අධික තෙහෙට්ටුව පාලනය කරගමු

ඔබ ඔබේ සාමාන්‍ය ජීවන රටාවේ නිරත වූවත්  ඔබට වැඩි වෙහෙසකර බවක් දැනෙනවද ? ඔබට තවත් ශක්තිය උවමනා බව දැනෙනවද ? විවිධ තත්ත්වයන් නිසා මේ අධික වෙහෙසකර බව ඔබට නිතරම දැනෙන්නට පුළුවන්. එය වළක්වා ගෙන ඔබෙන් ගිලිහී ගිය ශක්තිය නැවත ලබා ගන්නේ කොහොමද ? ඒ ගැන අපි මේ ලිපියෙන් කතා කරමු. 

සෞඛ්‍ය ගැටලු මගහැර ගන්න 

අධික තෙහෙට්ටුව යනු දියවැඩියාව , හෘද රෝග , ආතරයිටිස් , රක්ත හීනතාවය , නින්දෙන් හුස්ම හිර වීම සහ තයිරොයිඩ් වැනි තත්ත්වයන් වල මූලික රෝග ලක්ෂණයක්. ඒ නිසා ඔබට අසාමාන්‍ය ලෙස බෙහෙට්ටුව නිතරම දැනෙනවා නම් මුලින්ම වෛද්‍යවරයෙකු මුණ ගැසී ඔබේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරවා ගත යුතුයි .

ව්‍යායාම කරන්න 

ඔබ සාමාන්‍යයෙන් ව්‍යායාම හෝ යම් ක්‍රීඩාවක නියැලීම නොකරන කෙනෙක් නම් ඔබ ඉතා ඉක්මනින් වෙහෙසට පත්වනවා. බොහෝ අධ්‍යන වලින් පෙන්වාදී ඇති ආකාරයට ශාරීරික ක්‍රියාකාරකම් මගින් ශරීරයේ ශක්ති මට්ටම ඉහළ නංවනවා. ඒ වගේම ව්‍යායාම මගින් ඔබේ හදවත , පෙනහලු , සහ මාංශ පේශී වල කාර්යක්ෂමතාවය වැඩි දියුණු කරන නිසා ඔබ ඉක්මනින් වෙහෙසට පත්වීම බොහෝ දුරට අවම කරනවා.

සජලනය වන්න 

ශරීරය විජලනය වීම ශරීරයේ ශක්ති මට්ටම අඩු කිරීම සඳහා විශාල වශයෙන් හේතු වනවා.  මේ නිසා දෛනිකව ඔබේ ශරීරයට අවශ්‍ය ජලය ප්‍රමාණය අනිවාර්යයෙන්ම ලබා ගත යුතු වන අතර නිතරම සජලීයව සිටීම පිළිබඳව ඔබ අවධානය යොමු කළ යුතුයි. ශරීරයට අවශ්‍ය ජලය ප්‍රමාණය ලබා නොගැනීම මගින් ඔබේ ශක්ති මට්ටම පහත බහිනවා ශරීරයේ අභ්‍යන්තර ක්‍රියාවලිද මන්දගාමී වනවා.

සුව නින්දක් ලබා ගන්න 

ප්‍රමාණවත් තරම් නින්දක් ලබා නොගැනීම ඔබේ සාමාන්‍ය ජීවිතයට බලපාන ආකාරයේ දැඩි තෙහෙට්ටුවක් ඇති වීමට ප්‍රධාන වශයෙන් හේතු වෙනවා. සම්පූර්ණ රාත්‍රියේ නින්දක් ලබා ගැනීම වේලාසනින් නින්දට යාම කළ යුතු වන අතර එම නින්දට බාධා නොවීම සඳහා ඔබ සරල රාත්‍රී ආහාරයක් ලබා ගැනීම හවස් කාලයේදී කැෆේන් සහිත පාන වර්ග පරිභෝජනය කිරීම මම කිරීම සිදුකළ යුතු වෙනවා. ඒ වගේම දිවා කාලයේදී විනාඩි තිහකට වඩා නිදා ගැනීම නිසාත් ඔබේ රාත්‍රී නින්දට බාධා ඇති වන්නට පුළුවන්. ඔබ දිවා කාලයේදී විවේක ගැනීම සඳහා හෝ නින්දට යන කෙනෙක් නම් ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්න.

