පුද්ගලික සනීපාරක්ෂාව රැකගන්නේ කොහොමද?

පෞද්ගලික සනීපාරක්ෂාව කියන්නේ, අපි අපේ සෞඛ්‍යය සහ සුන්දර රුව රැකගෙන නිරෝගී ජීවිතයක් ගත කරන්න අවශ්‍ය විවිධ පුරුදු සහ ක්‍රමයන්. කෙනෙක්ට මේක සරලව ඩියොඩ්‍රන්ට් එකක් ගාන එකක්, නාන එක, පෙඩිකියෝ එකක් කරනව වගේ කියල හිතෙන්න පුලුවන්.

හැබැයි පුද්ගලික සනීපාරක්ෂාව කියන්නෙ නම් එහෙම ලේසියෙන් සරලව අරගන්න පුලුවන් දෙයක් නෙවෙයි. අපේ නිරෝගීකමට බලපාන මේ පුද්ගලික සනීපාරක්ෂාවට අදාල වන පිළිවෙත් අපි ඒ විදියටම අනුගමනය කරන එක හරිම වැදගත්.

ඉතින් අද මේ ලිපියෙන් අපි බලමු කාන්තාවක් විදියට අපි අපේ පුද්ගලික සනීපාරක්ෂාව වෙනුවෙන් කරන්නම ඕන දේවල් මොනවද කියල.

1.      මුළු ශරීරයම පිරිසිදු කිරීම

මුළු සිරුරම දිනපතා පිරිසිදු කිරීම ඉතාම වැදගත්. මෙහිදී සැර අඩු (mild) සබන් වර්ගයක් හෝ Body Wash එකක් භාවිතා කරලා ශරීරය පිරිසිදු කිරීම හඳුන්වාදෙන්න පුලුවන්. මේ ක්‍රමය නිසා අපේ ශරීරයේ රැඳිල තියෙන අපේ නිරෝගීබවට වැට කඩුලු බඳින දුහුවිලි, කුණු සහ විෂබීජ ඉවත් කරගෙන නිරෝගී ශරීරයක් පවත්වාගෙන යන්න අපිට ඉඩකඩ ලැබෙනවා.

දහදිය නිසා අපේ ශරීරයෙන් දුර්ගන්ධයක් පිටවෙනවනෙ. එතකොට අපි ලේසියෙන්ම කරන දේ තමයි ඩියෝඩ්‍රන්ට් එකක් භාවිතා කරන එක. හැබැයි දිනපතා හොඳින් මුලු ශරීරයම පිරිසිඳු කරන පිළිවෙතක් අනුගමනය කරනවනම් මෙහෙම ප්‍රශ්න ඇතිවෙන්නෙ නෑ.

2.      මුඛ සනීපාරක්ෂාව

“අපෝ එයාගෙ කට ගඳයි” අනේ කියල අපිට කට්ටිය ගැන හිතිල තියෙනවනෙ. ඒක හරිම අප්‍රසන්න දෙයක්. හැබැයි අපේ කටත් ගඳයි කියල කෙනෙක්ට නොහිතෙන්න විදියක් නෑනෙ. අන්න ඒක නිසා තමයි අපේ මුඛ සනීපාරක්ෂාව ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන.

මේකෙන් අදහස් කරන්නෙ හැමදාම දත් මදින එක විතරක්ම නෙවෙයි. මාස කිහිප සැරයකට වරක්වත් දන්ත වෛද්‍ය මධ්‍යස්තානයකට ගිහින් දත් පරීක්ශා කරගන්න එකත් අයත් වෙනවා.

කටේ ගඳ කියන්නෙ කෙනෙක්ට අපි කට ඇරපු ගමන්ම එන අපි ගැන වැරදි අදහසක්. ඉතින් කට හින්දා නහින්නෙ නැතුව ඉන්න හරියට ඔයාගෙ මුඛ සනීපාරක්ශක පිළිවෙත් අනුගමනය කරන්න.

3.      ප්‍රජනන අවයව අවට සනීපාරක්ෂාව

ප්‍රජනන අවයව අවට සනීපාරක්ෂාව ගැන සැලකිලිමත් වෙන එකත් ඉතාම වැදගත් බව අමතක කරන්න එපා. විශේෂයෙන් ගැහණු දරුවෙක් වැඩිවිය පත්වුනාම, අපේ ශරීරයේ සිදුවන වෙනස්කම් යහපත් පුද්ගලික සනීපාරක්ෂාව වඩාත් තීරණාත්මක කරනවා. අපේ ඔසප් වීම, දිනපතා  යෝනි ශ්‍රාවය වීම සහ දහඩිය ග්‍රන්ථි වලින් දහඩිය පිටවීම වැඩි වීම වැනි දේවල් යොවුන් වියේ ගැහැණු ළමයින් ට තමන්ගෙ පුද්ගලික සනීපාරක්ෂාව කොච්චර වැදගත් ද කියන කාරණාව මතක් කරල දෙනවා.

