නිම්නාද තම මිතුරාගේ වාහනයේ රියදුරු අසුනට එහා වූ අසුනට බරවී වේගයෙන් පහු වන ගොඩනැගිලි දෙස ඔහේ බලා උන්නේය. තමා Rainbow Eye වෙත උදෑසනම ගියේ දහසක් බලාපොරොත්තු ඇතිව ය. ඒ තමාගේ අතින් සිදු වූ වැරැද්ද නිවැරදි කර ගෙන අලුතින් ජීවිතය පටන් ගැනීමේ බලාපොරොත්තුව සඵල කර ගැනීමටය. එහෙත් එය කොතරම් විහිළු සහගත දෙයක් දැයි නිම්නාදට මේ මොහොතේ දැනෙමින් තිබුණි.
” අපිට බැරිද ඉස්සර වගේ ඉන්න ? ”
තමා මේඝා ගෙන් එසේ ඇසූ මොහොතේ ඇගේ මුහුණ විරූපී වී ගිය ආකාරය නිම්නාදට සිහි විය.
” ඔයා මගෙන් ඕනම වෙලාවක උදව්වක් ඉල්ලන්න නිම්නාද. හැබැයි ආයෙමත් මේ වගේ දේවල් මගෙන් අහන්න එන්න එපා. මං ඔයාට ගොඩක් ආදරේ කළා. හැබැයි ඒ ඉස්සර. ඒක ආයි ඇති වෙන්නෙ නෑ. ඇති කර ගන්න මං උත්සාහ කරන්නෙත් නැහැ . ඔයා ඔයාගේ ජීවිතේ අලුතින් පටන් ගන්න. හැබැයි ඒ කොතනක වත් මං නෑ කියලත් මතක තියාගන්න ”
එසේ කියූ මේඝා හුන් තැනින් නැගිට තම අසුන කරා ගිය අයුරු සිතමින් නිම්නාද අසුනට බර වී දෑස් පියා ගත්තේ ය. කෙටි කාලයක් ඇතුළත තම ජීවිතය තුළ සිදුවූ විපර්යාසය තවමත් විශ්වාස කළ නොහැක . විදෙස් රටකට ගොස් වර්ෂා සමග සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට දුටු සිහිනය තව දුරටත් සිහිනයක් ම බව පමණක් නිම්නාද පිළිගත්තේය. එහෙත් මේඝා මේ ආකාරයට තමාව ප්‍රතික්ෂේප කිරීම නිම්නාදට පිළිගැනීමට නොහැකි වූයේය.
” මං දන්නවා උඹ කල්පනා කරන්නේ මොනවද කියලා ”
වාහනය පදවමින් හුන් නිම්නාදගේ මිතුරා අයේශ් කීවේය. නිම්නාදට විශාල මිතුරු සමාගමක් සිටියත් මේ වනවිට එයින් ඉතිරිව සිටින්නේ කිහිප දෙනෙක් පමණි. තමා අසරණව සිටින මොහොතේ උදව් කිරීමට ඉදිරිපත් වූයේද ඒ අතරින් දෙතුන් දෙනෙකු ය. අයේශ් යනු පාසල් කාලයේ මිතුරෙකු වූ අතර කාලයකට පසුව ඔහුව මුණගැසුණේද වර්ෂා සමග සමාජ ශාලාවකට ගිය අවස්ථාවේදීය
” ඔක්කොමත් හරි බං , මේඝා වෙනස් වෙලා තියෙන විදිහයි මට හිතාගන්න බැරි ”
නිම්නාද කීවේ පසුතැවිල්ලෙනි. මේ පසුතැවිල්ලෙන් මිදීමට තමා හට ජීවිත කාලයම ප්‍රමාණවත් නොවනු ඇත.
” ඕකට ඉතින් අර අහස් කියන මොඩ්ල් කොහේ හරි කොනක ගෑවිලා ඇති. නැත්තං උඹ කියපු විදියට මේඝා වගේ කෙල්ලෙක් ඔච්චර ඉක්මනට ඔය තරම්ම ස්ට්‍රෝන්ග් වෙන්න විදිහක් නැහැ ”
මේඝා ගේ නම සමඟ අහස්ගේ නම කියවෙන විට පවා හදවත කොනක රිදුමක් හට ගන්නා බව නිම්නාදට දැනේ. තමා හට මේ සා විශාල වේදනාවක් දැනෙනවා නම් තමන් වර්ෂා සමඟ කල් ගෙවූ ආකාරය දෑසින් දැක දැකත් මේඝා එය කෙසේ දරා ගන්නට ඇති දැයි නිම්නාද කල්පනා කළේය. සමහර විට ඒ වේදනාව විසින්ම මේඝා ව මේ තරම් ශක්තිමත් කරන්නට ඇතැයි නිම්නාද අවසන සිතුවේය.
” දැන් උඹ ඊලඟට මොකක්ද කරන්නේ? ”
අයේශ් ඇසුවේ වර්ෂාට අයත් නිවාස සංකීර්ණයේ තිබූ නිම්නාද ගේ බඩු බාහිරාදිය රැගෙන එන අතරේය. වර්ෂා ගිය දින සිට නිවස නැවත භාර දීම සඳහා දින හතරක් නිවෙස් හිමියා ලබා දී තිබුණද නිම්නාද හදිසි අනතුරට පත්වීම නිසා එම කාලය තරමක් දීර්ඝ කිරීමට තරම් ඔහු කාරුණික වී තිබුණි.