ආතතිය පාලනය කර කර ගන්න

අධික කාර්ය බහුල බව , නිසි නින්දක් ලබා නොගැනීම , ආර්ථික ගැටලු ඇතුළු සාමාන්‍ය ජීවිතයේ විවිධ තත්ත්වයන් නිසා ආතතිය ඇතිවීම සිදු වෙනවා. මෙම ආතතිය නිසා ඔබට අධික ලෙස තෙහෙට්ටුව දැනීම සහ කුඩා ක්‍රියාකාරකමකින් පසුව පවා ඉක්මනින් වෙහෙසට පත් වීම සිදු වෙනවා. අධික ලෙස තෙහෙට්ටුව දැනීම ඔබට නිරන්තරයෙන් සිදුවන දෙයක් නම් ඔබ ඔබේ ආතතිය පාලනය කර ගැනීමට සැලකිලිමත් විය යුතුයි. වෛද්‍යවරයෙකු හෝ මනෝ චිකිත්සකවරයෙකු මුණගැසීම වගේම ඔබට විශ්වාසී සහෝදරයෙකු , මිතුරෙකු හෝ වෙනත් හිතවතෙකු සමග කතා කිරීමකින් වුවත් මේ ආතතිය පාලනය කර ගැනීමට පුළුවන්.

විවේක ගන්න 

ඉක්මනින් තෙහෙට්ටුව දැනීම සඳහා තවත් එක් ප්‍රධාන හේතුවක් ලෙස අධික කාර්යබහුල බව හඳුන්වන්නට පුළුවන්. මහන්සි වී වැඩ කිරීම හොඳ දෙයක් වුවත් ඔබේ ශරීරයට එය දරා ගත හැකි මට්ටමක් තිබෙනවා. එය ඉක්මවා වැඩ කිරීමේ දී ඔබ අධික ලෙස තෙහෙට්ටුවට පත්වීම සිදුවන අතර මෙය දිගින් දිගටම සිදු වීම මගින් ඔබ විවිධ රෝග තත්ත්වයන්ට පවා ගොදුරු වීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඔබ නිසි පරිදි විවේකයක් ලබා ගැනීම අතිශයින්ම වැදගත්. ඊට අමතරව ඔබේ ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කර ගෙන එයට අනුව ඔබේ වැඩ කටයුතු සැලසුම් කර ගෙන විවේක ගැනීම සඳහාත් අනිවාර්ය කාලයක් වෙන් කර ගන්න. 

දුම් පානයෙන් වළකින්න 

දුම් කොළවල ඇති නිකොටින් නැමති උත්තේජකය නිසා හෘද ස්පන්දනය වේගවත් කිරීම , රුධිර පීඩනය වැඩි කිරීම සහ අවදි වීම සම්බන්ධ මොළයේ තරංග ක්‍රියාකාරීත්වය උත්තේජනය කිරීම සිදු කරනවා. එමගින් නින්දට යාම අසීරු කරවන අතර ඔබට ගුණාත්මක නින්දක් ලබා ගන්නට ඇති හැකියාව අවම කරනවා. මෙමගින් ඔබ ඉක්මනින් තෙහෙට්ටුවට පත් වීම සිදු වනවා.

ඉතා ඉක්මනින් තෙහෙට්ටුවට පත්වීම මගින් ඔබේ දෛනික ජීවිතයේ බොහෝ කටයුතු අඩාල වීමට ඇති හැකියාව වැඩි වෙනවා. මේ ලිපියෙන් අපි ඔබට කරුණු ගෙන ආවේ ඉතා ඉක්මනින් තෙහෙට්ටුවට පත් වීම අවම කර ගෙන ඔබෙන් ගිලිහී ගිය ශක්තිය නැවත ලබා ගැනීමට ඔබට කළ හැකි දේවල් කිහිපයක් පිළිබඳවයි. 

Related Articles

Don't Miss


Latest Articles