සාමාන්‍ය සබන් සහ ෂවර් ජෙල් අපේ යෝනි ප්‍රදේශය පිරිසිදු කිරීම සඳහා භාවිතා කිරීමට නිර්මාණය කරලා නෑ. මොකද ඒවායේ pH අගය අපේ සමේ මතුපිටට ගැලපෙන්න තමයි හදල තියෙන්නෙ. අපේ සමේ pH අගය 5.5ක් වන අතර නිරෝගී යෝනි pH අගය 3.8 සිට 4.5 දක්වා පරාසයක පවතිනවා. නිතිපතා සබන් භාවිතා කිරීමෙන් අපේ යෝනි මාර්ගයේ pH අගය වෙනස් වෙන්න පුලුවන් වගේම එහි සියුම් බැක්ටීරියා සමතුලිතතාවය අවුල් කරන්නත් පුලුවන්.ඒ වෙනුවට අපි කරන්න ඕන සුපිරි වෙළඳ සැල්වලින් හෝ ෆාමසි වලින් ලබාගන්න පුලුවන් අපේ යෝනි ප්‍රදේශයේ pH අගය සමතුලිත වන කාන්තා සනීපාරක්ෂක සේදුම් භාවිතා කරන එක.

4.      ඇඳුම් වල පිරිසිදු කම

අපේ පුද්ගලික සනීපාරක්ෂාව වෙනුවෙන් බලපාන තවත් වැදගත් දෙයක් තමයි අපේ ඇඳුම් පැලඳුම් කියන්නෙ. අපි අඳින ඇඳුම් හොඳින් හෝදලා පිරිසිඳු කරගෙන හොඳින් වේලගත් ඇඳුම් විය යුතුයි කියන එක අමතක කරන්න එපා.

සමහර අය නම් ඉන්නව පොඩ්ඩක් විතර දහදිය දැම්මට පස්සෙ “ආ කමක් නෑ පොඩ්ඩයිනෙ දාඩිය දැම්මෙ” කියල ඒ ඇඳුමම ආයෙ දවසක අඳින්න රැක් එකට දාන. හැබැයි ඒකනම් එච්චර හොඳ දෙයක් නෙවෙයි.

ඒ වගේම තමයි අපේ රට වගේ රටක ඉන්න කෙනෙක්ට නම් කපු ඇඳුම් අඳින එක ගොඩක් හොඳයි. කපු කියන්නෙ හොඳින් දහඩිය උරාගන්න රෙදි වර්ගයක් නෙ. ඒ වගේම තමයි උඩට අඳින ඇඳුම් වගේම යට ඇඳුම් ගැනත් ඉතාම සැලකිලිමත් වෙන්න ඕන කියන එක අමතක කරන්න එපා.

5.      ආහාර රටාව

අපි ගන්න ආහාර පාන අපේ ශරීරය ඇතුළතින් පෝෂණය කරන්න උදව් වෙන නිසා අපේ නිරෝගීබව කියන සාධකයෙදි මේ ආහාර රටාව අමතක කරන්න අපිට බැහැ,

සෞඛ්‍යමත් ආහාර රටාවක් පවත්වා ගැනීම කියන්නෙත් පෞද්ගලික සනීපාරක්ෂාවේ කොටසක්. අපිට හැදෙන ගොඩක් ලෙඩ රෝග එක්ක හයියට සටන් කරන්න අපි ගන්න මේ ආහාර පාන වලින් ලොකු ශක්තියක් අපිට ලබාදෙනවා. පළතුරු, පලා, ව්‍යායාම, සහ සුදුසු ආහාර වේලක් සහිත ජීවන රටාවක් පවත්වා ගන්න එක වැදගත් වෙන්නෙ අන්න ඒ නිසා.

6.      ආත්ම විශ්වාසය

ආත්ම විශ්වාසය කියන්නෙත් පුද්ගලික සනීපාරක්ෂාවේ කොටසක් කියන එක අමතක කරන්න එපා. මානසික ගැටලු කියන දේවල් අපි ඇත්තටම ලෙඩ රෝග කියල හිතන්න හරිම අකමැතියිනෙ. ඒ උනාට අපේ ශරීරය වගේම මනසත් පිරිසිඳුව තිබෙන කොට තමයි අපිට සමබර ජීවිතයක් ගෙවන්න පුලුවන් වෙන්නෙ.

ඒ නිසාම ඔයාගෙ මනසත් නිරෝගීව, යහපත්ව, අවුල් වියවුල් හෝ වෙනත් බාහිර විෂබීජ වලින් තොරව පිරිසිදුව, පැහැදිළිව තියාගන්න අමතක කරන්න එපා.

Related Articles

Don't Miss


Latest Articles