” මේ දවස් දෙක උඹලගේ ගෙදර ඉඳලා අනිද්දට ආපහු ඩොක්ටර්ට කකුල පෙන්නලා එහෙමම ගමේ යනවා ”
නිම්නාද එම වාක්‍යය කියා අවසන් කළේ සුසුමක් සමඟිනි. එම සුසුමෙහි බොහෝ දෑ ගැබ් වී තිබූ බව අයේෂ් ට නොදැනුනා නොවේ.
මේඝා නිසොල්මනේ බලා උන්නේ මුහුදෙහි රළ නැගී ඇවිත් වෙරළ සිප ගන්නා දෙසය. මුහුදු රළ පැමිණ කොතරම් ආදරයෙන් වෙරළ සිප ගත්තද එහි නැවතී ඉන්නේ නැත. නිම්නාද ද තමාගේ ජීවිතයට පැමිණ ඉවත්ව ගියේ ඒ ආකාරයටමැයි මේඝා ට සිතුනි.
තමන් නිම්නාද හට නපුරු වූවා වැඩි දැයි වරෙක මේඝා ට සිතුනත් තමා දැවෙන වේදනාවෙන් මිදීමට නම් වෙන කරන්නට දෙයක් ඉතිරිව නැති බව මේඝා කල්පනා කලාය. මේඝා ගේ කල්පනාව බිඳ වැටුණේ නිකිනි සහ ධනුක පැමිණ මේඝා ගේ දෙපැත්තෙන් වාඩි වූ විටය.
” මොකද උඹට කාලෙකින් බීච් එකට එන්න හිතුනේ ? ”
ධනුක ඇසුවේ මේඝා ගේ ප්‍රියතම අඹ අච්චාරු බෑගයක් ඇය වෙත දිගු කරමිනි. කාලයකට පසුව තමාගේ ප්‍රියතම දෙයක් හිමි වීමේ ප්‍රීතිය මේඝා භුක්ති විඳින අතරේ මේඝා ට හිතවත් එකම ජීවින් දෙදෙනා ඇය දෙපස වාඩි වී බලා සිටියහ.
” උඹ අද නිම්නාදට කියපු දේවල් ගැන කවදාක්වත් පසුතැවෙන්න එපා මේඝා ”
ධනුක දිගු කතාවකට මුල පිරුවේය.
” උඹ සුයිසයිඩ් කර ගන්න ගිහින් ICU එකේ ඉන්නකොට ඇත්තමයි මම ප්‍රාර්ථනා කරා නිම්නාදය ට කවද හරි ඔය ටික වෙන්න ඕනේ කියලා . උඹ කාටවත් වරදක් කරලා නැති නිසා දෙවියො උනත් ගන්නේ උඹේ පැත්ත කියලා මං අද තේරුම් ගත්තා ”
ධනුක ගේ හඬෙහි තිබුණේ ජයග්‍රාහී බවකි.
” උඹ අපි දෙන්න එක්ක ඉස්සර වගේ මෙහෙම වාඩි වෙලා ඉන්න එක කොච්චර ලොකු දෙයක්ද කියල දන්නවද ? ”
නිකිනි මේඝාගේ අතෙහි තිබූ අච්චාරු බෑගයෙන් අඹ කැබැල්ලක් ගෙන මුවෙහි රුවා ගත්තා ය. නිම්නාද හමු වන්නට පෙර බොහෝ හවස් වරු ගෙවුනේ මෙහෙම ය. එහෙත් ඔහු හමු වීමෙන් පසුව ජීවිතය උඩු යටිකුරු වූ බව දැන් පිළිගත යුතුය
” උඹ වයසින් විතරයි ලොකු. උඹේ හිත පොඩි එකෙක් ගෙ වගේ . ඒක තේරුම් ගන්න පුළුවන් මිනිහෙක් තමයි දවසක උඹට හම්බ වෙන්න ඕනේ ”
එවැනි ප්‍රේමවන්තයන් සිටින්නේ නවකතා පොත් වල පමණක් බව ධනුකට කියන්නට මේඝා ට අවැසි වුවත් ඇය නිහඬවම ඈත සිට පෙරළී එන මුහුදු රළ දෙස බලා උන්නාය.
” දෙවියෝ සමහර මිනිසුන්ව අපේ ජීවිත වලින් ඈත් කරන්නේ අපිට පේන්නෙ නැති ඇහෙන්නේ නැති සමහර දේවල් දෙවියන්ට පේන ඇහෙන නිසා.වර්ෂාව මැද්දට ගෙනල්ල හරි දෙවියෝ නිම්නාදව උඹේ ජීවිතෙන් ඈත් කලෙත් අන්න ඒ නිසා ”
මේඝා ගේ හදවතෙහි ඇති තුවාල බොහෝ දුරට සුව වී ඇතත් සමහර කැලැල් සදාකාලික බව ධනුක පමණක් නොව නිකිනිත් තේරුම් ගෙන උන්හ.
” මං උඹෙන් දෙයක් අහන්නද මේඝා ? ”
ධනුක එසේ ඇසුවේ මේඝා ගේ කරට අතක් දමා ගෙනය. ඔහු එසේ කරන්නේ ඉතාම බැරෑරුම් කාරණාවකට මුල පුරන්නට බව මේඝා අත්දැකීමෙන්ම දනී.
” මොකද්ද ? ”
” උඹ අහස් ගැන මොකද හිතන්නේ ? ”
ReplyForwardAdd reaction |