඩක් සුපුරුදු පරිසරයෙන් බැහැරට යන්න අපි ආසයි. ඉතින් පුංචි පැටික්කන් එක්ක එවන් ගමනකට සැරසෙන ඔබට මේ කරුණු කාරණා පිලිබඳ සැළකිලිමත් වීම හරිම වැදගත්. ඔබේ දරුවාගේ වයස අනුව මේ කරුණු වෙනස් විය හැක.
ඔබ ගමනා ගමනය කරණු ලබන්නේ පොදු ප්‍රවාහන සේවයක නම් අවශ්‍යම බඩු බාහිරාදිය පමණක් රැගෙන යන්න. පහත දක්වා ඇති කරුනු පිළිබද අවධානය යොමු කිරීම මගින් ඔබට රැගෙන යා යුතු අවශ්‍යම දෑ තෝරා ගැනීමට හැකි වේවී..
ඔබ ගමන් කරන්නේ පොදු ප්‍රවාහන සේවයක නිසා බෑග් කිහිපයක් ඔසවා ගෙන දරුවන් සමග ගමන් කිරීම අපහසු බැවින් දරුවාගේ ආහාර, වතුර, බෙහෙත් හා කුඩා සෙල්ලම් බඩුවක් වැනි දේ ඔබ ලගින්ම තබා ගත හැකි කුඩා බෑගයක රැගෙන යාමටත් අනෙක් බඩු බාහිරාදිය සියල්ල එකවර අසුරාගෙන යා හැකි බෑගයකත් රැගෙන යන්න අමතක නොකරන්න.
ඔබ ගමන් කරන්නේ කාර් රථයක නම් ඔබේ දරුවා car seat තුල නිවැරදිව අසුන්ගන්වා ආරක්ෂිතව රැගෙන යන්න.
එමෙන්ම දරුවන් සමග ඔබේ ගමන සැලසුම් කිරීමේදී පහත කරුණු පිළිබදව සැලකිලිමත් වීම ඔබට පහසුවක් වේවී
- කාලය: ගමනට ගතවෙන කාලය කොපමණද කියලා කලින්ම තීරණය කරන්න ඕනෑමයි. ඒ වගේම ගමන පිටත් වෙන වෙලාව වගේම ආපසු නිවසට පැමිණෙන වෙලාව.
- ප්‍රදේශය: ප්‍රදේශය මත ගෙන යායුතු ඇදුම් පැළදුම්, කෑම බීම තීරණය වන නිසා එයත් කලින්ම තීරණය කරගත් යුතු වනවා.
- නවතින්නේ කොහේද? සමහරවිට ඔබේ නැවතුම හිතවත් හෝ නෑදෑ හෝ ගෙදරක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හෝටලයක් වෙන්නත් පුළුවන්. ඒ නිසා එයත් කලින්ම තීරණය කර ගැනීම පහසුයි. ඒ වගේම හෝටලයක් නම් එහි පවතින පහසුකම් පිළිබද සැළකිලිමත් වෙන්නත් සිදු වෙනවා.
- ගමන සැලැසුම් කරන්න: යන තැන, නවතින තැන තීරණය කිරීමෙන් පසුව ඔබ කලයුතු වන්නේ ගමන මනාව සැලසුම් කර ගැනීමයි. මේ සදහා වෙනම පොඩි කොපි පොතක් තියා ගැනීම පහසුයි. කොළ කැබලි වල ලිව්වොත් ඒවා අස්ථානගත වෙන්න තියෙන ඉඩ වැඩියි. ඒ නිසා ගෙන යා යුතු ඇදුම් ආහාර කළමනා සියල්ලම පිලිබදව සටහනක් තබා ගන්න.
- බබාගේ කෑම: බබාගේ කෑම, බීම පිළියෙළ කරන උපකරණ, සහ ආහාර වර්ග සියල්ලම ගෙන යන්න. ඒ ගැන අවදානමක් ගන්න එපා. ඒ සියල්ලම වෙනම ප්ලාස්ටික් පෙට්ටියක අසුරා ගන්න. ඒවා පිරිසුදු කිරීමට අවශ්‍ය උපකරණ ද එහිම ගබඩා කරන්න.
- ඇදුම් පැළදුම්: ඔබ ගමන සැලසුම් කරන්නේ දින දෙකකට නම් බබාගේ ඇදුම් දින තුනක් පමණ කාලයකට සුදානම් කරගන්න. එම ඇදුම් පැළදුම්ද වෙනම අසුරා ගන්න.
- බෙහෙත් සහ ප්‍රථමාධාර: අමතක නොකරම මේ අසුරණය කලින්ම සුදානම් කරගන්න. හදිසි වමනයකට ,උණ තත්වයකට වගේම තුවලයකදී දමන්නත් අවශ්‍ය බෙහෙත් කළමනා සුදානම් කරගන්න. බබාගේ වෛද්‍ය වාර්තා ද එයට ඇතුළත් කරන්න.
- සෙල්ලම් බඩු: ගමන ඔබට විනෝදමත් වුනත් දරුවා සමහර විට නිතර සංචාර නුපුරුදු නම් කිසියම් අපහසුවකට ලක් වන්නට පුළුවන්. ඉතින් එයා ආසාම කරන සෙල්ලම් බඩු කිහිපයක් අමතක නොකරම ගෙනයන්න.
- ඔබ නවාතැන් ගන්නේ හෝටලයක නම්: හෝටලයේ දින වෙන් කර ගන්නා අවස්ථාවේදීම අවශ්‍ය තොරතුරු ලබා ගන්න..
උදා : සමහර හොටල් කාමර වල දරුවාගේ ආහාර සකසා ගන්නා rice cooker, hot plate භාවිතයට අවසර දෙන අතර සමහර හෝටල් වල ඒ සදහා අවසර නැත.
- ඔබ සීත ප්‍රදේශයක නිවාඩුවට යන්නේ නම් හොටල් කාමර තුල හීටර් ක්‍රියාත්මක වන්නේද සොයා බලන්න.
ඉතින් මේ සියල්ලම සැලකිල්ලට ගනිමින් අවශ්‍ය ද්‍රව්‍ය එකින් එක නිවැරදිව අසුරා ගත්තාද කියා ඔබේ සටහන් යෙදු පොතද බලමින් පරීකෂා කරන්න. සියල්ලම පිළිවෙලකට අසුරන්න. දරුවාගේ කළමණා සහිත බෑග් පහසුවෙන් හදුනා ගැනීමට ඒවාට හැකිනම් ලේබලයක් හෝ හදුනා ගැනීමට හැකි කිසිවක් යොදන්න. එමෙන්ම බෑග් කිහිපයක් රැගෙන යාමේදී එහි අසුරා ඇති දේ කොලයක ලියා උඩින් ඇලවීම මගින් බෑග් සියල්ල විවෘත කරමින් බඩු සෙවීමට ගතවන අනවශ්‍ය කාලය මෙන්ම වෙහෙසද අවම කර ගත හැක.
දැන් ඉතින් සියල්ලම හරි. අමතක වුණේ මොනවද කියා සිතමින් මග දිගට දුක් වෙන්න, ලතවෙන්න දෙයක් නැහැ. ඉතාමත්ම සතුටින් ඔබේ නිවාඩුව ගත කරන්නට ඔබ දැන් සුදානම්.
– ඉරේෂා –